පේරාදෙණි සරසවිය දැනුමෙන් පුබුදු කළ මහ තෙරණුවෝ සමුගත්හ
( චමිල් රූපසිංහ ) 2017-07-24 13:02:12
Comments - 0       Views - 386

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අස්ගිරි මහා විහාරයීය පිරිවනේ ශිෂ්‍ය භාරකාර මණ්ඩලයේ ගරු ලේකඛාධිකාරී අපවත්වී වදාළ අති පූජ්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය හඟුරන්කෙත ධීරානන්නද හිමියන්ගේ ආදාහන උත්සවය පසුගිය (19දා) පිළිමතලාව මහා විද්‍යාල විදුහල් භුමියේදී සිදු කෙරුණි.

අතිපූජ්‍ය හඟුරන්කෙත ධීරානන්නද හිමියන් පසුගියදා බුදුදහම පිළිබඳව චීනයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වී සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුකොට ගෙන අපවත් වූහ. උන්වහන්සේගේ දේහය පසුගිය (14දා) මෙරටට වඩම්මා පොතුහැර විහාරස්ථනයේ මහජනතාවට ගරු බුහුමන් පුද කිරීමට තැන්පත් කිරීමෙන් අනතුරුව  (17දා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩම කොට එහි අවසන් ගෞරව දැක්වීමෙන් පසු උන්වහන්සේ වැඩ සිටි පිළිමතලාව මල්ගම්මන මැද්දෙගොඩ බෝළු  විහාරස්ථානයේ තැන්පත් කර තිබුණි.

1961 වර්ෂයේ අප්‍රේල් මස 29දා හඟුරන්කෙත පොරමඬුල්ල ප්‍රදේශයෙහි උපන් ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ වසර පනස් හයක කාලයක් තුළ සිදුකරන ලද අතිවිශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවය අතිවිශාලය. 1978 වර්ෂයේදී ධර්මාචාර්ය විභාගයටත්, 1980 වසරෙහිදී ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම විභාගයටත් පෙනී සිට එම වර්ෂයෙහිදීම අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට සහ 1982 වර්ෂයෙහිදී උසස් පෙළ විභාගයට පෙනී සිට එම සියලුම කඩයිම් විභාගවලින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ සමත් වූ සේක.

ඉන් පසුව 1982 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ 1983 වර්ෂයෙහි සිට ඉතිහාසය විශේෂවේදී උපාධිය හදාරා, 1986 වර්ෂයෙහිදී මෙම විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය දිනාගැනීමට සමත් වූ සේක.

එම විශිෂ්ට ප්‍රතිඵල මත එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය සඳහා වෙන් වී තිබූ කෝර්බර්ට්, අශෝක සහ මේබල් ජයසූරිය යන සියලුම ත්‍යාග දිනාගැනීමට සමත් වූ උන්වහන්සේ එතැන් සිට වසර තුනක පමණ කාලයක් අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි දුෂ්කර පාසලක් වූ නොච්චියාගම විදුහලේ ගුරුවරයෙකු ලෙසට සේවයෙහි නියැළී සිටියහ.

ඉන් පසුව 1990 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යවරයෙකු ලෙසට සේවයට බැඳුණු උන්වහන්සේ 1997 වර්ෂයෙහිදී එම විශ්වවිද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියත්, 2001 වර්ෂයේදී නවදිල්ලියේ පිහිටි ජවහර්ලාල් නේරු නම් කීර්තිමත් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධියත් දිනාගැනීමට සමත් වූ සේක.

මෙම කාලය තුළදී ඉන්දියානු රජයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් සහ ප්‍රංශ රජයෙන් ශිෂ්‍යත්වයක් දිනාගැනීමට සමත් වූ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ සහ නේපාලයෙහි සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් සහ ගවේෂණ සඳහාද සහභාගි වූ පඬිරුවනක් වූහ.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මහාචාර්ය යන තනතුරුවලට ඉතා කෙටි කලෙකින්ම පත් වූ උන්වහන්සේ අපවත් වන අවස්ථාව වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ඉතිහාස අධ්‍යයන අංශයෙහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයට උසස් කොට සිටියහ.

පිළිමතලාව මල්ගම්මන සහ කුරුණෑගල පොතුහැර පිහිටි උභය විහාරයන්හි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසට වැඩි විසූ උන්වහන්සේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත හිමිනමක් වූහ.

පාලි, සංස්කෘත සහ ප්‍රාකෘත වැනි ප්‍රාචීන භාෂා ගැන පමණක් නොව ඉංග්‍රීසී සහ ප්‍රංශ වැනි අපරදිග භාෂා පිළිබඳවද මනා පරිචයක් ලබා සිටි උන්වහන්සේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ලෙසට එහි සිටි ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව සාමාන්‍ය ජන සමාජයටද ඉතා විශාල සේවයක් ඉටු කරන ලද අතිවිශිෂ්ට හිමි නමක් වූහ.

ඉගෙනීම සහ ඉගැන්වීම සිය ජීවිතයම කොටගත් උන්වහන්සේ තම රාජකාරිය වෙනුවෙන් කැපවී සිටියහ. බහු විෂයයීක බහුශ්‍රැත පඬිවරයෙකු වූ උන්වහන්සේ නිතර සිය දැනුම අලුත්කර ගැනීමට උත්සාහ කළඅතර ඒ සඳහා සිය විෂය පථයට අදාළව පළ වී ඇති අලුත් පොත්පත් සියල්ල ඉතා උනන්දුවෙන් පරිශීලනය කිරීමට පෙලඹුණහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළදී උන්වහන්සේ ඉතිහාස විෂයට අදාළ පාඨමාලා පමණක් ස්වකීය ශිෂ්‍යයනට උගන්වන ලද නමුත් බුදුදහම,බෞද්ධ දර්ශනය,මනෝවිද්‍යාව සහ ජ්‍යොතිෂය වැනි තවත් බොහෝ විෂයයන් ගණනාවකම ප්‍රාමාණික උගතෙකු වූ උන්වහන්සේ පුරාඅක්ෂර විද්‍යාව ගැන දැන සිටි උගතුන් අතර ප්‍රමුඛයෙකු වූහ.

එබැවින් උන්වහන්සේගෙන් ඉගෙනීමට භාග්‍යයක් තිබුණු ගුරු ශිෂ්‍ය දෙපිරිසටම ඉතිහාස විෂයට අමතරව තවත් බොහෝ බාහිර විෂයන් පිළිබඳ විශාල පරිචයක් ලබාගැනීමට හැකියාව ලැබුණි. 

වසර විසිපහකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යලයෙහි ඉතිහාස අධ්‍යයන අංශයෙහි ආචාර්යවරයෙකු ලෙසට සේවය කරන ලද උන්වහන්සේ එම කාලය තුළදී තම ඉගැන්වීමේ කටයුතුවලට අමතරව ඉතිහාස අධ්‍යයන අංශයෙහි අංශාධිපතිවරයා ලෙස වසර තුනක කාලයක් සහ එම අධ්‍යයනාංශයට අනුබද්ධ ඉතිහාස සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ලෙසට ඉතා දීර්ඝතම කාලයක් සේවය කිරීමටද සමත් වූහ.

ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සියල්ලෙහි ප්‍රමුඛයා වූ උන්වහන්සේගෙන් ගුරු සිසු දෙපිරිසම ලබාගත් දැනුමේ ප්‍රමාණය කිසිවිටෙකත් මැනිය හැකි මට්ටමක නොපවතී. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කීර්තිමත් පඬිරුවනක වූ හඟුරන්කෙත ධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද ශාස්ත්‍රීය ලිපිලේඛන සංඛ්‍යාව සියයකට ආසන්නය. උන්වහන්සේ විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ ගණනාවක්ම දක්නට ඇති අතර මධ්‍යම පළාත් සභාව විසින් පළකිරීම සඳහා කටයුතු කරන ලද තවමත් වැඩ නොනිමි 'මැදරට වංශකථාව' නම් කාණ්ඩ තුනකින් සමන්විත මහා ග්‍රන්ථයට මේ අතුරින් ඉතා වැදගත් තැනක් හිමි වෙයි.

උන්වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතුරින් 'බුද්ධ චින්තාව සහ චරණය', 'රාජ්‍යත්වය රාජ්‍ය සහ ආගම', 'පුරාතන ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම' සහ 'බුදුදහමයි ජන දිවියයි' යන කෘතීන් සතර ඉතා ඉහළ ශාස්ත්‍රීය වටිනාකමකින් යුක්ත ග්‍රන්ථ ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

ඉතිහාස විෂය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ නමුත් එම විෂයට පමණක් සීමා නොවී උන්වහන්සේ විවිධ විෂයයන් අළලා ග්‍රන්ථකරණයෙහි යෙදුණු බහුශ්‍රැත පඬිරුවනක වූ බව මෙම ග්‍රන්ථ නාමවලින් පමණක් වුවත් කෙනෙකුට ඉතා පහසුවෙන් වටහාගත හැකිය.

දෙස්-විදෙස් සම්මන්ත්‍රණ රැසකදී ඉතා වටිනා ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කොට ඇති හඟුරන්කෙත ධීරානන්ද තෙරුන් වහන්සේ විවිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. තම ධර්මදේශනා මගින් වර්තමාන සමාජය සුමගට හැරවීමට උන්වහන්සේ දරන ලද උත්සාහය අතිශය ප්‍රශංසාර්හය.

දැනට ලංකාවේ තිබෙන රූපවාහිනි හා ගුවන්විදුලි නාළිකා ගණනාවකද නිත්‍ය ධර්මදේශකයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ විශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් ඉටු කළහ. මීට අමතරව විවිධ පුවත්වලට සපයන ලද ලිපි මගින්ද සමාජය යහමගට ගැනීමට උන්වහන්සේ විශේෂ උත්සාහයක් දැරූ යතිවරයෙකු බව පෙනේ. අවසානයෙහි මෙම සියල්ලෙන්ම මෙරට තරුණ පරපුර යහමගට ගැනීම උන්වහන්සේගේ එකම අරමුණ වූ බව පැහැදිලිය.

උන්වහන්සේ මාක්ස්වාදී දර්ශනය හොඳින් අවබෝධ කොට ගෙන සිටි යතිවරයෙකු වූ බැවින් ඉතා ප්‍රගතිශීලී භික්ෂූන් වහන්සේ නමක් ලෙසට පතල කීර්තියක් ලබාගැනීමටද සමත් වූ සේක. එහෙයින්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය වෙනුවෙන් සහ අධ්‍යාපනය සඳහා රාජ්‍ය මැදිහත්වීම වෙනුවෙන් පසුගිය කාලයෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අනුගමනය කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයෙහිත් උන්වහන්සේ පතාක යෝධයෙකුව සිටි සේක.

4 6 7 8 9 10 12

පේරාදෙණි සරසවිය දැනුමෙන් පුබුදු කළ මහ තෙරණුවෝ සමුගත්හ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :