ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳ බාධක
( . . ) 2017-06-19 11:09:06
Comments - 0       Views - 355

වත්මන් වෙළෙඳ ප්‍රතිපත්තියෙහි මූලික අවධානය යොමු වී ඇත්තේ වෙළෙඳ ගිවිසුම් හරහා විදේශ රටවලදී ලාංකික අපනයනකරුවන් මුහුණ දෙන වෙළෙඳ බාධක ඉවත් කිරීම තුළින් අපනයන දිරිගැන්වීමටයි. 

වෙළෙඳ බාධක යනු, අපනයනවල පිරිවැය, ගුණාත්මකභාවය, ප්‍රමාණය හෝ නිෂ්පාදනයන් නියමිත කාලයට සැපයීම කෙරෙහි බලපාන, අපනයනකරුවාගේ සෘජු පාලනයෙන් ඔබ්බෙහි පවතින සාධකයි.

මෙම අධ්‍යයනය පෙන්වා දෙන්නේ වෙළෙඳ බාධක හමුවන්නේ වෙනත් රටවල දේශ සීමාවලදී පමණක් නොව, අපනයන කරන රටෙහි දේශ සීමාව ආශ්‍රිත ගැටලුද වෙළෙඳාමට බාධකයන් විය හැකි බවයි. 

මෙම දේශීය වෙළෙඳ බාධක අපනයන තරගකාරීත්වයට අහිතකර බලපෑම් ඇති කරයි. උදාහරණයක් ලෙස ගුවන් තොටුපළෙන් පිටවීමට පෙර සිදුකරන භාණ්ඩ පරීක්ෂා කිරීමේ ක්‍රියාපටිපාටිවල අකාර්යක්ෂමතා සහ අක්‍රමිකතා නිසා වන ප්‍රමාදයන් සහ දැරීමට සිදුවන අනවශ්‍ය පිරිවැය දැක්විය හැක. 

වෙරිටේ ආයතනයෙහි පර්යේෂණයෙන් හෙළිවූයේ මෙවන් බාධක ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස මන්දගාමී කරන බවයි. මෙම බාධකවලට පිළියම් සොයාගන්නා තෙක් රටෙහි අපනයන ප්‍රවර්ධනය ඉබිගමනින් යනු ඇත. 

අපනයනය සාපේක්ෂව අඩු ඇයි? 

එළඹි සියවසේ මුල පටන්ම ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කාර්යසාධනය පහළ මට්ටමක පවතී. දළ ජාතික නිෂ්පාදනය (ද.ජා.නි.) හා අපනයන අතර අනුපාතය 2000 වසරේදී ද.ජා.නි 33.3%ක සිට 2015දී ද.ජා.නි 12.8%ක් දක්වා කඩා වැටී ඇත. ඊට අමතරව, 2011 වසරේ පටන් අපනයන ආදායමද වාර්ෂිකව පහත වැටීමකට ලක් වී තිබේ. ශ්‍රී ලංකා රජය මේ සඳහා ප්‍රතිචාර දක්වමින් ඔත්පල වී ඇති අපනයන අංශය පුනර්ජීවනය කරලීම තම ආර්ථික ප්‍රතිපත්ති න්‍යායපත්‍රයේ ප්‍රමුඛතාවයක් ලෙස පෙරට ගෙන ඇත.

අපනයන අංශය නැවත පණගැන්වීමට නම් අපනයන තරගකාරීත්වය අඩාල කිරීමට හේතුවන වෙළෙඳ බාධක හඳුනාගැනීම හා ඊට පිළියම් යෙදීම අවශ්‍ය වේ. වෙළෙඳ බාධක යනු, අපනයනවල පිරිවැය, ගුණාත්මකභාවය, ප්‍රමාණය, හෝ නිෂ්පාදනයන් නියමිත කාලයට සැපයීම කෙරෙහි බලපාන අපනයනකරුවාගේ ඍජු පාලනයෙන් ඔබ්බෙහි පවතින සාධකයි. අපනයනය කරන රට තුළ දක්නට ලැබෙන එවන් බාධක දේශීය වෙළෙඳ බාධක ලෙසද, එම අපනයන විදේශයන්ට ඇතුළු වීමේදී මුහුණ දෙන බාධක විදේශීය වෙළෙඳ බාධක ලෙසද හැඳින්වේ.

රජයේ මෑතකාලීන අවධානය වඩාත් යොමු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා විදේශ වෙළෙඳ බාධක අඩුකර ගනිමින්, එම වෙළෙඳ පොළවලට ඇතුළු වීමේ හැකියාව ඉහළනංවා ගැනීම කෙරෙහිය. ඒ හා සසඳන කල, අපනයන තරගකාරීත්වයට බලපාන දේශීය වෙළෙඳ බාධක කෙරෙහි යොමු වී ඇත්තේ මඳ අවධානයකි. අපනයන අංශය ප්‍රවර්ධනය සදහා, විදේශීය මෙන්ම දේශීය වෙළෙඳ බාධකද අවමකර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ දේශ සීමාවේදී මුහුණ දෙන්නට සිදුවන දේශීය වෙළෙඳ බාධක හඳුනා ගැනීමත්, විශේෂයෙන්ම කෘෂිකාර්මික අපනයන කෙරෙහි ඉන් එල්ලවන බලපෑම විශ්ලේෂණය කිරීමත්, මෙම අධ්‍යයනයේ ඉලක්ක විය. 2015දී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක අගයක් ගත් මෙරට කෘෂි නිෂ්පාදන, සමස්ත අපනයනවලින් 25%ක පංගුවක් හිමිකර ගත්තේය. සමස්ත කෘෂිකාර්මික අපනයනවලින් 50%ක් තේ ආශ්‍රිතව සිදුවිය.

පොල් හා කුළු බඩු අපනයන තවත් 33%කට හිමිකම් කී අතර, ඉතිරි 17% සමන්විත වී තිබුණේ විසිතුරු මල්, කොළ අතු, එළවළු හා පලතුරු, සුළු භෝග හා මත්ස්‍ය නිෂ්පාදන වලිනි. අධ්‍යයනයේදී පෙනී ගියේ දේශීය වෙළෙඳ අවහිරතා අපනයනවල වර්ධනය හා විවිධාංගීකරණය කෙරෙහි ප්‍රබල බාධකයක් වී ඇති බවයි.

කල් තබාගත නොහැකි කෘෂි නිෂ්පාදන වලදී මෙම අවහිරතා විසින් ඇතිකරන ඍණාත්මක බලපෑම විශේෂයෙන්ම ඉස්මතු වී පෙනෙන බව කියවිණි. එකී බාධාවන් හේතුවෙන් ඇතිවන ප්‍රමාදයන් කරුණු කොටගෙන එකී නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ජීව කාලය අප්‍රතිවර්ත්‍ය ලෙස ඍණාත්මක බලපෑමකට ලක් වේ. මෙම බාධක ඉවත්කිරීම අපනයන ප්‍රවර්ධනයට ඉමහත් දායකත්වයක් වනු ඇත.

යෙදවුම් (බීජ, පොහොර) ආනයනය කිරීමේදීද නිමි නිෂ්පාදනයන් අපනයනය කිරීමේදීද අපනයනකරුවන්ට මුහුණදීමට සිදුවන වෙළෙඳ බාධක මෙම අධ්‍යයනයේදී හඳුනා ගැනේ. මෙම වෙළෙඳ බාධක ප්‍රධාන ප්‍රවර්ගයන් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්, 1) නියාමන බාධක, 2) ක්‍රියාපටිපාටිමය බාධක හා 3) තොරතුරුමය බාධක ය. එක් එක් ප්‍රවර්ගය පිළිබඳව කරන ලද සිද්ධි අධ්‍යයනයේදී එකී බාධකය නිදසුන් සහිතව පෙන්වා දෙමින් අපනයනයන් සඳහා ඉන් ඇති කෙරෙන බලපෑම පැහැදිලි කෙරෙනු ඇත.

නියාමන බාධා

ස්වස්ථතා සහ ශාක ස්වස්ථතා ක්‍රියාමාර්ග (SPS) ලෙස සුලබව හැඳින්වෙන කෘෂි වෙළෙඳාම තුළ බලපැවැත්වෙන නියාමනවල අරමුණ වන්නේ මනුෂ්‍ය, ශාක හා සත්ත්ව ජීවයේ සෞඛ්‍ය සහ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂාකර ගැනීමයි. ඕනෑම රටකට මුහුණ දීමට සිදුවන අභියෝගය නම් මෙම රෙගුලාසි වෙළෙඳාම කෙරෙහි අනවශ්‍ය බාධාවක් වීම වළක්වා ගනිමින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමයි. රෙගුලාසි නිර්මාණය කිරීමේදී,

1. පර්යේෂණයන් හා පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබා ගැනීම
2. නිරතුරුව සමාලෝචනය කරමින් යාවත්කාලීන කිරීම සහ
3. රෙගුලාසි අර්ථකථනය කිරීමේදී ස්ථාවරභාවය ආරක්ෂා වන ලෙස ඒවා සැකසීම

යන පියවර අනුගමනය කිරීම මෙකී අභියෝගය ජය ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාව තුළ නියාමනයන් ගොඩනැංවීමේ ක්‍රියාවලිය තුළ පවතින දුර්වලතා හේතුවෙන් ඒවා වෙළෙඳ බාධක බවට පත්වන අවස්ථා මෙන්ම, වෙළෙඳාම කෙරෙන කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවයද එමගින් අහිතකර බලපෑම් ඇතිකරන අවස්ථා ගණනාවක් අධ්‍යයනය තුළදී හඳුනා ගනු ලැබිණි.

පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබාගැනීම දුර්වල මට්ටමක පැවතීම

නියාමනයන් ගොඩනඟා ගැනීමේදී අදාළ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබාගැනීමෙන් නියාමනයන්හි සුජාතභාවයද, විශ්වාසනීයත්වයද වැඩිදියුණු වන අතර, ඒවායේ ඵලදායීත්වය ඉහළ යාමටද ස්වේච්ඡාවෙන්ම අනුගත වීමටද හේතු වේ. පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබාගැනීමක් සිදුනොවීම, වෙළෙඳාම කෙරෙහි නියාමනයන් බාධාවක් වීමට බලපාන ප්‍රධාන හේතුවක් බව අධ්‍යයනය තුළින් හෙළි වී ඇත.

උදාහරණයක් ලෙස පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබාගැනීම සඳහා පුළුල් ලෙස භාවිත වන එක් ප්‍රවේශයක් නම් උපදේශන සභාවන් යොදා ගැනීමයි. 2003 අංක 22 දරණ බීජ පනත යටතේ යෝජිත ජාතික බීජ සභාව (ජා.බී.ස.) සියලු අදාළ පොදු හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වෙමින්, බීජ සහ පැළ නිෂ්පාදනය හා සැපයීම සම්බන්ධ සියලු කරුණුවලට අදාළ උපදේශන හා අධීක්‍ෂණ දේහය ලෙස ක්‍රියා කිරීමට අපේක්‍ෂිතය.

මෙරට අපනයන විභවය කෙරෙහි අකුල් හෙළන බීජ සහ පැළ ආනයනය කිරීමේදී ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු ගණනාවක් අධ්‍යයනයන් තුළින් හඳුනාගෙන ඇති අතර, ජා.බී.ස.ට මේවා සඳහා විසඳුම් ලබාදීමට සහය විය හැකිය. එහෙත් පනත බලාත්මක කොට වසර 14ක් ගෙවී ඇතත්, ජා.බී.ස. තවමත් පිහිටුවා නැත. ජා.බී.ස. ස්ථාපිත කිරීමට අසමත් වීම ගැටලු දිගින් දිගට කල්යාමට සහ විසඳුම් ලබාගැනීම ප්‍රමාද වීමට හේතු වී ඇත.

පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබාගැනීමේදී පුළුල්ව භාවිත වන තවත් ප්‍රවේශයක් නම් යෝජිත වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් විමසීමයි. නියාමනයන්ගෙන් ඇතිවන බලපෑම් පිළිබඳව නිවැරදි තක්සේරු කිරීමටත්, අනුගත වීම ඉහළනංවා ගැනීමටත්, ක්‍රියාවට නැංවීමේ පිරිවැය අවමකර ගැනීමටත් මෙමගින් හැකිවනු ඇත.

පුළුල් පරාසවල් නාශකයක් වන ග්ලයිෆොසේට් 2015 ඔක්තෝබර් මසදී තහනම් කිරීමත්, එකී තහනමෙන් ඇති වූ බලපෑමත් මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ලංකාවේ එවැනි උපදෙස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් නොමැති වීමේ අහිතකර ඵලවිපාකය. ඔස්ට්‍රේලියාව වෙත විසිතුරු මල් හා පැළ අපනයනයේදී ගිල්වුම් ප්‍රතිකාරකය ලෙස භාවිත කිරීමට අවසර ඇති එකම වල්නාශකය ග්ලයිෆොසේට් වීම නිසා මෙම තහනම එකී අපනයනකරුවන්ට තදින්ම බලපෑවේය.

මෙම තහනම ගෙන ඒමට පෙර ඊට විකල්පයන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සමහර භෝගවල ඵලදාවන් කැපී පෙනෙන කඩා වැටීමකටද ලක් විය. එසේම විකල්පයන් නොමැති වීම හේතුවෙන් කෘෂි නිෂ්පාදකයන්ට මිනිස් ශ්‍රමයෙන් වල්නාශකය සිදුකිරීමට සිදුවිය.

ඉන් නිෂ්පාදන පිරිවැය කැපී පෙනෙන ලෙස ඉහළ යාම නිසා එය ලාභදායීත්වයට අහිතකර ලෙස බලපෑවේය. එමෙන්ම රට තුළට ග්ලයිෆොසෙට් හොරෙන් ගෙන ඒමේ සිදුවීම් වාර්තා වීමෙන් එම තහනමේ සාර්ථකත්වය පිළිබඳවද ප්‍රශ්නාර්ථයක් පැන නැගිණි.

නියාමනයන් නිරතුරුව සමාලෝචනය කිරීමට හා යාවත්කාලීන කිරීමට අසමත් වීම.

නියාමනයන්ගේ අදාලත්වය හා ප්‍රයෝජනවත් බව ආරක්ෂාකර ගැනීමට නම් ඉන් නියාමනයට ලක් කෙරෙන නිෂ්පාදනයන් හා බැඳුණු ආර්ථික, පාරිසරික හා තාක්‍ෂණික කොන්දේසිවල ඇති වන වෙනස්කම්වලට අනුකූල වන පරිදි අදාළ නියාමනයන් සමාලෝචනයට ලක් කළයුතු වේ. සමාලෝචනය සහ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය, පැළ අපනයනය හා ආනයනය කෙරෙහි බලපැවැත්වෙන තහංචි හා සීමාවන් කෙරෙහි විශේෂයෙන් අදාළ වේ.

රට තුළ ඇති පැළ වර්ග විදේශීය පළිබෝධකයන්ගෙන් හා රෝගවලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා බිහි වී ඇති නියාමනයන් පසුගිය දශක තුනහමාර තුළ යාවත්කාලීන කිරීමට අසමත් වීම ශ්‍රී ලංකාව තුළ ක්‍රමානුකූල සමාලෝචන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට අසමත් වීම පිළිබඳ නිදසුනකි.

තහංචි හා සීමා කිරීම්වල දැනට පවතින ලැයිස්තුව හරහා ඉදිරිපත් කෙරෙන ආරක්‍ෂණයේ ඇති අදාළත්වය පිළිබඳ බරපතළ සැක සංකා ඉන් මතු කරවයි. එමෙන්ම සමාලෝචනයන් සිදුකිරීමට අසමත් වීම නිසා මේ වන විට අදාළ නොවන හෝ ප්‍රයෝජනවත් නොවන සීමා කිරීම්වලට මුහුණ දීමට වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සිදුවන අතර, එවැනි අදාළ නොවන සීමා නියාමනයන් වෙළෙඳාම මත පැනවෙන අනවශ්‍ය බාධාවකි.

නියාමනයන් දුර්වල ලෙස නිර්මාණය කර තිබීම

නියාමනයන් නිර්මාණය කරන අදියර තුළදී පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබාගැනීමට හා නියාමනයන්හි බලපෑම පිළිබඳ තක්සේරුවක් සිදුකිරීමට අසමත්වීම නිසා එම නියාමනයන් ක්‍රියාත්මක කිරීමේදී අහිතකර ප්‍රතිඵල ඇතිවීමට මඟ පාදනු ඇත. මේ සඳහා ඇති පැහැදිලි නිදසුනක් නම් ආනයනය කෙරෙන එළවළු ප්‍රභේදයන් පරීක්‍ෂාවට ලක් කිරීමට අදාළව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගෙවතු භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශන නිර්ණායකයන්ය.

මෙම නිර්ණායකයන් මගින් ඇත්තෙන්ම සිදු වී ඇත්තේ බීජ ප්‍රභේදයන් පිළිබඳව බීජ සමාගම්වල ඒකාධිකාරයක් නිර්මාණය වීමත්, එමගින් බීජ සැපයුම්කරුවන් හා ප්‍රභේදයන් තෝරා ගැනීමට ගොවීන්ට ඇති නිදහස සීමා වීමත්ය.

මේ ක්‍රමය තුළින් ඇතැම් බීජ සමාගම්වලට අයුතු වාසියක් අත් වන අතර, වෙළෙඳ පොළ වෙත ඇතුළු වන නව තරගකරුවන් හට තරණය කිරීමට අපහසු බාධකයක් එමඟින් නිර්මාණය කරවයි.

එසේම නියාමනයන් නිර්මාණය කරන අදියරේදී පාර්ශ්වකරුවන්ගේ පුළුල් උපදේශනයන් නොතිබීම හා බලපෑම් තක්සේරුවක් නොකිරීම හමුවේ නියාමන ක්‍රමයන් නිලධාරීන්ගේ සහ සමාගම්වල පටු අවශ්‍යතා පදනම්ව නිර්මාණය වීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව මෙම සිද්ධිය හොඳ උදාහරණයකි.

පිළියම් ක්‍රියාමාර්ග – මෙවැනි දේශීය බාධක ඉවත් කිරීම සඳහා වෙනත් රටවල් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට පාඩම් උගත හැකිය. නිදසුනක් ලෙස නියාමනයන් ක්‍රියාවේ යෙදවීමට පෙර පොදු ජනයා වෙත පූර්ව දැනුම්දීම් සිදුකිරීම හා ඔවුන්ගේ අදහස් විමසීම සඳහා ක්‍රමවේදයක් බොහෝ රටවල ස්ථාපිත කර ඇත.

එමෙන්ම නියාමනයන්ගේ අදාළත්වය දිගටම පවත්වා ගැනීම් වස් සැලසුම් කරන ලද නියාමන සමාලෝචනයන් ස්ථාවර කාලාන්තරයන් තුළදී සිදුකිරීමට තවත් රටවල් කටයුතු පිළියෙළ කර ඇත. දුර්වල ලෙස නිර්මාණය කරන ලද නියාමනයන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් රටකට ප්‍රතිලාභ අත්විය හැකි ආකාරය පිළිබඳ නිදසුන්ද පවතී.

උදාහරණයක් ලෙස, තුර්කිය විසින් සිදුකරන ලද බීජ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉහළ තරගකාරීත්වයක් මෙන්ම පෞද්ගලික අංශයේ පුළුල් සහභාගීත්වයක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂි ඵලදායීත්වයේ හා අපනයන ආදායම්වල ඉහළ යෑමක් කරා මඟ විවර විය.

ක්‍රියාපටිපාටිමය බාධක

ඵලදායී වූද, පුරෝකථනය කළ හැකි වූද, පාරදෘශ්‍යමය වූද නියාමන ක්‍රියාපටිපාටි මගින් අනුගතභාවය වැඩිදියුණු වන අතර, වෙළෙඳාම පහසු කරයි. දේශ සීමාව තුළ පවතින අකාර්යක්‍ෂම ක්‍රියාපටිපාටි හේතුවෙන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් පීඩාවට පත්වේ.

ගෝලීය වෙළෙඳ හැකියා දර්ශකයේ (Global Trade Enabling Index) මිනුම්වලට අනුව දේශ සීමා ක්‍රියාපටිපාටිවල කාර්යක්‍ෂමතාවයේ ගෝලීය වර්ගීකරණය තුළ ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය තුළින් මෙය මනාව පිළිබිඹු වේ. මෙම ශ්‍රේණිගත කිරීම තුළ වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව ස්ථාන දහයකින්, එනම් රටවල් 136ක් අතුරින් 2014දී සිටි 87 වන ස්ථානයේ සිට 2016දී 97 වන ස්ථානය දක්වා පහළට වැටුණි.

ශ්‍රී ලංකාව කලාපීය අනෙකුත් රටවල් වන තායිලන්තය (44වන ස්ථානය), ඉන්දියාව (75වන ස්ථානය) හා වියට්නාමය (86වන ස්ථානය) වැනි රටවල්වලට වඩා පසුපසින් සිටී. අකාර්යක්‍ෂමභාවය, ගතවන කාලය, වැයවන පිරිවැය. පුරෝකථනමය හැකියාව නොමැති වීම හා අන්තර්-ආයතන සම්බන්ධීකරණය දුර්වල වීම වෙළෙඳාම සඳහා ඇති ප්‍රධාන ක්‍රියාපටිපාටිමය බාධක ලෙස අධ්‍යයනය තුළදී හඳුනා ගැනිණි.

අකාර්යක්‍ෂම ක්‍රියාපටිපාටි

අකාර්යක්‍ෂම ක්‍රියාපටිපාටි නිසා ප්‍රවාහනය අතරතුර වැය කිරීමට සිදුවන සෑම අමතර පැයක්ම කල් තබාගත නොහැකි නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවයට හා වෙළෙඳ අගයට හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් අපනයන තරගකාරීත්වය කෙරෙහි ඇතිකරන අහිතකර බලපෑම පෙන්නුම් කරන සිද්ධි අධ්‍යයන ගණනාවක් තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා යැවෙන, කල් තබා ගත නොහැකි භාණ්ඩ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය එවැනි එක් උදාහරණයකි. එකිනෙකට වෙනස් අධිකාරීන් හතරක් මගින් සිදුකෙරන වෙන්වෙන් පරීක්‍ෂාවන් හතරකට මෙම භාණ්ඩ ලක්කෙරේ. බොහෝ අවස්ථාවන්හිදී මේ පරීක්ෂාවන් සිදුකරනු ලබන්නේ කල් තබා ගත නොහැකි භාණ්ඩ හැසිරවීමේ පුහුණුවක් නොලත් නිලධාරීන් විසින් වන අතර, පරීක්ෂා කරන අතරතුර සුළු සොරකම් සිදුවීම සුලබ සිද්ධියක් වී තිබේ.

පරීක්‍ෂාවන් සිදුකෙරෙන්නේ කිසිදු උෂ්ණත්ව පාලනයක් නොමැති ස්ථානවලය. සමහර අවස්ථාවලදී විවෘත එළිමහනේය. එනිසා නිෂ්පාදනයන් ග්‍රීෂ්මයට හා විෂබීජකරණයට නිරාවරණය වේ. එමෙන්ම ආරක්‍ෂක නිලධාරීන්ට ඇවිදීම සඳහා පටු තීරුවක්, ලොරි රථ තුළ හිස්ව තැබිය යුතු බවට ගුවන් හමුදාව විසින් පනවා ඇති නියමය හේතුවෙන් ලොරියකට පැටවිය හැකි ප්‍රමාණය සීමා වී ප්‍රවාහන වියදම් ඉහළ යෑමක් සිදුවේ.

මෙම අකාර්යක්‍ෂමතාවල ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ ප්‍රවාහනයට ගත වන කාලය ඉහළ යන අතර, ප්‍රවාහන කරන භාණ්ඩවලට හානි වේ. කල් තබා ගත නොහැකි භාණ්ඩ අපනයනයේ තරගකාරීත්වයට තියුණු හානියක් ඉන් සිදුවේ.

අකාර්යක්‍ෂම ක්‍රියාපටිපාටි සඳහා ඇති තවත් පැහැදිලි උදාහරණයක් නම් ඇතැම් භාණ්ඩ ආනයන, අපනයනයට අදාළ රේඛීය අමාත්‍යාංශයෙන්, ආයතනයෙන් අනුමැතිය ලබාගැනීමෙන් පසුව දෙවැනි අනුමැතියක් සඳහා අපනයන හා ආනයන පාලන දෙපාර්තමේන්තුව වෙත යෑමට සිදුවීමය.

වර්තමානයේදී අපනයන දෙපාර්තමේන්තුව නියාමන අනුගතභාවය පැත්තෙන් ඉතා සුළු වශයෙන් පමණක් අගය එකතු කිරීමක් සිදුකරන අතර, එමගින් හුදෙක් සිදුවන්නේ අන්තර්ජාතික වෙළඳාමේ නියුතුවූවන් වෙත අමතර කාලයක් හා පිරිවැයක් එකතු කිරීමක් පමණි.

අන්තර් - ආයතනික සම්බන්ධීකරණය දුර්වල වීම

ආයතන අතර පවතින දුර්වල සන්නිවේදනය හේතුවෙන් අපනයනකරුවන්ට අනවශ්‍ය ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවේ. එය ඔවුන්ගේ අපනයන තරගකාරීත්වයට අහිතකර ලෙස බලපායි.

උදාහරණයක් ලෙස ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අතර ඇති දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් භාණ්ඩ නිෂ්කාෂණය කර ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක සහතිකය ලබාගැනීමේදී සිදුවන විශාල ප්‍රමාදයන් පිළිබඳව මත්ස්‍ය අපනයනකරුවන් පැමිණිලි කිරීම දැක්විය හැකිය. 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් සෞඛ්‍යාරක්‍ෂණ සහතික නිකුත් කිරීම සඳහා නාරා ආයතනය මගින් නිකුත් කරන පරීක්‍ෂණ වාර්තා පූර්ව අවශ්‍යතාවකි. නියමිත වේලාවට එකී පරීක්‍ෂණ වාර්තා නොලැබීම හේතුවෙන් සෞඛ්‍යාරක්‍ෂණ සහතිකය නිකුත් කිරීමේ ප්‍රමාදයන්ට අපනයනකරුවන්ට මුහුණ දීමට සිදුවේ.

පුරෝකථනය කළ නොහැකි ක්‍රියාපටිපාටි

ලැයිස්තුගත ලේඛන ඉදිරිපත් කර, නියමිත ක්‍රියාමාර්ග අනුගමනය කළහොත්, දෙන ලද කාල සීමාවන් ඇතුළත භාණ්ඩය නිෂ්කාෂණය කළ හැකි යැයි විශ්වාසයකින් යුතුව දැනගත හැකි වීම වෙළෙඳ තරගකාරීත්වයේ මූලික තීරණාත්මක සාධකයකි.

ශ්‍රී ලංකාව තුළ පොහොර ආනයන ක්‍රියාවලිය, මෙසේ පුරෝකථනය කළ නොහැකි ක්‍රියාවලීන්ගේ බලපෑම පැහැදිලිව පෙන්නුම් කරයි. එහිදී ලේඛන සැකසුම් කිරීමට හා භාණ්ඩ නිෂ්කාෂණය කිරීමට ගතවන කාලය පිළිබඳව විශ්වාසයකින් යුතුව තක්සේරුවක් කිරීමට වෙළෙඳ ව්‍යාපාරිකයන්ට හැකියාවක් නොමැත.

ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් දක්වා ඇති ක්‍රියාපටිපාටි නියමිත පරිදි අනුගමනය කිරීමෙන් පසුව පවා සිදුවන නිරන්තර ප්‍රමාදයන් පිළිබඳව බොහෝ ආනයනකරුවෝ පැමිණිලි කරති. අපනයන ක්‍රියාවලියම කල්ගත වන හා පීඩාකාරී එකක් වන අතර, එයට එකතු වන තවත් ප්‍රමාදයන් අමතර බරකි. මෙය, ස්වකීය පොහොර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනවලින් සපුරා ගන්නා රටක් වන ශ්‍රී ලංකාවේ කෘෂි ඵලදායිත්වය හා අපනයන තරගකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරයි.

පිළියම් ක්‍රියාමාර්ග, භාණ්ඩ අපනයනයේදී සහ අපනයනයේදී නියාමනයන් සමග අනුගත නොවීමකදී ඇතිවන අවදානම ආකෘතිගත කිරීමත්, අවදානමේ මට්ටමට සමානුපාතික වන ආකාරයේ සංසිඳවීම් ක්‍රියාමාර්ග හඳුන්වා දීමත් තුළින් නිරන්තරව භාණ්ඩ පරීක්ෂාවට ලක්කිරීමට ඇති අවශ්‍යතාව අඩුකර ගැනීමට හැකි වනු ඇත.

උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේදී ආනයන අවදානම් තක්සේරු පද්ධතිය මගින් සෑම නැව් භාණ්ඩ තොගයක්ම අවදානමේ ප්‍රමාණය අනුව වර්ගීකරණයකට ලක්කෙරේ. ඉහළ අවදානම් ලෙස සැලකෙන භාණ්ඩ පමණක් 100% පරීක්ෂාවට ලක්කෙරේ. මැදි අවදානම් භාණ්ඩ පරීක්‍ෂාවට ලක් කෙරෙන්නේ අවස්ථාවෝචිත පදනම මතය. අඩු අවදානම් භාණ්ඩ කිසිදු පරීක්‍ෂාවකින් තොරව නිෂ්කාෂණය කෙරේ.

ඊට අමතරව, දේශ සීමා නියාමනයන් ක්‍රියාත්මක කරන ආයතන අතර, පවතින සම්බන්ධීකරණය හා සහයෝගය වැඩි දියුණු කිරීම මගින් නියාමනයන්ට අනුගත බව තහවුරු කිරීමට ගතවන කාලය හා පිරිවැය කැපීපෙනෙන ලෙස අඩුකර ගත හැකිය.

උදාහරණයක් ලෙස ජැමෙයිකාවේ ආනයන, අපනයන පර්යේෂණ මධ්‍යස්ථානය මගින් අන්තර් ආයතනික සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීම තුළින් ආනයනික වෙළෙඳ භාණ්ඩ පරීක්‍ෂා කිරීම සඳහා සාමාන්‍යයෙන් ගතවන කාලය වසර 06ක් තුළදී පැය 24 සිට පැය 04ක සාමාන්‍යයක් දක්වා අඩුකර ගනු ලැබිණි.

අනවශ්‍ය නීති රෙගුලාසි කපා හැරීම සඳහා රටවල් විසින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණවේදය වැඩි වැඩියෙන් යොදවා ගැනීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස මැලේසියාවේ ඇති ඉලෙක්ට්‍රොනික අවසරපත් (ඉ-අවසරපත්) පද්ධතිය මගින් වසරක දී අවසර පත් 284,655ක් සැකසුම් කිරීමේ හැකියාව ලැබෙන අතර, එහිදී එක් අවසර පතක් නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික චක්‍රයක් සඳහා ගත වන්නේ දිනකට අඩු කාලයකි.

තොරතුරුමය බාධක

නියාමනයන් හා ක්‍රියාපටිපාටි පිළිබඳව නිවැරදි අප්‍රමාදී තොරතුරු, පරිහරණ මිත්‍රශීලී ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව අපනයන සාර්ථකත්වය සඳහා තීරණාත්මක සාධකයක් වේ. නිවැරදි තොරතුරු නිවැරදි වේලාවට ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ප්‍රමාදයන්ට හා පාඩුවලට මුහුණ දීමට සිදුවේ.

එමෙන්ම තොරතුරු සොයා ගැනීම සඳහා වැය කෙරෙන කාලය සහ මුදල්ද වෙළෙඳාමට බාධකයක් විය හැකිය. අධ්‍යයනය මගින් පෙනීගොස් ඇත්තේ වෙළෙඳාම හා සබැඳි නියාමන තොරතුරු ලබා ගැනීමේ දුෂ්කරතාව වෙළෙඳාමට ඇති ප්‍රධාන බාධකයක් බවය.

අන්තර්ජාලය හරහා ලබාගත හැකි තොරතුරු සීමිත වීම

අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගැනීමට සැලැස්වීම තුළින් තොරතුරු සෙවුම් පිරිවැය සහ කාලය කැපීපෙනෙන ලෙස පහත හෙළමින් විනිවිදභාවය ඉහළ නැංවිය හැකිය. පොදු ජනයා වෙත තොරතුරු ලැබෙන්නට සැලැස්වීමේ ඇති වඩාත්ම සාධාරණ ආකාරය මෙයයි. ඒ, එහිදී කාලය හා ස්ථානය යන සාධක මගින් තොරතුරු ලබාගැනීම සීමා නොකෙරෙන බැවිනි.

වෙබ් අඩවි හරහා රජයේ තොරතුරු ක්‍ෂණිකව හා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව, කොළඹින් පිට පිහිටා ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාරවලට විශේෂයෙන්ම වාසිදායක වනු ඇත්තේ එසේ නොමැති වුවහොත් අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා කොළඹ පැමිණීමට කාලය සහ මුදල් වැය කිරීමට ඔවුන්ට සිදුවන බැවිනි.

පර්යේෂණය මගින් හෙළිවූයේ ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි හරහා ලබාගත හැකි තොරතුරු බොහෝ විට සීමා සහිත වන අතර, තිබෙන බොහෝ තොරතුරු යල් පැනගිය ඒවා බවයි. ඒ අනුව අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා අදාළ ආයතනයන් වෙත දුරකථනයෙන් ඇමතීමට හෝ එකී කාර්යාල වෙත පුද්ගලිකවම යෑමට වෙළෙඳ ව්‍යපාරිකයන්ට බොහෝ විට සිදුවේ.

කෘෂි වෙළෙඳාම හා සබැඳි ප්‍රධාන ආයතන 07ක් සම්බන්ධව සම්බන්ධතා විස්තර, ඉල්ලුම්පත්, ක්‍රියාපටිපාටි, සීමා පැනවීම් ලැයිස්තු, ගාස්තු හා කාලසීමාවන් වැනි මූලික තොරතුරු අන්තර්ජාලය හරහා ලබාගැනීමට ඇති හැකියාව මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කෙරිණි.එම අධ්‍යයනයට අනුව අවශ්‍ය තොරතුරුවලින් අන්තර්ජාලය තුළ තිබුණේ 36%ක් පමණි. ඉතිරි 64% ලබා ගැනීමට නම් ආයතන පරිශ්‍රයන් වෙත යෑමට හෝ අදාළ ආයතනය වෙත දුරකථන ඇමතුම් ලබාගැනීමට හෝ සිදුව තිබිණි.

සිදුවන වෙනස්කම් පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පූර්ව දැනුම් දීමක් කිරීමට අසමත් වීම

අදාළ නියාමන අධිකාරියේ ප්‍රධානියා වෙනස් වීමත් සමගම ක්‍රියාපටිපාටිවල වෙනස්කම් සිදුවීම සුලබ වන අතර, එම වෙනස්කම් අප්‍රමාදීව දැනුම් දෙනු නොලැබීම හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරිකයන්ට නව ක්‍රියාපටිපාටි වෙත හැඩගැසීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීම ගැටලුවකි. 

උදාහරණයක් ලෙස විශේෂ පොහොර වර්ග ගෙන්වන එක් ව්‍යාපාරිකයෙකු වෙත, අදාළ අමතර අනුමැතීන්ගේ අවශ්‍යතාව පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නැව් භාණ්ඩ තොගය වරාය වෙත ළඟා වීමට පෙර දැනුම් දෙනු නොලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ තොගය වරායෙන් නිදහස් කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් ගතවන දින 03ක කාලය වෙනුවට මාස 03ක කාලයක් ඒ සඳහා වැයවිය. ඒ නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමටද සිදුවිය.

පරිහරණයට පහසු ආකාරයට තොරතුරු සැපයීමට අසමත් වීම

තොරතුරු ලබාගැනීමේ හැකියාව දියුණු කිරීමට නම් පරිහරණයට පහසු ආකාරයකින් තොරතුරු ප්‍රකාශයට පත්කිරීම වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය ආශ්‍රිතව තිබෙන සීමිත තොරතුරු පවා සෙවීම දුෂ්කර ව්‍යායාමයකි. උදාහරණයක් ලෙස එක් නිෂ්පාදනයක් හා බැඳුණු යම් තනි ක්‍රියාපටිපාටියක එකිනෙකට වෙනස් විවිධ පැතිකඩ පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ වෙබ් අඩවි ගණනාවක් පුරා විසිරී පැවතීම දැක්විය හැකිය. 

නිෂ්පාදන කේතයක් හෝ නිෂ්පාදන නාමයක් ඇතුළත් කිරීමෙන් තොරතුරු, විශේෂයෙන්ම බදු හා වෙළෙඳ තොරතුරු වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පහසුවෙන් සෙවිය හැකි ආකාරයේ අන්තර්ජාල පහසුකම් රටවල් විසින් වැඩි වැඩියෙන් හඳුන්වා දෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ බොහෝ ආයතන එවැනි පද්ධතීන් හඳුන්වා දීමක් තවම සිදුකර නොමැත.

වර්තමානයේදී 'HS' කේතය අනුව පිළියෙල වී ඇති වෙළෙඳාම හා සම්බන්ධ වඩාත් යාවත්කාලීන තොරතුරු ඇතුළත් මෘදු අනුපිටපත් අන්තර්ජාලය තුළ ලබාගැනීමට නොහැකි අතර, ඒවා ශ්‍රී ලංකා රේගුව හරහා මිලදී ගත යුතුය. එමෙන්ම ආනයනික භාණ්ඩවලට අදාළ වන යාවත්කාලීන බදු තොරතුරු 'HS' කේතයට අනුව අන්තර්ජාලය හරහා පහසුවෙන් සොයාගත නොහැකිය.

පිළියම් ක්‍රියාමාර්ග - බොහෝ රටවල් වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීමේ හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමේ ක්‍රමයක් ලෙස වෙළෙඳ තොරතුරු අන්තර්ජාලය හරහා කේන්ද්‍රීය වෙබ් අඩවියක් මගින් ලබාදීමේ ප්‍රවණතාවක් පවතී.

වෙළෙඳ තොරතුරු මෙවැනි කේන්ද්‍රීය වෙබ් අඩවියකින් අපේක්ෂා කෙරෙන්නේ පරිහරණයට පහසු ආකාරයෙන් එක් වෙබ් අඩවියක් හරහා වෙළෙඳ ව්‍යාපාරිකයන්ට අදාළ වෙළෙඳ නීති, රෙගුලාසි, ක්‍රියාපටිපාටි, ගාස්තු ලැයිස්තු සහ දේශසීමා කළමනාකරණ ආයතන සියල්ලේ ඉල්ලුම්පත් ආකෘති පත්‍ර ආදී තොරතුරු පහසුවෙන් සහ ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලබාදීමයි.

2017 අයවැය තුළදී ශ්‍රී ලංකා රජය ජාතික වෙළෙඳ තොරතුරු සහිත මෙවැනි කේන්ද්‍රීය වෙබ් අඩවියක් ස්ථාපිත කිරීම සඳහා යෝජනා කර ඇත. 

කෙසේ වෙතත් තොරතුරුවල අදාළත්වය හා ප්‍රයෝජනවත් බව රැකෙන පරිදි ඒවා නිරතුරුවම යාවත්කාලීන කළ යුතු වීම නිසා එවැනි වෙබ් අඩවියක් පවත්වා ගෙන යෑම අභියෝගාත්මක කාර්යයක් බව මෙහිදී සඳහන් කිරීම වටී. එබැවින් එවැනි වෙබ් අඩවියක් ස්ථාපිත කිරීම වර්තමාන තොරතුරු ගැටලුව සඳහා විසඳුමක් වීමට නම් එම වෙළෙඳ තොරතුරු අදාළ ආයතන වෙතින් සැපයුම සහතික කරලීමේ ආයතනික විධිවිධානයන් පිහිටුවාලීම ඉතා වැදගත් වේ.

අවසාන වශයෙන් කිව යුත්තේ කෘෂි අපනයනවල ඇති සැඟවුණු විභවයන් ඉස්මතු කරවා ගැනීම සඳහා කළ යුතු බොහෝ වැඩ දේශීය තලය තුළ පවතින බවයි. අධ්‍යයනය මගින් හෙළි වූයේ දැනට පවතින දේශීය වෙළෙඳ බාධකවලින් බොහෝමයක් ප්‍රධාන ගැටලු දෙකක් ඇසුරින් පැනනගින බවයි.

පළමුව, වෙළෙඳාම හා සබැඳි ප්‍රතිපත්ති සම්පාදන අවකාශය තුළ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් තිදෙනා අතර පවතින සන්නිවේදනයේ කැපීපෙනෙන දුර්වලතාව - එනම් 1) නියාමනයන් ගොඩ නංවන ප්‍රතිපත්ති සම්පාදකයන්, 11) ක්‍රියාපටිපාටි මගින් නිර්මාණය කෙරෙන බාධක පිළිබඳ නොදැනුවත්ව සිටින හෝ දැනට පවතින ක්‍රමය තුළ තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන හා වරප්‍රසාද හේතුවෙන් එකී බාධකවලට විසඳුම් සෙවීමේ උනන්දුවක් නොමැති නියාමන ආයතන, හා 111) බාධක ජය ගැනීම සඳහා පෞද්ගලික මට්ටමේ විසඳුම් වෙත බොහෝවිට යොමු වන පෞද්ගලික අංශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ය. දෙවැනුව, රාජ්‍ය අංශයේ වගවීම සහතික කළ හැකි යාන්ත්‍රණයන් ප්‍රමාණවත් නොවීමය.

වෙනත් රටවල අත්දැකීම් තුළින් පෙන්නුම් කර ඇති පරිදි ඉහත විස්තර කළ බාධකයන් බහුතරයක් පහසුවෙන් විසඳාගත හැකිය. කෙසේ වෙතත් දිගු කාලීන චිරස්ථායි විසඳුම් සොයාගැනීමට නම් දේශීය බාධකවල ඇති වැදගත්කම හඳුනා ගැනීමේ හා ඒවා තුරන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ අභිලාශය රජය සතුව තිබිය යුතුය.

එමෙන්ම මෙම බාධක ඉවත් කිරීමට නම් වෙළෙඳාම හා සම්බන්ධිත නියාමන ආයතන එකී විසඳුම් ලබාදීම කෙරෙහි වගවිය යුතු බවට පෞද්ගලික අංශය විසින් දැඩිව අවධාරණය කිරීම ඉතා වැදගත් වේ.

වෙරිටේ පර්යේෂණ ආයතනය, ලංකා පලතුරු සහ එළවළු නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ සහයෝගිතාව ඇතුව මෙම අධ්‍යයනය සම්පාදනය කරන ලදී. එම සංගමය විසින් පර්යේෂණය කිරීමට ලබාදුන් මාර්ගෝපදේශනයට සහ සාකච්ඡාවලට සහභාගි වීමෙන් ලබාදුන් සහායට, වෙරිටේ පර්යේෂණ ආයතනය ස්තුතිය පුදකරයි.

වෙරිටේ පර්යේෂණ ආයතනයේ ආර්ථික විද්‍යා පර්යේෂණ කණ්ඩායම විසින් මෙම අධ්‍යයනය කරන ලදී. මෙම අධ්‍යයනයට හස්නා මුනාස්, සුභාෂිනී අබේසිංහ සහ දිනූ වික්‍රමගේ, අනෝජි ඒකනායක, අනීශා ගුරුගේ, අනූශන් කපිලන් සහ උමේෂ් මොරමුදලිගේ පර්යේෂණයෙන් සහාය දැක්වූහ. අනිෂ්කා අර්සකුලරත්න මෙයට සංස්කරණයෙන් දායක විය. මෙම අධ්‍යයනයට අවශ්‍ය තොරතුරු ලබාදුන් අදාළ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල මහත්ම මහත්මීන්ට, පර්යේෂණ කණ්ඩායම සිය ස්තුතිය පුද කරයි.

ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳ බාධක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...