කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට මගපෙන්වීමක්
( ෂමිල පෙරේරා ) 2017-07-17 13:00:53
Comments - 0       Views - 372

ඉතිරිකිරීම් සහ ආයෝජන අතර වෙනස හඳුනා ගැනීම වැදගත්

අනාගතය සාර්ථක කරගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙකුට ඉතිරිකිරීම් අවශ්‍ය වෙයි. අපට ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම වියදම් කරනු ලැබුවහොත් ඉතිරිකිරීම් පිළිබඳව සිතීමට නොහැකි වේ. වර්තමාන සංකීර්ණ සමාජය තුළ ජීවත්වන විට අපට ඉටුකර ගැනීමට ඇති අවශ්‍යතා බොහෝය. නමුත් බොහෝ පුද්ගලයන්ට එම අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍ය තරම් මුදල් නොමැත. එසේ නම් අපට ලැබෙන ආදායම නිසි ලෙස හසුරුවා ගනිමින් කීයක් හෝ ඉතිරිකර ගැනීමට උත්සාහ කළ යුතුය.

මෙසේ ඉතිරිකිරීම් සිදු කරන්නේ නම් බෙහෝ පුද්ගලයන් එය බැංකුවල රඳවා තබාගැනීම ප්‍රධානවම සිදුකරනු ලබයි. තවත් සමහර අය ළඟ තබාගැනීමත් සිදුකරයි. සාමාන්‍යයෙන් මෙසේ ළඟ තබාගන්නා හෝ බැංකුවල රැස්කරගන්නා වූ මුදල්වලට ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරයි. එහෙත් බැංකුව විසින් එසේ ඉතිරි කරන්නන්ට යම් පොලියක් ලබාදීම සිදුකරනු ලැබීමක් දැකගත හැකිය. එමෙන්ම මෙසේ බැංකුවල මුදල් රැස්කරන්නේ හදිසි අවශ්‍යතාවක් සඳහා නැවත ලබාගැනීමේ අරමුණෙනි. ඒ නිසා ඉතිරිකිරීම් කෙටිකාලීන යැයි පැවසීම නිවැරදිය. ඕනෑම අවස්ථාවක නැවත ලබාගත හැකි නිසා ද්‍රවශීලතාවයද ඉහළ බව කිව හැකි අතර බැංකු විසින් නැවත ගෙවීමට බැඳී සිටින නිසා අවදානමක්ද නොමැත.

ආයෝජනයක ස්වභාවය (Nature of an Investment)

ආයෝජනයක් යනු අප ඉතිරිකරගත් මුදලක් අනාගතයේදී යම් ප්‍රතිලාභයක්/ආදායමක් බලාපොරොත්තුවෙන් වර්තමානයේදී සිදුකරන මුදල් යෙදවීමක්/සම්පත් කැප කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. ඉන් අදහස් වන්නේ ආයෝජනයක් දිගුකාලීන බවත්, එසේම අනාගතයේදී ප්‍රතිලාභයක් අපේක්ෂා කරන බවත්, යම් කැප කිරීමක් කළ යුතු බවත්ය. ආයෝජනයකට මුදල් යෙදවීමේදී එහි ප්‍රතිලාභය ලැබෙනුයේ අනාගත කාලයකින් පසුවය. එය මාස කිහිපක්, අවුරුදු කිහිපයක් විය හැකිය. කෙසේ වෙතත්, යම් අයෝජනයකට මුදල් යෙදවීමේදී එය තවත් ආයෝජනයකට යෙදවිය නොහැකිය. එසේ වෙනත් ආයෝජන වෙත යොදවා ලැබිය හැකි ප්‍රතිලාභ අහිමිවීම කැප කිරීම නමින් හඳුන්වයි. එසේ නම් එම කැප කිරීම වෙනුවෙන් යම් ප්‍රතිලාභයක් අයෝජකයාට ලැබිය යුතුවේ. එය පමණක් ප්‍රමාණවත් නොමැත. ඊට හේතුව එම කැප කිරීම කරනු ලබන කාලසීමාව තුළ භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සිදුවන ඉහළයාම වෙනුවෙන්ද ආයෝජකයා වෙත ගෙවීමක් කළ යුතු නිසාය. එය උද්ධමනය වෙනුවෙන් සිදුකරන ගෙවීමයි. එසේ නොවන්නේ නම් ආයෝජකයාට පාඩුවක් සිදුවීමට ඉඩ තිබේ. මේ අනුව ආයෝජනයක් කිරීමේදී ඒ වෙනුවන් කැප කරන කාලය තුළ පවත්නා උද්ධමනය නිසා මුදලේ වටිනාකම පහළ යන බැවින් ඒ සඳහා යම් පාරිතෝෂිකයක් ආයෝජකයාට ලැබිය යුතුය.

ආයෝජයෙකු විසින් තෝරාගනු ලබන ආයෝජන මාර්ගයෙහි ස්වභාවය අනුව ඊට ආවේනික අවදානමක්ද නිරන්තරයෙන් රැඳී පවතී. ඒ අනුව, එම ආයෝජනය හරහා බලාපොරොත්තු වන ප්‍රතිලාභය ඒ ආකාරයෙන්ම අනාගතයේදී ලැබේද නොලැබේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතී. උදාහරණයක් ලෙස ගත්විට වගාවකට මුදල් යෙදවුවහොත් ගංවතුර, නියං තත්ත්වයකට ලක්වීමට ඉඩ තිබේ. වෙළෙඳ ව්‍යාපාරයකට යෙදවූයේ නම් එය ගින්නකට අසුවීමට ඉඩ තිබේ. වාහනයක් නම් එය අනතුරකට ලක්වීමට ඉඩ තිබේ. මේ අනුව, බලාපොරොත්තු වූ ප්‍රතිලාභය ඒ ආකාරයෙන්ම නොලැබීමට ඉඩ තිබේ. එම අවදානම භාරගෙන ආයෝජනයකට මුදල් යෙදවීම වෙනුවෙන්ද යම් වන්දියක්/ප්‍රතිලාභයක් ආයෝජකයාට ලැබිය යුතුය.

මේ අනුව, බලනවිට ආයෝජනයක් සාර්ථක ආයෝජනයක් වීමට නම් අනාගතයේදී බලාපොරොත්තු වන ප්‍රතිලාභය තුළ කැප කරන කාලය වෙනුවෙන් ප්‍රතිලාභයක්, පවත්නා උද්ධමනය වෙනුවෙන් ප්‍රතිලාභයක් සහ තෝරාගත් ආයෝජනයේ පවතින අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් අන්තර්ගතව තිබිය යුතුය. එසේ නොවන සියලු ආයෝජන සාර්ථක ආයෝජන යැයි පැවසිය නොහැකිය. ආයෝජන විශ්ලේෂකයන් බොහෝවිට පෙන්වා දෙන කරුණක් වන්නේ ඔබ යම්කිසි ආයෝජනයකට මුදල් යොදවන්නේ නම් අඩුම තරමින් රට තුළ පවත්නා උද්ධමන අනුපාතය අභිභවා යන ආයෝජන මාර්ගයකවත් මුදල් යෙදවිය යුතුය යන්නයි.

ඉතිරිකිරීම්                        ආයෝජන

කෙටිකාලීන                      දිගුකාලීන

අවදානම අඩුයි                   සෑම විටම අවදානමක් අන්තර්ගතය

පොළියක් උපයයි               ලාභ ඉපයීමේ හැකියාව

ද්‍රවශීලතාවය ඉහළයි            ද්‍රවශීලතාවය පහළයි

 

මෙහි තවත් කොටසක් ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න...

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට මගපෙන්වීමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :