බොදු සිරිතෙන් ලොව අමතා හෙළ සිරිතත් ලොවට බෙදන ඕමල්පේ සෝභිත නාහිමි
( . . ) 2017-06-05 11:43:31
Comments - 0       Views - 428

ලෝකවාසීන් වෙත සදහම් සිසිල උරුම කරනු පිණිස සොබාදහමේම අපූරු නිර්මාණයක් ලෙස ඕමල්පේ නම් වූ ගමෙහි 1950.05.26 වන දින ජන්මාභිෂේකය ලත්, පිංවත් කුළ කුමරු  මාපිය සෙනෙහස් රැකවරණ සීමාවේ රඳාහිඳින ලද්දේ දශකයකට මඳක් වැඩි කාලයකි. සසර පුරුද්දට අවනත වෙමින් පුරුදු සුපුරුදු සදහම් වඩවනු රිසියෙන් මවුපිය ඇකයෙන් බැස සසර ගමන කෙටි කරගත හැකි කෙටිම මග වන බුදු මගට පියනගනුයේ 1960ක් වූ පොසොන් මස 22 වන දින බුද්ධ පුත්‍රයෙකු ලෙසිනි.

ලාල්පේ සිරිවංශ නායක හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් පැවිදි බිමට පත්,  ඕමල්පේ ජන්ම ලාභය ලද කුල පුත්‍රයා එදා පටන්  ඕමල්පේ සෝභිත හිමි නමින් ප්‍රකට විය. වසර එකොළහකින් පැවිදි බිමට පැමිණි සෝභිත හිමි තවත් වසර එකොළහකින් උපසම්පදාව ලැබීය. අපරිමාන ප්‍රතිභාවකින් යුක්ත අප හිමියන්ගේ නවෝදයේ නව හැරවුමක් සිදුවනුයේ පොතේවෙල ජිනරාජ පිරිවෙනෙහිදීය.

අකුරට දක්වන ලද අසහාය ළෙංගතුකමත් උන්වහන්සේ විසින් තනා ගන්නා ලද ඉලක්කයත් මල්ඵල ගැන්වූ අවස්ථාවක් වශයෙන් උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබූහ. විශ්වවිද්‍යාලය අලුත් මෙන්ම වෙනස් තැනක් වූයේ ඒ තුළ නිදහස, උද්වේගය ආවේගය, ආකර්ෂණය මෙන්ම සදාචාරයත් දුරාචාරයත් පැවතීමය.

ඒ අතර දේශපාලන සංකල්පද උන්වහන්සේගේ සිතට ආකර්ෂණය නොවුණා නොවේ. එහෙත් අප නා හිමියන් හොඳ නොහොඳ හඳුනාගැනීමත්  නොහොඳ ඉවත්කර හොඳ සමග ආත්ම ගතවීමත් සසර පුරුද්දට සිදුවූ එකක් බඳුය. අප නා හිමියෝ එදා මෙදා තුර යුතුකම වගකීමක් ලෙසද වගකීම යුතුකමක් ලෙසද සලකමින් ක්‍රියා කළ හිමි නමකි.

විශ්වවිද්‍යාලයේ චරිත අතර සුචරිතයක් බවට පත් වූ උන්වහන්සේ විභාග අවස්ථාවකදී නායක හිමියන්ගේ අපවත්වීම සමග  උන්වහන්සේ විසින් ගන්නා ලද දැඩි තීරණය උන්වහන්සේගේ නායකත්වයේ අතු ලියළුණු අවස්ථාවක් වශයෙන් දැකිය හැකිය. විභාගය අතහැර නායක හිමියන්ගේ කටයුතු සඳහා දායක වූයේ උතුම් මානව පුරුෂාර්ථයන් සහ කෘතවේදී බවද ප්‍රකට කරවමිනි.  

පැවිදි හිමි නමක වශයෙන් ආගමිකත්වයත් රකිමින් බෝසත් ගුණයද විහිදුවමින් විශ්වවිද්‍යාල ජීවිතය තුළ තත්ත්පර වුවද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහා භික්ෂු සංගමය පිහිටුවීම, බෞද්ධ සහෝදර සංගමය පිහිටුවීම, අන්තර් විශ්වවිද්‍යාලයීය  භික්ෂු සංගමය පිහිටුවීම ආදී වූ පුරෝගාමී කටයුතු රාශියක උන්වහන්සේ නිරත වූහ. ”මල වඩාත් සුවඳවත් වන්නේ පිපෙන විටය”.

ඕමල්පේ සෝභිත හිමි භික්ෂු චරිතයේ සුගන්ධවත් බව විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සංගම් 13 ක ලේකම් ධුරයන් දැරීම තුළින් පසක් කරගත හැකිය. මහා  භික්ෂු සංගමයේ උපදේශකවරයා වශයෙන් උන්වහන්සේ නායකත්වය සපයන ලද්දේ උන්වහන්සේ සසරින් ගෙන එන ලද නායකත්වය වපුරාලමිනි.'ගසක් නම් වන්නේ ගසේ ගෙඩියේ නමිනි' අප නායක හිමියන්ගේ නායකත්වය උන්වහන්සේ තුළ පැවතියා වු සක්‍යතාවන් තුළින් මතු වූ නායකත්වයකි.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ ගුරුවරයෙකු සේ ගුරු සේවයට පත්වුණු අප නාහිමියෝ 1970 තවත් උන්වහන්සේගේ ජීවිතයේ නව හැරවුමක් සනිටුහන් කරගන්නා ලද්දේ ශාස්ත්‍රපති විභාගයද ජයගැනීමත් සමගගුරු සේවයේ ගරු චරිතයක් වෙමින් නාගදීප විද්‍යාලය, ගැටමාන්න මධ්‍ය මහා විද්‍යාලය, බෙලිඅත්ත පඤ්ඤාසීහ විද්‍යාලය, කහවත්ත මහා විද්‍යාලය, දෙමටගොඩ වේළුවන විද්‍යාලය, බෝලාන මහා විද්‍යාලය යන පාසල් ගණනාවකම ගුරු සේවයේ යෙදෙමින් සමාජ හා ශාසනික සේවාවක උන්වහන්සේ නිරත වූ බවද මෙනෙහි කළ යුතුය.

1981 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ප්‍රධානය කරන ලද ''රාජකීය තායිලන්ත ශිෂ්‍යත්වය'' සෝභිත නාහිමිපාණන් වහන්සේට හිමිවිය. ජාතික චරිතයක්ව සිටි අප නාහිමියෝ තායිලන්තයේත් ලාත ඕසය, මැලේසියාව, සියම වැනි රටවල්වලට අත්‍යවශ්‍ය චරිතයක් බවටද පත්වූයේ උන්වහන්සේ තවත් චරිතයට එකතු කරගන්නා ලද පුරුෂාර්ථ හේතුවෙනි.

සැදැහැමි පැවිදි ජීවිතයක් ගත කළ නාහිමියෝ යුක්තියට හිස නමන අයුක්තියට විරසක වන පෞරුෂත්වයෙහි ලක්ෂණ උන්වහන්සේ විශ්වවිද්‍යාලයේදීත් ශ්‍රී ලංකාව තුළදීත් තායිලන්තයේදීත් එක සේ භාවිතයට ගත්හ. ''අංකෝර්වත්'' විහාරස්ථානය අපහසුතාවට පත්කරමින් කාම්බෝජයේ නිෂ්පාදනය කළ ''අංකෝර්'' නම් වූ බියර්වලට විරෝධතාව පළකරමින් ක්‍රියා කළහ. කාම්බෝජයේ පුවත්පතකට ''අංකෝර්වත් දූෂණය'' නමින් ලිපියක් පළ කළේ ද විශේෂයෙන්ම උන්වහන්සේ සැබෑ යුග පුරුෂයෙකු වූ හෙයිනි.

උන්වහන්සේට 1983 වසරේදී දිල්ලි විශ්වවිද්‍යාලයේ ලද ආචාර්ය උපාධිය හිමිවිය. හෙළ බසින් ලොව බස ආක්‍රමණය කිරීමට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට හැකි වූයේ  ඕල් ඉන්දියා රේඩියෝහි  භාෂා පරිවර්තකයෙකු  වීමත් සමගමය.

බෝධිරාජ පිරිවෙනහි නවෝදයත්, බෝධිරාජ ධර්මායතනයේ ප්‍රබෝධයත්, අප නායක  හිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත් දෙස් විදෙස් දායකකාරකාදීන්ගේ දායකත්වයත් එකිනෙකට සංකලනයවීමෙන් බෝධිරාජ ධර්මායතනය මහජන හිතසුව පිණිස ගොඩනැගුණු සමාජ සංවිධානයක් බවට පත් විය. තුන්කල් ඤාණය මෙහෙයවා වර්තමානයේ සිට අනාගතය පුරෝකථනය කරලීමේ යෝධ බලය හිමිකරගන්නා ලද අප නාහිමියෝ සමාජ සෝධකයෙක්, සමාජ සේවකයෙක් පමණක් නොව ධර්ම ප්‍රචාරකයෙක්ද කල්‍යාණ මිත්‍රයෙක්ද වූහ.

ඇඹිලිපිටියේ පානීය ජල යෝජනා ක්‍රම පැවතුණෙද පානීය ජලය ගැටලුවක් වූ ඇතැම් ගම්වල පානීය ජල අවශ්‍යතාව පූරණය කරනු පිණිස පවුල් දහසකට එනම් සාමාජිකයන් පන්දහසකට පමණ ජලය සැපයීමේ ව්‍යාපෘතිය දියත් කළේ අප නාහිමියෝ ය.

තමන් වහන්සේගේම පරිකල්පන ශක්තියත් නොපසුබස්නා වීර්යත් අත්වැල් බැඳගැනීමේ ඵලයක් වශයෙන් ගොඩනැගුණු බෝධිරාජ පිරිවෙන, බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන බවට පත්විය. ජාතියට උගත් බුද්ධිමත් ජාතියේ මුර දේවාතාවුන් බිහිකිරීමේ උදාරතරම ශාසනික සහ අධ්‍යාපනික සේවාව එමගින් දියත් විය.

විශේෂයෙන්ම සාමණේරයන් වහන්සේලා පනස් නමකට වැඩි පිරිසක් බුදු දහම, පාලි, සිංහල, ඉංග්‍රීසි ආදී වූ විෂයන් ඉගෙනීමෙහි නිරත වෙති. උන්වහන්සේලා උදාවන හෙට දිනයේ දී ඒ ශිල්ප ශාස්ත්‍ර ආදී ඥානය මතු පරපුරට මුදා හරිනු නිසැකය. එයද අප නාහිමියන්ගේ උදාරතර පරමාර්ථයකි.

ජාත්‍යන්තරයේ දහම් සලකුණ වන බෝධිරාජ පදනම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය සිරිලකට දායාද කරනු ලබන්නේ කාලීන අවශ්‍යතාවක් ඉටුකරවාලමිනි. දෙස් විදෙස් ගිහි පැවිදි කා හට වුවද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය සදහම් නවාතැනකි.

ඇඹිලිපිටියේ ස්ථාපනය කරන ලද බෝධිරාජ ධර්මායතනය ඇඹිලිපිටියෙන් රට පුරාවට ද සදහම් සේවාවන්වල නිරත වන බව සපථ කරනු වස් කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථාන නම් කළ  හැකිය. කඩුවෙල ඉහළ බෝමිරියේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය කාම්බෝජ හික්ෂූන් වහන්සේලා තිස් නමක් පමණ අධ්‍යාපනය ලබන බෞද්ධ මධ්‍යස්ථානයකි. ජාත්‍යන්තර සදහම් චාරිකාවකට සූදානම් කරවන මෙම ව්‍යාපෘතිය ද පරමාදර්ශී පැවිදි පරපුරකින් පැවත එන පූජ්‍ය  ඕමල්පේ නායක හිමියන්ගේ සංකල්පයක් මත බිහි වූවකි.

1962 දී ආරම්භ කරන ලද බෝධිරාජ දහම් පාස‍ෙල් මේ වන විට සිසුන් 1700 ැක් පමණ ඉගෙනුම ලබන අතර ගිහි පැවිදි ආචාර්යවරු හැට දෙනෙකුගෙන් සමන්විත බෝධිරාජ දහම් පාසල අප නාහිමියන්ගේ තුන් කල් නැණ නුවණින් බිහි වූ තවත් සමාජ සේවා ආයතනයකි.
විශ්ව ගම්මාන සංකල්පය ඇඹිලිපිටිය වැනි දුරබැහැර ගම්මානවලට පැතිරෙන කල ජාත්‍යන්තර පාසල් සංකල්පය එයට පිළිතුර විය.

සිංහල භාෂාව කවදත් අභිමානනීය භාෂාවකි. බාධකය වී ඇත්තේ එය ජාත්‍යන්තර භාෂාවක් නොවීමයි. ජාත්‍යන්තරයට පිය මනිනු පිණිස ඇති භාෂා බාධක ඉවත් කරනුවස් බෝධිරාජ විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 2002 වසරේදී ය. එහි මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 900 ක් පමණ අධ්‍යාපනය ලබති. ඉංග්‍රීසි පාසලක් ආරම්භ කිරීමට අප නායක හිමියන් පුරෝගාමී වුවද උන්වහන්සේගේ අදහස මෙබඳු එකකි. 

''ඉංග්‍රීසිය යනු තවදුරටත් ඔටුන්නක් හෝ කඩුවක් නොව අපේ ගමන පහසු කරවන පාරිභෝගික උපකරණයක් පමණක්මය.''
 මෙමගින් ද උන්වහන්සේගේ දැක්ම හෙළ බසට සහ හෙළ සිරිතට ඇති බැඳීම පැහැදිලි කරයි.

බෝධිරාජ ධර්මායතනයේ සේවාවන් ලෙස බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල, බෝධිරාජ පෙරපාසල් සමූහය, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ලෝකයේ ප්‍රථම ගව අනාථාගාරය, කිරි ගව අභය දාන වැඩසටහන, මෙත්සෙවණ නිවාසය, විසාකා නිවාසය, බෝධිරාජ ළමා නිවාසය, කළබල බිංදු උද්‍යානය, කාබනික පොහොර ව්‍යාපෘතිය, ඩේවිඩ් රොද්‍රිගු ළමා සංවර්ධන මධ්‍යස්ථානය, ගාමිණී වැඩිහිටි නිවාසය, මෙත්සෙවන කාන්තා නිවාසය, මාතෘ සුභ සාධන වැඩසටහන, සහන සේවා සමිතිය, අක්ෂිදාන සංගමය, බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය  සිංගපූරුව, බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය මැලේසියාව දැක්විය හැකිය.

 සුනාමි සහන මණ්ඩල යෝජනාව රටට අවාසි ගෙනෙන එකක් සේ පෙනුණු කල අප නාහිමියන් දින 07 ක් පුරාවට දළදා මැදුර අබියස උපවාසයක යෙදුණේ ජාතියේ මුර දේවතාවෙකු ලෙසිණි. සුනාමි සහන මණ්ඩල යෝජනාවට විරුද්ධ වුවද සුනාමියෙන් අවතැන් වූ දහස් ගණනකට නිවාස තනාදීමේ ව්‍යාපෘතිය අප නාහිමියන් දියත් කරන ලද්දේ විපතේදී හැර නොයන කල්‍යාණ මිත්‍රයෙකු විලසිනි.

පූජ්‍ය නිවිතිගල විජිත හිමි

 

 

බොදු සිරිතෙන් ලොව අමතා හෙළ සිරිතත් ලොවට බෙදන ඕමල්පේ සෝභිත නාහිමි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :