බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ වැදගත් කරුණු 07ක්
( . . ) 2017-07-10 12:43:21
Comments - 0       Views - 2139

බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යා කරමින් ඇතැයි සැලකෙන මනඃකල්පිත ප්‍රදේශයකටය. 

01) මෙම ප්‍රදේශය තුළදී සිදු වූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් වීමත් සමග ලෝකයේම අවදානය මේ ප්‍රදේශය වෙත යොමු විය.

යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil’s Triangle) ලෙසින්ද හඳුන්වන මෙම ප්‍රදේශය වර්ග සැතැපුම් 500,000ක් පුරා පැතිර පවතී.

02) ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා යාත්‍රා කළ ප්‍රථම නාවුක ගමනේදී, වරෙක මෙම ප්‍රදේශයේ දී විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු දුටු බව සඳහන් කර ඇති අතර, ඊට සති කිහිපයකට පසුව ඈතින් විශාල අද්භූත ආලෝකයක් දුටු බවද ඔහු සඳහන් කර තිබේ.

තවද මේ ප්‍රදේශයේදී මාලිමා යන්ත්‍රවල අසාමාන්‍ය කියවීම් ඇතිවූ බවද ඔහු සඳහන් කර තිබේ.

03)

1918 මාර්තු මස මැන්ගනීස් ලෝහ පස් ටොන් 10,000ක් පමණ පටවාගත්  ඇමෙරිකානු USS Cyclops නම් අඩි 542ක් දිග නාවුක බඩු ප්‍රවාහන යාත්‍රාව එහි සිටි 300ක පිරිසද සමග අබිරහස් ලෙස අතුරුදහන් වීමත් සමග බර්මියුඩා කලාපය තුළ අබිරහස් අතුරුදහන් වීම් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වීමට පටන් ගත්තේය.

නෞකාව කිසිම විටෙක අනතුරු සංඥාවක් නිකුත් කර නොතිබූ අතර, කිසිම දිනක නැවේ සුන්බුන් කොටස්ද හමු නොවිණි. 1941 දී මෙම මාර්ගයේ ගමන් කළ තවත් නැව් දෙකක්ද අතුරුදහන් විය. 

04) 1964 දී Vincent Gaddis නම් කතුවරයා 'argosy' නම් සඟරාවකට 'Bermuda Triangle' යන නම යොදා ගනිමින් ලියූ ලිපියත් සමගම මුළු ලෝකයම එම ප්‍රදේශය බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වීම ඇරඹුණි.

05) 1945 දෙසැම්බර් දිනක ඇමෙරිකානු ගුවන් යානා 5ක් 14 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග බෝම්බ හෙළීමේ පෙර පුහුණුවක් සඳහා ෆ්ලොරිඩා හි ගුවන් තොටුපළකින් පිටත් වූ අතර, බර්මියුඩා කලාපය තුළදී ඔවුන්ගේ දිශාව දැන ගැනීමේ උපාංග ක්‍රියාවිරහිත වී තිබුණි.

මේ හේතුවෙන් හරි මාර්ගය සොයා ගැනීමට නොහැකිව යානාවල ඉන්ධන අවසන්වන තුරුම පියාසර කර ඉන් අනතුරුව අතුරුදන් වී තිබුණි. 

06) එදිනම ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්ව ගිය ගුවන් යානවද 13ක කාර්යය මණ්ඩලයද සමග අතුරුදන් විය.

සති ගණනාවක් යනතුරු ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුනද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේ සම්බන්ධව නිකුත් කෙරුණු නාවුක හමුදා නිල නිවේදනයේ සඳහන් වූයේ “ඔවුන් අඟහරු ලොවට ගියා සේ අතුරුදහන් වූ බවයි.”

07) 

බර්මියුඩා ත්‍රිකෝණය ප්‍රදේශයේ මෙම අබිරහස ලෝකය එතෙක් මෙතෙක් කාලයක් තුළ සඳහන් කළ ජනප්‍රියම මාතෘකාවකි. සමහරුන් මෙය විවිධ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශයක් ලෙසද තවත් සමහරුන් මෙය කාලය හරහා ගමන් කළ හැකි දොරටු සහිත ප්‍රදේශයක් ලෙසද හඳුන්වා දී තිබේ.

තවත් මතයකින් කියවෙන්නේ ලොවෙන් අතුරුදන් වුවායයි සැලකෙන පුරාණ ඇට්ලන්ටිස් “Atlantis” නගරය පිහිටා තිබුනේ මෙම ප්‍රදේශයේ බවයි. අද්භූත මුහුදු මකරුන් ජීවත්වන ප්‍රදේශයක් බවටද, ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියා කරන ප්‍රදේශයක් බවටද විවිධ මත පළවී තිබේ. 

සටහන - දිනිත් කණිෂ්ක

බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ වැදගත් කරුණු 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :