එකවර ව්‍යාපාර දෙකක් කරන දිරිය මවක්
( . . ) 2017-07-11 12:30:45
Comments - 0       Views - 892

සිය සැමියාගේ වියෝවෙන් පසුව ඔහු විසින් කරගෙන යනු ලැබූ  විසිතුරු බඩු අලෙවි සැල පමණක් නොව ඊට අමතරව මල් වෙළෙඳාමක්ද කරගෙන යමින් සිය පවුලේ ආර්ථීකය  ගොඩනගා ගන්නට දහදිය වගුරුවන ආදර්ශවත් මවක් නුවරඑළිය බදුල්ල මාර්ගයේ පිහිටි හග්ගල මල්වත්ත අබියසදී අපට හමුවිය.

කාන්ති රූපලතා නම් වූ මේ දිරිය මාතාව හග්ගල නව කොළණිය ගම්මානයේ පදිංචිකාරියකි.

වැඩිමහල් දරු තිදෙනෙකුගේ මවක් වන ඇය තාරුණ්‍යය ඉක්මවා බොහෝ කලක් ගෙවී ගොස් ඇතැයි දැණුනද තවමත් තරුණියක සේ බෙහෙවින්ම කඩිසරය. 

මාර්ගය අද්දර නවතා ඇති ලොරි රථයේ පසුපස කොටසේ ඇති ඇගේ මල් අලෙවි සැල වෙත රොක් වන පිරිසට අවශ්‍ය මල් පැළ තෝරා දෙන ඇය තවත් ඇසිල්ලකදී ඒ ආසන්නව පිහිටි ඇයගේ සිල්ලර බඩු අලෙවි සැලට දිව යන්නේ එහි පැමිණි පාරිභෝගිකයන්ට අවශ්‍ය දෑ රැගෙන දෙන්නටය.

සැබෑවටම තරුණ වැඩිහිටි කාටත් ආදර්ශයක් වූ මේ දිරිය මාතාව සමග කතා කළ යුතු යැයි සිතූ අප ලද අවසරයකින් ඇය කතාවට එක්කර ගත්තේ ඇයගෙන් බොහෝ දේ දැන කියා ගන්නටය. 

අපේ ඉල්ලීමට නිහතමානීව  ප්‍රතිචාර දැක්වූවද  ඇය සිය කතාව ආරම්භ කළේ කදුළු කැට කිහිපයක් දෙනෙතේ සඟවාගන්නට තැත් කරමිනි. 

''වසර දෙකකට විතර ඉස්සර වකුගඩු රෝගයක් හැදිලා මගේ මහත්තය නැති වුණා. මගේ එක පුතෙක් ගුරුවරයෙක්. අනෙක් පුතාට ස්ථීර රස්සාවක් නැහැ. දුව උසස් පෙළ කරනවා. මගේ ගෙවල් මේ ළඟ. 

මහත්තය නැති වුණාට පස්සේ මහත්තයා ගෙදරට ගෙනාව ආදායම නැති වුණා. ඒ නිසා මහත්තයට අයිති මේ කඩේ මම කරන්න පටන් ගත්තා. හැබැයි මුලදී මේ රස්සාව මට නුහුරු නිසා කරගෙන යන්න අමාරු වුණා. ඒත් මම උත්සාහය අත් හැරියේ නැහැ. කල්පනාවෙන් වෙළෙදාම කරගෙන යද්දී මේක කරන්න පුළුවන් දෙයක් බව මට තේරුණා. 

මෙතන්ට එන සංචාරකයො මල්වත්ත බලලා ආපහු යද්දී මතක හිටින්න මොනව හරි අරන් යනවා. මාල, වළලු, කණ්ණාඩි, කැප්, තොප්පි, අත් පලඳනා, සෙල්ලම් බඩු, මේ වගේ දේවල්වලට ඒ අයගේ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ අලෙවි සැලේ මේව අලෙවි කරන්න පටන් ගත්තේ. 

මෙහෙට එන සමහරු මල් වත්ත බලලා ආපහු යන අතරේ ගෙදරට අරන් යන්න මල් පැළ හොයනවා.  මට හිතුනා මේක හොඳ ව්‍යාපාරයක් වෙයි කියලා. ඊට පස්සේ මගේ දරුවොත් හවුල් කරගෙන මල් අලෙවි සැලක් පටන් ගත්තා.

අපිට තියෙනවා පොඩි ලොරියක්. මේ අවට තියෙන මල් පැළ තවාන්වලින් මල් පැළ අරන් උදේට පුතා මෙතන ලොරිය නවත්තලා යනවා. මම සිල්ලර කඩේ බඩු අලෙවි කරන ගමන් මේ මල් වෙළෙඳාමත් කරනවා. 

මේක බලා ඉන්නකොට නම් අමාරුයි වගේ පේනවා. ඇත්තටම ඇස් හත අටක් තියාගෙන කරන්න ඕනි වැඩක් තමා මම මේ තනියම කරන්නේ. මේ වගේ වැඩක් කරන එක එච්චර අමාරු දෙයක් කියලා මම හිතන්නේ නැහැ.

සමහර වෙලාවට වෙළෙඳ සැල් දෙකටම කට්ටිය ගොඩවදිනවා. ඒ වෙලාවට ඉතින් හරි පරිස්සමට දෙගොල්ලගෙම අවශ්‍යතා ඉටුවෙන විදිහට වැඩ කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි සමහර වංචනිකයන්ගෙන් බඩු රැක ගන්නත් ඕනි. 

කොහොම වුණත් මගේ උත්සාහය නිසා මම අද වෙනකම් දරුවන්ට තාත්තා නැති අඩුව දැනෙන්න නොදී මේ වෙළෙඳාම තනිවම කරගෙන යනවා. පුතාල දෙන්නත් විවේකයක් තියෙන විදිහට ඇවිත් උදව් කරනවා. දුවත් හොඳට ඉ‍ෙගන ගන්නවා. මම මහන්සිවෙලා වැඩ කරන නිසා මට පාලූවක් දැනෙන්නෙත් නැහැ. ලෙඩක් දුකක් හැදෙන්නෙත් නැහැ.  

කිසි දෙයක් අපිට කරන්න බැහැ කියල හිතනව නම් ඒක බොරු සිතිවිල්ලක් විතරයි. මේ රටේ ඕනැ තැනක  ජීවත් වෙන්න සාධාරණව මුදල් හොයන්න මාර්ග තියෙනවා. එහෙම තියෙද්දී සමහරු කෙටි ක්‍රමවලින් මුදල් හොයන්න ගිහින් තමන් විතරක් නෙමේ සමාජයත් විනාශ කරනවා.'' යනුවෙන් රූපලතා මහත්මිය පැවසූවාය. 

ඔබ හග්ගල නැරඹීමට පැමිණෙන්නේ නම් ඇයගේ දුරකථන අංකය වන 075 8 237 153 ට කතා කර මල් පැළ ආදිය ඇනවුම් කළ හැකි බවද ඇය පැවසූවාය. 

මීගහකිවුල -  එන්.කේ. නිශ්ෂංක

මල් අලවි සැල  (2) මල් අලවි සැල  (3) මල් අලවි සැල  (4)

එකවර ව්‍යාපාර දෙකක් කරන දිරිය මවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :