දිනකට ලන්ච් ෂීට් මිලියන 15ක් භාවිත කරන අපේ රටට පොලිතී්න් වෙනුවෙන් විකල්පයක්
( චාමර සම්පත් ) 2017-06-15 11:49:37
Comments - 1       Views - 434

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමත් සමග රට තුළ වැඩි වශයෙන් කසළ පිළිබඳවත්, කසළ කළමනාකරණය පිළිබඳවත් කතාබහ වුවද මේ වනවිට ඒ සියල්ල අමතකව ගොස් ඇත.

එම කාලය තුළ කසළ කළමනාකරණයට, පොලිතීන් අඩුවෙන් භාවිත කිරීමට යොමු වූ බොහෝ දෙනාද මේ වනවිට ඒවා අත්හැර දමා තිබේ. කෙසේ හෝ කෙමෙන් කෙමෙන් කොළඹ නගරයේ තැනින් තැන මෙන්ම රට පුරාද කසළ දිගින් දිගටම එකතු වෙමින් පවතී.

රට තුළ පොලිතීන් භාවිතය අවම කිරීමේ අරමුණ ඇතිව රජය 2007 වසරේදී ‍මයික්‍රෝන 20 ට වඩා වැඩි පොලිතීන් නිෂ්පාදන සිදුකළ යුතු බවට නීතියක් ගෙන ආ අතර, වත්මන් ආණ්ඩුව එය මයික්‍රෝන 40 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර තිබිණි.

‍එම තීරණය මගින් රට තුළ පොලිතීන් භාවිතය අවම කළ නොහැකි බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රිකරණය කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

2006 දී රට තුළට පොලිතීන් ටොන් 64,106 ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 8163 ක් වැයකර තිබේ. 2007 ටොන් 71,200 ක් ආනයනය කිරීමට රුපියල්  මිලියන 11094 ක් වැයකර තිබේ.

2016 වර්ෂයේදී පොලිතීන් ටොන් 113,420 ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 20,013 ක් වැය කර ඇත. රට තුළ පොලිතීන් නිෂ්පාදනය ක්‍රමිකව වර්ධනය වී ඇති බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.

පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රිකරණය කරන්නන්ගේ සංගමය අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

දිරන පොලිතීන් නිෂ්පාදනයට ඉඩදෙන්න

අනුර විජේතුංග - සභාපති

ලන්ච් ෂීට් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැහැ කියන කාරණය අපිත් පිළිගන්නවා. මොකද ප්‍රතිචක්‍රිකරණය කරන්න යන වියදම වැඩියි.
දවසකට ලන්ච් ෂීට් මිලියන 15 ක් භාවිත කරනවා කියලා ජෛව විවිධත්ව අධ්‍යාපන හා පර්යේෂණ සංවිධානය කියලා තිබෙනවා.

දවසකට මිලියන 15 ක් භාවිත කරනවා කියන්නේ එය දෛනික ජීවිතයේදී මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙනවා. ඒ නිසා එක රැයකින් ලන්ච් ෂීට් තහනම් කළාම මිනිසුන් මුහුණදෙන අපහසුතාව අති විශාලයි. කර්මාන්තකරුවන් හැටියට අපටත් බලපෑමක් තිබෙනවා. 

විකල්පයක් නොදී කිසිම දෙයක් තහනම් කිරීම ප්‍රායෝගික නැහැ. ලන්ච් ෂීට් තහනම් කිරීම ප්‍රායෝගික නැහැ. දිරන පොලිතීන්වලින් ලන්ච් ෂීට් නිෂ්පාදනය කරන්න  හැකියාව තිබෙනවා. මයික්‍රෝන 20 නීතිය ඉවත් කරනවා නම් එය දැනට තිබෙන මිලට වඩා අඩු මිලට ලබාදෙන්න පුළුවන්. දිරාපත් වෙන දෙයකට එලෙස ගනකමක නීතියක් අවශ්‍ය වෙන්නෙ නැහැ. පාරිසරික ගැටලුවට තිබෙන පළමු විසඳුම එයයි. ඒ වගේම මිනිස්සුන්ට එය ආර්ථිකවත් වාසිදායකයි. 

එහෙම වුණොත් අවුරුද්දක් අවුරුදු පහක් ඇතුළත පොලිතීන් දිරාපත් වෙනවා.

පොලිතීන් තහනම් කරනවා කිව්වත් පොලිතීන් සම්බන්ධ කර්මාන්ත ශාලාවක් විවෘත කරන්න කවුරුහරි අයදුම්පත්‍රයක් යොමු කළොත් ඒකට මධ්‍යම පරිසර අධිකාරිය බලපත්‍රයක් දෙනවා. තහනම් කරන කර්මාන්තයකට ඇයි බලපත්‍ර දෙන්නේ. අන්තිමට කරන්න අවශ්‍ය තීරණය මුලින් කරලා දීර්ඝ කාලීන වැඩසටහන් විදිහට යායුතු දේවල් ගැන සැලකීමක් කරන්නේම නැහැ.

යම් දෙයක් තහනම් කරන්න කලින් ඒ සම්බන්ධ මිනිස්සු දැනුවත් කරන්න අවශ්‍යයි. ඒවා භාවිතයෙන් ඉවත් කරන්න වගේම එයට විකල්පයක්ද ලබාදිය යුතුයි. ඊට පසුවයි තහනම් කළ යුත්තේ. නමුත් ඒ කිසිවක් නොමැතිව පොලිතීන් තහනම් කළොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්නකො.

තහනම් කරන කර්මාන්තයකට ඇයි මධ්‍යම පරිසර අධිකාරිය බලපත්‍ර ලබාදෙන්නේ. මෙවැනි තීරණ ගැනීමෙන් මහජනතාව අපහසුතාවට පත්වීම පමණයි සිදුවෙන්නේ. ඒ වගේම මෙවැනි තීරණවලින් අපහසුතාවට පත්වෙන්නේ රටේ පරිසර ඇමති ලෙස ජනාධිපතිවරයා.
පොලිතීන් තහනම් කළොත් මොකද වෙන්නේ කියල පොඩ්ඩක් හිතලා බලන්න. කඩවල මිනිස්සුන්ට කෑම ඔතන ප්‍රශ්නෙ එනවා.

පිඟන් හෝදනවා කියන දේ ප්‍රායෝගික නැහැ. දැනටත් රටේ නියඟය තිබෙනවා. ඒ වගේම වතුර ප්‍රශ්නය තිබෙනවා. ඉස්සර වගේ ළිංවලින් වතුර ගන්නෙ නැහැ. වතුර බිල ගැන සැලකිලිමත් වෙනවා. මේ නිසා මොනවාහරි කරන්න කලින් ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරන්න වෙනවා. එවැනි කිසිම දෙයතක් කරන්නේ නැතිව තීන්දු තීරණ ගත්තාම ජනතාව සහ  පාලකයන් අතර අනවශ්‍ය විරෝධයක් ඇති වෙනවා.

පොලිතීන් සම්බන්ධ ප්‍රශ්නයේදී කසළ කළමනාකරණය තමයි මූලික විය යුත්තේ. ලංකාවේ එක පුද්ගලයෙක් අවුරුද්දකට කිලෝ 7 – 8 ක් පමණ පොලිතීන් භාවිත කරනවා. ඒක ඇමෙරිකාව වගේ රටක කිලෝ 69 – 70 පමණ ප්‍රමාණයක් වෙනවා. නමුත් ඒ රටවලට පොලිතීන් ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද ඒ රටවල කසළ කළමනාකරණය ගැන පැහැදිලි දැක්මක් තිබෙනවා.  

ඇමෙරිකාව වගේ රටක් එක්ක සැසැදීමේදී අපේ රටේ පොලිතීන් භාවිතය දහයෙන් එකක් විතර වෙන්නේ.  එපමණ අඩු මට්ටමක ඉඳලත් පාරේ තිබෙන කුණු ටික එකතු කරගෙන හරියට කසළ කළමනාකරණය කරගන්න බැරි තත්ත්වයක් තමයි අපේ රටේ තිබෙන්නේ. මේ දේවල්වලට විසඳුම් හොයන්නෙ නැතිව මේ වගේ තීරණ ගැනීමෙන් කර්මාන්තකරුවන් වගේම මහජනතාවත් අපහසුතාවට පත්වෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති කරගෙන නිවැරදි තීරණයක් ගන්න කියලා තමයි අපි කියන්නේ.

මයික්‍රෝන ගණන වැඩි කිරීමෙන් පොලිතීන් ප්‍රමාණය දෙගුණ වෙනවා

අනුර හේරත් - ලේකම්

2007 වර්ෂයේදී මෙරට නිපදවන පොලිතීන් සහ ආනයනය කරන පොලිතීන් බෑග්වල ගනකම මයික්‍රෝන 20 ට වඩා වැඩිකළ යුතු බවට නීතියක් සම්මත කළා. එම නීතිය අද වෙනතුරුත් ක්‍රියාත්මකයි. නමුත් මෙම නීතිය වල්වැදුණු තත්ත්වයක් තමයි තිබෙන්නේ. මුළු ලංකාව පුරාම මයික්‍රෝන 20 ට අඩු පොලිතීන්, ෂොපින් බෑග් බොහෝ දුරට වෙළෙඳ පොළේ අපට ලබාගන්න පුළුවන්.

එහිදී නීත්‍යනුකූලව පොලිතීන් නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ට තමයි එහි අවාසිය තිබෙන්නේ. මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් නිෂ්පාදන සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු වැටලීමක් කරන්නේ නැහැ. ඒවා නිසි කළමනාකරණයකින් යුක්තව නීතිය ක්‍රියාත්මක නොකරන නිසා පොලිතීන් නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට ලක්වෙලා තිබෙන්නේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. 

2007 මේ නීතිය ගෙන එද්දි ජනතාව හිතුවේ මයික්‍රෝන 20 ට වැඩි පොලිතීන් නිෂ්පාදන දිරාපත් වේවි කියලා. නමුත් ඇත්තටම එය දිරායන එකක් නොවෙයි. දිරායන කාලසීමාව දීර්ඝ කර හතර ගුණයකින් පමණ ගනකම වැඩි කිරීමක් ඒ අවස්ථාවේදී සිදුකළේ.

මයික්‍රෝන 20 නීතියවත් නිවැරදිව ක්‍රියාත්මක නොකරන බලධාරීන් හෙට අනිද්දාට මයික්‍රෝන 40 ට වඩා වැඩි පොලිතීන් නිෂ්පාදන සිදුකළ යුතු බවට නීතියක් ඇති කිරීමට කැබිනට් ප්‍රතිකාවක් ගෙන එන්න යනවා. නමුත් මයික්‍රෝන 40 ට වැඩි පොලිතීන් නිෂ්පාදන තුළින් කොහොමද මේ  කසළ ප්‍රශ්නය විසඳන්නේ. අපට නම් ඒක ගැටලුවක්. 

මේ නීතිය ගෙන ආවොත් සිදුවෙන්නේ රටට හානියක්. 2007 දී නීතිය හඳුන්වාදීමෙන් පසුව 2006 මෙරටට ආනයනය කළ පොලිතීන් ප්‍රමාණය මෙන් දෙගුණයකින් වැඩි වුණා. මේ අලුත් නීතිය ක්‍රියාත්මක වුණොත් අනිවාර්යයෙන්ම රටේ නිෂ්පාදිත පොලිතීන් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩිවෙනවා. එය රටේ තිබෙන විදේශ විනිමය විශාල වශයෙන් පිටතට යාමක්.

පසුගිය 2016 වසරේ රටට පොලිතීන් කිලෝ මිලියන 113 ක් ආනයනය කර තිබෙනවා.මෙම නීතිය ගෙන ආවොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රමාණය දෙගුණ කිරීමට සිදුවෙනවා. ඒ වගේම රට තුළ තිබෙන හැම කසළ ගොඩකම පොලිතීන් ප්‍රමාණය හරි අඩකින් වැඩිවෙනවා. රට පොලිතීන් දේශයක් වෙනවාට අපි කැමති නැහැ.

ප්‍රතිචක්‍රීකරණය කරන්න පොලිතීන් නැහැ

විජිත වර්ණකුලසූරිය

පොලිතීන් ප්‍රතිචක්‍රිකරණය කරන්නෙක්

මම පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ අපට ප්‍රතිචක්‍රිකරණය කරන්න පොලිතීන් නොලැබීමයි. මිනිස්සු කියනවා පොලිතීන් තහනම් කරන්න ඕන කියලා. නමුත් අපට පොලිතීන් ඉතා හොඳින් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් රට තුළ පොලිතීන් කළමනාකරණයේ ප්‍රශ්නයක් තිබෙනවා. 

ජනතාව බැහැර කරන පොලිතීන් ටික නිවැරදි විදිහට වෙන්කරලා  පිරිසුදු ආකාරයෙන් ලබාදෙනවා නම් අපට ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ලංකාවේ පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන්නන් 200කට වඩා ඉන්නවා.

පොලිතීන් පරිහරණය කරන්නන්ගේ ප්‍රශ්නය නිසා අපට පොලිතීන් ලැබෙන්නේ නැහැ. මිනිස්සු කසළ බැහැර කරද්දි පොලිතීන් දිරන කසළ මේ හැමදෙයක්ම කලවම් කරලා කුණු ලොරියට දානවා. කුණු ලොරිය කුණු ගොඩට හලනවා. නමුත් ඕනෑම පොලිතීන් වර්ගයක් වෙන් වෙන් වශයෙන් අපට ලබාදෙනවා නම් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කිරීම අපහසු දෙයක් නොවෙයි.

ලංකාවේ නිෂ්පාදනය කරන පොලිතීන් ලංකාවේම ප්‍රතිචක්‍රීකරණය කළොත් පිටරටවලින් පොලිතීන් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම පොලිතීන් පරිහරණය කරන්නේ කොහොමද කියලා ජනතාව දැනුවත් කළොත් අපට මේ ප්‍රශ්න බොහොම හොඳින් විසඳාගන්න පුළුවන්.

දැනට වෙළෙඳ පොළේ තිබෙන අඩු මුදලට ලබාදෙන්න පුළුවන් ශක්තිමත්ම ඇසුරුම් නිෂ්පාදන තමයි පොලිතීන් බෑග් එක. මේක තේරුම්ගත යුතුයි. එහෙම නැතිනම් මයික්‍රෝන ගාණ වැඩි කරලා කොතැනද මේක නවතින්නේ.

දියුණු රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග අපි හොයාබලා අනුගමනය කළ යුතුයි. එහෙම හොයලා බලන්නේ නැතිව නීති දමලා පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන්න එපා කියලයි අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. 

image3 KONICA MINOLTA DIGITAL CAMERA

දිනකට ලන්ච් ෂීට් මිලියන 15ක් භාවිත කරන අපේ රටට පොලිතී්න් වෙනුවෙන් විකල්පයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by fb-icon Manjula Chandika Sayakkara on (2017-06-20 22:23:22)

mr, Vijitha warnakulasooriya, please let me know the cotact details of your company. we can provide used polythene. 0776174272

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :