කහ චීවරයට ජාතික දේශපාලනය අකැපද?
( ලාල් ජයසුන්දර ) 2017-07-12 11:06:06
Comments - 0       Views - 279

භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව දිනෙන් දින නැ‍ගෙන චෝදනා වර්ධනය වන බව ජනතාව පවසති. භික්‍ෂූන් අවලාදයට පත් කරන්නේ කවුද? ඒ ඇයි?

ශ්‍රී ලංකාවේ ‍‍ඵෙතිහාසික උරුමයත්, මෙරට ප්‍රෞඪත්වයත්, සිංහල බෞද්ධ ජනසමාජයත් යන මූලික කරුණු තුළ රැඳි භික්ෂුව සහ කාර්යභාරය යන්න සංවාදයට ගත යුතු කරුණකි.

හිටපු අගමැති ජෝන් කොතලාවල, භික්‍ෂූන්ගේ හිසේ තාර ගෑ කතාවකින් ජනතා අප්‍රසාදයට පත්වූ පුවත ජනතාවට අමතක නැත. 

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු පිඬුසිඟා යමින් දන්වේල සරිකර ගත් භික්‍ෂූන් වහන්සේලාට දන් සැපයීමටද ජනතාව මැළිවූහ. ජේ.ආර්. සමයේ ගැටඹේ විහාරයට කටුකම්බි ගැසීම මෙරට ශාසනික ඉතිහාසය නැවත මාඝ, සොළී, පරංගි, ලන්දේසි පාලනය දක්වා රට ගෙන යෑමක් ලෙස එකල උඩරට ජනතාව ප්‍රධාන මානව හිතවාදීහු විවරණය කළහ.

'මහනායක හිමිවරු මොකද කරන්නේ' යැයි එදා අභියෝග කළ ගලගොඩ අත්තේ හිමියන් වෙනුවෙන්, මෙදා අස්ගිරි මහ නාහිමිවරු ඉදිරිපත් වූහ. රැහේවුන් මුදවා ගැනීමේ අරගලයට මල්වත්ත පාර්ශ්වයද එකතු විය.

ඒ ගලගොඩ අත්තේ හිමි නිවරැදි කිරීමට නොව සංඝයා වහන්සේට එරෙහිව එම අර්බුදයේදී ඇතැම් දේශපාලකයන්ගෙන් එල්ල වූ නොසරුප් සහ නොහොබිනා චෝදනා වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙනි.

එයින් අදහස් කළේ එක් භික්ෂුවකගේ චර්යාවන් ඉදිරියේ සමස්ත සංඝ පරපුර අවලාදයට පත් නොවිය යුතුය යන මතයක් බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එදා මිහිඳු හිමියන්ගේ පැමිණීම සිදුවන්නේ ක්‍රි.පූ. 03 වැනි සියවසේදීය. මිහින්තලයට වැඩම කරවන මිහිදු හිමි ප්‍රධාන පිරිස මෙරට බෞද්ධ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කළහ.

එතැන් සිට ලංකාවේ ශිෂ්ටාචාරය තුළ සිදුවූ වෙනස්කම් අපමණය. කෘෂිකර්මාන්තය එයින්ද මුල් තැනක් ගත් අතර, අධ්‍යාපනය වෙනුවෙන් පිරිවෙන් ක්‍රමය ආරම්භ විය. අක්‍ෂර ක්‍රමයක් නිර්මාණය විය. බුද්ධාගම පෙරදැරි කරගනිමින් එය බීජය කරගත් සමාජ චර්යාවන් සහ ඒ තුළ අපේකම සහ දේශීයත්වය බිහිවිය.

සංස්කෘතිය යනු යම් සිරිත් විරිත් සමුදායක් නම් ඒ සිරිත් විරිත් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ රෝපණය වන්නේ භික්ෂු ශාසනයේ ආරම්භයත් සමගය.

එබැවින් 'වැවයි දාගබැයි, ගමයි පන්සලයි' තුළින් පුද්ගලයාගේ චර්යාවන් හැඩගැසිණි. අපේ යැයි සම්මත සාධු සම්මත සිරිත් අදටත් ජාත්‍යන්තරය දක්වා ඇගයුමට ලක්වන්නේ පන්සල විසින් දුන් මගපෙන්වීම  හේතුවෙනි. එසේම තවමත් දේශීය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ටද ශ්‍රී ලංකාවේ අරාජිකත්වයට හානියක් කිරීමට නොහැකිවී ඇත්තේද මේ අභිමානය හේතුවෙනි.

රට පවත්වාගෙන යාමේදී මතුවන අර්බුද හමුවේ අද මෙන් අවශ්‍යතාවකදී පමණක් විහාරයකට ගොඩවී පිරිත් නූලක් ගැටගසා ගන්නා කුහක දේශපාලනයක් එදා නොවීය. රජ යුද බිමට ගියේත්, රට හැදීමට අනුබලය සොයා ගියේත් විහාරස්ථානයටය.

එතැනින් ලද දිරි ගැන්වීම, අවවාද රාජ්‍ය පාලනයේ මගපෙන්වීමක් විය. එසේම දළදා හිමියන් වැඩම සිටින්නේ කා සතුවද, හෙතෙම ශ්‍රී ලංකා රාජ්‍යයේ රජු වශයෙන් පිළිගැනීම සාම්ප්‍රදායික සම්මතයක් විය.

එහෙත් කල්යත්ම දේශපාලන නායකයන්ගේ උපදෙස් ගන්නා තැනට අතළොස්සක් භික්‍ෂූන් යොමුවීමේ වරදට රටේ බුද්ධ ධර්මයත්, ආගමත්, ජන ජීවිතයත් පත්වූ අවාසනාවන්ත තත්ත්වයේ කටුක අත්දැකීම් ජනතාව ගතවූ කාලය තුළ මැනවින් අත්වින්දහ.

අදත් මහින්දට කඩේ යන හෝ යහපාලනයට කඩේ යන්නේ යැයි ඇතැම් භික්‍ෂූන්ට චෝදනා ඇසෙන්නේ එහෙයිනි. එහෙත් ඒ කඩේ යෑම තුළ අරුත වටහා ගැනීමට පාලකයන් ලජ්ජා විය යුතු නැත.

සියල්ල් එසේ සිදුවන විට බටහිර චින්තකයන්ට අනුව කෘත්‍රිම මානව දයාවක් මවා පෙන්වමින් මුදල් ඉපැයීමේ උත්සාහයක් පවතින බවට චෝදනාවකි. මානව හිමිකම් සංකල්පය ගොඩනැගී ඇත්තේද එදා බුදු හිමි වදාළ ධර්මය පදනම් කර ගනිමින් බව මානව විද්‍යාඥයෝ සහ සමාජ විද්වත්හු පෙන්වා දෙති.

දරුවෙකු බිහිවන්නට ආසන්න සමයේදී අංගුලිමාල පිරිතත්, මවට සෙත් පිරිතත් සඡ්ඣායනය කරනු ලැබේ. උපන් දරුවා මාස තුන ඉක්ම යත්ම  ශාසනය වෙනුවෙන් දළදා මැදුර හෝ ජය ශ්‍රී මහා බෝධිය ප්‍රධාන ආගමික ස්ථාන කරා ගෙන ගොස් තෙරුවනට පූජා කරන්නේද බුදු දහම තුළ පෝෂණය කළ සංස්කෘතියේ අනුබලය විසිනි.

ඉනික්බිති දරුවාට බත් කවන දිනයේ පන්සලට දානය පිළිගැන්වීමටත්, අකුරු කියවීමටත්, පන්ස‍ලේ නායක හාමුදුරුවන් වෙත ගෙන යන්නේද දරුවා සහ ආගම අතර යාකෙරෙන පුරුක භික්ෂුව නැමති නායකත්වය වන හෙයිනි.

හිසකෙස් කපන දිනයට පිරිත් පැන් මගින් ආශීර්වාද කරන අතරම මඟුල්තුලාවට පෙර සෙත් පිරිත් ටිකක් කියා පිරිත් නූලක් ගැටගසා ගැනීමටද සිංහල බෞද්ධයා අමතක නොකළේ පන්සලත් භික්ෂුවත් සමග දෙදහස් හයසිය වසරක පැවැති ආගමික සහ සංස්කෘතිමය වශයෙන් ඔවුන්ගේ ජාන තුළ පවතින ස්වාධීනත්වය හේතුවෙනි.

එයින් පසුද මරණයට, පිංකමට සහ බණකදී, දානයකදී තමන්ට අත්උදව් වූ වැඩිහිටියන්ට, අසල්වැසියන්ට කෘතගුණ දැක්වීමේ පුරුද්ද පුහුණු කළේද එයට අත්වැල සැපයුවේද පන්සල සහ භික්ෂුව වෙතිනි.  

එසේ නම් භික්ෂුව බැහැර කර ආණ්ඩුවකට ජන ජීවිතය සමග ගැටෙන නෛතික කටයුතු සම්බන්ධයෙන් දේශපාලන මතවාදයන්ට වහල් වී කටයුතු කළ හැකිද යන තර්කය සාධාරණ විනිශ්චයට ලක්කළ යුතු කරුණකි.

සමාජයේ චිරස්ථිතිය උදෙසා ඒ මගපෙන්වීම සිදුකළේ පන්සල සහ භික්ෂුව නම්, අදටත් රටට එල්ල වන බටහිර විජාතික බලවේග හමුවේ සිංහල බෞද්ධ උරුමය නොනැසී පවතින්නේද කහ සිවුරේ මේ මැදිහත් වීම හේතුවෙනි.

ජිනීවා මානව හිමිකම් පිළිබඳ මිස මානවයා අත්විඳිය යුතු ස්වාභාවික සුරක්ෂිතතාව පිළිබඳ සංවාදයක් අද ඇසෙන්නේ නැත‍. එසේම 1927දී 'මැග්නාකාර්ටා ගිවිසුම' අත්සන් කරමින් මහරජු සිහසුනෙන් බිමට ඇද දමා මානව අයිතීන් දිනාගත්තා යැයි බටහිර ජාතීන් මනුෂ්‍යයාගේ හිමිකම් ගැන කතා කරන විට පන්සලේ හාමුදුරුවන් ක්‍රි.පූ. 06 වැනි සියවසේ බුදුන් වහන්සේ දේශනා කළ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා යන කතාවකි.

ඒ කතාව ගෙයක් දොරක් පාසා අදටත් බුදුබණ අනුව 'චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය' යනුවෙන් බුදුබණ බටහිර රාජ්‍යයන් කරා ගෙන යන්නේ බුද්ධ පුත්‍රයන් බව කිව යුතු නැත.

භික්ෂුව පිළිබඳ විවිධ චෝදනා තිබිය හැකිය. එය එසේ විය යුතුය. යම් සමාජ සංස්ථාවක් පුළුල් වන තරමට එයට එරෙහිව එල්ල වන චෝදනාවන් ප්‍රබල වනු ඇත.

එනිසා පවතින අර්බුදයන් වටහා ගනිමින් කරුණු සම්පාදනය කිරීම භික්‍ෂූන් වහන්සේගේ පැත්තෙන්ද වගකීමක් බව ජනතාව දක්වති. එහෙත් එයින් සමස්ත බුද්ධ ශාසනය හෝ භික්‍ෂූන් වහන්සේලා අවතක්සේරුවට ලක්කරන්නේ නම්, එය කන මකුණාත් නොකන මකුණාත් පිළිබඳ කතාව සිහිපත් කරන උදාහරණයක් බවද ජනතාව පෙන්වා දෙති.

භික්‍ෂූන්ට චෝදනා කරන පාර්ශ්වයන්ට භික්‍ෂූන් මුහුණු දෙන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද පිළිබඳ කතාබහක් නැතැයි භික්‍ෂූන් වහන්සේලා පෙන්වා දෙති. දරුවෙකු ශාසනයට පූජා කළ පසු එම පවුලේ මව්පියන් සහ සෙසු දරුවන් පත්වන අපහසුතාවන් පිළිබඳ සමාජ කතිකාවතක් නොඇ‍ෙසන තරම්ය.

අඩුම තරමින් දරුවා ශාසනයට පූජා කළ අසරණ මවක වෙනුවෙන් හාල් කිලෝවක් ලබාදීමට කීදෙනකු ඉදිරිපත්වී දැයි සාමණේර හිමිවරුන් නගන තර්කය අසාධාරණ නැත.

මසකට එක් අයෙකු හෝ දෙදෙනෙකු උපැවිදි වන බව දසදෙසින් ඇසේ. රටට බණ කියන්නට පෙර තමන්ට  තවදුරටත් එතැන රැඳීසිටිය නොහැකි තරමට බාහිර සාධක පවතී නම් සිවුර දැරිය නොහැකි විටෙක එයින් බැහැර වීම අසාධාරණ නැත. කළ යුත්තේ ඒ බැහැර වීමට හේතු සොයා පිළියම් යෙදීමය. විවේචකයන් නොසිතන්නේද ඒ ඇත්තය.

බටහිර චින්තනය මෙරට ස්ථාපනය කිරීම කාලයක් තිස්සේ මෙරට ව්‍යාප්ත වෙමින් පවතී. අන්‍යාගමිකකරණය නමින් පොල් ගෙඩියටත්, හාල් කිලෝවටත් ජනතාව රැවටූ ඇතැම් නිකායයන් මෙරට බුද්ධ ශාසනයත්, අපේකමත් ආක්‍රමණය කළ අයුරු ජනතාවට අමතක නැත. රට, ජාතිය, ආගම වෙනුවෙන් මතුවූ ඒ අර්බුදයන් ඉදිරියේ මුහුණ දුන් භික්ෂු පරපුර අමතක කර ආණ්ඩුවකට හෝ පාලකයන්ට කටයුතු කළ හැකිද යන සාධාරණ තර්කය මෙහිදී මතුවීම අසාධාරණ නැත.

ලංකාවේ උරුමය දෙදහස් පන්සිය වරසක් තිස්සේ සොළී, පාඬි, කේරළ මෙන්ම 1505දී මුහුදුකරයට ගොඩබට පරංගින්ට හෝ ඔවුන්ගෙන් පසු එම කලාප අල්ලා ගත් ලන්දේසීන් හෝ ඔවුන්ගෙන්ද රටේ උරුමය 1796දී උදුරා ගත් ඉංග්‍රීසින්ට අදාළ  නොවන බව ජනතාව මැනවින් පසක් කර සිටිති.

අදටත් යටත්විජිතයෙන් පසු බටහිර ජාතිකයන් විසින් සංඝයා අවමානයට පත්කිරීම, බුද්ධ ශාසනය හෙළා දැකීම සහ ඊනියා බටහිර සංකල්ප රටේ ජාතික චින්තය බවට ජනගත කිරීමේ සියුම් උත්සාහයක් පවතින බව භික්ෂුව හෙළා දැකීමේ උත්සාහය තුළ එක් අංගයක් බවට පත්ව තිබේ.

මෙවැනි අන්තවාදීන්ට ඇත්තේ ජාතියේ සුරක්ෂිතතාව නොව විදෙස් ඩොලර් පවුම් මත තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ උත්සාහයක් යැයි භික්‍ෂූන් වහන්සේලා පවසති.

එයින් පසු 1948 ‍දේශපාලන නිදහස ලැබුවද, එයට පෙර 1815 උඩරට ගිවිසුම අත්සන් කළද, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, වාරියපොළ සුමංගල හිමි වැනි මහා යතිවරුන් රට වෙනුවෙන් කළ මෙහෙවර ජනතා මනාප ලක්‍ෂ තුනකින් වෙනස් කෙරෙන බලයට යටත් කළ නොහැකි බව සමාජ විද්වත්හු අවධාරණය කරති.

වසර දෙදහස් හයසියයක් කහ චීවරයෙන් බැඳුණු භික්ෂුවගේ අතීතය අතහැර දමා ජනතාවගේ කතිරය අවභාවිතයෙන් ඉංග්‍රීසි, ඇමෙරිකන්, නෝර්වේ රටේ නිපද වූ පස් අවුරුදු පිරුවටය ඔතාගත් දේශපාලකයන්ට ලංකාවේ හෙට දවස පිළිබඳ තීරණ ගත නොහැකි බවට 70%ක් වූ ජනතාව පෙන්වා දෙන යථාර්ථය පාලකයන්ට ඇසිය යුතුය. නැත හොත් ඉදිරි මැතිවරණයකදී වත්මන් පාලකයන්ට අත්වන්නේද 65 හෝ 70 සහ 90 කාලයේ මෙන්ම, මහින්දගේ ආණ්ඩුවට අත්වූ ඉරණම බවද කිව යුතු නැත.

එක්තරා මහා විහාරයක ගරුතර හිමිනමක පැවසුවේ, මොන තරම් දේ පැවසුවත්, මෙම යහපාලන රජය බලයට පත්වී ගතවූ දෙවසරක කාලය තුළ ක්‍රියාකළ ආකාරය අනුව ඔවුන් කියන්නේ එකක් සහ කරන්නේ වෙනත් දෙයක් බවට චෝදනාවකි.

කෙතරම් චක්‍රලේඛ, අණපනත් ශක්තිමත් කළා යැයි පැවසුවද, හොරුන්, දූෂිතයන් අල්ලා ගැනීමට තරම්වත් ඒවා බලාත්මක නොවන තැනක එක්එක් පිරිස් තමන්ට හිතෙන දේ පවසමින් තමන්ට ඕනෑ දේ කරමින් සිංහල සහ බෞද්ධ ජාතියත්, රටේ ජාතික ධනයත් විනාශ කරන බවට ගැටඹේ විහාරයේ නායක හිමියෝ ප්‍රකාශ කරති.

එ්නිසා රටේ ජාතික අනන්‍යතාව, සංස්කෘතිය, අපේකම රැකගත්තේ භික්‍ෂූන් වහන්සේලාගේ එදාමෙදා තුර සිදුකළ කැපවීමය. උන්වහන්සේලා තුළ පවතින අභිමානයට රටවැසියා තුළින් ලැබෙන ඇගයීම බැහැර කර ආණ්ඩුවට ඉදිරියට යා නොහැකිය.

තමන් වහන්සේලාගේ උපදෙස් අනුව ජනතාවට යම් පෙලඹවීමක් කළ හැකි යැයි උන්හවහන්සේලා සිතන්නේ ආණ්ඩු පෙරළීමට නොව රටේ පාලනය යහපත් ආකාරයට පවත්වා ගැනීමට අනුබලයක් වශයෙන් යැයි පෙන්වා දෙන කරුණ පාලකයන්ට දැනිය යුතුය.

හැත්තෑ වසරක කාලය තුළ ක්‍රමක්‍රමයෙන් දියාරු වී යන පක්‍ෂ දේශපාලනය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටෙන සමයක සංඝ සමාජයට රටේ සදාචාරය සහ ස්ථාපනය වෙනුවෙන් පැවරෙන වගකීමද බැහැර කළ නොහැකි තරම්ය. එතැනදී භික්ෂුව අවඥාවට හෝ හෑල්ලුවට ලක්නොකර උන්වහන්සේලා පවසන්නේ කුමක්ද යන්න පාලකයන් වටහාගත යුතුය.

එහෙත් එහිලා කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේලා මගින් බොරදියේ මාළු බෑම හෝ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ නිවට ක්‍රමයකට භික්ෂුව භාවිත කිරීම නොව ඇත්ත ඇති සැටියෙන්න් විවරණය කරමින් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා ලබන තැනට භික්ෂුවගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම බව රහසක් නොවේ.

එසේ නොවන තැනක එක්එක් සංවිධාන කණ්ඩායම්වලට ගතු අවලාද නගමින් භික්ෂුව හෑල්ලුවට පත්කිරීමට අවස්ථාව සැලසීමෙන් පාලකයන් කරන්නේ බුද්ධ ශාසනයේ ගරුත්වය විනාශ කිරීමට ඊනියා අන්තවාදී කණ්ඩායම් හෝ බටහිර දේශපාලන කල්ලිවලට අවස්ථාව සැපයීමකි.

එදා කුංකුනාවේ හාමුදුරුවන් පැවසුවේ “අනේ කුහුඹුවනේ තොපට රජෙකු හිටියත් අපට රජෙක් නැත. එවැනි රජෙකු පහළ වූ දිනයක කැවුම් කිරිබත් කන්නම්” යන ඛේදාන්තයකි. 

ඇත්ත ඇති සැටියෙන් දැන එදා ඔබ වහන්සේලාගේ කහ චීවරය කළ මෙහෙවර හෙටටත් අපේ පරපුර වෙනුවෙන් අවශ්‍ය යැයි ජනතාව පවසන්නේ එ් හෙයිනි. එහිලා අවශ්‍ය වන්නේ හැටහතර ලක්‍ෂයකගේ මනාපය සහ තිස්පන් දහසක් වූ භික්‍ෂූන් වහන්සේලාගේ අනුමැතිය සමග නායකයන් එක්ව සුහද සංවාදයක යෙදීම පමණි. 

කහ චීවරයට ජාතික දේශපාලනය අකැපද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :