රාජසිංහ රජු විසින් කරවූ යටියන්තොට කබුළුමුල්ලේ රාජමහා පත්තිනි දේවාලය
( . . ) 2017-07-14 12:07:12
Comments - 0       Views - 400

තුන් කෝරලයේ යටියන්තොට, කබුළුමුල්ලේ පිහිටි සිද්ධ ගනේගොඩ දොළොස් පත්තිනි දේවාලය වසර හාරසිය තිස්පහක් ඉක්ම වන කාලපරාසයක් මුළුල්ලේ කබුළුමුල්ල ගම්මානයට, තුන් කෝරලයට හා පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවට සෙත ශාන්තිය හා ආශීර්වාදය ලබාදෙන පුදබිමකි. පෙරහර මංගල්‍යය මගින් මෙම දෙවොල බැතිමතුන් උදෙසා සිය මෙහෙවර ඉටුකරයි. 

කබුළුමුල්ල පත්තිනි දේවාලයේ ආරම්භය සීතාවක රාජසිංහ රජ දවස සිදුව ඇති බවට මුඛ පරම්පරාගතව පැවත ආ සුන්දර ජන කතාවලින් කියැවේ. මෙම ජන කතාවන් අද වනවිට විවිධ ජනශ්‍රැති කෘතිවලටද, සීතාවක යුගය පිළිබඳ ලියැවුණු ඉතිහාස කෘතිවලටද එක්ව තිබේ.

සීතාවක රාජසිංහ රජ සමයේ මෙම දේවාලය ඉදිකළ ස්ථානය මඟුල් කප සිටවූ මුල්ල 'කප-ලු-මුල්ල' වී පසුව 'කබුළුමුල්ල' වී යැයිද දේවාලය පිහිටි ගමට නම ලැබුණු ආකාරය කියැවෙන පරම්පරාගත කතාවලද සඳහන්ය. ඉතිහාසයේ කියැවෙන ආකාරයට සීතාවක යුගය ක්‍රි.ව. 1521 දී ඇරඹී ක්‍රි.ව.1592න් කෙළවර වෙයි.

පළමු වැනි රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය සේ සැලකෙන්නේ ක්‍රි.ව. 1581  සිට 1592 දක්වාය. කබුළුමුල්ල දේවාලයේ භාරකාරයන් සිය දේවාලය දැනට වර්ෂ 435ක් පමණ පැරණි යැයි පවසයි .ඒ අනුව දේවාලය ක්‍රි.ව. 1582 දී පමණ ඉදිවන්නට ඇතැයි සිතිය හැකිය.

මුඛ පරම්පරාගත ජන කතාවලට අනුව එදා ‍සීතාවක රාජසිංහ රජුගේ සේනාවේ සෙනෙවියෙකු 'කළුතොට' බළකොටුව භාරව සිටියේය. කළුතොට බළකොටුව පිහිටියේ බලංගොඩට නුදුරෙනි. කළුතොට කොටුවේ භාරකාර සෙනවියා රණසිංහ මුදියන්සේ විය. වනිගකුල අබේසිංහ නමින් ද රණසිංහ මුදියන්සේට අපර නාමයක් තිබුණ බව එක් තැනෙක සඳහන්ය.

සීතාවක රාජසිංහ හෙවත් පළමුවැනි රාජසිංහ රජුගේ විශ්වාසය දිනාගෙන සිටි කළුතොට බළකොටුව භාර රණසිංහ මුදියන්සේට ප්‍රශංසා හා සම්මාන නිතර අත්විය. රණසිංහ මුදියන්සේ ලබන සම්මාන හා ගෞරව කෙරෙහි නොමනාපයෙන් පසුවන පිරිසක්ද සීතාවක මහ වාසලේ සිටියහ. නිරතුරුවම පැසසුම් ලබන රණසිංහ මුදියන්සේ රජු කෙරෙහි බිඳවන්නට මෙම කේලාම්කාරයෝ අදිටන් කර ගත්හ.

සියුම් ලෙස වැරදි තොරතුරු ලැබෙන්නට කටයුතු සම්පාදනය හේතුවෙන් මාස කිහිපයකින් මුදියන්සේ කෙරෙහි රජුට දැඩි සැකයන් ඇතිකර විය හැකිවිය. පසුව රාජසිංහ රජු රණසිංහ මුදියන්සේ අත්අඩංගුවට ගැනීමට නියම කළේය. රාජසිංහ රජුගේ තරම හොඳහැටි දත් රණසිංහ මුදියන්සේ තුළ නිදහස පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබිණි. නුදුරු දිනක නියතවම සිය මරණය එළ‍ඹෙතැයි සිතමින් හේ ශෝකයෙන් සිර මැදිරියට වී කල්ගත කළේය.  

දේවාලකන්දට නුදුරු මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලයක් විය. මංගෙදරමුල්ලේ දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කළේ සිරභාරයට පත් රණසිංහ මුදියන්සේගේ සහෝදරයෙකි. සිය සොහොයුරාට පත් විපත පිළිබඳවමංගෙදරමුල්ලේ කපු මහතා පසුවූයේ බලවත් දුකකිනි. එහෙත් කාටනම් මේ අවනඩුව කියන්නදැයි සිතමින් පසුවීය, රජු ඉදිරියට ගියොත් කපු මහතා සිරභාරයට පත්කෙරෙනු ඇත.

පිහිටක් අයදින්නට කෙනෙක් නැති කළ මේ අවනඩුව දෙවියන්ට කියන්නට කපු මහතා සිතා ගත්තේය. ඉතින් ඔහු දිනපතාම යාතිකා කරමින් දෙවියන් කෙරෙහි මහත් භක්තියෙන් දෙවියන් ඉදිරියේ රතු රෙද්දක් ඇද රජුට පළිගසා කන්නලව් කරමින් සොහොයුරා එනතුරු නොනැගිටින අදහසින් නිදා සිටියේය.

දිනක් ඉතා බලවත් සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ රාජකීය සිරියහන් ගබඩාවේ සැතපි  නිදි සුව විඳිමින් සිටියේය.රජුට සිහිනයෙන් දෙවියන් පෙනිණි. රතු රෙදි හැඳ කඩු පලිස් ගත් දෙවියෝ සිහිනයෙන් රජු බිය කළහ. සිරභාරයට ගෙන තිබෙන නිර්දෝෂි සෙනෙවියා වහා නිදහස් කරන ලෙස නියෝග කෙරිණි.

සිහිනය අවසන සැතපෙන ඇඳ කඩාගෙන රාජසිංහ රජු බිම ඇද වැටිණි. රැයේ දුටු සිහිනය පිළිබඳව රාජසිංහ රජුගේ සිත සසලව තිබිණි. පසුදින අලුයම ඇමතිවරු කැඳවා සිරගත කර සිටින රණසිංහ මුදියන්සේගේ තතු විමසන්නට විය. ඇමතිවරුන් සිරගෙට ගොස් බලද්දී සෙනෙවියා නිරුපද්‍රිතව සිටි අතර, දෑතට දෙපයට ලූ විලංගු උදු මුං සේ කැබලි වී තිබිණ. 

ඇමතිවරුන්ගෙන් කරුණු විමසූ රජු රණසිංහ මුදියන්සේ තමන් ළඟට කැඳවා සෙනෙවියා ළඟ කිසියම් හාස්කමක් ඇද්දැයි විමසුවේය. කිසිදු හාස්කමක් නැතැයිද, එල්ල වී ඇති චෝදනාවලට තමන් නිර්දෝෂී බවත් රණසිංහ මුදියන්සේ පැවසීය. මංගෙදරමුල්ලේ දේවාලයේ කපුකම් කරන සොහොයුරා ගැන පැවසූ සෙනෙවියා, ඔහු දෙවියන්ට යාතිකා කළේ දැයි තමන් නොදන්නා බවද පැවැසීය.

පසුව දේවාලයේ කපුකම් කරන සොහොයුරාද රජු අභියසට කැඳවූයේය. රණසිංහ මුදියන්සේ නිර්දෝෂී පුද්ගලයෙකු නිසා පත් විපත පිළිබඳව තමන් දෙවියන්ට කන්නලව් කළ බව ඔහු පිළිගත්තේය. රණසිංහ මුදියන්සේ නිර්දෝෂී බැව් වටහාගත් රාජසිංහ රජු දේව නියමය පරිදිම ඔහුට අභයදානය දීමට කටයුතු කළේය.

අභය ලත් බැවින් එතැන් පටන් ඔහු 'අභය රණසිංහ මුදියන්සේ' නමින් හැඳින්විණ. සොහොයුරන්  දෙදෙනා ගැන පැහැදීමට පත් සීතාවක රාජසිංහ රජු කබුළුමුල්ල දේවාලය තනා අභය රණසිංහ මුදියන්සේට භාර දුන්නේය. බියකරුව සිහිනයෙන් කැඩී ගිය ඇදේ වියල හා බාපත සීතාවක රජු විසින් කබුළුමුල්ල දේවාලය පූජා කරන ලදැයිද සඳහන් වේ. මැදගොඩ දේවාලය තනා මංගෙදරමුල්ලේ සිටි රණසිංහ මුදියන්සේට භාර දුන්නේය. එතැන් පටන් කබුළුමුල්ල දේවාලයේ කපු මහත්වරු 'අභය රණසිංහ මුදියන්සේලා' වූහ. වර්තමානයේ දේවාලයේ භාරකාරත්වය දරන 52 වැනි කපුමහතා වන්නේ අභය රණසිංහ මුදියන්සේලාගේ කුඩා බණ්ඩාර රණසිංහ භාරකාරතුමන්ය.

වසර හාරසිය තිස්හතරක ඉතිහාසය තුළ කපුමහතුන්ගේ සංඛ්‍යාව විශාල වීම පිළිබඳව වරක් සිය අදහස් දැක්වූ හිටපු කපු මහතා වන අභාවප්‍රාප්ත අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර රණසිංහ මහතා පැවසුවේ, ඇතැම් කාලවකවානුවල සහෝදරයන් කිහිපදෙනෙකුම කපු මහතුන් ලෙස කටයුතු කිරීම හේතුවෙන් කපු මහතුන්ගේ සංඛ්‍යාව විශාල වන්නට ඇති බවයි.

ටිකිරි බණ්ඩාර රණසිංහ මහතාගේ අදහස 1892 දී පමණ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව අනුව එච්.සී.පී. බෙල් මහතා ද සනාථ කර තිබේ. කෑගලු දිසාවේ ගවේෂණ කළ බෙල් මහතා කබුළුමුල්ල දේවාලය පිළිබඳ තබන සටහනේදී කපු ධුරය සහෝදරයන් සිවුදෙනෙකු විසින් තට්ටුමාරු ක්‍රමයට පවත්වා ගෙන ගොස් ඇතැයි සඳහන් කරයි.

කබුළුමුල්ල දේවාලයේ පත්තිනි දෙවියන් සේම ගනේගොඩ දෙවියන් ඇදහීමත්, පුදපූජා පැවැත්වීමත් සිදුවේ. ගනේගොඩ නමින් දේවත්වයට පත්වූවෝ සීතාවක රාජසිංහ රජ්ජුරුවෝය. කබුළුමුල්ල හා මැදගොඩ ඇතුළු දේවාල කිහිපයකම ගනේගොඩ දෙවියෝ පුද පූජාවන්ට පාත්‍රවෙති.

ගනේගොඩ දෙවියන්ගේ උත්පත්ති කතා පුවත අපට කියා දෙනු ලබන්නේ 'ගනේගොඩ පුවත හා ගනේගොඩ යාදින්න' මගිනි. මැදගොඩ දේවාලයේද ගනේගොඩ දෙවියන් උදෙසා පුදපූජා පැවැත්වේ. පත්තිනි මෑණියන් අමතන්නේ ඉන් අනතුරුවය. මෙම දේවාලය රාජසිංහ රජු විසින් ඉදිකිරීම එයට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.

කබුළුමුල්ල ගම්මානය සීතාවක රාජසිංහ රජු විසින් පිරිනමන ලද නින්දගමකි. එම නින්දගම රාජසිංහ රජු විසින් තඹ සන්නසකින් පවරා තිබේ. අක්කර 484ක් සඳහා ලේඛනාරූඩ කර ඇති බවද පුරාවිද්‍යාඥ බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ දක්වා ඇත. සීතාවක රාජසිංහ රජු දේවාලය ප්‍රදානය කිරීමේදී එහි කටයුතු පංගු 08කට බෙදා පවරා ඇත.

ඒ කපුරාලගේ පංගුව, ගම්වාසම් පංගුව, විතාරන් පංගුව, හාල්මාළු පංගුව, දැල්ලගේ මාහල්ලගේ පංගුව, දංගම්පලගේ පංගුව, රංගල්ලගේ පංගුව, පුරප්පාඩු පංගුව වශයෙනි. ප්‍රධාන කපු ධුරය දරන්නන් හා රාජකාරි කරන්නන් විසින් දේවාලය මැනවින් පවත්වා ගෙන යන බව බෙල් මහතාගේ වාර්තාවේද එදා සඳහන් කර තිබිණි. 

කබුළුමුල්ල දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් රාශියකි. අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය, කාර්ති මංගල්‍යය, ගම්මඩු මංගල්‍යය, කෙම්මුර මංගල්‍යය හා පෙරහර මංගල්‍යයයි‍. මේ අතරින් වඩාත් උත්කර්ෂවත් මංගල්‍යය වන්නේ පෙරහර මංගල්‍යය වන අතර, එය වාර්ෂිකව ඇසළ මස ආරම්භ වේ.

මෙවරද දින නමයක් පුරා වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය  පැවැත්වේ. 2017 වර්ෂයේ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ජූලි මස 08 වැනිදා සුභ නැකතින් සිදුකෙරිණි. කුඹල් පෙරහර දින තුනක් පැවැත්වෙන අතර, එය 15,16 හා 17 දිනවල පැවැත්වේ. රන්දෝලි පෙරහර අගෝස්තු 18, 19 දිනවලද, පහත මළුවේ පෙරහර  20, 21 දිනවලද පැවැත්වේ. වීථි පෙරහර කරවනැල්ල නගරයේ සංචාරය කෙරෙනුයේ ජූලි 22 වැනිදා බව භාරකාර කපු මහතා පවසා සිටියේය.

පසුදා (23දා) දියකැපීම හා කබුළුමුල්ල දේවාලයටම ආවේණික සෙත් ශාන්ති මංගල්‍යය පැවැත්වේ. රාජ්‍ය නායකයාගේ සිට ග්‍රාම නිලධාරීන් දක්වාත්, දහඅට තේවාව භාර තේවාකරුවන් සඳහාත්, අක්යාල අයපඬුරු ලබාදෙන්නන් සඳහාත් සෙත්පැතීම සිදුකෙරේ. මෙම සෙත් ශාන්තිය පවත්වා කපුවා දේවාලයට ගෙවදින විට ශාන්තිය ලබන්නන්ව පාදයෙන් ස්පර්ශ කරමින් ආසිරි පතයි.

පෙරහර මංගල්‍යය හැරුණු කොට තවත් වැදගත් තේවාවක් වන්නේ කෙම්මුර මංගල්‍යයයි. මේ සඳහා කෙම්මුර දින වන බදාදා හා සෙනසුරාදා දිනවල දෙවියන් වෙනුවෙන්  බාරහාර වීමටත් බාරහාර ඔප්පු කිරීමටත් විශාල පිරිසක් පැමිණෙන බව ප්‍රධාන කපු මහතා වන රණසිංහ මහතා පැවසීය.

මෙම දිනවල ප්‍රධාන කපු මහතා සහ මුරුතැන්රාල විසින් දේවාලයේ තේවාව සිදුකරනු ලබයි. තවද කබුළුමුල්ල දේවාලයට කෙම්මුර දිනවලදී කිරි අම්මාවරුන්ගේ දානය දෙවියන් වෙනුවෙන් ඔප්පු කිරීමට බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන බව අපට දැකගත හැකිය. 

 

යටියන්තොට - සමන් එස්. රත්නායක

1'

රාජසිංහ රජු විසින් කරවූ යටියන්තොට කබුළුමුල්ලේ රාජමහා පත්තිනි දේවාලය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :