කොපමණ මුදල් දුන්නත් නුසුදුසු දේකට සම්බන්ධ වෙන්නේ නෑ
( මහේෂ් මලවරආරච්චි ) 2017-05-19 15:01:05
Comments - 0       Views - 234

දේශීය සංගීතයේ සුවිශේෂි සලකුණක් බඳු රෝහණ බැද්දගේ මහතා රංගන ශිල්පියෙකු ලෙසද සුවිශේෂි අනන්‍යතාවයක් දැක්වූ නිර්මාණවේදීයෙකි. කෙසේ වෙතත් මෑත කාලීනව ඔහු නිර්මාණකරණයෙන් ඈත්වූ බවක් දක්නට හැකිය. මේ පිළිබඳ ඔහු හා කළ සංවාද සටහනකි මේ.

Q මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙන අතරේ මගේ සංදර්ශනත් තියෙනවා. ඒවත් කරගෙන යනවා. එහෙම තමයි වැඩකටයුතු සිද්ධ වෙන්නේ.

Q වත්මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස?

අද සමහර වෙලාවට අපට මිනිස්සුන්ගෙන් අහන්න ලැබෙන්නේ ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවයන් නෙවෙයි. අද තියෙන ඒවාට වඩා ඉස්සර අපි කරපු 'පළිගු මැණිකේ', 'කන්දෙ ගෙදර' වගේ නාට්‍ය හොඳයි කියනවා. ඒ එක එක්කෙනා බලන විදිය. අද සමාජය පවතින්නේ අද ජීවත් වෙන අයට. එදා අපේ කාලෙ මේ පසුබිම වෙනස් නිසා අපි හිටියෙ වෙනත් තැනක. ඒ දෙක අතර පරතරයක් තියෙනවා . අද බිහිවෙන දේවල් අද අයට ගැළපෙනවා ඇති. නමුත් අපිට ගැළපෙන්නෙ නැහැ. එහෙම දෙයක් තමයි මම දකින්නේ. 

Q නවකයන්ගේ ආගමනය තුළින් ක්ෂේත්‍රයට යහපතක් වුණාද? අයහපතක් වුණාද?

අපිට කියන්න බැහැ යහපතක් වුණාද, අයහපතක් වුණාද කියලා. ක්ෂේත්‍රය එක තැන පවතින්නෙ නැහැ. සමාජයත් එක තැන පවතින්නෙ නැහැ. සංස්කෘතිය එක තැනක තියෙන්නෙත් නැහැ. ඉතින් වෙනස් වෙවී යන සංස්කෘතිය තුළ තමයි නවකයන් බිහිවෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට අද උපදින දරුවා මේ ජංගම දුරකථනය කොනිත්තලා එක එක ඒවා ගහන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ. අපිට ඒක කරන්න බැහැ. ආන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නෙ.

Q එතකොට ඔබ පවසන්නේ නව තාක්ෂණය නිසා ප්‍රවීණයන් ක්ෂේත්‍රයෙන් ඈත් වූ බවද?

ඔව්. ඇත්තට එහෙම එකක් තියෙනවා. තාක්ෂණය එනකොට අපි ගෙනාපු පද්ධතිය වෙනස් වෙලා තියෙනවා. තරුණයන් සමග තමයි අද බොහෝදෙනා කටයුතු කරන්නේ. ඕක තමයි තත්ත්වය.

Q ඔබ රඟපෑමෙන් ඉවත්වෙලාද ඉන්නේ? 

රඟපෑමෙන් ඉවත් වෙලා නැහැ. මට කවුරුත් කතා කළොත් අහල බලනවා මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඒ කරන්න තියෙන දේ මට සුදුසු නම් මම සම්බන්ධ වෙනවා. හැබැයි හොඳයි කියලා කරගෙන යද්දි නුසුදුසු පැත්තට යනව නම් මම අයින් වෙනවා. මුදල් දීපු පලියටවත්, මුදල් පස්සෙවත් මම හඹා යන්නෙ නැහැ. කොපමණ මුදලක් දුන්නත් නුසුදුසු දෙයකට සම්බන්ධ වෙන්නෙත් නැහැ.

Q ඔබ නුසුදුසුයි කියල පවසන්නේ මෙගා ටෙලිනාට්‍ය සම්බන්ධවද?

එයත් අද තියෙන ප්‍රශ්නයක් තමයි. මට පේන විදියට ඒ නාට්‍ය එක තැන කැරකෙන ස්වභාවයක් තියෙන්නේ.

Q එහෙම නම් අපට වැරදුණේ කොතැනින්ද?

එකක් සංස්කෘතිය වැරදි භාවිතය. මිනිසාටත් වාණිජ රටවල වාණිජ ආකල්ප ඇතිවුණා. හැමදෙයක්ම වෙළෙඳ වාසිය පතා සිදුවෙනවා. සාමූහිකත්වය නැතිවුණා. ඒ වගේ ගොඩක් දේවල් වුණා. ඒවා තමයි අපි වරද්ද ගත්ත දේවල්.

Q අද පවතින සිනමාව පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

මම ඒවට වැඩිය සම්බන්ධ වෙන්නෙ නැහැ. මෑතක එකක් කළා. චිත්‍රපට සම්බන්ධව මගේ ලොකු උනන්දුවක් නැහැ. ඒවත් අද මහා පරිමාණ විදියට මහා ලොකු දේවල් විදියට කරනවා. මම දන්නෙ නැහැ කොහොම කරනවද කියල හිතන්නත් බැහැ. අද අමුතු තැනකට ඇවිත් තියෙනවා. 

Q ඔබ පොතක් ලියමින් පවතිනවා නේද?

ඔව්. පැරණි පැවති සංගීතය පිළිබඳවයි ලියමින් ඉන්නේ. ඉන්දියානු සංගීතයේ ආභාසය ලබාගෙන පිහිටුවාගෙන තියෙන අපේ දේ ගත්තම ඔවුන් ගායනා කළේ වෙන විදියකට. ඒ සම්බන්ධව මම ලියන්න හිතුවා. ඉදිරියේදි එය මුද්‍රණය කරන්න අදහස් කරලා තියෙනවා.

Q වයෝවෘදධ කලාකරුවන් අසරණ වූ විට රජයෙන් හෝ යම් පිළිසරණක් සිදුකළ යුතුයි නේද?

මම නම් රජයෙන්වත්, කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අඩු ගානේ කලාකරුවන් සැමටම දීපු නිවස පවා මම භාරගත්තෙ නැහැ. රජයෙන් ඒ අසරණ කලාකරුවන් රැකගන්න දෙයක් කරන එක හොඳයි. නමුත් අපි දැනගන්න ඕන දේශපාලන වාසි තකා කරන දේ වලින් ඈත් වෙන්න. නැත්නම් රජයට කඩේ ගියා කියල තමයි අහගන්න වෙන්නේ. මිනිස්සු තේරුම් ගන්නෙ වැරදියට. ඒකයි මම කියන්නේ.

Q ප්‍රවීණයෙක් විදියට ඔබ නවපරපුරට කලාව ඉගැන්වීමේ කටයුතුවල නිරත නොවන්නේ ඇයි?

මට ඒක කරන්න බැහැ. මොකද මට බොරුකාරයෙක් වෙන්න බැහැ. මට ඒවා හරියට වෙලාවට කරන්න බැරිවුණොත් මිනිස්සුන්ට මාව එපා වෙයි . මාව එපා වෙන විදියේ වැඩ කරන්න ඕන නැහැනේ. කරන්න බැරි දේවල් නොකර හිටියම ඉවරයි. ඒවා මට හරියන්නෙ නැහැ.

Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ පොත ලියල ඉවර කරන එකයි, තව මම චිත්‍රපටි කතාවක් ලියමින් ඉන්නවා. එයත් ඉදිරි කාලයේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. 

කොපමණ මුදල් දුන්නත් නුසුදුසු දේකට සම්බන්ධ වෙන්නේ නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :