X
වියළි කලාපයේ අලින් ගැන තිබෙන දැනුමෙන් සිංහරාජයේ අලින් ගැන තීරණ ගන්න බැහැ
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2017-06-15 11:24:29
Comments - 0       Views - 866

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වැඩි වශයෙන් වන අලින් දක්නට ලැබුණද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව අද වනවිට තෙත් කලාපීය වනාන්තරවල අලින් වාර්තා වනුයේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතයෙන් සහ ශ්‍රීපාද අඩවියෙන් පමණි. එය ඉතා සීමිත ප්‍රමාණයක් වන බවට එම වාර්තා පෙන්වා දෙයි.

සිංහරාජයෙන් පමණක් මේ වනවිට නිල වශයෙන් අලින් දෙදෙනෙකු වාර්තා වන අතර, ඔවුන් පිළිබඳ පසුගියදා දැඩිව කතාබහට ලක්වූයේ බාහිර පාර්ශ්වයන්ට ඔවුන්ගෙන් යම් බලපෑමක් එල්ල වන බවට මාධ්‍ය තුළින් වාර්තා වීමත් සමගය. ඒ අනුව සිංහරාජයෙන් අලින් අල්ලා ඉවත් කරන ලෙස ඇතැම් පාර්ශ්ව බලකර සිටියද, සිංහරාජයේ අලින් මතුවටද එයම සිය වාසස්ථානය කරගත යුතු බවට පරිසර විශේෂඥයන් මෙන්ම ගම්වාසීන් බොහෝ පිරිසක් දැඩිව අවධාරණය කරන අයුරු දැකගත හැකිවිය.

කාරණය පිළිබඳ කවුරැන් කෙසේ තර්ක ඉදිරිපත් කලද තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍ය වෙත පසුගියදා අවධාරණය කර සිටියේ සිංහරාජයෙන් අලින් ඉවත් කිරීමට තමන් කිසිදු තීරණයක් නොගන්නා බවයි. එසේම ගුවන් විදුලි කරපටි (Radio Collar) ආධාරයෙන් අලියාගේ සංචරණ රටා අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් දියත් කිරීමෙන් ගැටළුවට විධිමත් විසඳුමක් ගෙන ඒමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවද සිංහරාජයට අලින් වැදගත් වනුයේ ඇයිද යන්න පිළිබඳ කරුණු සොයා බැලීමට 'අද' අවධානය යොමු කළේය. ඒ අනුව, සිංහරාජයේ අලින්ගේ පරිසර විද්‍යාත්මක භූමිකාව මෙන්ම එම සතුන්ගේ සමාජ විද්‍යාත්මක පසුබිම පිළිබඳව රුහුණ විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ, පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා විසින් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් ඒ මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවකි මේ. 

Q ලෝකයේ සිටින අලි විශේෂ පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකළොත්?

භෞමිකව ජීවත් වන විශාලතම සත්ත්ව වර්ගය වන අලියා, සිය පරිණාමීය විකාශනය තුළ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ හැර අන් සෑම භූගෝලීය ප්‍රදේශයකම විවිධ වකවානුවලදී ජීවත් වූ බවට සාක්ෂි හමු වෙනවා. නමුත් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඉන් විශේෂ දෙකක් පමණයි. එනම්, අප්‍රිකානු අලින් (Loxodonta africana) සහ ආසියානු අලින් (Elephas maximus). ඉන් අප්‍රිකානු අලියාගේ උප විශේෂ දෙකක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනූව, අප්‍රිකානු සැවානා බිම්වලින් හමුවන අලින් 'පඳුරු අලින්' (Loxodonta africana africana) ලෙසත් වැසුනු වියන වනාන්තරවලදී හමුවන අලි 'වනාන්තර වාසී අලි' (Loxodonta africana cyclotis) ලෙසත් හඳුන්වනවා. ආසියානු අලියාගේ උප විශේෂ තුනක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් Eliphas maximus maximus, Elephas maximus Indicus  සහ  Elephas maximus samantranus යන විද්‍යාත්මක නාම වලින් හැඳින්වෙනවා.

මින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ Elephas maximus maximus  යන ආසියානු අලියාගේ උප විශේෂයයි. ඔවුන් ශ්‍රී ලංකාවට ආවේණික වගේම පරිණාමීය වශයෙන් දියුණු තලයක ඉන්න බවට පිළිගැනෙනවා.

2011දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සංගණනයට අනුව දිවයිනේ අලි ඇතුන් 5879ක් සිටින බවට  වාර්තා වී තිබුණත් ඇතැම් පර්යේෂකයන් මේ දත්ත පිළිගැනීමට මැලිකමක් දක්වනවා. මෙම සංඛ්‍යා දත්ත අනුව වියළි කලාපයේ පමණක් අලි ඇතුන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. තෙත් කලාපය තුළ වාර්තා වන්නේ සිංහරාජයේ සහ ශ්‍රීපාද අඩිවයේ පමණයි.

Q බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වන විටත් ශ්‍රී ලංකාව පුරාම අලි ඇතුන් සිටි බවට වාර්තා වෙනවා? 

ඔව්. තෙත් කලාපය සහ වියළි කලාපය පුරාම සිටි බවට වාර්තා වෙනවා. නමුත්, බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන විට ලංකාවේ හෝර්ටන්තැන්න වගේම නුවරඑළිය ප්‍රදේශයේත් සිටි අලින් සම්පූර්ණයෙන්ම වගේ ඝාතනය කර තිබූ බව සඳහන්.

ඔවුන් විසින් ආරම්භ කරන ලද වාණිජ වතු වගාව ආරක්ෂා කිරීමට, ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීමට වගේම ප්‍රධාන වශයෙන් විනෝදය සඳහා දඩයම් කිරීමටත් සතුන් ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය කිරීම් සහ නිදහසින් පසු ගෙන එන ලද ඇතැම් සංවර්ධන යෝජනා නිසාත් ලංකාවේ තෙත් කලාපයේ අලි ඇතුන් දක්නට ලැබෙන්නේ නෑ.  

නමුත් ප්‍රධාන වශයෙන් ශ්‍රී පාද රක්ෂිතයේ සහ සිංහරාජය තුළ යම් සතුන් ප්‍රමාණයක් ඉතිරිව සිටිනවා. පහතරට වනාන්තර සලකා බැලුවහොත් කන්නෙලිය, රිදීගල සහ නාකියාදෙණිය යන ප්‍රදේශවල එදා සිටි මිනිසුන් සමග කතා කරනවිට ඒ අය කියනවා මෑතක් වනතුරු අලින් ජීවත් වුණා කියලා. අලින් සම්බන්ධව ලංකාවේ සිටි පශු වෛද්‍යවරයෙකු වන නන්දන අතපත්තු මහතා විසින් ලියන ලද පොතකත් මේ සම්බන්ධයෙන් සඳහන් කර ති‍බෙනවා. 

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්, වගා කටයුතු වැනි සංවර්ධන ක්‍රියා සමග එකට යාව තිබූ වනාන්තර, කුට්ටිකරණයට එහෙමත් නැත්නම් කොටස් බවට පත්වීමෙන් ක්‍රමයෙන් වනාන්තර හුදෙකලා වෙනවා. මේ නිසා අලින්ට වනාන්තර අතර සංක්‍රමණය වීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ අනුවයි වනාන්තර කුට්ටි වලට අලි ඇතුන් සීමා වී තිබෙන්නේ. 

Q ඒ කියන්නේ තෙත් කලාපයේදී දක්නට ලැබෙන මෙම තත්ත්වය දීර්ඝකාලීන විකාශනයක ප්‍රතිඵලයක්? 

ඔව්. අද වන විට ලංකාවේ ශ්‍රී පාද අඩවියේ සහ සිංහරාජයේ පමණක් අලින් ඉතිරිව සිටින්නේ ඓතිහාසික විකාශනයේ අවසන් ප්‍රතිඵලය විදියටයි. එය අහම්බයක් නොවෙයි, බ්‍රිතාන්‍ය යුගය දක්වා ඈතට දිවයන්නක්.

මාධ්‍යවලින් කුමන ආකාරයකට වාර්තා වුණත් සිංහරාජය කියන්නෙ කඳු අතර විහිද ගිය පටු වනාන්තර තීරුවක්. වනාන්තරය බාහිරට විවෘත වන ප්‍රමාණය සෑමවිටම වැඩියි. කාලයත් සමග වනාන්තර පර්යන්තයේ ඉඩම්, මානව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමෙන් සතුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග ඇහිරෙනවා. අලින්ගේ සැරිසැරීමේ වපසරිය වැඩියි. 

පෙරදී ගම්වැද අලින් පහරදීම් වාර්තා නොවුණත් අද වන විට මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ සිංහරාජ මායිමෙන් පිටත පර්යන්ත වනාන්තර ක්‍රම ක්‍රමයෙන් එළිපෙහෙළිව තිබෙන නිසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනූව සිංහරාජයේ දැනට ඉතිරිව සිටින්නේ පිරිමි සතුන් දෙදෙනෙකු පමණයි. නමුත් ඇතැම් පාර්ශ්ව සඳහන් කරනවා ඊට වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බවට. 

Q සිංහරාජයේ වෙසෙන අලින්ගේ පරිසර විද්‍යාත්මක වටිනාකම කුමක්ද?

දිවයිනේ වියළි කලාපීය වනාන්තර වල ආසියානු අලින් දක්නට ඇති නමුත් තෙත් කලාපයේදී මේ වන විට අලින් දැකිය හැකි වන්නේ ශ්‍රී පාද අඩවිය ස්වභාව රක්‍ෂිතයේ සහ සිංහරාජයේ පමණයි. මොවුන්ගේ ගහණය ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම තෙත් කලාපීය පරිසර පද්ධති රැකගැනීම සහ පවත්වා ගැනීම සඳහා ඔවුන් සුවිශේෂී කාර්යභාර්යයක් සිදුකරනවා. 

පරිසර විද්‍යානුකූලව අලියා 'ධජයධාරී විශේෂයක්' හෝ 'මුල්ගල් විශේෂයක්' (FlangshipSpacies/KyestoneSpacies) ලෙසයි හඳුන්වන්නේ. ඒ යම් පරිසර පද්ධතියක ඔවුන්ගේ පරිසර විද්‍යාත්මක භූමිකාව නැත්නම් අගය වටහා ගැනීම නිසා. ධජයධාරී හෝ මුල්ගල් විශේෂයක් ලෙස යම් ජීවියෙකු හඳුන්වන්නේ එම ජීවියා යම් පරිසර පද්ධතියක පැවැත්මට අතිශය වැදගත් කාර්යයක් ඉටුකරන්නේ නම් පමණයි.

එනම් එම ජීවියාගේ ක්‍රියාකාරීත්වය මත තවත් ජීවිත ගණනාවක් රඳා පැවතීමයි. එවැනි ජීවියෙකු අදාළ පරිසර පද්ධතියෙන් ඉවත්වීම හෝ වඳවී යාම එම පරිසර පද්ධතියේ බිඳවැටීමට හේතු වෙනවා. එනම් අදාළ පරිසර පද්ධතිය තුලිතව පවත්වා ගැනීමට එම විශේෂයන්ගේ පැවැත්ම තීරණාත්මක කාර්යභාර්යක් ඉටුකරනවා කියන එකයි. 

නිශ්චිත ශාක ගහණයක් සහ ගොදුරු බිම් පවත්වා ගැනීමට, සෙසු ශාකභක්‍ෂක සතුන්ගේ ආහාර රටාවන් හා ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග තීරණය කිරීමට, ජලය හිඟ කාලයේදී ජල මූලාශ්‍ර සොයා යාමට, අලින් මත යැපෙන ජීවින්ගේ පැවැත්මට, කෘමීන් සහ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට සහ ඇතැම් ශාක ව්‍යාප්තියට හා පුරෝහනය ආදී සෘජු හා වක්‍ර පරිසර විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා අලියාගේ පැවැත්ම යම් පරිසර පද්ධතියකට වැදගත් වෙනවා. 

ඔවුන් එම පරිසර පද්ධතියෙන් ඉවත් වීම යනුවෙන් අදහස් වන්නේ එම සමස්ත ක්‍රියාවලියම අඩපණ වීමයි. එය යම් ශාක හෝ සත්ත්ව විශේෂයකට හෝ සමස්ත පරිසර පද්ධතියකටම තීරණාත්මක බලපෑමක් සිදුකරනවා. 

ඒ අනුව, සිංහරාජ වනාන්තරයේ සහ ඒ අවට පරිවාර වනාන්තරවල මෙම පරිසර විද්‍යාත්මක කාර්යභාරය සිදුකරන්නේ මෙම අලින්  විසින් වන බව පැහැදිලි කරුණක්. ඔවුන් මෙම පරිසර පද්ධතියෙන් නෂ්ට වී යාම එම පරිසර පද්ධතියට හා එහි ඇති ශාක හා සතුන්ගේ පැවැත්මට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල වීමක් විය හැකියි.

කොහොම වුණත් මා දන්නා පමණින් සිංහරාජයේ අලින් පිළිබඳව කවුරුත් විධිමත් විධියට අධ්‍යයනය කරලා නෑ. ඔවුන් ගැන අපි දන්නේ ඉතා අඩුවෙන්. වියළි කලාපයේ අලින් පිළිබඳ තිබෙන දැනුමෙන් මේ සතුන් පිළිබඳ තීරණ නොගත යුතු බවයි මගේ අදහස.

Q මෙම අලින්  සිංහරාජයේ ජීවත් වීමේ වෙනත් වාසි සහගත තත්ත්වයන් තිබෙනවාද?

සිංහරාජ වනාන්තරය සහ එහි පරිවාර වනාන්තර ආරක්‍ෂා කිරීම සඳහා මෙම අලින්ගෙන් සිදුවන කාර්යභාර්ය සුළුපටු නෑ. අලින් සිටින වනාන්තරයට පිවිසීමට ඕනෑම අයෙක් බියවෙනවා. අලින්ට දක්වන මේ බිය එම වනාන්තරවල ආරක්‍ෂාවට හේතු වන බවට වනසංරක්ක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන ජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සේම ගැමියන්ද එකසේ පිළිගන්නවා.

වනාන්තරයේ සිදුකරන අනවසර දැව කැපීම්, මැණික් ගැරීම්, දඩයම් කිරීම් සහ අනවසර මත්පැන් පෙරීමේ කටයුතු වලට එරෙහිව පවත්නා ප්‍රධාන බාධාවක් ලෙස එම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇත්තේ මෙම අලින්. මොකද අවස්ථා ගණනාවකදීම අලින් විසින් එබඳු ස්ථාන හා පුද්ගලයන්ට ප්‍රහාර එල්ල කර තිබෙන බවට ගැමියන් එක්ක සිදුකළ සාකච්ඡා වලදී අනාවරණය වුණා. 

Q එසේනම්, එවැනි ජාවාරම්කරුවන්ගෙන් මෙම සතුන්ට යම් බලපෑමක්ද එල්ල විය හැකියි? 

එහි ප්‍රතිඵලයක් ලෙස තමයි එක් අවස්ථාවකදී ජාවාරම්කරුවන්ට අනුබල දෙන දේශපාලන අධිකාරිය විසින් මෙම අලින් අල්ලා ගෘහස්ථකරණය කිරීමට උත්සාහ ගන්නේ. එහිදී ඔවුන්ට, එක් අලියෙකු නිර්වින්දනය කර අල්ලා ගැනීමේ හැකියාව ලැබුණත් ජාවාරම්කරුවන්ට සහ ඔවුන්ගේ හිතවත් දේශපාලකයන්ට විරුද්ධ වූ ප්‍රදේශයේ ජනතාව අලියා රැගෙන යාමට ඉඩ නොදී මුදාහරින ලෙසට බලකර තිබුණා.

ගැමියන් විසින් දක්වන ලද විරෝධය ප්‍රබල වූ නිසා ජාවාරම්කරුවන්ට හා ජාවාරම්කාර දේශපාලඥයන්ට අලියා මුදාහැරීම හැර වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.

මෙයින් පැහැදිලි වන්නේ සිංහරාජය සහ එහි පරිවාර වනාන්තර ආරක්‍ෂා කිරීම සඳහා මෙම අලින්ගෙන් වන මෙහෙය සුළුපටු නොවන බවයි. ඒ නිසා අලින් නැති සිංහරාජය හා පරිවාර වනාන්තර ආරක්‍ෂා කිරීම අභියෝගයක් වනු ඇති. 

Q ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව  2010 වසරේදී අලි-මිනිස් ගැටුම නිසා ලංකාවේ මිනිස් ජීවිත 61ක් සහ අලි මරණ 225ක් වාර්තා වෙලා තියෙනවා. 2012දී මිනිස් ජීවිත 63ක් සහ අලි මරණ 250ක් වාර්තා වෙලා තියෙනවා. මෙහි දක්නට තිබෙන්නේ වර්ධනය වීමේ ප්‍රවණතාවක්. මෙය ඉතා නරක වර්ධනයක්.

සිංහරාජය අයිති වන ප්‍රදේශය පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2002 වසරේ දකුණු වනජීවී කලාපයේ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ වැඩමුළුවට කරුණු ඉදිරිපත් කරන එවකට සිටි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ප්‍රේමරත්න මහත්මිය විසින් රඹුක, කජුගහවත්ත කලාපය දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම බහුල කලාපයක් ලෙසට හඳුනාගෙන තිබුණා.

පුද්ගල මරණ 01ක්, බරපතළ තුවාල කිරීම් 2ක්, නිවාස වලට හානි කිරීම් 3ක් සහ වාහන වලට හානි කිරීම් 02ක් වගේම වෙනත් හානි මෙම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුමට හේතු වන්නේ සිංහරාජයේ වෙසෙන මේ අලින් කියල තමයි කියන්නේ. දිස්ත්‍රික් ලේකම්වරිය විසින් හතරවන අවදානම් කලාපය ලෙසට නම් කරන ලද ගොඩකවෙල-කහවත්ත කලාපවල සැරිසරන්නේත් මෙම අලින් කියලයි සැලකෙන්නේ.

අලී සහ කුමාර (2014) ට අනුව මෙම පිරිමි අලින් 2009-2013 කාලය තුළ 129 වතාවක් ගම්මාන වලට හා වගා බිම් වලට ඇතුළු වී තිබෙනවා.  2010- 2011 වසර වලදී අලින්ගේ පහරදීම් නිසා පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව රථ වාහන වලට පහර දීම, ගවයන්ට පහරදීම, වගා හා නිවාස වලට හානි කිරීම්ද වාර්තා වී තිබෙනවා.

Q ගැටුමට අදාළ හේතු පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුයි නේද? 

මෙහිදී මූලික වශයෙන් මේ අලින්ගේ අහාර සහ ප්‍රජනන අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. විශේෂයෙන් ලිංගිකව පරිණත වූ පිරිමි සතුන් මෙසේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නේ මේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඇති නොහැකියාව නිසා බවයි මගේ අදහස.

මෙයට අමතරව, සිංහරාජය වටා පැවති වනබිම්, තේ වගාවන් සහ ජනාවාස වෙනුවෙන් එළිකිරීම, අලින් නිතර ගැවසෙන වනාන්තර ප්‍රදේශවල සිදුවන පතල් කැණීම, මත්පැන් පෙරීම, දැව කැපීම, දඩයම ආදී හේතු රහිතව සිදුකරන ප්‍රකෝප කිරීම් මෙන්ම වනයේ සිටින විට අලි වෙඩි ගැසීම, වෙඩි තැබීම, දරුණු තුවාල ඇතිකරන උගුල් ඇටවීම, දුර සිට දමා ගැසීම මගින් ශරීරය පිලිස්සීම, රථ වාහන නළා ශබ්ද කිරීම, අලින්ගේ පාරම්පරික සංක්‍රමණ මාර්ග අවහිර වන පරිදි වගා බිම් සහ නේවාසික කලාප ඇති කිරීම ආදී මානව ක්‍රියාකාරකම් සහ අලින් පිළිබඳ මිනිසුන් තුළ ඇති නොදැනුවත්භාවය ආදියත් මෙම තත්ත්වයන් තීව්‍ර වීමට බලපා තිබෙනවා.

කෙසේවුවත් අලි-මිනිස් ගැටුම නිසා දෙපාර්ශ්වයම දැඩිව පීඩාවට ලක්ව තිබෙන බව පැහැදිලි වුවත් මෙම ක්‍රියාවලියට අවශ්‍ය පරිසරය සකසා ඇත්තේ මිනිසුන් විසින්මයි. 

Q මේ සඳහා ඔබ පෙන්වා දෙන විසඳුම් හා යෝජනා ඇති?

දැනට සිංහරාජයේ පිරිමි අලින් දෙදෙනෙක් පමණක් ඉතිරිව ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ. නමුත් මේ පිළිබඳව වෙනත් මතවාදත් තිබෙනවා. කෙසේවුවත් අපට තිබෙන පිළිගත හැකි තොරතුරු අනුව පැහැදිලි වන්නේ මේ සිංහරාජයෙන් ඇසෙන අවසන් කුංචනාදය වීමට පුළුවනි කියන එකයි. 

මොවුන් අල්ලා ඉවත් කරනවාට වඩා හොඳයි වෙඩි තබා මරා දමන එක. එයට පළමුවන හේතුව තමයි මොවුන් නිර්වින්දනය කර අල්ලා ගැනීම මෙවැනි කඳු පල්ලම් සහිත පරිසරයකදී මෙම සතුන්නේ ජීවිත වලට අතිශය අනතුරුදායක වීම. දෙවැන්න තමයි මෙම කඳුකර පරිසරයට සහ ඒවායේ  ආහාරවලට හුරුව සිටින මෙම සතුන්ට ලංකාවේ දැනට අලි ජීවත් වන වියළි කලාපීය පරිසර පද්ධති වලට එනම් ශ්‍රී පාද රක්ෂිතය හැර හුරුවෙන්න තිබෙන අපහසුතාව.

එසේ නම් දෙවන විකල්ප අවස්ථාව වෙත එළඹිය යුතුයි. එනම්, ස්ථානීය සංරක්ෂණය ගැන අවධානය යොමු කළ යුතුයි. සිංහරාජයේ මේ අලි ගහනය සිංහරාජය තුළම අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරන ආකාරය කෙරෙහි අවධානය යොමු කළ යුතු වීමයි.

ඒ සඳහා කළ යුත්තේ ප්‍රජනන වයසේ සිටින ගැහැනු සතුන් යම් ප්‍රමාණයක් පාලනය කරන තත්ත්වයන් යටතේ ක්‍රමයෙන් සිංහරාජයේ අලින් සමග මිශ්‍ර කිරීමයි. උඩවලව ඇත් අතුරු සෙවණෙන් කණ්ඩායම් වශයෙන් වනාන්තරගත කරන අලි කණ්ඩායමක් මේ සඳහා පුරුදු කළ හැකියි. ඊට තෙත් කලාපීය වනාන්තරයක් ආසන්නයේ  එනම්, සිංහරාජයේ අලින් ගැවසෙන පොතුපිටිය, කෝපි කෑල්ල ආදී ප්‍රදේශ මේ සඳහා යොදාගත හැකියි. 

මෙම නව කාණ්ඩය සැරිසරණ පරාසයන් (Home Range) පවත්නා වන ආවරණයට අනුගත වනු ඇති බවට අපේක්‍ෂා කළ හැකියි. කෙසේ වුවත් මෙය අභියෝගාත්මක සහ දීර්ඝකාලීන ව්‍යාපෘතියක් වනු ඇති. මෙහිදී, අලින් සම්බන්ධව ජීවවිද්‍යාත්මකවත් එනම්, ඇතැම් විට මොවුන් එකිනෙකා සමග මිශ්‍ර වීම ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක්ද සිදුවිය හැකියි. එසේම, මිනිසුන් විෂයෙහි සමාජ විද්‍යාත්මක අයුරින් එනම්, අලි මිනිස් ගැටුම සඳහාත් මෙබඳු ව්‍යාපෘතියක් ගැටලු ඇතිකළ හැකියි.  

කෙසේවුවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයක ප්‍රතිපත්ති හෝ නීති සකස් විය යුත්තේ පුද්ගලයන් හෝ ඉලක්කගත කණ්ඩායම් සතුටු කිරීමට නොවෙයි. ඒවා සකස් විය යුත්තේ විද්‍යාත්මක සහ තාර්කික පදනමක් මතයි. ඒවා ජාතික ප්‍රතිපත්ති වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි. සිංහරාජයේ අලින් සම්බන්ධවද එය එසේම විය යුතුයි.

Elephant 18-Elephants_Feeding_At_Yala-845371-Main_banner-Elephant-Island-Tour-Of-Sri-Lanka Sri-lanka-main_opt

වියළි කලාපයේ අලින් ගැන තිබෙන දැනුමෙන් සිංහරාජයේ අලින් ගැන තීරණ ගන්න බැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :