මුළු රටටම 'බත' සැපයූ රාජාංගණයට අද ජලය නෑ
( නඳුන් ශ්‍යාමාල් ) 2017-07-17 10:20:21
Comments - 0       Views - 912

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය මගින් පසුගියදා රාජාංගනයේ ගොවිජනපදවල සංචාරය කරමින් එම ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ වත්මන් සමාජීය ගැටලු පිළිබඳ අධ්‍යනයක් සිදු කිරීමට යෙදුණි.

මුළු රටකටම කන්නට දුන් එම ගොවීන් අද මුහුණපා සිටින ඛේදනීය තත්ත්වය පිළිබඳව එම අධ්‍යයනය සිදුකළ සිසුහු මෙසේ පැවසූහ. 

''අපේ අධ්‍යනයේ මූලික අරමුණ වුණේ ගොවි ජනපද ව්‍යාපාරයේ දෙවන සහ තුන්වන පරම්පරාවල පිරිස් මුහුණ පා තිබෙන සාමාජීය ගැටලු පිළිබඳ අධ්‍යනය කිරීම. මේ අධ්‍යනය සඳහා අපි රාජාංගනය ප්‍රදේශයේ ගිරිබාව පොලිස් වසමට අයත් යාය 1, යාය 2, යාය 3, යාය 4 සහ හෙට්ටිආරච්චිගම කියන ගොවි ගම්මානවල පවුල් 200කට ආසන්න ප්‍රමාණයක් සහභාගි කර ගත්තා.

මේ පවුල්වලින් 80%කගේම ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂි කර්මාන්තය. අපි මෙතනදී දැක්ක දෙයක් තමයි මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාව වර්තමානයේදී ගත කරන්නේ අතිශය දුෂ්කර ජීවිතයක් බව. වසර එකහමාරක ඉඳලා මේ ප්‍රදේශ දැඩි නියඟයකින් පීඩා විඳිනවා. බොන්නවත් මේ මිනිස්සුන්ට වතුර ටිකක් ඉතිරිවෙලා නැහැ.

වකුගඩු රෝගයටත් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ගොදුරු වෙලා තිබෙනවා. ඔවුන්ට පානීය ජලය මුදලට ගන්නවෙලා තියෙන්නේ. බොන වතුර ටික සල්ලි දීලා ගන්න එක දැන් මේ ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

මිල දී ගන්න වතුරවලත් ph අගය 55ක් වගේ ඉහළ අගයක් ගන්නවා. ඉල්ලුම වැඩි වීමත් එක්ක වතුරවල මිලත් වරින් වර ඉහළ යනවා. ආදායම් මාර්ග නැති වීමත් එක්ක වතුර මීලදී ගන්නත් අපහසු පවුල් මේ ප්‍රදේශවල දකින්නට ලැබෙනවා.   

ඒ වගේම සෑම වැවකම පාහේ ජලය සිඳී ගිහිල්ලා. ඒ නිසා මේ වෙද්දී කන්න දෙකකම වගා කටයුතු සිද්ධවෙලා නැහැ. ඒ එම කටයුතුවලට ජලය ප්‍රමාණවත් නොවීම නිසා. තවමත් වැසි නොලැබීම නිසා ඉදිරි කන්නයටත් වගා කරන්න හැකියාවක් නොමැති බවයි ගම්මු පවසන්නේ.

අනෙක් ප්‍රශ්නය වෙන්නේ පොහොර සහනාධාරය අහිමි වීම. මේ අධ්‍යනයට සහභාගි වූ පිරිසෙන් 55%ක ප්‍රමාණයක් ප්‍රකාශ කළා පසුගිය රජය සමයේ පොහොර නිසි වේලාවට සහ නිසි ආකාරයෙන් ලැබුණා කියලා. අලුත් ක්‍රමවේදයේ තිබෙන අකාර්යක්ෂමතාව සහ අසාර්ථකත්වය හේතුවෙන් ගොවීන්ට නිසි අයුරින් කලට වේලාවට පොහොර ලැබෙන්නේ නැහැ.

සහනාධාර විදියට ලබාදෙන මුදල වගා කටයුතුවලට ප්‍රමාණවත් නැහැ කියලයි ගම්මු කියන්නේ.  ඒ නිසා අධික මුදලක් ලබා දීලා ඔවුන්ට පොහොර ගන්න සිද්ධවෙලා තියෙනවා. ඒ වගේම නියඟයෙන් හානියට පත් වුණු වගාවන්ට තවමත් නිසි හානි පූර්ණයක් සිදුවෙලා නැහැ කියලයි ගම්මු පවසන්නේ. 

ජල හිඟයට තවත් හේතුවක් විදිහට මේ ප්‍රදේශයේ තිබෙන  වැව්වල  ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මේ ජනතාව පෙන්වා දෙනවා. විශාල වශයෙන් රොන් මඩ තැන්පත් වීම හේතුවෙන් වර්ෂා කාලයේදී සුළු වර්ෂාවකටත් මේ වැව් පිටාර ගලනවා. වසර ගණනාවක් ගිහිල්ලත් වගකිව යුතු අය මේ ගැන සොයා බලලා ඊට නිසි ක්‍රියාමාර්ග ගන්න උනන්දු වෙන්නේ නැති බවයි ජනතාව ‍චෝදනා කරන්නේ.   
ඒ තත්ත්වයන් එක්ක මේ ප්‍රදේශවල දරිද්‍රතාව විශාල වශයෙන් ඉහළ ගිහින් තිබෙනවා. ණය වෙලා කුඹුරු කරපු මිනිස්සු වගාවන් විනාශ වීම නිසා ඒ ණය ගෙවා ගැනීමට නොහැකිව තවත් ගැටලු රැසකට මැදි වෙලා ඉන්නවා. දරිද්‍රතාවය කොයිතරම්ද කියනවා නම් දවසට එක වේලක් විතරක් කාලා ජීවත්වෙන සමහර පවුල් හිටියා.

බොහෝදෙනා මේ වනවිට සිඳීගිය වැව් ඉවුරුවල වට්ටක්කා සහ වෙනත් අල වර්ග හැකි ආකාරයට වගා කරනවා එදා වේල කන්න. දරිද්‍රතාවයත් එක්ක සිදුවන අපරාධවල වැඩිවීමක් දකින්න ලැබෙනවා. අඩු වයස් විවාහයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දැව ජාවාරම් සුලභව මෙහි දකින්නට ලැබෙනවා. 

අනෙක් සමාජ ගැටලු ගැන කතා කරද්දී ඉඩම් සම්බන්ධ ගැටලුවත් කැපී පෙනෙනවා. ජනපද ආරම්භයත් එක්ක එක් පවුලකට කුඹුරු අක්කර දෙකක ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. නමුත් කාලය ගතවීමත් එක්ක ඒ ඉඩම් පවුලේ අනෙකුත් සාමාජිකයන් අතර බෙදා දීම යම් ගැටලු සහගත තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා.

ප්‍රදේශවාසීන් අතරින් පොලීසියට වාර්තාවන ආරවුල් අතරින් 58%ක ප්‍රමාණයක්ම ඉඩම් සම්බන්ධ ආරවුල්. අනෙක් ගැටලුව වෙන්නේ මේ ප්‍රදේශවල පාසල්වල පවතින ගුරු හිඟය. පාසල් බහුතරයක සෞන්දර්ය විෂයන් සඳහා ගුරුවරු නැහැ.

දරුවන් කැමති විෂයන්වලට ගුරුවරු නැති නිසා ඔවුන් පාසල් පැමිණීම අඩු වෙලා තිබෙනවා. දරිද්‍රතාව හේතුවෙන් බොහෝ තරුණ අය අධ්‍යාපනය අතරමග නතර කරලා රැකියාවලට යොමුවෙනවා. උසස් පෙළ විද්‍යා, ගණිත සහ ඉංග්‍රීසි විෂයන්වලට ගුරුවරු හිඟයක් මෙහි පවතිනවා. 

මේ ප්‍රදේශවල තිබෙන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව 65%ක් දෙනා සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ වගේම එම රෝහල්වල හෙද නිලධාරිනියන්ගේ සහ නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතිනවා. ගම්වාසීන් පවසන ආකාරයට ගිරිබාව ග්‍රාමීය රෝහලේ ඉන්නේ එක වෛද්‍යවරයයි.

