කෙටිම දුරක් වීථි සංචාරය කරන කතරගම පෙරහර
( . . ) 2017-08-07 13:39:02
Comments - 0       Views - 1207

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය පසුගිය මස (24දා) ආරම්භ විය. අවසන් මහා පෙරහර අද (07දා) පවත්වා හෙට 08දා මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේ දී දිය කැපීමෙන් අවසන් වීමට නියමිතය.මෙරට පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් අතරින් වසර 2245ක් පැරණිම පෙරහර ලෙසත් කෙටිම දුරක්  වීථි සංචාරය කරනු ලබන පෙරහර ලෙසත් කතරගම දේවාලයේ පෙරහර හඳුන්වයි.


 Kataragama-Esala-Festival-4 
 
කතරගම පෙරහර කඳ සුරිඳුන් හා වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍යය සනිටුහන් කිරීම පිණිස සෑම වසරකදීම ඇසළ මංගල්‍යය පැවැත්වේ.
අප රටේ පමණක් නොව දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පුදබිමක් ලෙස හඳුන්වන කතරගම පුදබිම ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය ලෙස හඳුන්වනුයේ බෞද්ධ, විවිධ ආගමිකයන් එකම පුදබිමකදී සිය ආගම්ක වතාවත් සහජීවනයෙන් ඉටු කරනු ලබන පුදබිමක් නිසාවෙනි.
 
අතීතයේ දී රුහුණු, මායා, පිහිටි යනුවෙන් අප රට පළාත් වශයෙන් බෙදී තිබුණු අතර රුහුණු ප්‍රදේශයේ පිහිටීම නිසා රුහුණු, මාගම කතරගම දේවාලය ලෙස අදත් ව්‍යවහාර වේ.කතරගම දෙවියන් බෞද්ධ දෙවි‍ෙයකු ලෙස අප රටේ ජනයා හඳුන්වති. හින්දූන් ද  දැඩි භක්තියකින් කතරගම දෙවියන් හදවතින් අදහන අතර කතරගම දේවාලයේ ඉතිහාසය ඇතැම් ජනප්‍රවාදවල පවතින පරිදි කතරගම දෙවියන් පිළිබඳව මෙසේ විස්තර කියාපායි.
 
බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කර වූ දිනයේ දී (03) තුන්වැනි ගමනේ දී අද කතරගම පිහිටි කිරිවෙහෙර ඉදිකළ ස්ථානයට වැඩම කරවූ බව සඳහන් වේ. මෙම වකවානුවේ මෙම පළාත බාරව සිටි නමින් ග්‍රාමීය නායක‍ෙයකු වූ මහාඝෝෂ නම් රජුට අයත් උයනක (කිහිරිවනය) දිනක් රජු උදෑසන සිරි නරඹමින් සිටිය දී විවේකී සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක බණ අසා පැහැදී බුදුන්ගේ කේෂ ධාතු මිටක් ඉල්ලා ගෙන අද ඇති කිරිවෙහෙර ඉදිකර වන්දනාමාන කළ බව සඳහන් වේ.
 
කාලයක් ගිය විට දී මෙම  මහාඝෝෂ නම් ග්‍රාමීය නායකයා මිය ගිය අතර මරණය සිදු වීමට ප්‍රථම තමන් දේවත්වයට පත් වී කවදා හෝ කිරිවෙහෙර සෑරදුන් රැක ගන්නා බවට සිදු කළ ප්‍රාර්ථනාවක් හා අධිෂ්ඨානයක් අනුව මහාඝෝෂ නායකයා මිය පරලොව ගොස් ඉන්දියාවේ සරවන විලේ  ඕපපාතිකව පියුම් හතක් මැද හය දෙනකුගේ ශක්තියක් ගෙන උත්පත්තිය සිදු වූ බව ජනප්‍රවාදයේ හා හින්දු කෘතිවල සඳහන් වේ.
kataragama-perahera
 
මෙම කුමරුන්ට ස්කන්ධ ලෙස නම තැබූ අතර කුමරා තරුණ වියට පත්වෙන විට දී  වල්ලි දෙවඟනද කතරගම තණ හේනක දී  ඕපපාතිකව උත්පත්තිය ලැබීය. වල්ලිය මහාඝෝෂ රජුගේ පෙර අාත්මයේ බිරිඳ බව කතිකාවත්වල සඳහන් වේ. කඳ කුමරුන් උත්පත්තිය ලැබූ මෙම වකවානුවේ ලංකාවේ දුටුගැමුණු රජුද බිහි වී සිටි අතර එළාර නම් ර‍ෙජකු විසින් රට ආක්‍රමණය කර තිබුණේද මෙම යුගයේදීය.
අද සෙල්ල කතරගම ඇති අක්කර 20 නමැති ස්ථානයේ වල්ලි දෙවඟන  ඕපපාතිකව උත්පත්තිය ලබා ඇති අතර ඇය රූ සපුවෙන් දිදුලන තරුණියක් බවට පත් වූ වකවානුවේ නන්ද නම් වැදි නායකයාට අයත් තණ හේනක නුග රුකක් අසල අරුණගිරි නාදන් නමැති ඉසිවර‍ෙයකු තපස් දම් පුරමින් සිටි බව සඳහන් වේ.
 
වල්ලි දෙවඟන සිය පියාගේ තණ හේනේ කුරුල්ලන් එළවමින් මියුරු ගීතයක් ගයමින් පසු විය.  මෙම මිහිරි නාදය පිළිබඳව විපරමි කළ අරුණගිරි ඉසිවරයාට රූ සපුවෙන් පිරි වල්ලි දෙවඟන දැක ගන්නට හැකි විය.  වල්ලි දෙවඟන දුටු අරුණගිරි නාදන් තවුසාට මැය සාමාන්‍ය තරුණියක් නොව දෙවඟනක් බව සුළු මොහොතකින් වැටහුණි. මෙම රූ සපුවෙන් පිරි තරුණිය පිළිබඳව ඉන්දියාවේ උත්පත්තිය ලබා තරුණ වියට පත්ව සිටි ස්කන්ධ කුමරුන්ට අරුණගිරි නාදන් තවුසා විසින් සියලුම තතු පවසන ලදී.
 
වල්ලි දෙවඟන සරණ පාවා ගැනීමට ස්කන්ධ කුමරුන්  සිවලිංගම් හා මුස්ලිම් ජාතික නබීර් නමැති ඉසිවරයන් දෙදෙනා සමග කතරගම පුරවරයට පැමිණ කඳ කුමරුන් වැඩසිටි කන්දේ නතර වූ අතර නබීර් නමැති ඉසිවරයා අද කතරගම පුදබිමේ පිහිටි මුස්ලිම් දේවස්ථානය ඇති ස්ථානයේ නතරවනු ලැබූ බවත්, සිවලිංගම් සාමි අද කතරගම දේවාලය අසල පිහිටි හින්දු දේවස්ථානය වන උඩමඩම ඇති ස්ථානයේ නතර වූ බවත් ජනප්‍රවාද පවතී.
 
වල්ලි දෙවඟන බැලීම සඳහා කඳ සුරිදුන් වැඩසිටි කන්දේ සිට පා ගමනින් පැමිණෙන විට දී දුටුගැමුණු රජතුමා එළාර රජු සමග යුද්ධයට යන අතර කප්පකන්දර නදිය  (අද මැණික් ගඟ) ඇති ස්ථානයේ විවේකී සුවය ගැනීමට සෙබළුන් සමග නතර වී සිටි අතර සෙබළුන් ගවයින් බැඳි ගැල් ලිහා හරකුන්ට ආහාර දී සෙබළුන්ටද ආහාර පිළියෙල කරමින් පසු විය. මැණික් ගඟ ආසන්නයේ පිහිටි අෂ්ඨ ඵල බෝධියට බාරයක් වීම පිණිස දුටුගැමුණු රජතුමා මේ මොහොතේ ගොස් සිටියේය.
 
සන්නාසි වේශයක් මවා ගෙන මැණික් ගං ඉවුරෙන් පැමිණි කඳ කුමරුන්ට දැක ගැනීමට හැකි වූයේ යුද්ධයට යන දුටුගැමුණු කුමරුවන්ගේ සේනාවය.  මෙම සේනාවේ සිටි ප්‍රධාන අණ දෙන සෙබළා හමු වූ සන්නාසි වෙසක් මවා ගෙන සිටි කඳ කුමරුන් විමසා සිටියේ මේ ගැල් තුළ මොනවා තිබේදැයි යනුවෙනි. මෙම ගැල් තුළ ඇත්තේ ආහාර ද්‍රව්‍ය බව පැවසුව හොත් මෙම මහල්ලා ඉල්ලා සිටිතැයි  සිතා බොරුවට මෙම ගැල් සියල්ලේ ඇත්තේ උඳු බව පැවසීය.
2-2
 
පසුව කඳ කුමරුන් මැණික් ගඟ දිගේ පියමැන්න අතර සෙබළුන් ආහාර ගැනීමට ගැල් ලිහා බලනු ලැබීය. පුදුමයකි. ලිහා බලන සියලුම මලු හා ආයුධ ඇති ගෝනි සියල්ලම උඳු බවට පත් වී තිබුණි. දුටුගැමුණු රජතුමා පැමිණ ඇයි උඹලා ආහාර නොගෙන ඉන්නේ යැයි සෙබළුන්ගෙන් විමසනු ලැබීය.ප්‍රධාන සෙබළා පැමිණ රජතුමනි අර ඈත යන මහල්ලා මේ ගැල් තුළ ඇත්තේ කුමක්ද කියා මාගෙන් විමසුවා. මා මෙම ගැල් තුළ ඇත්තේ උඳු බව පැවසුවා.  දැන් මේ සියල්ල උඳු බවට පත්වෙලා යනුවෙන් සෙබළා රජුට පැවසීය.
 
මෙම සිද්ධියෙන් පුදුම වූ රජතුමා ඈත යන සන්නාසි වෙස් ගත් ස්කන්ධ කුමරු අසලට දිව ගිය අතර එහි දී මැණික් ගඟේ දිය වැඩි විය. අද දිය කපන වැල්ල පිහිටි ස්ථානයේ කඳ කුමරුන් සිටි අතර දුටුගැමුණු රජතුමා ගං ඉවුරේ සිටියේය. මැණික් ගඟේ ජලය වැඩි වී ඇත. දුටුගැමුණු රජු ඉවුරේ සිට කන්නලව් කරමින් පැවසුවේ ස්වාමීනි මේ රට එක්සේසත් කිරීමට එළාර රජු සමග සටනට යන දුටුගැමුණු රජු මම වෙමි. මා හට ඔබ වහන්සේගේ සහාය  හා  ආශීර්වාදය අවශ්‍යයි.
 
 මට ඔබ වහන්සේ අසලට එන්න අවසරය දෙන්නැයි බැගෑපත් විය.එවිට ගඟ මැද සිටි සන්නාසි වෙස් ගත් කඳ කුමරුන් අසිපතින් දිය දෙබෑ වන පරිදි  දිය කපාගෙන තමා ළඟට එන ලෙස අවසරය ලබා දෙනු ලැබීය. පසුව රජු සිය මඟුල් කඩුවෙන් දිය කපා කඳ කුමරු වෙත පැමිණි අතර ලංකාවේ දිය කැපීමේ මංගල්‍යයයේ ප්‍රථම දිය කැපීම සිදු කරන ලද්දේ දුටුගැමුණු රජු බව කතරගම දේවාල ඉතිහාසයේ කිය වේ.
 
කඳ කුමරුන් වෙත පැමිණ දුටුගැමුණු මහා රජතුමා මෙහි දී කඳ කුමරු ඉදිරියේ බාරයක් විය. තමන් යුද්ධයෙන් දිනූ පසු ඉර හඳ පවතිනා තුරා පුද පූජාවන් පැවැත්වීම පිණිස රන්උළු මාළිගාවක් මැණික් ගඟ අසළ ඉදිකරන බවට බාරයක් වී දුටුගැමුණු රජතුමා එළාර රජු සමග යුද්ධ කර ජය ලබා රට එක්සේසත් කරනු ලැබීය. රට එක්සේසත් කිරීමෙන් පසු තමන් පොරොන්දු වූ බාරය ඔප්පු කිරීම පිණිස රජතුමා අධිෂ්ඨානයක් කරමින් කතරගම දෙවියන් මුණ ගැසෙත්වා යනුවෙන් ප්‍රාර්ථනාවක් කරනු ලැබීය. එ් සමගම වැඩසිටි කන්දේ දී කඳ කුමරුන් රජුට දර්ශනය විය . මෙහි දී රජු වැඳ නමස්කාර කර බාරය ඔප්පු කිරීම පිණිස දේවාලය ඉදිකිරීමට ස්ථානයක් පෙන්වාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.
 
මෙහි දී කඳ කුමරුන් දුටුගැමුණු රජතුමා අමතා පැවසුවේ ඔබ රන්උළු මාළ‘ිගාවක් සෑදීම තුළින් අනාගත බිහිවෙන කලි යුගය තුළ දී මිනිසුන් මෙම මාළිගාව කඩා බිඳ දමා වස්තූන් පැහැර ගෙන යා හැකිය. ඒ තුළින් මාහට අගෞරවයක් ඇති වීමට හැකිය. එ බැවින් රන්කොත් මාළිගාවක් සාදවා පුද පූජා කරන ලෙස  උපදෙස් දී වැඩසිටි කන්දේ සිට ඊතලයකින් විද එම ඊතලය වැටුණු තැන දේවාලය ඉදිකරන ලෙසට රජුට දන්වා සිට ස්කන්ධ කුමරුන් අතුරුදන් විය.
image
 
ඒ අනුව දුටු ගැමුණු රජතුමා ඉසිවරයින් ගෙන්වා දේවාලයේ සැලැස්ම සාදවා පුද පූජා ක්‍රම අසාගෙන බෙරවාදන විශේෂඥයන් ගෙන්වා ගෙන බෙරපද අසා ගෙන දේවාලයේ පැවැත්මට ගොඩ මඩ ඉඩම් අක්කර අනුනව දහසක් පූජා කර දේවාලයේ කපු පරපුරට දස මහා යෝධයන්ගේ පරපුරේ උසස් කුලයේ අය පත්කර දේවාලයේ රාජකාරි ඉටු කිරීම පිණිස රාජකාරිකරුවන් 552ක් පත් කරනු ලැබීය.
 
මෙම රාජකරි කරුවන්ගේ පැවැත්ම සඳහා ඔවුන්ට ගොඩ මඩ ඉඩම් ද පරිත්‍යාග කර දේවාලයේ ඉඩම් බදු දී ලැබෙන ආදායමෙන් දේවාලයේ පුද චාරිත්‍ර ඉර හඳ පවතිනා තුරු සිදු කිරීමට දුටුගැමුණු රජතුමා රාජ අාඥාවක් ද පනවනු ලැබීය. එදා සිට අද දක්වා වසර 2245ක් පුරා කතරගම දෙවියන් සඳහා මෙම පුද පූජා කටයුතු ගෞරවයෙන් සිදුවෙමින් පවතී. කතරගම දෙවියන් වෙනුවෙන් වසරකට මංගල්‍යයන් හතරක් පැවැත්වේ. 
 
01. කප් සිටුවීමේ මංගල්‍යය 02. ඇසළ මංගල්‍යය (මෙම පෙරහර දින 15ක් පුරා පැවැත්වේ.) 03. නිසි කලට වැසි ලැබීමට වර්ෂ අවසානයේ පවත්වනු ලබන ඉල් මහා පෙරහර. 04. රටේ හේන් ගොවි අස්වැන්න ලබා ගෙන දෙවියන්ට පුදන අවුරුදු මංගල්‍යය යන මංගල්‍යන් කතරගම දෙවියන් මුල් කරගෙන පැවැත්වෙන විශේෂිත වූ පෙරහර මංගල්‍යය වේ. ඇසළ මංගල්‍යය වල්ලි දෙවඟන හා කඳ කුමරුවන් අතර සිදු වූ විවාහය සනිටුහන් කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මංගල්‍යයක් බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක පවසයි.

 කතරගම - සන්දිම දේවප්‍රිය 

කෙටිම දුරක් වීථි සංචාරය කරන කතරගම පෙරහර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :