දේශීය ධන උල්පත් වූ මේ කර්මාන්ත අද එපාද?
( නඳුන් ශ්‍යාමාල් ) 2017-07-13 11:13:35
Comments - 0       Views - 1854

මේ වනවිට ශ්‍රී ලංකාවේ බොහෝමයක් සාම්ප්‍රදායික කර්මාන්ත අභාවයට යමින් තිබෙන තත්ත්වයක් දක්නට ලැබේ. මේ වනවිටත් ඇතැම් කර්මාන්ත සම්පූර්ණයෙන්ම අහෝසි වී ගොස් හමාරය. එසේ වුවද තවමත් වගකිවයුතු අංශ විසින් මේ සාම්ප්‍රදායික කර්මාන්ත හා කර්මාන්තකරුවන් නගා සිටුවීමට නිසි ක්‍රමවේදයක් සකස්කර නොතිබීම කනගාටුදායක කරුණකි.

වසර දහස් ගණනක ශිල්පීය ඥානය ගැන උදම් අනනවා විනා මෙම කර්මාන්ත මගින් රටට ආදායමක් උපයාගැනීමට හෝ කර්මාන්තකරුවන්ට මෙරට තුළ හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කරදීමට හෝ වගකිවයුත්තන්ට තවමත් කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති සෙයකි.

බොහෝමයක් කර්මාන්තකරුවන්ද සිය නිෂ්පාදන විදෙස් සංචාරකයන්ට අලෙවි කරන මිලටම මෙරට පාරිභෝගිකයන්ටද අලෙවි කිරීමට කටයුතු කරන නිසාත්, එම නිෂ්පාදන සඳහා නිසි දේශීය වෙළෙඳ පොළක් නොමැති වීම නිසාත් ඔවුන්ට අලෙවියේදී බොහෝ ගැටලු මතු වී තිබේ. ‍මේ හේතුවෙන් කර්මාන්තකරුවන් මෙම සාම්ප්‍රදායික කර්මාන්ත අත්හැර දැමීමට කටයුතු කිරීම නිසා මේ වටිනා උරුමයන් අපට අහිමි වෙමින් පවතී.

මැටි, පිත්තල, වේවැල් සහ වෙස් මුහුණු යන කර්මාන්ත මෙම අභාවයට පත් වීමේ අර්බුදයට බහුලවම මුහුණපා තිබෙන කර්මාන්ත ලෙස හඳුනාගත හැක. මෙම කර්මාන්තවල අද දවස සොයා අප කළ ගවේෂණයක් මෙසේ ඔබ වෙත ගෙන එමු. 

මේ සෑම කර්මාන්තයක්ම නිසි රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අප රටට උපයාගැනීමට හැකියාව ඇති කර්මාන්තයන්ය. මේ කර්මාන්තකරුවන් ඉල්ලා සිටින්නේ ආධාර නොවේ. සිය කර්මාන්ත ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදෙන ලෙස පමණි. එය රජය සතු වගකීමක් වන්නේය. නමුත් කිසිදු රජයකින් එම වගකීම ඉටු වී නැත. 

මැටි කර්මාන්තය

කර්මාන්ත ඇමතිලා කොච්චර හිටියත් අපිට වෙ‍ෙළඳ පොළක් හදල දෙන්නෙ නැහැ

පුත්තලම-කොළඹ ප්‍රධාන පාරේ යන විට හමුවන 'පුලිච්චාකුලම' ගම්මානයේ පවුල් 30කම ජීවනෝපාය වන්නේ මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයයි. ප්‍රධාන වශයෙන් මෙහි නිෂ්පාදනය කෙරෙන්නේ වළං සහ දර ලිප් ය. වසර 02 ක පමණ සිට වැලි ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් වළං නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන ගංගා ඉවුරු ආශ්‍රිතව පවතින 'කහ මැටි' ලෙස හඳුන්වන පස් වර්ගය කැණීමට රජයෙන් පනවා ඇති තහනම, මේ කර්මාන්තකරුවන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල කොට තිබේ.

ගම්වාසීන් පවසන ආකාරයට 'කහ මැටි' නම් වූ මෙම පස් වර්ගය යොදාගනිමින් සාදන වළං වසර 05කටත් වඩා වැඩි කාලයක් භාවිත කළ හැකිය. නමුත් මෙම පනවා තිබෙන තහනම නිසා වෙනත් ආදේශක පස් වර්ගයක් මොවුන්ට භාවිත කිරීමට සිදුව ඇති අතර, එම පස් වර්ගය යොදාගෙන සාදනු ලබන වළං කල් තබාගත හැක්කේ මසක පමණ කාලයක් පමණක් වීම නිසා සිය නිෂ්පාදනවල ප්‍රමිතිය බොහෝ සෙයින් අඩු වීම හේතුවෙන් අලෙවිය බෙහෙවින් පහත වැටී ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මෙම කහමැටි පස් වර්ගය සෑම තැනකම නොමැති අතර දංකොටුව, පන්නල අවට ගංගා ඉවුරු ආශ්‍රිතව මෙම පස් වර්ගය සොයාගත හැකිය. මෙම පස් වර්ගයේ ලවණ ස්වභාවයක් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ හේතුවෙන් මෙම පස් වර්ගය මැටි සමග මිශ්‍රකර සාදන වළං ශක්තියෙන් වැඩි බවත්, දර ලිප් මෙන්ම ගෑස් ලිප් සඳහා ද ඒවා ඔරොත්තු දෙන බවත් ගම්වාසීහු පවසති.  

වළඳක් සෑදීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඊට නිසි ශිල්පීය ඥානයක්, ඉවසීමක්  අවශ්‍ය වන අතර භාවනාවකට සමාන කාර්යයකි. පළමුව පස් සමග මිශ්‍ර කර පාගා අනාගෙන හොඳින් පදම් කරගනී. දෙවනුව සකපෝරුවේ තබා වළඳ ඇඹීම සිදුකරයි. සැබැවින්ම එය ඉතා සිත් ඇදගන්නාසුළු කාර්යයකි. මනා ඉවසීමකින් යුතුව ඉතා සියුම්ව වළඳේ හැඩය මතු කරගනිමින් මෙය සිදුකළ යුතුය.

මෙසේ නිර්මාණය කරගත් වළඳේ පතුල සකස් කරන්නේ පසුවය. එතෙක් අඹාගත් වළඳ මඳ පවනේ වියළීමට තැබිය යුතුය. ඉන් අනතුරුව අතකොළුවකට සමාන උපකරණයක් භාවිත කොට වළඳේ පතුළ සහ හැඩය සකසා ගනු ලබයි. ඉන්පසු රතුපැහැ පස් වර්ගයක් සහ ජලය මුසු කර සාදාගත් මිශ්‍රණයක් හොඳින් වළඳ ඇතුළත සහ පිටත ආලේප කර වියළීමට තබා දර පෝරණුවේ දමා පිළිස්සීම සිදු කරයි.

වළං පිළිස්සීමට පෝරණුව සකස් කරන්නේද විශේෂිත ක්‍රමයකටය. පළමුව පෝරණුවේ පහළම කොටස දර කැබලි ළං ළංව තබා අතුරයි. ඉන් අනතුරුව ඊට උඩින් වළං පේළියක් තබයි. මීළඟට එම වළං අතරට දර අතුරයි. මේ ආකාරයට වළං පේළි කිහිපයක්ම පෝරණුව තුළ අතුරනු ලැබේ. පසුව ඊට උඩින් මැටි සහ පිදුරු දමා ආවරණය කර අවශ්‍ය ප්‍රමාණයට වළං පුළුස්සාගනු ලබයි. වළඳක් නිර්මාණය වන්නේ මේ ආකාරයෙනි.

සිය ජීවනෝපාය සම්බන්ධයෙන් පවතින අර්බුදයට අමතරව පුලිච්චාකුලම ගම්මානයේ වැසියන්ට තවත් විශාල ගැටලුවකට මුහුණපෑමට සිදුව තිබේ. එනම් එම ප්‍රදේශයට වසර පහකටත් වඩා වැඩි කාලයක සිට බලපා තිබෙන උග්‍ර පානීය ජල හිඟයයි. මේ හේතුව නිසා මෙම ගම්මානයේ වැසියන්ට සිය පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමට ජලය සොයා බොහෝ දුර යෑමටත්, ජලය මිලදී ගැනීමටත් සිදුව තිබේ. 

වී. ආනන්දන් මහතා (පුලිච්චාකුලම මැටි බඳුන් තොග වෙළෙඳ සමිතියේ ලේකම්)

''අපේ ප්‍රදේශයේ පවුල් 30කට වැඩි ප්‍රමාණයකගේ ජීවනෝපාය වෙන්නේ මේ මැටි බඳුන් කර්මාන්තය. අවුරුදු දෙකක ඉඳලා ඉඳලා මේ කර්මාන්තයට අත්‍යවශ්‍ය වෙන 'කහ මැටි' කපන්න රජයෙන් තහනමක් පනවලා තියෙනවා. ඒ තහනමත් එක්ක අපි ලොකු ගැටලුවකට මැදිවෙලයි ඉන්නේ. කහ මැටි වෙනුවට පාවිච්චි කරන පස් වර්ගය හොඳ නැති නිසා වළංවල කල්පැවැත්ම ගොඩක් අඩුයි. වළං හදන්න කහ මැටි අවුරුද්දකටම අපට අවශ්‍ය වෙන්නේ කියුබ් 01 – 03 ත් අතර ප්‍රමාණයක් විතරයි.

කර්මාන්ත ඇමතිලා කොච්චර හිටියත් අපට හොඳ වෙළෙඳ පොළක් හදලා දෙන්නවත්, අපි ගැන හොයලා බලන්නවත් කවුරුත් නැහැ. රජය පැත්තෙන් අපට හරිහමන් අනුග්‍රහයක් ලැබෙනවා නම් අමුතුවෙන් පිටරටින් වළං ගෙන්නන්න ඕන නැහැ. පිටරටවලට වුණත් යවන්න පුළුවන් ප්‍රමිතියකට අපට වළං හදන්න හැකියාව තියෙනවා. ඒකෙන් රටටත් හොඳ ආදායමක් ලැබෙනවා.

අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ කර්මාන්තකරුවන් හඳුනාගෙන විශේෂ බලපත්‍රයක් දෙන්න කියලා කහමැටි කපන්න. අපි ගැනත් අවධානය යොමු කරන්න. ඒ වගේම පානීය ජල ප්‍රශ්නය නිසාත් අපි ගොඩක් අසරණ වෙලයි ඉන්නේ. ගමේ සමහර අයට දැනටමත් වකුගඩු රෝගය. ඒකටත් අපට පිළියමක් දෙන්න.''

IMG_7322 IMG_7342

පිත්තල කර්මාන්තය

තාක්ෂණය දියුණු කළ හැකි නම් මේ කර්මාන්තයෙන් හොඳට උපයන්න පුළුවන්

පිළිමතලාව යනු පෙර දවස සිට පිත්තල භාණ්ඩවලට ප්‍රසිද්ධියක් අත් කරගත් ප්‍රදේශයකි. මෙරට පමණක් නොව විදෙස් රටවලද පිළිමතලාවේ පිත්තල භාණ්ඩවලට එදා හොඳ ඉල්ලුමක් තිබිණි. මේ ප්‍රදේශයේ ජනතාව පාරම්පරික පිත්තල භාණ්ඩ නිර්මාණකරුවෝය.

නමුත් අද වනවිට දේශීය පිත්තල කර්මාන්තයේ අවසාන පුරුක් අතර පමණක් මේ කලාව පැවතීම එම කලාවේ අභාවයට මුල පිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් මෙවැනි දේශීය කර්මාන්තකරුවන් නඟා සිටුවන අනාගතයටත්, මෙවැනි නිර්මාණකරුවන් ආරක්ෂා කරගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් රාජ්‍ය මට්ටමෙන් සංවිධානය නොකිරීම කනගාටුවට කරුණකි. මේ කර්මාන්තයේ නියැළී සිටින පිරිස් මෙලෙස  තමන් මුහුණපාන ගැටලු පිළිබඳ අදහස් දක්වා සිටියහ.

“අද වනවිට මේ කර්මාන්තයේ ගැටලුවක් තමා වැඩ කරන්න පිරිස අඩු වීම. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නෙ විදේශගත වෙන්න. දැන් ඉන්න අලුත් පරම්පරාව කැමති නැහැ මේ වගේ කර්මාන්තවල නියැළෙන්න. 

මේ කර්මාන්තය කරගෙන යාමේදී අපට මුහුණදෙන්න වෙන ලොකුම ගැටලුව පුහුණු ශ්‍රමිකයන්ගේ අඩුව සහ වෙළෙඳ පොළ අඩු වීම. මෙහි ආදායම ගැන කතා කළොත් මුල් කාලයේ ආදායම 50%ක් තිබුණා. දැන් සාමාන්‍යයෙන් 10%ට වගේ ඇවිත් තිබෙනවා. එයට හේතුව වෙළෙඳ පොළේ ඉල්ලුම අඩුකමම නෙවෙයි.

වෙළෙඳ පොළ නිෂ්පාදකයා වෙත එනවා වෙනුවට නිෂ්පාදකයා යන්න ඕන වෙළෙඳ පොළ වෙත. ඒ නිසා නිතරම මේ කර්මාන්තයේ අතරමැදියෙක් තමා ලාභ ලබන්නෙ. ඒ නිසා ගැටලුවක් වෙලා තිබෙනවා මේ කර්මාන්තයට. නිෂ්පාදකයා පැත්තෙන් තවමත් ලොකු සහනයක් ලැබීමක් සිදු වෙලා නැහැ. 

අපට අවශ්‍ය බැංකු ණය නෙවේ. රජයෙන් අපට අවශ්‍ය එකම දෙයයි. මේ කර්මාන්තයේ තාක්ෂණය දියුණු කිරීමක් අවශ්‍යයි. දැන් තිබෙන්නේ තාක්ෂණයේ දුර්වලකමක්. ඒ නිසා නිෂ්පාදකයාට අවශ්‍ය ලාභය හදාගන්න විදියක් නැති වෙලා තියෙනවා.

අපි පිත්තල කිලෝවක් ගන්නෙ රුපියල් 450 – 500 වැනි මිලකට. නමුත් ඉන්දියාව අපෙන් මිලදී ගන්නවා රුපියල් 650කට පමණ. මේ නිසා මිනිසුන්ට අපට දෙනවට වඩා ලාභයි කොළඹට මේ අමුද්‍රව්‍ය ගිහින් දෙන එක. 

පිත්තල කිලෝවකින් නිමි භාණ්ඩයක් හැදුවොත් මෙහෙ උපරිම මිල රුපියල් 1500 ක් වගේ. නමුත් ඉන්දියාවේ  පිත්තල කිලෝවකින් නිමි භාණ්ඩයක් හැදුවොත් උපරිම මිල රුපියල් 3000 - 4000 අතර අගයක් ගන්නවා. ඒකට බලපාන ප්‍රධාන හේතුව ඔවුන් තාක්ෂණය භාවිත කිරීම. මේ නිසා ලංකාවටත් මේ තාක්ෂණය අවශ්‍යයි.

අපි තාම කරන්නෙ සාම්ප්‍රදායික ක්‍රම උපයෝගි කරගෙන වැඩ කිරීම. අපේ රස්සාවට ආවයි කියන කිසිම මැෂින් එකක් ලංකාවෙ නැහැ. වඩු කර්මාන්තෙට යොදාගන්න ඒවා තමා ගොඩක් දුරට අපි අරගෙන තිබෙන්නෙ. පිත්තල රස්සාවට අවශ්‍ය දැනුම සහ තාක්ෂණය කිසිම රජයකින් ලබා දීලා නැහැ. 

මේ රස්සාව කරගෙන යන්න කිසිම කෙනෙකුට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මම 2001 මේ කර්මාන්තෙ පටන් ගනිද්දි මගෙ ළඟ තිබුණෙ රුපියල් 8000 ක් විතරයි. නමුත් අවුරුදු 10ක් විතර යද්දි අපේ ජීවිත අපි අනිත් පැත්ත හරවාගෙන තිබෙනවා. ලාභ නෑ කියන්නත් බැහැ. කරගෙන යන්න බෑ කියන්නෙත් නෑ.

ඇත්තටම මේ කර්මාන්තයේ යෙදෙන මිනිස්සු රජයට බරක් නැහැ යම් කිසි වැඩපිළිවෙළකට කරගෙන ගියොත්. සාමාන්‍යයෙන් මේ රස්සාවේ යෙදෙන ශ්‍රමිකයෙකුට මාසයකට රුපියල් 70,000 ක පමණ මුදලක් උපයන්න පුළුවන්.

මම හිතනවා සාමාන්‍ය රජයේ රැකියාවක් කරන කෙනෙකුට වඩා වැඩි මුදලක් මේ හරහා උපයාගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මේ කර්මාන්තය නගා සිටුවන්න හැකි නම් රැකියා ප්‍රශ්නයත් විසඳෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලන්නෙ මේ කර්මාන්තෙට අවශ්‍ය නවීන තාක්ෂණය. 

පිත්තල කියන්නෙ උපදින දෙයක් නෙමේ. මේ නිවැරදි තාක්ෂණයක් නොමැතිකම නිසා කිලෝ 10කින් කරගන්න ඕන වැඩේට අපි කිලෝ 100ක් ගේන්න අවශ්‍ය වෙනවා. මේ විදියට රටක අමුද්‍රව්‍ය නාස්ති වෙනවා කියන්නෙ ඒක රටේ අනාගතයට ලොකු ප්‍රශ්නයක්. 
ඉන්දියාව ගත්තම ඒ මිනිස්සුන්ගෙ දේවල් රැකගෙන ඉස්සරහට යන රටක්. නමුත් අපේ රටේ ඒ දේ නැහැ.

අපේ රටේ තියෙන්නෙ තමන්ගෙ දෙයක් විකුණන එක විතරයි. ලංකාවේ මොනම කර්මාන්තයක වුණත් දක්ෂයො හිටියත්, ආණ්ඩුව මැදිහත්වීමක් වෙන්නෙ නැහැ ඔවුන් නඟාසිටුවන්න. ඒ නිසා ඒ කර්මාන්ත අභාවයට යනවා.

ඉන්දියාවේ නවීන තාක්ෂණය භාවිත කරන නිසා ගුණත්වය අතින් අපට වඩා ඉහළයි. අපි හදන භාණ්ඩයම ඉන්දියාවෙන් ගෙන්වනවා අපේ ගාණට වඩා රුපියල් 3000 – 4000 ක් අඩුවෙන්. ඉන්දියාවෙන් මේ දේවල් ගෙන්වන නිසා දේශීය නිෂ්පාදකයාට පහරක් වැදී තිබෙනවා. අපේ රටේ පිත්තල භාණ්ඩ හදනවා නම් ඒ දේවල් ලංකාවට ගෙන්විය යුතු දෙයක් නෙමේ.

අපේ රටේ අවස්ථාවාදී දේශපාලනය නිසයි දේශීය කර්මාන්ත අද නැතිවෙලා ගිහින් තියෙන්නෙ.  අනිවාර්යයෙන්ම මේ නිසා මේ පරම්පරාවෙන් පස්සෙ මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න කවුරුත් නැහැ. මේ රස්සාවෙ අවසාන අවස්ථාව තමා මේ තියෙන්නෙ. මේ නිසා මේ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය සහ ශ්‍රමිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් මේ කර්මාන්තයට අවශ්‍යයි."

 IMG_9597IMG_9564

වෙස් මුහුණු කර්මාන්තය

වෙස් මුහුණු කලාව නඟාසිටුවන්න කිසිම රජයකින් අපට උදව් කරලා නැහැ

ලංකාවේ වෙස් මුහුණු කලාව ආරම්භ වී තිබෙන්නේ නිරිතදිග ප්‍රදේශයේය. බෙන්තර, අම්බලන්ගොඩ, මාතර, මිරිස්ස වැනි ප්‍රදේශවල මේ කලාව ප්‍රසිද්ධව ඇති අතර, අද වනවිට මේ කලාවද අභාවයට යමින් තිබේ.

පාරම්පරික කලාකරුවන් මේ ක්ෂේත්‍රයෙන් සමුගැනීමත් සමග මේ තත්ත්වය ප්‍රධාන වශයෙන්ම ඇති වී තිබෙන අතර, මේවා ආරක්ෂා කරගැනීමට කිසිදු වැඩපිළිවෙළක් සංවිධානය නොකිරීම හේතුවෙන්ම අනාගතයේ මෙවැනි කලාවන් ලංකාවේ තිබූ බවට දූ දරුවන්ට පෙන්වන්නට සිදුවන්නේ පිංතූරවලින් පමණි.

මේ කර්මාන්තයේ පවතින ගැටලු සොයා බැලීම සඳහා අප කළ චාරිකාවේදී අපට අදහස් දැක්වූ අම්බලන්ගොඩ වෙස් මුහුණු කලාවේ නියැළි සිටින අාරියපාල ගුරුන්නාන්ෙස්ෙග් පුත් J.W. භද්‍රානන්ද විජේසූරිය මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“වෙස් මුහුණු කලාව නඟා සිටුවන්න කිසිම රජයකින් අපට උදව් කරලා නැහැ. මේ නිසා දේශීය කලාවන් අභාවයට යාමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අද වනවිට අමුද්‍රව්‍ය සපයාගැනීමේ ගැටලුව ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. වෙස් මුහුණු කපන්නෙ කදුරු ලීයෙන්.

මේ ප්‍රදේශවල අද  වනවිට මේ ගස්වල අඩුවක් තිබෙනවා මේ නිර්මාණ සඳහා යොදාගෙනම. ඒ නිසා අපට ඈත ප්‍රදේශවලින් කදුරු ලී ගෙන්වීමට සිදු වෙලා තියෙනවා.

ඒ නිසා අපි මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිහිප විටක්ම පුරන් වූ කුඹුරුවල කදුරු ගස් වැවීමේ ව්‍යාපෘතියක් පටන්ගන්නා ලෙස යෝජනා කළ නමුත්, ඔවුන් ඒ පිළිබඳ අවධානය යොමු ක‍ළේ නැහැ. එවැනි ව්‍යාපෘතියක් දියත් කළොත් අපට අවශ්‍ය අමුද්‍රව්‍ය ලේසියෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

අද වනවිට ලොකු වෙළෙඳ සැල්වල වෙස් මුහුණු විකුණනවා. ඒ වගේම මේ සම්බන්ධව කිසිම දැනීමක් නැති මුදලාලිලා කඩවල්වල විකුණනවා. නමුත් අපි අම්බලන්ගොඩට පිටින් යන්නෙ නැහැ.

මේක අම්බලන්ගොඩ දෙයක් නිසා අනිවාර්යයෙන්ම මෙහෙට එන්න ඕන මේ දේවල් බලන්න. සංචාරකයන්ගේ ලොකු ආකර්ෂණයක් තිබෙනවා මේ කලාවට. නමුත් රජයෙන් මේ දේවල්වලට කිසිම උදව් කිරීමක් සිදු වෙන්නෙ නැහැ.

මේ කර්මාන්තයට අවශ්‍ය ප්‍රතිපාදන හරිහැටි ලබාගන්නවා නම් රැකියා ගණනාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නෙ මේ පාරම්පරික කර්මාන්ත රැකගන්න වැඩපිළිවෙළක් යොදන ලෙසයි.

IMG_3261 IMG_3282 IMG_3292 IMG_3337

වේවැල් කර්මාන්තය

වේවැල් කැපීම මිසක් වැවීමක් නැති නිසා කර්මාන්තය අභාවයට යමින් තිබෙන්නෙ

වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් යොදාගැනෙන්නේ මා වේවැල්, හීන් වේවැල් සහ උණ බට පතුරු ආදියයි. වේවැල් කර්මාන්තය පිළිබඳ කතා කරන විට සිහියට නැගෙන ප්‍රධානතම ප්‍රදේශයක් වන්නේ‍ ගම්පහ වේවැල්දෙණිය ගම්මානයයි.

නමුත් වේවැල්දෙණිය ගම්මානය කේන්ද්‍ර කොටගත් වේවැල් කර්මාන්තය මේ වනවිට පවතින්නේ විශාල අර්බුදයකය. ගම්වැසියන් මේ වනවිට වේවැල් කර්මාන්තය අත්හරිමින් තිබෙන තත්ත්වයක් විශාල වශයෙන් දකින්නට ලැබෙන අතර, මේ වනවිට කර්මාන්තයේ නියැළී සිටින්නේ පවුල් 25 ක ප්‍රමණයක් බව පැවසේ.

ගම්මුන් පවසන ආකාරයට මීට හේතු වී තිබෙන්නේ පවතින උග්‍ර වේවැල් හිඟය සහ වෙළෙඳ පොළ සම්බන්ධයෙන් පවතින ගැටලුය. වේවැල් හිඟය හේතුවෙන් මැලේසියාවෙන් වේවැල් ආනයනය කෙරුණද, එලෙස ආනයනය කළ වේවැල් කිලෝවක මිල රුපියල් 1800 ද ඉක්මවයි.

මෙවැනි පාඩු ලබන තත්ත්වයන් නිසා ගම්වැසියන් මෙම කර්මාන්තයෙන් ඉවත්වීමට කටයුතු කරන අතර, නව පරම්පරාවද මෙම කර්මාන්තයේ නියැළීමට මැළිකමක් දක්වති. එමෙන්ම නිෂ්පාදන වියදම් අධික වීම හේතුකොට ගෙන දේශීය වශයෙන් නිපදවෙන වේවැල් භාණ්ඩවල මිල අධික වීම නිසා චීනයේ නිෂ්පාදනය කළ වේවැල් භාණ්ඩ අලෙවි කිරීමට වෙළෙඳුන්ද යොමු වී තිබේ. ඒ චීනයෙන් ආනයනය කරනු ලබන වේවැල් භාණ්ඩවල මිල ඉතාමත් අඩු බැවිනි. 

වේවැල්දෙණිය ප්‍රදේශයේ ජනතාවට කර්මාන්තයට අවශ්‍ය පුහුණුව සහ අනෙකුත් පහසුකම් සැලසීමට ආරම්භ කර තිබූ වේවැල් මධ්‍යස්ථානයද මීට වසර 03 ක සිටම වසා දමා තිබීම නිසා සිය කර්මාන්තය සඳහා තවත් අසීරුතා මතුව ඇතැයි පවසන වේවැල්දෙණිය ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිය නිෂ්පාදන සඳහා විදේශිකයන්ගෙන් ඉල්ලුමක් පවතින හෙයින් නිසි අනුග්‍රහයක් සහ අවධානයක් රජයෙන් ලැබේ නම් වේවැල් භාණ්ඩ අපනයනය මගින් ඉහළ ආදායමක් මෙරටට උපයාගත හැකි බවයි.

එස්.පී. අමරසිරි මහතා

''ඉස්සර මුළු වේවැල්දෙණිය ගමම මේ කර්මාන්තයේ යෙදුණා. ඒත් අද කිහිප දෙනෙක් විතරයි කර්මාන්තයේ යෙදිලා ඉන්නේ. ගොඩක්ම මේකට හේතු වෙලා තියෙන්නේ වේවැල්වල හිඟකමයි. වගකිවයුත්තන්ගේ අවධානයක් නොලැබීමයි. ඉල්ලුමත් ගොඩක් දුරට අඩු වෙලා. පරණ පිරිස කර්මාන්තයේ හිටියට අලුත් පරම්පරාව මේක අත්හරින තත්ත්වයකුයි තියෙන්නේ.

නිෂ්පාදන වියදම් වැඩි නිසා අඩු ගණන්වලට අලෙවි කරන්න බැහැ. ඒ හින්දා ගොඩක් වෙළෙන්දෝ චීනෙන් ගෙන්නපු වේවැල් බඩු විකුණනවා.

දේශීය කර්මාන්තකරුවා තවත් අමාරුවට පත්වෙලා. ෙව්වැල් කපලම ෙම් ප්‍රදේශවල වේවැල් හිඟ වෙලා තියෙන්නෙ. අලුත් වැවීමත් සිද්ධ වෙන්නෙ නෑ.කුලියාපිටිය පැත්තෙන් තමයි දිගටම වේවැල් ගේන්නෙ. ඒ නිසා වේවැල් කපලා ප්‍රවාහනයට බලපත්‍ර ඕන.''

ඡායාරූප - සරසි නෙත්මිණි

IMG_9787 IMG_9789 IMG_9800 IMG_9803 IMG_9811 IMG_9817 IMG_9821

දේශීය ධන උල්පත් වූ මේ කර්මාන්ත අද එපාද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :