ඇසළ මස වැස්සට තවත් ජීවිත කළු ගඟට බ්ලි නොවන්නට කොළබෑව ගම්මානයට පිහිටක් වන්න
( . . ) 2017-06-06 10:36:16
Comments - 0       Views - 970

සෑම උපතක් සමගම මරණය කාටත් පොදු ධර්මතාවයක් වුවත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ සෑම අයෙක්ම යහපත් මරණයක් බලාපොරොත්තු වීම කාටත් පොදු දෙයකි. එසේම තම නෑසියන්ගේ ගරු බුහුමන් සහිතව තම අවසන් ගමන යාමටද සියලුදෙනාම කැමති දෙයකි.

එහෙත් තම අවසන් ගමන මිනී පෙට්ටියක් හෝ අවසන් ආගමික වතාවත් (පාංශුකූලයක් )නොමැතිව යාමට සිදුවූ මිනිසුන් පිරිසක් පිළිබඳව අවාසනාවන්ත පුවතක් අයගම කොළඹෑව ගම්මානයෙන් පසුගියදා වාර්තා විය.

කළුතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය වෙන්කරමින් ගමන් ගන්නා කුකුලේ ගඟට මාකෙළිය ප්‍රදේශයේදී මාකෙළි දොළ එකතුවන්නේ මාකෙළි ඇල්ලට මඳක් පහළිනි. මුරණ්ඩු දඟකාර ජල ධාරාවක් කුකුලේ ගඟ හරහා ගලා ගියත්, එම ගඟ අවට පදිංචි සියලුදෙනා දැඩි ලෙස කුකුලේ ගඟට ආදරය කළේ එම ගඟ තම ප්‍රදේශයට ආභරණයක් වූ නිසාවෙන්මය. එහෙත් ඔවුන් කිසිලෙසකින් වත් තමන් ආදරය කරන කුකුලේ ගඟ තමන්ට උන් හිටි තැන් අහිමි කරාවියැයි සිතුවේම නැත.

පසුගිය 25 වනදා රත්නපුරය  හා කළුතර දිස්ත්‍රික්ක වෙන් කරන මායිම වූ කුකුලේ ගඟට මායිව පිහිටා තිබෙන කොළඹෑව ගමේ ජීවත්වන පිරිස වෙනදාට වඩා වේලාසනින් නින්දට ගියේ පැවති අධික වර්ෂාව නිසා පසුගිය දිනවල පැවති උණුසුම් කාලගුණ තත්ත්වය පහව ඇතිවූ සීතලත් සමගය. ඉක්මනින් නිදි සුව විඳීමට ඔවුන්ට බාධාවක් ඇති නොවුණේ කොතරම් වැසි වැස්සත් කුකුලේ ගඟට අභියෝගයක් ඇති නොවන නිසාය.

26 වනදා දෙගොඩ තලා යන කුකුලේ ගඟ දැකීමේ බලාපොරොත්තුවෙන් නින්දට ගිය කොළඹෑව ගමේ  මුනින්කන්ද වත්ත පාමුල පිහිටි නිවාස තුනක පිරිසට 26 වනදා නින්දෙන් අවදි වීමටත් පෙර අලුයම 5.45 ට පමණ පස් යට වැළලී යාමට සිදුවූයේ කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.

මුනින්කන්දේ අක්කර දහයකට ආසන්න කඳු කොටසක් කුකුලේ ගඟට ඇද වැටුණේ එම නිවාස තුනද පස් යට සඟවාගෙනය. එයින් එකම පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු ඇතුළු අට දෙනෙක් නිවාස තුනක් සමගම අතුරුදන් වූ අතර, කඩාවැටුණු පස් කන්දට කුකුලේ ගඟ හරස් වීම නිසා ගලාබසින මහා ජලකඳ යන එන මං සොයාගෙන පහලට ගලාගියේ කොස්ගුලන ගමේ නිවාස කිහිපයක්ද පොළවට සමතලා කරමිනි.

26 වනදා උදෑසන කොස්ගුලන ගමේ නිවාස කීපයක පදිංචිකරුවන්ට තම උන්හිටි තැන් අහිමි වී තිබියදී ගඟ දෙස බලනවිට ගඟ අසල එගොඩ ඉවුරේ පිහිටි නිවාස තුනක් පිහිටි ස්ථානවත් නැති බව දැකගන්නට ලැබුණි.

එය දුටු චමින්ද පුෂ්පකුමාරට දරාගැනීමට නොහැකි වූයේ එම ස්ථානයේ තම සහෝදරියගේ නිවසද පිහිටා තිබූ නිසාය. ඒ පිළිබඳව චමින්ද පවසන්නේ මෙවැනි කතාවකි.

''26 වැනිදා උදේ බලනකොට මගේ නංගිගෙ ගේ තිබුණ තැනක්වත් තිබුණෙ නැහැ. මගේ නංගි හා මස්සිනා එක්ක දරුවො තුන්දෙනයි, අනිත් නංගියි, නැන්දයි තවත් කෙනෙකුයි මිය ගියා. පසුව හමුදාවේ අයයි, අපි කට්ටියයි සිදුකළ සෝදිසියේදී සිරුරු හතරක්  හමු වුණා. ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක තුමා මට කතා කරලා එම සිරුරු අයගමට ගෙන එන ලෙසත්, එහිදී පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම පෙට්ටිවල තැන්පත් කර එම දේහයන් නැවත අපට ලබාදෙන බවත් පැවසුවා.

නමුත් පසුදා එහි ගිය මගේ මස්සිනාට දැක ගන්නට ලැබී තිබුණේ ට්‍රැක්ටරයක පටවා තිබෙන එම දේහයන් හතරයි. පසුව සභාපතිවරයාගේ ඉඩමක බැකෝ යන්ත්‍රයකින් හෑරූ වළකට එම සිරුරු දමා වසා දැමීමට කටයුතු කර තිබුණේ පෙට්ටියකවත් දැමීමකින් තොරවයි.

පසුව හමුවූ ගුණවතී නැන්දාගේ දේහය අපි අයගම යැවුවේ නැහැ. මරණ පරීක්ෂණයෙන් පසුව පොලිතින් කොලයක ඔතා වැළලුවා. එහෙම කළේ ඒ වන විට අපේ ප්‍රදේශයේ සියලු මාර්ග ජලයෙන් යටවී තිබීම නිසා මිනී පෙට්ටියක් ගෙන ඒමට නොහැකි වීමත් ඒ සඳහා මුදලක් වියදම් කිරීමට ශක්තියක් නොමැති වීමත් නිසයි. පාංශුකූලයක් දීමට හාමුදුරු කෙනෙක් වැඩමවා ගැනීමටවත් ලැබුණෙ නැහැ.

අපිව බලන්න කවුරුවත් ආවෙ නැහැ. හමුදාවේ මහත්වරු විතරයි හිටියෙ. මුලින්ම අපිව බලන්න ආවේ මංජු මහත්තයයි මාධ්‍යවේදී මහත්වරුයි විතරයි. අදටත් කිසිම නිලධාරියෙක් අපට මොකද උනේ කියල බලන්න ආවෙ නැහැ. ඊළඟ පාර අපේ ගම් දෙකම ගඟට ගහගෙන යනකම් ඒ අය ඉන්නවද දන්නෙ නැහැ.''

මෝල්කාව කොස්ගුලන ශ්‍රී ගංගාරාම විහාරාධිපති පූජ්‍ය වලකඩ මහින්දතිස්ස හිමියන් මෙසේ පැවසීය.

කලවාන අයගම මුනින්කන්ද කියන කඳුවැටිය කඩාගෙන මැයි 26 වෙනිදා පාන්දර 5.45 ට විතර කොළඹෑව ගමේ ගෙවල් තුනක් යට කරගෙන ගියා. පාලින්ද නුවර කොස්ගුලන කියන ගමේ වැලිකඳුයාව කියන ප්‍රදේශයේ නිවාස කීපයකුත් සමතලා කරමින් කුකුලේ ගඟ පාර සහ ගම දෙසින් ගලාගෙන ගියා.

ගඟේ කොටසක් දැනටත් වැසී ගොස් තිබෙනවා. මේ වනවිටත් ගඟ ගොඩවීම නිසා ගොඩබිමට අයත් ප්‍රදේශවලින් තමයි ගලාගෙන යන්නේ. කොස්ගුලන ගමේ සහ කොළඹෑව ගමේ ගඟ ආසන්නයේ පිහිටි සියලු නිවාස මේ වන විට අවදානම් තත්ත්වයේ තිබෙන්නේ.

කොස්ගුලන සහ කොළඹෑව යාකිරීමට කුකුලේ ගඟ හරහා කම්බි පාලමක් තිබෙනවා. මේ පාලමෙත් දෙපැත්තම ගිලාබැහැලා අවදානම් තත්ත්වයේ තිබෙන්නේ. මේ පාලම හරහා විශාල පිරිසක් ගමන් කරනවා. පාලම කඩා වැටුණොත් නාය ගියාට වඩා ජීවිත හානියක් සිදුවීමට පුළුවන්. මේ පිළිබඳව බලධාරීන් ඉක්මනින් පියවරක් ගත යුතුයි.

ඉදිරියේදී මෙවැනි නායයාම් සිදු වී ගඟ හරස් උනොත් කොළඹෑව සහ කොස්ගුලන ගම්මාන ඉවත්කරන්න වෙන හැඩක් තිබෙන්නේ. මේ ගම්මාන වෙනුවට අලුතින් ගම්මාන නිර්මාණය කරන්න සිදුවෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, මේ රජයේ බලධාරීන්ගෙන්, මේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මේ විපතට පත් ජනතාව වෙනුවෙන් ඉක්මන් වැඩපිළිවෙළක් දියත් කරන ලෙසයි.

මාස ගණන් ප්‍රමාද නොකර දින කීපයකින් ක්‍රියාත්මක කරන්න කියල තමයි ඉල්ලන්නේ. වර්ෂාව කියන එක මේ මාසෙන් අවසන් වෙන්නෙ නැහැ. කුකුලේ ගඟ වේල්ලත් සමග විශාල ජල කඳක් මෙහි ගලාගෙන යනවා. ඉදිරියේ ඇසළ මාසේ මේ ප්‍රදේශයට විශාල වැස්සක් වහිනවා. එවිට නාය ගිය කඳු වැටියේ ඉතිරි කොටස නැවත නාය යාමට ඉඩ තිබෙනවා. එහෙම උනොත් මේ විහාරස්ථානය ඇතුළු දෙපැත්තේම තිබෙන ගෙවල් ටික කළු ගඟට යනවා.

ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඉතාම ඉක්මනින් වැඩපිළිවෙළක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු වගකිවයුත්තන් ගත යුතුයි. එහෙම නැති උනොත් මේ වරප්‍රසාද ලබාගැනීමට අපි ඔක්කොටම පාරට බහින්න සිද්ධවෙනවා.''

මේ නිවාස අහිමි වූ අයට සෙවිලි තහඩු ටිකක්වත් ලැබෙනවා නම් ඉන්න තැනක් හදාගන්න පුළුවන්

මේ පිළිබඳව ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන මංජුල පද්මසූරිය මහතා මෙසේ පැවසුවේය.

''මේ කොස්ගුලන ගමට එන සියලු මාර්ග ජලයෙන් යටවෙලා තිබුණේ. මේ මිනිස්සු ගැන බලන්න කවුරුවත් ඇවිත් තිබුණේ නැහැ. මම මේ ගමට එනකොට ගමේ අයට කන්න දෙයක් තිබුණෙ නැහැ. විදුලිය නැතිව මුළු ගමම කළුවරේ තිබුණේ.

පසුව මම මගේ හිතවතුන්ට මේ පිළිබඳව පවසා කෑම පාර්සල් ගෙනැවිත් බෙදුවා. භූමිතෙල් ගෙනැවිත් බෙදුවා. දැන්නම් බොහෝ පිරිස් වියළි ආහාර පාර්සල් බෙදා දෙනවා. නමුත් සමහරුන්ට ලැබෙන දේ තබාගන්නවත් තැනක් නැහැ. ඔවුන්ගේ නිවාස විනාශ වෙලා. ඒ නිසා මේ නිවාස අහිමි වූ අයට සෙවිලි තහඩු ටිකක්වත් ලැබෙනවා නම් ඉන්න තැනක් හදාගන්න පුළුවන්.

මේ මිනිස්සු කාගෙන්වත් ඉල්ලගෙන කාපු අය නෙවෙයි. ඒ නිසා බලධාරීන් ඉක්මනින් මේ මිනිස්සුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ යුතුයි. මිනීපෙට්ටියක්වත් නැතිව වළ දාපු මිනිස්සුන්ට පාංශුකූලයක් වත් දෙන්න ඉදිරිපත් වුණේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් පමණයි.''

මෙම විපතේදී එම්.එච් ගුණවතී (62), රුවන් නිශාන්ත (26), තරුෂි තත්සරණි (07) , ගයාන් හිමරුවන් (03), පසිඳු දිල්ශාන් (05), සජිත් ප්‍රියංකර (17), ප්‍රසංගිකා සමන්කුමාරී (33), අජිත් කුමාර මාලගේ (51) යන අය පස්කන්දට යටවූ අතර, රුවන් නිශාන්ත, පසිඳු දිල්ශාන්, ප්‍රසංගිකා සමන්කුමාරි යන තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට නොහැකි වී ඇත.

කොළඹෑව සහ කොස්ගුලන ගම්වාසීන් මේ වන විට ජීවිත අවදානමකට සහ අනාගතය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයෙන් පසුවන අතර, ඔවුන්ට මේ වනවිට සෑම රාත්‍රියක්ම අවිනිශ්චිත රාත්‍රියක් බවට පත්වී ඇත. ඒ පසුදා හිරුඑළිය දැකීමට තමන්ට වාසනාව තිබේදැයි නොදන්නා බැවිනි. මේ තත්ත්වය නැති කිරීමට නම් බලධාරීන් ඔවුන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් ඇතිකළ යුතුයි.

ගම්වාසීන්ගේ ජීවිත පිළිබඳව නිලධාරීන්ට හෝ බලධාරීන්ට පමණක් වගකීම් පවරා ඇඟ බේරාගැනීමට ගම්වැසියන්ටද නොහැකිය. ඒ ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් මෙම විපත්වලට බලපා ඇති නිසාය. අසීමිතව වැලි ගොඩදැමීම සහ වන විනාශයද මෙම විපත් වලට ප්‍රධාන හේතුවක් බවද නොකියාම බැරි කාරණයකි.

මතුගම බන්දු තඹවිට

1 03 5

ඇසළ මස වැස්සට තවත් ජීවිත කළු ගඟට බ්ලි නොවන්නට කොළබෑව ගම්මානයට පිහිටක් වන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :