මැජෙස්ටික් කුමරිය සමග සංචාරයක් යමුද?
( චානක චන්ද්‍රසේකර ) 2017-06-14 11:35:54
Comments - 0       Views - 640

ප්‍රින්සස් කෘෘසස් සමාගමට අයත් අධිසුඛෝපභෝගී නෞකාවක් වන මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව ඉතාලියේ රෝම නුවර සිට චීනයේ ෂැංහයි නුවර දක්වා ගමන් කරන අතරතුරදී ඔවුන්ගේ ගමනාන්තයේ එක් අවස්ථාවක් සටහන් කරමින් පෙරේදා (12දා) ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණියේය.

ඒ අනුව එයින් පැමිණි සංචාරකයන් කොළඹ නගරයේ එක්දිනක් ගත කරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳගත්තේය. නෞකාව ඉන්දියාවේ කෝචින් සිට කොළඹට ළඟා වූයේය. එය කොළඹින් පසුව මැලේසියාවේ පේනැන්ග් වෙත ගමන් කිරීමට නියමිතව තිබුණි. මේ මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාවේ තතු පිළිබඳව දිගහැරෙන සටහනකි.

අයිතිය

බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා රටවල් දෙකේ ව්‍යාපාරිකයන් එක්ව පවත්වාගෙන යන ලෝකයේ විශාලම විනෝදාත්මක ප්‍රවාහන සමාගමක් වන කානිවල් කෝපරේෂන් සමාගමට අයත් ප්‍රින්සස් කෘෘසස් ආයතනය මැජෙස්ටික් ප්‍රින්සස් සමාගමේ අයිතිය දරයි. එම සමාගමට මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාවද ඇතුළත්ව විවිධ නම්වලින් හැඳින්වෙන ප්‍රින්සස් නෞකා 18ක් පවතී.

ඇමෙරිකාවේ කැලිෆෝනියාව කේන්ද්‍ර කරගනිමින් මෙහි ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර, ඔවුන් ලෝකයේ ගමනාන්ත 360ක් පමණ ආවරණය කරයි. සමාගම වසරකට මිලියන 2ක පමණ මගීන් ප්‍රමාණයක් හසුරුවයි. ප්‍රින්සස් කෘෘසස් සමාගමෙන් සේවය ලබාගත් 3000ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සිටින බව සමාගම සඳහන් කරයි.

මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව 

මේ වසරේදී ඉදිකර අවසන් වූ මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව ප්‍රින්සස් කෘෘසස් සමාගමේ නවතම නෞකාව වෙයි. ඉතාලියේ නැව් සමාගමක් වන Fincantieri Cantieri Navali  සමාගම විසින් නෞකාව ඉදිකර තිබේ. පළමු නෞකා ගමනය මේ වසරේ මාර්තු 31 දා සිදු කර තිබේ.

මගීන් 3560කට පහසුකම් ඇති නෞකාව දිගින් මීටර් 330ක් වන අතර, උසින් මිටර් 68.3කි. ආගන්තුකයන් සඳහා කැබින් 1780කින් නෞකාව සමන්විතය. එය විවිධ පංති සඳහා නිර්මාණය කර තිබේ. නෞකාව විශේෂීකරණය වූ රෙස්ටුරන්ට් 4ක් ඇතුළුව රෙස්ටුරන්ට් 20 කින් සමන්විතය. නෞකාවේ කාර්ය මණ්ඩලය 1500කි. නෞකාවේ උපරිම වේගය නෝට් 22කි.

නෞකාවේ පහසුකම්

සිනමා ශාලා, සිතුවම් ගැලරි, නාන තටාක, රාත්‍රී සමාජ ශාලා, කැරෝකී ආදී විවිධ පහසුකම්වලින් සමන්විතව මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව නිර්මාණය කර තිබේ. එහි ආගන්තුකයන් වෙනුවෙන් වෙන් කර ඇති ඇඳන් පවා සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර ඇත.

එසේම එහි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක්ද පවතින අතර, එහිදී ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම්හි භාණ්ඩ තීරුබදු රහිත මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව තිබේ. නෞකාවේ ආහාර ලබා දෙන ප්‍රධාන ස්ථානය World Fresh Market ලෙස හඳුන්වන අතර, මීටර් 130ක පමණ දිගින් වූ එහි උදෑසන, දිවා හා රාත්‍රී ආහාරය මගීන්ට ලබාදෙයි.

විවිධ වර්ගයේ ආහාර පාන මෙහිදී රස විඳීමට අවස්ථාව සැලසෙයි. පුස්තකාලයක් මෙන්ම අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි කැෆේ ස්ථානයක්ද නෞකාවේ පවතින අතර, නෞකාව නිදහස් වයිෆයි කලාපයක්ද වෙයි. මීට අමතරව සම්බාහන මධ්‍යස්ථානයකින්ද නෞකාව සමන්විත වෙයි. නෞකාවේ ඉහළම කොටසේ දැවැන්ත රූපවාහිනී තිරයක් පවතින අතර, එහිදී පාරිභෝගිකයන්ට විවිධ වැඩසටහන් ප්‍රදර්ශනය කෙරේ.

නිමාව

නෞකාවට ඇතුළු වන ඕනෑම අයෙකුට එය වෙනස් ලෝකයකට පිවිසියක් බඳු අත්දැකීමක් ලබාදෙයි. එහි ඇතුළත නිමාව සුපිරි පංතියේ හෝටලයක නිමාවට සමාන වන අතර, අතීත විභූතිය, කලාව උද්දීපනය වන අයුරින් නිර්මාණය කර තිබේ. එහි බිමට අතුරා ඇති විශේෂිත වූ මල් නිමාවෙන් සමන්විත බුමුතුරුණු සාම්ප්‍රදායික චීන බුමුතුරුණු කලාව විදහා දක්වයි. එසේම මාබල් හා මොසෑක් ටයිල් වලින් බිම නිර්මාණය කර තිබේ. එසේම එහි පිටත සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, එය නැවේ විශාලත්වය තවත් තීව්‍ර කරන සාධකයක් බවට පත්ව තිබේ.

පැය 24 පුරා ක්‍රියාත්මක සේවා

නෞකාවේ කාමර සේවය පැය 24 පුරාම ක්‍රියාත්මක අතර, එහිදී අමුත්තන්ට එම කාමර සහිත කලාපයේ ගමන් කිරීමට අවස්ථාව නොලැබෙයි. අමුත්තන් අනිවාර්යෙන් ඉහළට ගමන් කිරීමට විදුලි සෝපානය භාවිත කළ යුතු වෙයි. පොදු ස්ථානවලට ගමන් කිරීමේදී තරප්පු පෙළ භාවිත කළ හැකිය. එසේම පැය 24 පුරාම ක්‍රියාත්මක ආහාර ලබාදීමේ සේවයක්ද ක්‍රියාත්මක වෙයි. 

නෞකාවේ කාර්ය මණ්ඩලය

පාරිභෝගිකයන් සඳහා උපරිම සේවාවක් ලබාදීමට මනා ලෙස පුහුණු වූ නෞකා කාර්ය මණ්ඩලයකින් මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව සමන්විත වෙයි. විවිධ රටවල විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් මෙහි සේවයට යොදවා තිබේ. නෞකාව තුළට ඔබ ගමන් කළ විට ඔවුන්ගේ සුහදශීලී සේවය ඔබට ලැබෙනු ඇත. සමාගම පවසන්නේ ලෝකයේ ඉහළම පාරිභෝගික සේවයක් ලබා දීම සඳහා තම කාර්ය මණ්ඩලයට මනා පුහුණුවක් ලබාදී ඇති බවයි.

The Seawalk 

මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාවට විශේෂිතව නිර්මාණය කර ඇති මෙම ප්‍රදේශය නෞකාවේ ඉහළින්ම එයින් පිටතට නෙරා එන අයුරින් නිර්මාණය කර තිබේ.  එහි පතුල ඝනකම් වීදුරුවලින් නිර්මාණය කර තිබේ. එහි ගමන් කරන විට මුහුද පැහැදිලිව ඔබගේ පාදයන්ට යටින් දිස්වන අතර, ඇතැම්විට එය ඔබ සාගරය මතින් ගමන් කරනවාය යන හැඟීමක්ද ඇතිවීමට ඉඩ පවතී. මීටර් 8.5ක දිගින් යුත් මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 39ක් ඉහළින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීම

සේද මාවත ගමන් මාර්ගය නමින් හැඳින්වෙන දින 49ක චාරිකාවක එක් ගමනාන්තයක් ලෙස මැජෙස්ටික් ප්‍රින්සස් නෞකාව කොළඹ වරායට සේන්දු විය. ඉතාලියේ රෝම අගනුවර සිට චීනයේ ෂැංහයි වෙත ඇය ගමන් කරමින් සිටින්නීය. ඒ වරායවල් 23ක් හරහාය. එම වරායවල් 23 අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තෝරා ගැනීම විශේෂත්වයක් වෙයි. 

සම්බන්ධවීම

ප්‍රින්සස් කෘෘසස් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස world link air service සමගම කටයුතු කරන අතර ඔවුන්ගේ තොරතුරු www.worldlink.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.  ක_සස් සෙන්ටර්, වර්ඩ්ලින්ක් සමාගම, අංක 20, ධර්මාරාම පාර, කොළඹ 06 යන ලිපිනයෙන්ද, + 94 11 77 505 77 / + 94 11 24 724 17-9 යන දුරකථන අංක හරහාද, + 94 11 25 887 00 යන ෆැක්ස් අංකයෙන් හෝ info@worldlink.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවස්ථාව පවතී.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

EFP_0106 EFP_0191 EFP_0192 EFP_0196 EFP_0206 EFP_0213 EFP_0216 EFP_0233 EFP_0236 EFP_0253 EFP_0265 EFP_0279 EFP_0295 EFP_0306 EFP_0319 EFP_0327 EFP_0342 EFP_0359 EFP_0376 EFP_0465 EFP_0482

මැජෙස්ටික් කුමරිය සමග සංචාරයක් යමුද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...