පත්වීම් අරගෙන එන වෛද්‍යවරු වැඩි කාලයක් මෙහි රැඳි සිටීමට කැමැත්තක් නැහැ. ඒ වගේම අසාධ්‍ය රෝගියෙක් හිටියොත් ඒ රෝගියාව ප්‍රධාන රෝහලකට පිටත් කරන්න නිසි ප්‍රවාහන පහසුකම් මෙහි නැති  නිසා බොහෝ රෝගීන් අතරමගදී මිය යන අවස්ථාත් තිබෙනවා  කියලා ඔවුන් පවසනවා.

මොවුන් පුන පුනා රජයෙන් ඉල්ලන්නේ කෘෂි කර්මාන්තයට නිසි වටිනාකම දෙන ලෙසයි. ඒ වගේම පොහොර සහනාධාරය සම්බන්ධයෙන් දැනට තිබෙන ක්‍රමවේදයේ පවතින අක්‍රමිකතා ඉවත් කරලා පොහොර නිසි වෙලාවට ඔවුන්ට ලබාදෙන ලෙසයි.

පානීය ජල හිඟයත් වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. මේ කාර්යයන් රජයෙන් නිසි විදිහට ඉටු වුණොත් අනෙක් සමාජ ගැටලු විසඳන්න අපහසු  වන එකක් නැහැ.''

වැව් ටික සුද්ද කරලා දෙන්න කියලා බලධාරීන්ට කොච්චර ඉල්ලුවත් කිසිම උනන්දුවක් නැහැ.

මීගලෑව ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරත වෙන ඩබ්ලිව්.එම්. සෙනරත් මහතා මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පළකර සිටියේය.

''කෘෂිකර්මාන්තයට අද නම් ලොකු අපල කාලයක්  ලබලා තියෙන්නේ. වැව් ටික ගොඩවෙලා විනාශ වෙලා ගිහින් . ණය වෙලා කුඹුරු කරන අපේ ගොවියෝ වහ බොන තත්ත්වයකුයි දැන් තියෙන්නේ. ඡන්ද ගන්න හිතෙන  හිතෙන විදියට ඇළ මාර්ග කැපුවා. දැන් ඉතින් ගොවිතැන් කරන්න වතුර හිඟයි.

පොහොර ටික වෙලාවට ලැබෙන්නේ නැහැ වගේම දෙන මුදල ප්‍රමාණවත් නැහැ. අනිත් එක මේ ආර්ථික මධ්‍යස්ථානවල ඉන්න අතරමැදියන්ගේ ඒකාධිකාරය ඉවත්  කරලා ඒක ගොවියා සතු කරන්න ඕන.

දේශපාලඥයෝ එයාලගේ හෙංචයියො ටික තමයි එතනට පත් කරලා තියෙන්නේ. වැව් ටික සුද්ද කරලා ඒවගේ ධාරිතාව වැඩි කරලා දෙන්න කියලා බලධාරීන්ගෙන් කොච්චර ඉල්ලුවත් කිසිම උනන්දුවක් ඒ ගැන නැහැ. මිනිස්සුන්ට වී විතරක් වගා කරන්න කියන්නේ නැතුව අනෙක්  බෝග වවන්නත් අවශ්‍ය පහසුකම් ඕන.''

ජනතා නියෝජිතයන් පිට රටින් හෝ හාල් ගෙන්වා මිනිස්සුන්ට කන්න දෙනවා යැයි මහත් ආඩම්බරයෙන් පවසන්නේ රටේ කෘෂි කර්මාන්තය අද වැටී ඇති  තත්ත්වය පිළිබඳව දැනුවත්ව දැයි අප නොදනිමු.

කෙසේ වුවත් මේ අහිංසක ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ රජයකට දිය නොහැක්කක් නොවන බව පැහැදිලිය. එහෙයින් එය ඉටුකිරීම බලධාරීන් සතු වගකීමකි.

මහවැලි අමාත්‍යාංශය තමාගෙන් ඉවත් කිරීම පිළිබඳව කනගාටු වූ ගොවි පවුලකින් උපන් ජනාධිපතිතුමා හෝ මේ ගැන අවධානය යොමුකර නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ජනතාව පවසති.

මුළු රටටම 'බත' සැපයූ රාජාංගණයට අද ජලය නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :