පැය 24 පුරා බණ නොඅැසුවත් ඇමෙරිකාවේ බෞද්ධ ප්‍රජාව ආධ්‍යාත්මික අතින් ඉහළ තැනක ඉන්නවා
( . . ) 2017-06-19 12:27:33
Comments - 0       Views - 816

ඇමෙරිකාවේ ස්ථාපිත වූ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන්නේ වොෂිංටන් බෞද්ධ විහාර මධ්‍යස්ථානයයි. එම බෞද්ධ විහාරය අද ඊයේ පිහිටවූවක් නොවේ. එහි ඉතිහාසය වසර පනහකට වඩා දුර යයි. එලෙසින් ඇමෙරිකාවේ ප්‍රධාන පරිපාලන නගරය වන වොෂිංටනයෙහි ථේරවාදී බෞද්ධ පන්සලක් තැනීමට පුරෝගාමී වූයේ අපවත් වී වදාළ අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඬිහේ පඤ්ඤාසීහ නාහිමිපාණෝය.

වත්මනෙහි වොෂිංටන් විහාරයෙහි ප්‍රධාන සංඝනායක ධුරයේ කටයුතු කරනු ලබන්නේ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මෙන්ම වොෂිංටන් බෞද්ධ ශාසන සමිතියේ සභාපතිත්වයද හොබවන අතිපූජ්‍ය මහරගම ධම්මසිරි නාහිමියන්ය.  

ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම අනෙකුත් බෞද්ධ බැතිමතුන්ට දහමෙන් සිත් නිවන මහා කර්තව්‍යයක යෙදී සිටින උන්වහන්සේගේ දුරදක්නා දැක්ම මත වොෂිංටනයට භාවනා මධ්‍යස්ථානයක්ද උරුමය හිමිව තිබේ. පසුගියදා එහි විවෘත කිරීම් සිදුවූයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා මෙන්ම එරට සෙනෙට් සභාවේ සභික මහතෙකු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් අතිනි. 

වොෂිංටන් විහාරාධිපති අතිපූජ්‍ය මහරගම ධම්මසිරි මාහිමිපාණන් 'අද' පුවත්පත සඳහා ලබාදුන් පිළිසඳරකි මේ. 

Q ලොව පුරා වැඩමවමින් ධර්ම සේවයෙහි යෙදෙන අතරේ වොෂිංටන් විහාරයෙහි විහාරාධිපති ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වැඩ වසන ඔබවහන්සේ මේ ඇමෙරිකානු සමාජය දකින්නේ මොන විදියටද? 

ඇමෙරිකානු සමාජය ගැන හරිහැටි අධ්‍යයනය කළොත් අපට ඔවුන්ගෙන් ගත හැකි, ගත යුතු බොහෝ හොඳ දේ තිබෙනවා. ඒ අතරින් සාමාන්‍ය සමාජයේ ස්වභාවය ගෙනහැර පෑවොත් මනුස්සයා මනින්නේ බොහෝවිට මනුස්සකමින්. 

ඒ හැර අපේ ශ්‍රී ලංකාවේ වගේ පුද්ගලයාගේ තනතුර, පැලැන්තිය, ප්‍රභූත්වය හෝ රැකියාවේ උසස් බව නිසා නොවෙයි. යමෙකුගෙන් ඔබ කරන රස්සාව කුමක්ද? වයස කීයද? වැටුප කීයද? ඔබ විවාහකද? ඒ ආදී වශයෙන් කිසිවක් අහන්නේ නැහැ. (බොහෝ විට) එලෙස ඇහුවොත් එය ශීලාචාර නොවන බව තමයි වැඩි දෙනාගේ හැඟීම වන්නේ.

මනුස්සයාගේ ගතිගුණ මෙයාලා හඳුනාගන්නේ ඒ ඇසුරින්. ඒ නිසා පෞද්ගලිකත්වය ඉහළින්ම අගය කරන සමාජයක්. තමුන්ගේ බොහෝ දේ සොයන්න, බලන්න තිබෙන නිසා ඔවුන් අනෙක් අයගේ දේ ගැන සෙවුම් බැලුම් කරන්නේ නැහැ. ඒ වගේම තමයි නීතිගරුක වීම.

කවුරුවත් මගතොටේදී හෝ වෙනත් කිසි තැනකදී නීති කඩන්නේ නැහැ. කොපමණ ජන ශූන්‍ය වූ මොහොතකදී හෝ රතු එළිය දැල්වේ නම් කොළ එළිය එනතෙක් කවුරුවත් රථය පදවන්නේ නැහැ. බැරි වෙලාවත් අනතුරක් වුණොත් ගහ බැණගෙන එන්නෙත් නැහැ. 

''ඔයාට කොහොමද? ඔයාට අනතුරක් නැහැ නේද?'' අන්න ඒ විදියට විනීතව තමයි හැසිරෙන්නේ. ඇත්ත වශයෙන්ම ශීලාචාරකම කියන්නේ එවැනි දේවලටයි. ඒ විදියට අපට ඇමෙරිකානු සමාජයෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබුණත්, එයාලටත් එපා වී ඉවත දමන, බැහැර කරන දේ තමයි ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනා ඉහළින්ම වැලඳගන්නේ සහ අනුගමනය කරන්නේ.

Q මොනවද ඔවුනට එපා වී, ඉවත දමන එවැනි දේ? ඒ ගැන සඳහන් කළොත්?

උදාහරණයකට ගත්තොත් අපි ක්ෂණික ආහාර වර්ග ගනිමු. මම හිතන්නේ ඉතාම පෝෂ්‍ය ගුණදායක දේශීය ආහාරපාන තිබියදී අපේ ශ්‍රී ලංකාවේ වැඩි දෙනා අද පරිභෝජනයට ගන්නේ ක්ෂණික ආහාරයි. ඒ වගේම සැණෙකින් ආහාර පාන ඇනවුම් කළ හැකි අවන්හල් ජාලවල වැඩිමනක් තිබෙන්නේ කලින් සකසන ලද ආහාර වර්ගයි.

මේවා කල් තබාගැනීම සඳහා ශරීරයට ඉතා අහිතකර කෘත්‍රීම රසකාරක, වර්ණකාරක ආදී බොහෝ දේ අඩංගුයි. ඒ වගේම මේවායේ පණුවන් එහෙම සිටින්නත් පුළුවන්. (එවැනි දේ වාර්තා වෙලත් තිබෙනවා). හොට් ඩෝග්ස් කියයි, හැම් බර්ග(ර්) කියයි. එවැනි තව නම් කළ හැකි බොහෝ දේ තිබෙනවා. ඒවා ඇත්තටම ශරීරයට හොඳ නැහැ කියන දේ දැන් මේ සමාජය වටහාගෙන සිටිනවා. 

මේ නිසා ජනතාව දැන් ටිකෙන් ටික එවැනි ආහාර පානවලින් ඈත් වී ඇති වගක් පෙනෙනවා. මේ නිසාම එවැනි ෆාස්ට් ෆුඩ්ස් කියන ආයතනවල ආහාර පානවල මිල ශීඝ්‍ර‘යෙන් පහත වැටිලා.

නමුත් දැන් අපේ රටේ ගත්තොත් එවැනි ලෝ ප්‍රචලිත වෙළෙඳ නාම යටතේ ඇති ආහාර පාන ඇති ස්ථානවලට අපේ සමහර උදවිය යන්නේ මහ උජාරුවෙන්. හැබැයි උගත් - දැනුම්වත් ජනතාව තමන්ගේ දරුවන් ඒවාට රැගෙන යන්නේ නැහැ. ගිහින් රුපියල් දහස් ගණනින් වියදම් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඒ විදියට ඇමෙරිකානු සමාජය බැහැර හරින දේ තමයි අපේ බොහෝ දෙනා වැලඳගන්නේ.

අපට ඇමෙරිකානු සමාජයෙන් ගත හැකි බොහෝ හොඳ දේ තිබෙනවා. මේක බාහිරව දකිනවාට වඩා මිනිසුන් අතර වූ සන්නිවේදනයේදී සහ ක්‍රියාත්මක වීමේදී ඔවුන් හරි ආචාරශීලීයි. උදව් කරන්න කැමති මිත්‍රශීලී ජාතියක්. දකුණු ආසියානුවන් වන අප දිහා සමහර බටහිර රටවල ජනතාව අවඥාවෙන් බැලුවත්, මෙයාලා එහෙම නැහැ. පාරක් ඇහුවත් තමුන්ගෙ කාර්යය නවතා දමා ඉතා හොඳින් ඒ ගැන කියාදෙන මිත්‍රශීලී ජනතාවක්. මෙන්න මේ වගේ ගුණාත්මක දේ තමයි අප මෙවැනි රටවලින් ගත යුතු වන්නේ.

Q ඒ කාරණාවලට අමතරව මෙම වොෂිංටන් විහාරයෙහි අතීතය ගැනත්, මෙය පිහිටුවීමට හේතු වූ කාරණා ගැනත් සිහිපත් කළොත්?

අතිපූජ්‍ය අපවත් වී වදාල අග්ගමහා පණ්ඩිත අප මහනායක හිමි වූ මඩිගේ පඤ්ඤාසීහ මහනායක හිමියන් 1965 දී විතර ඇමෙරිකාවේ චාරිකාවක නිරත වුණා. උන්වහන්සේ වැඩම කොට සිටි ඒ කාලයේ වෙසක් දින යෙදී තිබුණත් ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය වන බවක් දැක නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටත් කතා කොට, වෙසක් දින සැමරුම් වැඩසටහනක් ක‍‍ළොත් හොඳ යැයි යෝජනා කළා.

නමුත් ඒ වෙනුවෙන් නිශ්චිත තැනක් තිබිලා නැහැ. ඒ හැරත් උත්සවයක් කරන්න තරම් සංවිධානයට පිරිසක් ඉඳලත් නැහැ. ඒ කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් සහභාගි වූ උත්සවයක් සාර්ථකව පවත්වා තිබෙනවා. මෙවැනි උත්සවයක් සංවිධානය කරන්න පන්සලක්වත් තිබුණා නම් හොඳය යන අදහස මඩිහේ මහනාහිමියන්ට අැතිවුණා.

ඒත් එය හිතන තරම් පහසු නොවුණත් එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතාට කියා ඩොලර් 15,000 ක් වූ මුදල කෙසේ හෝ සොයාගෙන තමයි පන්සල සඳහා වූ ගොඩනැගිල්ල එදා මිලදීගෙන තිබෙන්නේ. අද මේ ස්ථානයෙහි වටිනාකම ඩොලර් මිලියන 1.8 ක් විතර වෙනවාලු. එදා ඒ ලෙසින් ඇරඹි වොෂිංටන් විහාරයෙහි විහාරාධිපති නාහිමි වූයේ බෝපේ විනීත හිමියන්.

පසුව දික්වල පියනන්ද පණ්ඩිත හිමියන්, ඉක්බිතිව වත්මනෙහි බටහිර වර්ජිනියාහි භාවනා මධ්‍යස්ථානයෙහි නිර්‘මාතෘ වන හේන්පොළ ගුණරතන ස්වාමීන් වහන්සේත් විහාරාධිපති ලෙස කටයුතු කළා. උන්වහන්සේ එම භාවනා මධ්‍යස්ථානයෙහි වැඩවසන බැවින් මහනායක හිමියන්ෙග් අනුදැනුම යටතේ ඊළඟට 1988 දී විතර මා මෙහි විහාරාධිපති ලෙස පත්වුණා.

Q නොබෝදා විවෘත කෙරුණු මේ භාවනා මධ්‍යස්ථානය ගැන විස්තර කතා කළොත්?

මෙය කාලාන්තරයක් තිස්සේ තිබුණු අදහසක්. මේ වෙනුවෙන් එක්තරා අවස්ථාවක අප ගරුතර මහනායක හිමියන් ඉඩමක් බලන්න වැඩ සිටියා. 94 දී විතර අක්කර හතක පමණ ඉඩමක් ඒ වෙනුවෙන් සොයාගත හැකි වුණා. නමුත් එය ප්‍රධාන පාර අසල තිබුෙණ.

මේ නිසා පසුව අප එය විකුණා දමා, දායක භවතුන්ගෙන් ලද මුදල් ඉතා අරපිරිමැස්මෙන් එකතුකොට වත්මනෙහි මේ විදිහට ස්ථාපිත කෙරුණු භාවනා මධ්‍යස්ථානය නිර්මාණය කළ හැකි වුණා. ඉතාම රමණීය සුන්දර පරිසරයක මෙය පිහිටා තිබෙන්නේ. දානමාන පිංකම් සියල්ල සිදුකොට මෙය රැක බලාගැනීම ආදී සියලු කටයුතු සිදුවෙන්නේ මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙතින්.

නමුත් බෞද්ධ හරය සොයාගෙන ආධ්‍යාත්මිකව සිත දියුණු කරගැනීමේ අටියෙන් භාවනා වැඩසටහන් සඳහා 95%ක්ම වගේ එන්නේ ඇමෙරිකානු ජාතිකයන්.

Q ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පන්සලේ වැඩ කටයුතුවලට මොන විදිහටද දායක වෙන්නෙ?

වොෂිංටන්හි පමණක් ශ්‍රී ලාංකේය පවුල් හාරසීයක් පමණ වෙනවා. රාජ්‍ය මට්ටමින් කිසිදු අනුග්‍රහයක් නොලබන වොෂිංටන් විහාරයෙහි සියලු කටයුතු සඳහා දායකත්වය ලබාදෙන්නේ එම ශ්‍රී ලාංකේය ප්‍රජාවයි. ශාසන සමිතිය මෙන්ම ඉතා උනන්දුවෙන් දානය දීම ඇතුළු සියලු පිංකම් සඳහා ඔවුන්ගේ පෞද්ගලික කටයුතු පසෙකලා පන්සල හා සම්බන්ධ වෙනවා.

මෙම වොෂිංටන් විහාරය සමග ඔවුන්ගේ ඇති බැඳීම හරි ඉහළයි. වෙසක්, පොසොන් ඒ සියලු අවස්ථාවලදී ඔවුන් විවිධ බෞද්ධ වැඩසටහන් සංවිධානය කරනවා. බොදු බැති ගී ආදී ප්‍රසංග පවත්වනවා. විහාරයේ පවත්වාගෙන යනු ලබන ඉරිදා දහම් පාසලට කිලෝමීටර් හැට - හැත්තෑව සහ ඊටත් වැඩි දුර ගෙවා තම දරුවන් රැගෙන එනවා.

විහාරය නිසා ඔවුන් තනිවෙලා නැහැ කියන හැඟීම ඔවුන් විශ්වාස කරන දෙයක්. නිවසක පැවැත්වෙන බණකට, විවාහ උත්සවයකට, ඒ ආදී ඕනෑම අවස්ථාවකට පන්සලේ දායකත්වයද ලබමින් බුදුදහමේ ආශීර්වාදය ඔවුන් නිතැතින් ලබාගන්නවා. මෙහි සිටින බුද්ධිමත් වගේම හරවත් මවුපියන් තම දරුවන් හසුරුවන්නේ ඒ විදිහටයි. අද අපේ ලංකාව ගත්තාම නොයෙකුත් අපරාධ ගැන අහන්න දකින්න ලැබෙනවා. නමුත් පැය 24 පුරාම මෙහි වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව පිරිත් - බණ ඇසුවේ නැතත් ආධ්‍යාත්මිකව ඉතා හොඳ තැනක සිටින බව කියන්න පුළුවන්.

සටහන / ඡායාරූප සඳුන් ගමගේ (ඇමෙරිකාවේ සංචාරයකින් පසු)

DSC_9346 DSC_9363 DSC_9368  DSC_9386 DSC_9407 DSC_9448 DSC_9461 DSC_9465 DSC_9466 DSC_9471

පැය 24 පුරා බණ නොඅැසුවත් ඇමෙරිකාවේ බෞද්ධ ප්‍රජාව ආධ්‍යාත්මික අතින් ඉහළ තැනක ඉන්නවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :