ඇමති මණ්ඩල සංශෝධනයක් කිව්වට මුදල් ඇමතිකම විතරක් මාරු කරන්න යනවා කියලයි ආරංචියි
( . . ) 2017-05-19 12:59:38
Comments - 0       Views - 715

ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමත්, ඒ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, නේපාල ජනාධිපතිනිය ඇතුළු රට රටවල නායකයන් ආගමික නායකයන් ශ්‍රී ලංකාවට පැමිණි නිසාම පසුගිය සතිය ශ්‍රී ලංකාවට කාර්යබහුල සතියක් විය. 

වෙසක් සැමරීමට ලංකාවට පැමිණෙන ඉන්දීය අගමැතිට විරුද්ධව කළුකොඩි ඔසවන ලෙස වෙසක් සතියට පෙරම මැයි දිනය දා ගෝල්ෆේස් පිටියේදී මන්ත්‍රී විමල් වීරවංශ ජනතාවගෙන් ඉල්ලීය. ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි එනවා. එන්නෙ වෙසක් බලන්න, තොරණ් බලන්න නෙවෙයි. ඒ එන්නේ මේ රට පාවලා දෙන ඊළඟ ගිවිසුම් ටිකට අත්සන් දාගෙන යන්න.

අපි කියනවා තමුන්නාන්සෙලාට මෝදි අගමැතිට පේන්න මුළු රටම කළුකොඩිවලින් පුරවන්න ඕන. ජාතියම අවදි වෙලා ඒ පාවා දීමට ඉඩදෙන්නෙ නෑ කියලා අපි පෙන්නන්න ඕන. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම දා විමල්ගේ මෙම කතාවට දැඩි විරෝධයක් එල්ල වූ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මහජනයා හමුවේ කියන්නට වූයේ ''ඒක අපේ අදහස නෙවෙයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ පුද්ගලික අදහසක්'' යනුවෙනි.

ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන්ද එය දැඩි දෝෂදර්ශනයට ලක්කළ අතර, එය නොකිවයුතු කතාවක් යැයි ඔවූහු විමල්ට කියන්නට වූහ.

කෙසේ හෝ විමල් වීරවංශ එසේ පැවසුවද වෙසක් දිනය දා විමල්ගේ නිවසේ 'මෙම නිවසට බුදු සරණයි' ලෙස සඳහන් බැනරයක් පමණක් ප්‍රදර්ශනය කර තිබූ අතර, විමල්ගේ හෝ ගම්මන්පිලගේ නිවෙස්වල කළුකොඩි නොව බෞද්ධ කොඩියක්වත් එසවී නොතිබිණි.

ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණි අතර, ලංකාවට පැමිණි විගසම ඔහු පැමිණියේ ගංගාරම වෙසක් කලාපය විවෘත කිරීමටය. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මන්දිරයට පැමිණි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මෝදි අගමැතිවරයා හමුවීමට වෙලාවක් ඉල්ලා තිබිණි.

රහස් සාකච්ඡා

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මේ බව දැනුම්දුන් අතර, ජනාධිපතිවරයා එයට ඉඩදෙන ලෙස පැවසූ හෙයින් මෝදි - මහින්ද හමුව සිදුවූයේ එදින රාත්‍රී 11.00 ට පමණය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ගෝඨාභය රාජපක්ෂ, ජී.එල්. පීරිස් යන අය සමග ගියද ඔවුන් සාකච්ඡාවට එක්කර නොගත් අතර, මෝදි මහින්ද සාකච්ඡාව රහසේ පැවැත්වුණු එකක් විය. ගෝඨාභය හෝ ජී.එල්. සාකච්ඡාවට එක්කර නොගැනීම ඔවුන්ටද ප්‍රශ්නයක් විය.

කෙසේ හෝ සාකච්ඡාව නිමවා පැමිණි මහින්ද සාකච්ඡා වූයේ මොනවාද යන්න කිසිවෙකුට නොපැවසූ අතර මේ වනතුරු එය රහසක්ව තබාගැනීමටද ඔහු කටයුතු කළේය.

කෙසේ හෝ මෙම හමුවෙන් පසුව මන්ත්‍රී විමල් වීරවංශගෙන් මේ පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ, 

''ඒකාබද්ධ විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. මෝදි අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවෙන්නේ හිටපු ජනාධිපතිවරයා හැටියට ඒ වගේම අනාගතයේ මේ රටේ පාලකයා හැටියට ඔවුන් හඳුනාගන්නා නිසා.''

එතකොට මන්ත්‍රීතුමා එදා සිදුවෙලා තියෙන්නේ මොකද්ද ඇත්තටම?

සිද්ධ වෙලා තියෙන්නෙ සුහදව සාකච්ඡා කොට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මම අනාගතයේ මේ රට බාරගන්නා පාලකයා බව හඟවා පැමිණීමයි. කළුකොඩි ඔසවන්න කියපු කතාවෙන් එතුමා කිසිම අපහසුතාවකට පත්වී නොමැත. 

කළුකොඩි එසවීම සාර්ථක නොවුණු නිසා ඔබතුමාට ලැජ්ජා නැද්ද?

හඬ නගා සිනාසෙමින් විමල් ඒ ප්‍රශ්නය මගහැර යන්න ගියේය.

කළුකොඩි කල්ලිය

කළුකොඩි කතාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේදී කදිම පිළිතුරක් ලබදුන්නේය.

''ඉන්දීය අගමැති මෝදි තුමා පැමිණෙන හින්දා වෙසක් එකට කළුකොඩි දාන්න කිව්වා. එතුමා එන්නේ මේ රටේ කොටසක් අරගෙන යන්න කියලා කිව්වා. අපි පැහැදිලිව කිව්වා එතුමා එන්නේ වෙසක් උත්සවයේ වැඩ වලට  විතරයි කියන කාරණය. ඉන්දීය අගමැතිතුමා එද්දි කළු කොඩි දාන්න කියපු අය රෑ එකොළහට ගිහින් අගමැති මෝදි හමුවුණා.

ඒ අය හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා කළුකොඩි කට්ටිය මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා, මොකද කරන්නේ  කියලා. මම කිව්වා අනේ හම්බවෙන්න දෙන්න කියලා. රෑ එකොළහට තමයි ඒ කළුකොඩිකාරයෝ ගිහින් හම්බ වුණේ.''

අමුතු තොප්පිය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගි වූ සුවිශේෂී අවස්ථාවක් වූයේ හැටන් නෝර්වුඩ්හි පැවැති ජන රැලියයි. මෙම රැලිය සාර්ථක කරගැනීමට වෙහෙසුණේ ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණේ දිගම්බරම් ඇතුළු ඔහුගේ පක්ෂයේ සාමාජිකයෝයි. දැවැන්ත වේදිකා නිර්මාණය කර පිටිය අලංකාරව සැරසීමට ඔවුන් කටයුතු කළේ තොණ්ඩමන්ට අවස්ථාවක් ලබානොදීමටය.

ඉන්දීය අගමැති දැක බලාගැනීමට වතුකරයේ දමිළ ජනතාව අතිවිශාල සංඛ්‍යාවක් එයට පැමිණි අතර, ඒ අතර ඉන්දියාවේ කොඩියේ පාට ඇසුරෙන් නිර්මාණය වූ හිස්වැසුමක් පැලඳ සිටි පිරිසක් පිටියේ කැපී පෙනෙන්නට විය. මෙම රැලියට සහභාගි වූ දහස් සංඛ්‍යාත පිරිස අතර මෙම පිරිස කැපී පෙනෙන්නට වූ නිසාම ඔවුන් පිළිබඳ සියල්ලෝම සාකච්ඡා කරන්නට වූහ.

එය තොණ්ඩමන්ගේ උපායක් බවට පසුව දැනගන්නට ලැබුණු අතර, සිය පාක්ෂිකයන්ට එලෙස හිස් වැසුමක් ලබා දී කැපීපෙනෙන ලෙස රැලියට සහභාගි කරවීමට ලංකා වතු කම්කරු කොංග්‍රසයට අවශ්‍ය වී තිබුණු බවද දැනගන්නට ලැබිණි. ඈත සිට බලන විට පිටියේ භාගයක් තොණ්ඩමන්ගේ පිරිසක් වී ඇති බව පෙනෙන්නට වූ නිසාම දිගම්බරන් සිටියේ තරමක් අමනාපයෙනි.

ඉන්දීය අගමැති මෝදි රැලිය ඇමතීමට වේදිකාවට පිවිස ජනතාවට ආචාර කළ අතර ඔහුගේ කතාවෙන් පසු ජනාධිපති සහ අගමැතිගේ අත් උදුරමින් තිදෙනා අත් අල්ලා අත්ඔසවමින් ජනතාවට ආචාර කරන්නට වූහ. එම දර්ශනය දුටු ජනතාව ඉතා උණුසුම් අන්දමින් ප්‍රතිචාර දැක්වූහ.

ගුප්ත බලවේගයක්ද?

මෝදි අගමැතිගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි එක් හෙලිකොප්ටරයක් මහනුවරදී කාර්මික දෝෂයකට ලක්වූ අතර, මෝදි පිටව ගියද එය යථා තත්ත්වයට පත්කර නොගත් හෙයින් එයට මෙරටින් පිටත්ව යාමට නොහැකි විය. 

එය යථා තත්ත්වයට පත්කරදීමට මෙරට ගුවන් හමුදාව ඉල්ලීමක් කළද ඉන්දියාව එය ප්‍රතික්ෂේප කළේ මෝදි අගමැතිගේ ආරක්ෂාවට ඇති නිල රථ තුළට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩනොදෙන බැවිනි.

එනිසාම එය යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාවෙන්ම පිරිසක් පැමිණෙනතුරු එය මහනුවර, අස්ගිරියේ නවතා තැබිණි. ඉන්දියාවෙන් පැමිණ එම හෙලිකොප්ටරය යථා තත්ත්වයට පත්කළද එය පියසාර කරවීමට නොහැකි විය. එනිසාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඒ වගකීම පැවරිණි.

ඔවුන් ඉතා ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කළ අතර, පසුව දළදා මාලිගාවට ගොස් වැඳ බාරහාර වීමෙන් පසුව හෙලිකොප්ටරය ඉහළට එසවීමට හැකි විය. මෝදි පැමිණීමට පෙර සිදුකළ පෙර පුහුණුවීම්වලදී මෙම හෙලිකොප්ටරය දළදා මාලිගාවට ඉහළින් පියාසර කරවීම හේතුවෙන් මෙලෙස එය අක්‍රීය වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.

ජයග්‍රාහී සෙල්ෆිය 

මේ අතර මෝදි අගමැතිවරයාගේ ලංකා සංචාරයේදී ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන්ට හැකි වී තිබිණි. එලෙස හැකි වූ එකම දේශපාලඥයා ඔහුය. පසුව සමාජ ජාල වෙඩ් අඩවියකට ඔහු එය එක්කර තිබුණේ මෝදි සමග සෙල්ෆි තරගයෙන් ජයගත් තැනැන්තා ලෙස නම් කරමිනි.

මහින්දට නින්ද නොගිය දවස

'අතුරුදන් කරවීම වරදක් කරනු' ලෙස ඉල්ලමින් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවැත්වූ වැඩමුළුවට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා අපූරු කතාවක් කීවේය.

''මගේ අවුරුදු විසි හයක දේශපාලන ජීවිතයේ නින්ද නොගිය දවස තමයි දහ අටවෙනි සංශෝධනයට අත උස්සපු එක. මම කරපු මාර පාපකර්ම තමයි ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයට ඡන්දය දීපු එකයි, සරත් ෆොන්සේකා මැතිතුමාට විරුද්ධව කටයුතු කිරීමයි''

ආණ්ඩු පෙරළියට සටන් කළ පුද්ගලයන් අතර තමා නොසිටි බවත්, එදා මහින්ද රාජපක්ෂට වැඩ කළ බවත් ඔහු කනගාටු ස්වරූපයෙන් පවසන්නට විය.

නැවත විරෝධයක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් විරෝධය මුල් කරගනිමින් මේ මස 29 වැනිදා වෘත්තීය සමිති දැවැන්ත වැඩ වර්ජනයකට යාමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණේ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙනි.

විදුලිබල, ඛනිජ තෙල්, ප්‍රවාහන ඇතුළු රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ආදී වෘත්තීය සමිති නියෝජිතයන් එයට සහභාගි වූ අතර, පසුගිය වැඩ වර්ජනය අසාර්ථක කරමින් සේවය කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා ස්තුති කරන්නට විය.

එහිදී ඛනිජ තෙල් ජාතික වෘත්තීය සමිති සංගමය චෝදනා කරමින් කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයෙන් රටටම පීඩාවක් ඇතිවන බැවින් හමුදාව යොදාගනිමින් එම කටයුතු සිදුකිරීමට පසුබටවන්නේ මන්දැයි යනුවෙනි.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා එය අනුමත කළද ස්ථිර පිළිතුරක් ලබානොදුන්නේය.

විනාඩි 45 යි - අපටත් පුදුමයි

මේ සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුව සඳහා ඇමතිවරුන් බොහෝ දෙනෙකු සහභාගි නොවූ අතර, කැබිනට් හමුවද විනාඩි 45කට සීමා විය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ සතියේ නොපැවැත්වෙන බවට ආන්දෝලනයක් ඇති වූ බැවින් අමාත්‍යවරුන් ඒ වේලාව තුළ විවිධ වැඩ කටයුතු යොදාගෙන තිබුණු අතර, ඒ හේතුවෙන් සහභාගි වීමට නොහැකි විය. තිබිණි. කැබිනට් හමුවේදී උණූසුම් කතාබහක් ඇති වෙතැයි බලාපොරොත්තුවෙන් අමාත්‍යවරුන් එයට සහභාගි වුවද, එවැනි කිසිවක් සිදුනොවීම පිළිබඳ අමාත්‍යවරුන්ද සිටියේ පුදුමයට පත්වෙමිනි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් අතර සීතල යුද්ධයක් හටගෙන ඇති අතර, ඇතැම් අමාත්‍යවරුන් තමන්ට වැඩ කළ හැකි වුවද වැඩ කිරීමට අවස්ථාව නොමැති බව පවසමින් කඳුළු කතා කියන අතරවාරයේ අැතැම් මන්ත්‍රීවරු අමාත්‍යවරුන්ට චෝදනා කරමින් විවිධ කතා කියන්නට වූහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විරෝධතාවක් දැක්විය යුතු බවට තීරණය කරගත් අතර, ඒ අනුව මේ සතිය පුරාවට විවිධ මන්ත්‍රීවරු විවිධ දෑ පවසන්නට වූහ.

ඔබතුමා පැරදිලා ඉන්නේ - අපට වැඩ කරන්න ඉඩදෙන්න

ජාඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව පසුගියදා රැස්වූයේ හිටපු අමාත්‍යවරුන් වන ජෝසප් මයිකල් සහ ෆීලීක්ස් පෙරේරාගේ ප්‍රධානත්වයෙනි.

ජාඇල ප්‍රදේශය තුළ හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා අක්කර 05 ක  භූමියක් ලබාදෙන ලෙස හමුදාව විසින් ඉල්ලීමක් කර ඇති බව ආරම්භයේදී ෆීලික්ස් පෙරේරා විසින් සභාවට දැනුම්දුන් අතර, එලෙස ඉඩම් ලබාදීමට ජෝසප් මයිකල් පෙරේරා විරුද්ධ විය.

එම කතාව පසෙකින් තබා සංවර්ධන යෝජනා පිළිබඳ සාකච්ඡා වාරය ඇරඹූ අතර, මුලින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යෝජනා පිළිබඳ සාකච්ඡා කරන්නට විය.

ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් සිය විමධ්‍යගත අරමුදල් සහ රජයේ ප්‍රතිපාදන ලබාගනිමින් සිදුකළ යුතු සංවර්ධන යෝජනා කාවින්ද ඉදිරිපත් කර තිබුණද ඒ සියලුම යෝජනා සඳහා ජෝසප් මයිකල් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව බස්නාහිර පළාත් මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරලද සිය විමධ්‍යගත අරමුදල් සහ මහා නගර බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාදුන් අරමුදල් යොදාගනිමින් යෝජනා කර තිබූ සංවර්ධන යෝජනා පිළිබඳ සාකච්ඡා ආරම්භ කළද ඒ සියල්ලටද ජෝසප් මයිකල් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට විය.

මේ සියල්ල දෙස බලා සිටි නිරෝෂා සභාව මැද සිය විරෝධය පළ කරන්නට වූයේ ඉවසා සිටීමට බැරිම තැනදීය.

''ඇයි ඔබතුමා අපේ යෝජනාවලට විරුද්ධ වෙන්නේ. අපි මේවා යෝජනා කරන්නේ ජනතාව වෙනුවෙන්. ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන්. ඒවට විරුද්ධ වෙන්න ඔබතුමාට අයිතියක් නැහැ.''

නිරෝෂා එසේ කියන විට ජෝසප් මයිකල්ද බැණ වදින්නට වූයෙන් නිරෝෂාද එකට එක පවසමින්, 

''ඔබතුමා දැන් ඡන්දෙන් පැරදිලානෙ ඉන්නේ. අපි මන්ත්‍රීවරු. අපට වැඩ කරන්න ඉඩදෙන්න.''

පැවසූ විට එතෙක් නිහඬව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද හඬ අවදි කළේය.

''අපි මේ මහජන මුදල්වලින් වැඩ කරන්නේ. අපි මෙතෙන්ට ඇවිත් මෙහෙම රණ්ඩු වෙනවා නම් මේ බොන තේ එකටත් අපරාධයක්. මෙතෙන ඉඳගෙන ඉන්න වෙලාවට වැය කරන මුදලටත් අපරාධයක්. අනිත් දේ තමයි අපි සංවර්ධන යෝජනා ඉදිරිපත් කරන්නේ අපේ ගෙවල් හදාගන්න, අපේ ගෙදරට යන පාර හදාගන්න නෙවෙයි. මේ ප්‍රදේශය දියුණු කරන්න අවශ්‍ය යෝජනායි  අපි ඉදිරිපත් කරන්නේ.

මේ යෝජනා ගැන කතා කරන්නේ නැතුව ඒවට විරුද්ධ වෙනවා නම්, රණ්ඩු වෙනවා නම් මට ඒ වගේ තැන්වල ඉන්න බැහැ. රජයේ නිලධාරීන් වුණත් මේ ගැන සැලකිලිමත් වෙන්න. මහජන මුදල් නාස්ති කරන්න අපි කාටවත් අයිතියක් නැහැ'' යැයි කියමින් කවින්ද නැගිට වේදිකාවෙන් බැස පිටව යන්නට සැරසෙන විට සම්බන්ධීකරණ කමිටුවේ සිටි නිලධාරී සියලු දෙනා අත්පොළසන් දෙන්නට වූහ. කාවින්ද පිටව ගිය පසු නිරෝෂාද එයින් ඉවත්ව ගිය අතර, සම්බන්ධීකරණ කමිටුව අවසානයකින් තොරව අවසන් විය.

'කුමටද සොබනියේ කඳුළු සලන්නේ'

බීබීසී ලෝක සේවයේ කොළඹ වාර්තාකරු ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා පිළිබඳ ලියැවුණු 'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' ග්‍රන්ථය එළිදැක්වීම සිදුවුණේ පුවත්පත් ආයතනයේදීය.

එල්මෝට ආදරය කළ බොහෝ පිරිසක් එතැනට එක්වූ අතර, එයට සහභාගි වූ ඇමති ගයන්ත අතීතයේ දේශපාලන වෙනස්කම්වලදී ගුවන්විදුලිය වෙනස් වූ අාකාරය පැහැදිලි කළේය.

''අද වගේ නෙවෙයි ඒ කාලයේ ආණ්ඩු පෙරළියක් සිදුවුණාම ගුවන්විදුලි ශ්‍රාවකයට දැනෙනවා වෙනස්කම් සිදුවෙලා කියලා. කොටින්ම කියනවානම් වාදනය කරන ගීත පවා වෙනස් කරනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයේ තේමාව පවා විටින්විට වෙනස් වෙලා තියෙනවා. එන්.ඇම්.ට පුළුවන්ද හත්හවුල පෙරළන්න වගේ වාදනයන් ඒකාලයේ ඇහුණා.

1970 – 77 කාලේ එල්මෝටත් ඒ දේශපාලන සුළඟ විටින්විට බලපෑවා. ඒකාලේ ගුවන්විදුලියේ දේශපාලන වෙනස්කම් හොඳට පෙන්නලා තියෙනවා. අපි අහලා තියෙනවා 70 – 77 කාලේ මැතිනිය ඉන්නකොට, මැතිනිය උලුප්පන්න නිතරම 'රැජින මමයි අපේ රාජ්‍යයේ' කියන ගීතය වාදනය කළා. ඒ ගුවන්විදුලියම මැතිනිය වෙනස් වුණාට පස්සේ 'කුමටද සොබනියේ කඳුළු සලන්නේ' වගේ ගීත එකපාරටම වාදනය වෙනන් පටන් ගත්තා. ඒකාලයේ ජෝතිපාල මහත්තයාට ගුවන්විදුලියේ ගීත තහනම් කරලා තිබුණා. 77 ඡන්ද ප්‍රතිඵල කියනකොට දොම්පේ ආසනයේ පීලික්ස් ඩයස් පරාද වුණා කියනකොට ඒ ප්‍රතිඵල එක්කම ජෝතිපාලගේ 'රජකම් කෙරුවත් කළකම් පළදේ' කියන ගීත වාදනය වුණා.

ඉතිං ඒකාලේ අපි ජනමාධ්‍ය ඇමතිකම් කරනවා වගේ නෙමෙයි ඒවගේ දේවල් තිබිලා තියෙනවා. 70 – 77 කාලේ එල්මෝ තාඩන පීඩනවලට ලක්වෙලා තිබුණද බණ්ඩාරනායක මැතිනියට අපහාස වෙන ගීත ප්‍රචාරණය වෙනකොට එල්මෝ ඒකට විරුද්ධ වුණ බව මට එල්මෝ කියලා තියෙනවා''

නටන හැටි අපට කියලා දෙන්න වෙනවා

අරණායක කන්ද නායයෑමෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 'සෙනෙහෙ සියපත' නිවාස ලබාදීම වසන්තගමදී සිදුකෙරුණු අතර, එයට සහභාගි වූ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා රණවිරුන් සම්බන්ධයෙන් මෙන්ම විවේචන සම්බන්ධයෙන්ද වටිනා ප්‍රකාශයක් කළේය.

''උතුරේ දේශපාලනඥයන් විටින්විට ආපේ ත්‍රිවිධ හමුදාව විවේචනයට ලක්කරනවා. සෑම ආපදාවක් වනවිට අපේ ත්‍රිවිධ හමුදාව තමයි ඒ පීඩාවට පත්වූ ජනතාවට සේවය කරන්නේ, ඔවුන්ගේ ජීවිත බේරාගන්නේ. අපි කනගාටු වෙනවා මෙවැනි සේවාවක් කරන ත්‍රිවිධ හමුදාව මේ ආකාරයට විචේචනයට ලක්කරන එක ගැන. 

උතුරේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙන සිවාජලිංගම්  කියන මන්ත්‍රීවරයෙක් පහනක් පත්තුකර ගෙන හතරපස් දෙනෙක් වටකර ගෙන අපේ ත්‍රිවිධ හමුදාව විචේචනය කරමින් කරන නාඩගම් අපි දැක්කා. එතුමාටත් නාඩගම් නටන්න පුළුවන් වුණේ අපි ලබාගත්තු නිදහස නිසා.

ත්‍රිවිධ හමුදාව විසින් උතුරේ නැගෙනහිර වැසියන්ට කරන ලද සේවාව පිළිබඳව ජනතාව දන්නවා. එතුමත් මේ ගැන දන්නවා. නමුත් ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න තමයි මේ නාඩගම් නටන්නෙ. නාඩගම් නැටුවට කමක්නැහැ ඉදිරියේදීත් ඔහොම නටන්න ආවොත් නටනතාලේ අපි කියලා දෙන්නම් කියලා තමයි ඒ මන්ත්‍රීතුමාට කියන්නට තියෙන්නේ''

ගීතාට සීනි වැඩිවෙලා 

ද්විත්ව පුරවැසිකමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටින ගීතා, ඒ පිළිබඳ සහනයක් ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට ගිය අතර ඇයගේ නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම තුළ ඇය දැඩි සතුටකින් පිටතට පැමිණි විගසම මාධ්‍යයට කරුණු පවසන්නට විය.

''මම දන්න තරමින් මට පුරවැසිකම තියෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි. මගෙත් එක්ක තියෙන තරහට මෙහෙම කරන්නේ . කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා නඩුව දිගටම අහන්න. ඒක ලොකු සතුටක්'' යැයි ගීතා කැමරා ඉදිරිපිට කියාගෙන යන්නට වූ අතර, එය අවසන් වූ සැණින්ම ගීතාගේ සීනි මට්ටම වැඩි ඇයට අපහසුතාවක් ඇතිවූ අතර ටොෆි කිහිපයක් කටේ දමාගැනීමෙන් ඇයට යථාතත්ත්වයට පැමිණීමට හැකිවිය.

ඔළුගෙඩි මාරු කරලා ප්‍රශ්න විසඳන්න බැහැ

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජ.වි.පෙ. නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණි. 

''දැන් ආණ්ඩුවේ අලුත්ම මාධ්‍ය සංදර්ශනේ කැබිනට් සංශෝධනය ගැන. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා වෙනුවට ඔළුගෙඩි මාරු කරලා සෙල්ලමක් දාන්න යන්නේ'' විජිත හේරත් කියා සිටියේය.

''ඔළුගෙඩි මාරු කරලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කරන්න යන්නේ රටේ මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න. එක අමාත්‍යාංශයකවත් අලුත් ව්‍යාපෘතියක් ගැන සංවාදයක් නැහැ. අලුත් වැඩපිළිවෙළක් නැහැ. ඒ වෙනුවට ඇමති මාරු කරනවා කියලා හැමදාම නිවුස් දානවා. මේක මේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්'' බිමල් රත්නායක පැවසීය.

''ජනාධිපතිතුමාත් ලොකු ලොකු කතා කිව්වට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇමති මණ්ඩල සංශෝධනයක් කිව්වට මුදල් ඇමතිකම විතරක් මාරු කරන්න යනවා කියලයි ආරංචි. වෙන ඇමතිකම් මාරු කරන්න ගියාම ඇතුළෙ කචල් වැඩි වෙනවලු'' අනුර දිසානායක කියා සිටියේය. 

මේ අතර මහින්ද රාජපක්ෂ මෝදි හමුවීම ගැනද ජවිපෙ නායකයෝ අදහස් දැක්වූහ. 

''කළුකොඩි දාන්න කතා කරපු අය මෝදි හම්බවුණා. මහ කොමසාරිස් කාර්යාලයට කතා කරලා තමයි වෙලාව වෙන් කරගෙන තියෙන්නේ. මේ ගැන ජී.එල්. පීරිස් කිව්වෙ නම් සාකච්ඡා කරපු දේවල් මාධ්‍යයට කියන්න බැහැ රහසිගතයි කියලා. කොහෙමත් මේ අය ආණ්ඩුවේ ඉන්නකොටත් රහස් දේවල් තමයි කළේ. බලයේ ඉන්නකම් ඉන්දියාවට ඕන විදියට වැඩ කරලා දැන් කළුකොඩි දාන්න කතා කරනවා. ඒත් හොරෙන් හොරෙන් මෝදි එක්ක ඩීල් දානවා'' හඳුන්නෙත්ති කියා සිටියේය.

එකත් ජෝන්ටද

සමකැබිනට් ප්‍රකාශක ඇමති රාජිතගේ ධුරය ඉවත් කිරීමට සටන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අවසානයේ එය අවසන් කළේ ඉවත් කිරීම වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත්කර ගැනීමට තීරණය කර ගනිමිනි.

මුලින්ම එය අනුර ප්‍රියදර්ශන යාපාට බාරගන්නා ලෙස යෝජනා වුවද එය කියූ සැණින්ම ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

පසුව එජාපයෙන් ශ්‍රීලනිපයට පැමිණි දයාසිරිට එය බාරගන්නා ලෙස යෝජනා කළ අතර, මුලින් එයට කැමති වූ දයාසිරි පසුව ප්‍රතික්ෂේප කර ඇත.

''මම ඔතැනට ගියොත් පරස්පර දේවල් කියලා අපට හැප්පෙන්න වෙන්නේ. ඒනිසා මම යන එක හරි නැහැ'' යැයි ඔහු නිදහස් පක්ෂ ඇමතිවරුන්ට කියා තිබුණ අතර, මේ වනවිට ඒ සඳහා සුදුසු නමක් ඇමතිවරුන් සොයමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අතර කතාබහක් ඇතිවූ අතර, මාධ්‍ය ප්‍රකාශක ‍ලෙස කවුරුන් පත්කරන්නේද යන්න ඔවුන්ටද ගැටලුවක් වී තිබේ.

''ජෝන්ටම තමයි දැන් මේක බාරදෙන්න වෙන්නේ'' යැයි එහිදී අැමතිවරු පවසන්නට වූහ.

අදවත් වෙනස් වෙයිද

මෛත්‍රී - රනිල් එකඟතාවට අනුව කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත්තේ අද දිනය. මේ නිසාම ඇමතිවරු තරමක් කලබලයෙන් කටයුතු කරති. නමුත් සිදුවෙන්නේ කුමක්ද කියා ඇමතිවරුන්ද නිවැරදි වැටහීමක් නැත. ආණ්ඩුව ශක්තිමත් කිරීමට කියා ඔළුගෙඩි මාරු කරමින් තනතුරු මාරු කිරීම පමණක් ඵලක් නොවනු ඇත. පවතින ගැටලු නිරාකරණය කළ හැකි වැඩපිළිවෙළ සමග වෙනස්වීම් සිදුවිය යුතුය. එසේ නොවුණහොත් ලොකුවට කතාකරන ඇමති සංශෝධනය පුහු වෙඩිල්ලක්ම වනු ඇත.

දියවන්නාරාළ විසිනි

diyawannarala@gmail.com

ඇමති මණ්ඩල සංශෝධනයක් කිව්වට මුදල් ඇමතිකම විතරක් මාරු කරන්න යනවා කියලයි ආරංචියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :