සයිටම් ඕනෑද - එපාද
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2017-05-18 10:50:48
Comments - 0       Views - 1634

ආරම්භයේ එතරම් අවධානයක් නොගත්තද, අද වන විට 'සයිටම්' ගැන නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. එයට පක්ෂව හෝ විපක්ෂව ප්‍රබල කණ්ඩායම් පෙළගැසෙද්දී, ඇතැමුන් ඒ පිළිබඳ කිසිදු මතයක් නොදැරීමද පුදුමයට කරුණකි. 

අධ්‍යාපනික වශයෙන් මෙන්ම දේශපාලන ආර්ථික පසුබිම යටතේද ඒ පිළිබඳ නොයෙක් දෙනා කතාබස් කරයි. ඒ පිළිබඳ රටේ බුද්ධිමත් ප්‍රජාවක් වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නොයෙක් මත ප්‍රකාශ කරයි. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි විශ්වවිද්‍යාල ආචාර්යවරු 'සයිටම්'  පිළිබඳ 'අද' ට මෙලෙස අදහස් ප්‍රකාශ කළහ.

'සමූපකාර ක්‍රමය' මත මෙය පවත්වාගෙන යෑම හොඳ විසඳුමක්

ආචාර්ය ටියුඩර් වීරසිංහ 

(ශ්‍රීපාලි මණ්ඩපය - කොළඹ විශ්වවිද්‍යාලය)

 

'අද වනවිට අපේ රටේ වගේම ලෝකයේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී සමාජ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළේ පුරවැසියන් හෝ විවිධ සමාජ, දේශපාලන පක්ෂ හෝ බලවේග දරන අදහස් ඒ තරම් අදාළ නොවන තත්ත්වයක් මේ වනවිට උදාවී තිබෙනවා. අද වනවිට පොදු පිළිගැනීම ලෙස ආර්ථිකයේ ප්‍රධාන බලවේගය ලෙස පෞද්ගලික අංශය සලකනවා.

පෞද්ගලික අංශය කලින් සම්බන්ධ නොවූ ක්‍ෂේත්‍රවලටත් ප්‍රාග්ධනය ආයෝජනය කිරීමේ ප්‍රතිපත්තියක් ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය යටතේ තිබෙනවා. එහිදී අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, පරිසරය වගේ සෑම ක්‍ෂේත්‍රයකටම වර්තමාන ලෝක ප්‍රවණතාවක් ලෙස එය බලපා තිබෙනවා. සයිටම් එක ගත්විටත් ඒක පැහැදිලියි. එයත් පෞද්ගලික ප්‍රාග්ධනයක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ආයෝජනය වීමක් සිදුව තිබෙනවා.

එහිදී වෙනත් සමාජ බලවේගවල තිබෙන උවමනාවන් සමග යම්කිසි ප්‍රතිවිරුද්ධ බලවේග සමාජයේ ක්‍රියාත්මක වෙනවා. ඒ බලවේග මේ අවස්ථාවේදී ජාතික මට්ටමෙන් මෙන්ම ගෝලීය මට්ටමෙන් එය ප්‍රධාන තත්ත්වය වෙනස් කිරීමට තරම් සමත් බවක් පෙනෙන්නෙ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය පාදක කරගෙන විවිධ ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා එවැනි ප්‍රවණතාවක් තුළ යාහැකි විසඳුම් සොයාබැලීම වැදගත්.

මෙහිදී සමස්තයක් ලෙස නව ලිබරල්වාදී සන්දර්භයක් තුළ කටයුතු කරන කොට මෙවැනි අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය වැනි ආයතන පවත්වා ගෙන යෑමට අවශ්‍ය වෙනත් මාදිලියක්, වෙනත් ක්‍රමයක් තිබෙනවා. උදාහරණයක් ලෙස මෙය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමක් කියන දේ මේ වෙලාවේදී තිබෙන රාජ්‍ය ප්‍රතිපත්තියට සහ ගෝලීය ප්‍රතිපත්තියට පටහැනියි. ඒ වගේම සම්පූර්ණයෙන්ම මෙය පෞද්ගලීයකරණය කිරීම තුළ ජනමතය හා සමාජ බලවේගවලින් මතුවෙන ගැටුම්කාරී තත්ත්වයන් තිබෙනවා.

ඒ නිසා මේ අන්ත දෙක තුළට යන්නෙ නැතිව ඇත්ත වශයෙන්ම මෙයට ගැළපෙන තුන්වෙනි මාවතක් ලෙස 'සමුපකාර ක්‍රමය'  මත මෙය පවත්වා ගෙන යෑම හොඳ විසඳුමක් කියන්න පුළුවන්. 'සමුපකාර' ක්‍රමයේදී සයිටම් එකට සම්බන්ධ වෙන සෑම පාර්ශ්වයකටම සයිටම්හි හිමිකරුවන් බවට පත්වීමේ උපායමාර්ගයක් නැතහොත් ක්‍රමවේදයක් ලෙස ගන්න පුළුවන්.

උදාහරණයක් ලෙස වෛද්‍යවරු, ඉගෙන ගන්නා සිසුන්, රෝගීන්, පරිපාලනය වගේම එයට සම්බන්ධ මහජනතාව වැනි මේ සියලුදෙනාටම මෙහි හිමිකාරීත්වය ලබාගත හැකි ලෙස කොටස් නිකුත් කිරීමෙන් එය කළ හැකියි. එහිදී එහි වැඩකරන අයට මෙන්ම රෝගීන්ට, වෛද්‍යවරුන්ට ආදී වශයෙන් කොටස් හිමි වෙනවා.

මෙහිදී තර්කයක් ගේන්න පුළුවන් දැනුත් කරන්නෙ කොටස් වෙළෙඳ පොළට දාලා කොටස් විකිණීමක් කියා. නමුත් මෙය ඒ ආකාරයේ ලිබරල් කොටස් වෙළෙඳ පොළක්වත්, ධනේෂ්වර වෙළෙඳ පොළක්වත් නොවේ. සමුපකාර කොටස් වෙළෙඳ පොළත්, ඒ අතරත් ලොකු වෙනසක් තිබෙනවා. 

සමුපකාර ක්‍රමයේ තිබෙන දේ වෙන්නෙ එක පුද්ගලයෙකුට හිමි වෙන්නේ එක ඡන්දයයි. ඒ කියන්නෙ සමාගමට කොටස් 50ක්, 100ක් හිමිවුවත් හිමිවෙන්නේ එක ඡන්දයයි. එය තමයි සමුපකාර ප්‍රතිපත්තිය. ලාභය සමානාත්මතා පදනමක් යටතේ බෙදීයෑමේ ක්‍රමය එයයි. මෙවැනි ක්‍රම ලෝකයේ ගොඩක් රටවල අද වනවිට තිබෙනවා. දියුණ යුරෝපීය රටවල වගේම සංවර්ධනය වෙමින් පවතින රටවලත් තිබෙනවා. මම හිතන්නෙ එය තමයි දැන් තිබෙන සන්දර්භය තුළ අපට මෙයට ගේන්න පුළුවන් ප්‍රශස්තම විසඳුම. 

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහිව සියයට අනූනවයක් වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වලින් ලාභ උපයන අය

ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි

(භාෂා අධ්‍යනාංශය - සබරගමුව විශ්වවිද්‍යාලය)

සයිටම් අර්බුදයේදී හැමදෙනාම බලාපොරොත්තු වෙනවා මේ අර්බුදයට කළ යුත්තේ කුමක්ද කියන කෙටි පිළිතුර. නමුත් මෙයට තිබෙන්නෙ කෙටි පිළිතුරක් නෙමෙයි. මන්ද ප්‍රශ්නය ඒ තරම්ම සංකීර්ණයි. සයිටම් ආයතනය රජයට පවරා ගැනීම හෝ අහෝසි කිරීම වැනි කෙටි පිළිතුරු නැති බවයි මට පෙනෙන්නෙ. නමුත් එවැනි කෙටි පිළිතුරක් දිය යුතු තත්ත්වයක් තිබෙනවා, දැන් තිබෙන තත්ත්වය අනුව.

මගේ පළමුවැනි යෝජනාව වන්නේ මේ සයිටම් කියන දේ අද මතු වී තිබෙන එක නමක් විතරයි. මෙතැනින් මේ ප්‍රශ්නෙ කෙළවර වෙන්නෙ නැහැ. මෙය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන තැනට විතරක් සීමා වෙන්නෙ නැහැ. ලංකාවේ පෞද්ගලීකරණය වුණු වෙනත් ක්‍ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ වගේම තවත් ක්‍ෂේත්‍ර රාශියක් පෞද්ගලීකරණයට යටවෙන්න නියමිතව තිබෙනවා. මේ සියලුම දේවල් පිළිබඳ අදහසක් ඇතිවයි අපි සයිටම් දෙස බැලිය යුත්තෙ. 

මෙහිදී මගේ පළමුවැනි මතය තමයි රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය වහා පුළුල් කළ යුතුයි කියන එක. එය රජයකට කළ හැකියි, වගේම රජයක් කළ යුතුයි. වෛද්‍යවරුන් 1200ක් පමණ සුළු ප්‍රමාණයක් තමයි වෛද්‍ය පීඨ 04කට හෝ 05කට බඳවා ගන්නෙ. මේ ප්‍රමාණය වහා වැඩිකළ යුතුයි වගේම එය කළ හැකි දෙයක්.

උදාහරණයක් ලෙස තව 1,000ක් වැඩි කළොත් වසරකට එක වෛද්‍ය පීඨයකට ළමයන් 200ක් තවවැඩියෙන් ගන්න පුළුවන්. මේ පිළිබඳ කළ යුතු ප්‍රතිපාදන විද්‍යාගාර පහසුකම් වැඩි කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම, තවත් රජයේ රෝහල් කිහිපයක් ශික්ෂණ රෝහල් කිරීම වැනි කරුණු රජයක් කළ යුතුයි. වර්තමාන රජය පවා මොන තරම් මුදලක් නාස්ති කරනවාද කියා අපි දන්නවා.

උදාහරණයක් ලෙස රාජ්‍ය වෙසක් සැණකෙළියට මොන තරම් මුදලක් නාස්ති කළාද? අන්තිමට තිබුණෙ එක්සත් ජාතීන්ගේ වෙසක් සැණකෙළියක්. මේවා සම්පූර්ණයෙන්ම රජය විසින් කරන හරසුන් වැඩ ලෙසයි මා සලකන්නෙ. ඒ නිසා ලංකාවේ දවසකට තිබෙන සැණකෙළි නතර කළහොත් ඉතා පැහැදිලිව කියනවා තව වෛද්‍ය සිසුන් 200ක් බඳවා ගන්න පුළුවන්. මෙසේ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කළහොත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට යෑමට තිබෙන ඉඩකඩ අඩුවෙනවා. 

සයිටම් ගත්තම අද වනවිට විශාල ආරවුලක් දක්වා දුරදිග ගිහින්. කිසිදු ප්‍රමිතියකින් තොරව, වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමේදී සැපිරිය යුතු කොන්දේසි සම්පූර්ණ නොකර මේ පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාරය ආරම්භ කළ කළමනාකාරීත්වය මීට ඍජුව වගකිව යුතුයි වගේම එහි පාඩුව දැරිය යුතුයි. නමුත් එය එසේ වෙන්නෙ නැත්තෙ ශ්‍රී ලංකාවේ තිබෙන දැඩි අශිෂ්ට දේශපාලනය නිසයි. ඒ වගේම මුදලට යටවෙන නිලධාරී පංතිය නිසයි. 

දෙවැනි කාරණය තමයි ප්‍රමිතිගත අධ්‍යාපනය ඉල්ලා සිටීම. ඊළඟට සිදුවෙන්න තිබෙන අනතුර තමයි ප්‍රමිතිගත අධ්‍යාපනය කියන මතයට මා එකතු වෙන්නෙ කොන්දේසි සහිතව. හේතුව ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ක්‍ෂේත්‍ර රාශියක් ඉදිරියට පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වුණාම කියයි හොඳයි කියා. නමුත් මෙයින් වෙන්නේ ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ආයතන පෙන්න පෙන්නා රජය මේ කටයුත්තෙන් තවතවත් ඉවත් වීම. එතකොට වෙන්නෙත් අනතුරක්. 

අනෙක් කරුණ තමයි පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ගැන මේ තරම් පොළවෙ හැපෙනවා. නමුත් පෞද්ගලික ඉංජිනේරු ආයතන මේ රටේ කොපමණ තිබෙනවාද? තවත් අතිවිශාල ක්‍ෂේත්‍ර සම්භාරයක අධ්‍යාපනය සම්බන්ධව උපාධි පිරිනමන ආයතන කීයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවාද? ඒ සියලු දෙනා ප්‍රමිතියෙන් තොර ලංකා තාක්ෂණික දේහය ක්‍රියාත්මක කරන්න දායක වෙමින් ඉන්නවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන තිබෙන්නේ මට පැහැදීමක් නෙමෙයි. මන්ද තමන්ට ප්‍රශ්නයක් උදාවුණු මොහොතක පමණක් ඇස් අරින ජාතියක් තමයි ඔවුන්. නමුත් ලංකාව ගිලගන්නා, ලංකාව විනාශ කරන ප්‍රධාන පෙළේ අක්‍රමිකතාවලට මේ රටේ පුරවැසි සංවිධාන කරපු කිසිදු සටනකට මේ අය එන්නේ නැහැ. අපි හොඳටම දන්න කාරණයක් තමයි මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වෙන මේ සියලුම වෛද්‍යවරු සියයට අනූනමයක්ම පෞද්ගලික රෝහල්වල වැඩ කරමින් ලාභ උපයන උදවිය. මේ බොහෝ දෙනෙක් සවස 04න් පස්සෙ රෝහලක නැහැ. 

මේ නිසා සයිටම් කියන්නෙ තනි වචනෙන් උත්තර දෙන්න තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මෙය ලංකාව වෙලාගත්තු බරපතළ ප්‍රතිපත්තිමය අවුලකට පෙන්නන්න පුළුවන් නිදර්ශනයක්. සයිටම් සම්බන්ධව තිබෙන කාලකන්නි දේශපාලනය මෙතැනින් ඉවත් වෙන තුරු අපේ අහිංසක ශිෂ්‍යයන්ට මහපාරේ ගුටි කන්න වේවි, කඳුළු ගෑස් කන්න වේවි, ලංකාවට අතවශ්‍ය වෛද්‍යවරු බිහිකර ගන්න බැරි වේවි. පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය නොලැබූ පිරිසක් ඉන්න රටක කොහොමද අපි සයිටම් ප්‍රශ්නය විසඳන්නෙ. 

ලාභය ගැනම නොසිතා ගුණාත්මක විභාග ඇගයීම් ක්‍රමයක් හරහා ඕනෑම විශ්වවිද්‍යාලයකින් බිහිවන වෛද්‍යවරු රටට සම්පතක්

මහාචාර්ය මයුර සමරකෝන්

(සමාජවිද්‍යා අධ්‍යයන අංශය (අංශාධිපති) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

සමාජයේ ජීවත්වන ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් තියෙනවා. ලංකාවේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි විශාල පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබීම නූතනයේ සිදුවනවා. නමුත් ඔවුන්ට එයින් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ප්‍රවේශ වීමට අවස්ථාවක් උදාවන්නේ ඉතාම සුළු මට්ටමින්. 

එවිට අනිත් ශිෂ්‍යයන්ට මොකද වෙන්නේ යන්න ප්‍රබල ගැටලුවක්. අනෙකුත් ශිෂ්‍යයන් වෙනුවෙන් රජය හෝ පෞද්ගලික මට්ටමින් හෝ යම්කිසි අයුරින් උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සපුරා දිය යුතුයි. හැබැයි එය සම්පූර්ණ කළ යුත්තේ අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම ආරක්ෂා කරමින්. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් සපයනුයේ අධ්‍යාපනික වශයෙන් සේවාවක්. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල එක්තරා අයුරින් ලාභ උපයන ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යනවා. එවිට ඇතැම් අවස්ථාවලදී අවිධිමත් හා ගුණාත්මකභාවය අඩු විභාග ඇගයීම් ක්‍රමයක් ගොඩනැගිය හැකියි. 

එවැනි තත්ත්වයන් අධීක්ෂණය කරමින් නූතනයේ ගුණාත්මක මට්ටමේ විධිමත් අධ්‍යාපනයක් බවට එය පත්කළ යුතුය. කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඒ යටතේ තහවුරු කළ හැකියි. මම කියන්නේ නැහැ එයට සයිටම් ආයතනයම ගේන්න කියලා. නමුත් සයිටම් ආයතනය පිළිබඳ ගැටලු තිබේ නම් එය වෙනම සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන් එහි ගුණාත්මකභාවය, ළමුන් බඳවා ගැනීමේ ප්‍රමිතිගත මට්ටම පිළිබඳ අවධානයට ලක්කළ යුතුයි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ මූලික කාර්යය නම් උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන්  පෙනී සිටීමයි. සයිටම් හී ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ එයින් විධිමත් අයුරින් වෛද්‍යවරයෙකු බිහිවෙනවාද යන්නයි. ඒ වගේම ඒ ඒ ආයතන මගින් අයකරන මුදල් කුමන පංතිවල අයට දරා ගැනීමට පුළුවන්ද කියන එක.

ඒ නිසා මෙයට යම් රාජ්‍ය අංශයක මැදිහත් වීමක් පැවතිය යුතුයි. ඒ තුළින් ගුණාත්මකභාවය ඉහළ වෛද්‍යවරයෙකු බිහිවෙනවා නම් එම වෙද්‍යවරයා බිහිවන්නේ පෞද්ගලික හෝ රාජ්‍ය මට්ටමින්ද කියන දේ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මොකද ගුණාත්මකභාවය ඔස්සේ බිහිවන වෛද්‍යවරයා රටට සම්පතක් මිස ඔහු කොහෙන් බිහි වුණාද කියා අපට අදාළ නැහැ. 

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ වැරුද්දක් නැහැ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාලිංග මුදලි

(භෞතික විද්‍යා අංශය - කැලණිය විශ්වවිද්‍යාලය)

සයිටම් හි විධිමත්භාවය ගැන කෙතරම් ගැටලුකාරී තත්ත්වයන් මතු වුවත් එම සංකල්පය ඉතා වැදගත්. මොකද ලංකාවේ සිටින බොහෝ ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී උපාධි රැගෙන නැවත ලංකාවට පැමිණෙනවා. එම විශ්වවිවිද්‍යල වල උපාධියේ ප්‍රමිතිය කිනම් අයුරින් තිබෙනවාද කියා අපි කිසි කෙනෙක් දන්නෙ නැහැ.

විශේෂයෙන්ම සයිටම් ආයතනයේ නොයෙක් අඩුපාඩුකම් තිබෙනවා නම් එය සකස් කළ යුතුයි. ඒ අනුව එම ක්‍රියාපිළිවෙළෙහි අඩුපාඩුකම් සොයා බලා එය නිසි මාර්ගෝපදේශකත්වයක් ලබාදිය යුතුයි. මෙම ආයතනය නැතැයි කියා ළමුන් විදේශගතව උපාධියක් ලබාගැනීම නැවැත්විය නොහැකියි. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භය ඉතා හොඳ දෙයක්. 

සයිටම් ආයතනයේ කිසි ගැටලුවක් නැහැ. තිබෙන ගැටලු සකස් කරමින් විධිමත්ව එය පවත්වාගෙන යා යුතුයි.  ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වල පවතින ප්‍රමිතිගතභාවය ඒ තුළද පවත්වාගෙන යා යුතුයි.

ළමුන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව සලකා බැලීම ඉතාම වැදගත්. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වල සිටින සියලුම ශිෂ්‍යයන්ට පොදු විභාගයක් ඔස්සේ ඇගයීම් කර උපාධිය ලබාදිය හැකියි. එවිට ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයේද පිළිගැනීමක් යටතේ උපාධියක් තමාගේ දක්ෂතාවය මත ලබාගත හැකි වෙනවා.

ඇතැම්විට පහසුකම් ගැන කතා කළොත් රාජ්‍ය වෛද්‍ය පීඨවල තිබෙන පහසුකම් වලට වඩා පහසුකම් වැඩි බවක් ඒ උසස් අධ්‍යාපන අයතනයේ දකින්න පුළුවන්. විශාල මුදලක් වැය කරමින් විදේශගතව උපාධියක් රැගෙන පැමිණෙනවාට වඩා ලංකාවේ සිට එය කිරීම එක්තරා අයුරින් ලාංකීය මුදල් වෙනත් රටකට ගලා යාම වැළැක්වීමක්. එම මුදල් රට තුළම ආයෝජනයන් සඳහා යොදාගත හැකියි. 

විශේෂයෙන්ම කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල සිසුන්ට රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වීමේදී අනෙක් පළාත්වල සිසුන්ට වඩා ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා. මොකද වෛද්‍ය පීඨයට ගනු ලබන්නේ විද්‍යා අංශයෙන් ඉතාම ඉහළ ප්‍රතිඵල තිබෙන සිසුන්. නමුත් දුෂ්කර පළාත්වල සිසුන් අඩු ප්‍රතිඵලයක් ඔස්සේ වෛද්‍ය පීඨයට ඇතුල් වෙනවා. ඒ නිසා දක්ෂ බොහෝ ශිෂ්‍යයන්ට විශිෂ්ට ප්‍රතිඵල ගත්තත් වෛද්‍ය ප්‍රවේශය මඟහැරී යනවා. 

ළමුන් පෞද්ගලිකව ඇතුළත් කර රජයේ රෝහල් ඔවුන්ට ලබාදීමට මම ප්‍රබල ලෙස විරුද්ධ වෙනවා

මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

(වෛද්‍ය පීඨය - කැලණිය විශ්වවිද්‍යාලය)

'සයිටම්' පෞද්ගලික විශ්වවිද්‍යාල මට්ටමින් කතා කරනවාට වඩා වෙනස් අයුරින් මම දකින්නේ. මෙය ආරම්භයේ සිට මේ වන තෙක් නීත්‍යානූකූල අයුරින් ක්‍රියාත්මක වූ ආයතනයක් නොවේ. වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමේදී වෛද්‍ය සහාවෙන් අනුමැතිය ගත යුතු වුවත් මෙම ආයතනය එවැනි පියවරක් ගෙන තිබුණේ නැහැ.

උසස් අධ්‍යාපන ආයතනය  (U.G.C.) සහ වෛද්‍ය සභාවෙන් සොයාගත් නොයෙක් තොරතුරු මත මෙයට ළමුන් ඇතුළත් නොකරන ලෙස ප්‍රකාශ කර තිබුණා. කවුරුත් මෙය එපා කියන මතයේ සිටියේ නැහැ. අඩුපාඩු සකස් කරගෙන පවත්වාගෙන යන ලෙසට වෛද්‍ය සභාවෙන් පවා උපදෙස් දුන්නා. නමුත් ඇතැම් රජයේ නිලධාරීන් සහ දේශපාලඥයන් අඩුපාඩුකම් වහගෙන අනුමැතිය දුන් ලෙස ප්‍රදර්ශනය කළා.  

සුදුසුකම් ප්‍රශ්නය මෙහි ප්‍රබලව දැකගත හැකියි. වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇති ඉල්ලුම මත පෞද්ගලික අධ්‍යාපන ආයතවලට ඇතුළත් කිරීම් පවා ක්‍රමවත් අයුරින් සිදුවන්නේ නැහැ. අනිත් අතින් එහි සායනික පුහුණුව ඉතා අඩු මට්ටමින් සිදුවනවා යන කාරණය. මේ පිළිබඳ මේ තරම් දුරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පමණයි කතා කළේ.

නමුත් අද ආණ්ඩුවේ ගැසට්පත්‍රය මගිනුත් එහි අඩුපාඩුකම් පිළිගෙන තිබෙනවා. රජය මගින් විභාගයක් පැවැත්විය යුතුයි, එය රජයට ගත යුතුයි යන සෑම දෙයකින්ම ළමුන් පැවසූ දෙය ඔප්පු වී හමාරයි. රජය මගින් ඉදිරිපත් කරන මේ සියලු යෝජනා ළමුන්ගේ නොවෙයි, සයිටම් ආයතනයට අවශ්‍ය යෝජනා ලෙසටයි මම දකින්නේ. සයිටම් රෝහල රජයට පවරා ගත් විට එහි ලාභයද හිමිවන්නේ ඔවුන්ටයි. 

මුලින් තිබූ ප්‍රචාරණ යාන්ත්‍රණය එතරම් බලවත් නැති නිසා මේ පිළිබඳ එතරම් දැනුමක් මිනිසුන්ට තිබුණේ නැහැ. නමුත් එය අද වන විට පුළුල් වී තිබෙනවා. ඒ නිසා අද එය සැවොම හඳුනන ගැටලුවක් වී තිබෙනවා. එහි ප්‍රධාන බලවේගය බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පත්ව තිබෙනවා. ඔවුන්ගේ මතයට එකඟ වන මමද ප්‍රකාශ කරන්නේ සයිටම් ආයතනය ජනසතු කළ යුතුයි හෝ රාජසන්තක කළ යුතුයි යන කාරණය. වෙනත් උපාධි මෙන් නොව මෙම උපාධියත් සමග රෝගීන්ගේ ජීවිත වලට ප්‍රධාන ලෙස බලපානවා.

ඒ නිසා මෙය සන්සන්ධනය කළ නොහැකියි. මෙය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නම් සෑමදෙයක්ම පෞද්ගලික වශයෙන් සිදුවිය යුතුයි. පෞද්ගලික උපාධියක් ගත්තොත් දිය යුත්තේද පෞද්ගලික අශයේ රැකියාවක්. ළමුන් පෞද්ගලිකව ඇතුළත් කර ආණ්ඩුවේ රෝහල් ඔවුනට ලබාදීමට මම ප්‍රබල ලෙස විරුද්ධ වෙනවා. ඔවුන්ට හෝමාගමවත් අවිස්සාවේල්ලවත් රෝහල් ලබාදිය යුතු නැහැ. මෙයින් බිහිවන වෛද්‍යවරු රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

මේ තත්ත්වය තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ කොටස් වර්ධනය කළ යුතුයි. තව තවත් රෝහල්  වැනි දෑ වර්ධනය විය යුතුයි. ඒවායේ දියුණුවක් නොමැතිව වෛද්‍යවරු බිහිවීම නිසා සේවාවේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. වෛද්‍යවරුන් වැඩිවනවා නම් එයට සාපේක්ෂව හෙද සේවයේ සහ අනෙකුත් වෛද්‍ය සේවාවන් වල තනතුරුවලටද ඒ හා සමානව බඳවාගැනීම් කළ යුතුයි. 

ඇත්තෙන්ම වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙන්නේ ලංකාවේ පෞද්ගලික අංශය තුළයි. ඒවායේ ස්ථීර වෛද්‍යවරු නැහැ. ඒවාට කිසිම කෙනෙක් යන්න කැමතිත් නැහැ. වෛද්‍යවරුන් නිර්මාණය කළ යුත්තේ රටට අවශ්‍ය ප්‍රමාණයටයි. සයිටම් අහෝසි කර රටට වෛද්‍යවරු මදි නම් වෙනත් වෛද්‍ය පීඨයක් සෑදිය යුතුයි. එය දියුණු කිරීමට අපිත් සහයෝගය ලබාදෙනවා. පෞද්ගලික අංශයේ අඩු සෞඛ්‍ය සේවාවක් තමයි ක්‍රියාත්මක වන්නේ. එසේ තිබියදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැමිම අතිශය අපහසු කාරණයක්.

 

දේශපාලනය ඉවත් කර බඳවා ගන්නා සිසුන්ගේ සුදුසුකම්වල විනිවිධභාවය ඇතිව මුදලටම විභාග කිරීම නතර කළ යුතුයි.

මහාචාර්ය අජන්තා හපුආරච්චි

(ජනමාධ්‍ය අංශය - කොළඔ විශ්වවිද්‍යාලය)

පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ මගේ කිසිම විරෝධයක් නැහැ. නමුත් එය ප්‍රධාන වශයෙන් කොන්දේසි දෙකක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි.  එනම් විනිවිදභාවය සහ ප්‍රමිතිගතභාවය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ රාජ්‍ය හෝ වේවා පෞද්ගලික අංශ්‍ය හෝ වේවා මෙම කොන්දේසි දෙක අනිවාර්යෙන් සපුරා තිබිය යුතුයි. අපේ රටේ රජයේ අධ්‍යාපන ක‍්‍රමය යටතේ දැනටමත් එම කොන්දේසි දැකගත හැකියි. ඒ නිසාම පෞද්ගලික අධ්‍යාපන ක‍්‍රමය තුළද අනිවාර්යෙන් මෙම කොන්දේසි ක‍්‍රියාත්මක කළ යුතුයි. 

සයිටම් ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමේදී, අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය යටතේ පාසල් වල ගුරු දෙගුරු සමිති ගොඩනැගී තිබෙනවා. ඒ සමිති ඇතුළේ ඔවුන්ට සීමාවක් සකස් වී තිබෙනවා. දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, ලකුණු ලබාදීමේ මට්ටම පිළිබඳ එහිදී අභියෝග කර කතා කරන්නේ නැහැ. ඔවුන් පාසලට යම් යම් අවශ්‍යතාවයන් ඇති වූ විට එය ලබා ගැනීම සම්බන්ධයෙන් පමණක් කතා කිරීම දැකගන්න පුළුවන්.

නමුත් බරපතළ වැරැද්දක් ලෙස මම දකින්නේ සයිටම් ආයතනයේ පිහිටුවා ඇති දෙමාපිය සංගමය. ඔවුන් ළමයින්ගේ සුදුසුකම් වලට ප්‍රබල අයුරින් ඇඟිලි ගැසීමක් සිදුකරනවා. අද ළමයින්ව සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමේ තත්ත්වයට පවා ඔවුන් පත්වෙලා තියෙනවා. බඳවාගනු ලබන ළමුන් සුදුසුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය තුළ ප්‍රධාන ක‍්‍රම දෙකක් තිබෙනවා.

උසස් අධ්‍යාපන ආයතනය සහ ළමුන්ගේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග, අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන ශ‍්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව. මේවා විනිවිදභාවයක් ඔස්සේ ඔවුන් විසින් සිදුකරනු ලබනවා. ඒ නිසා මේ විදිහට මෙම ගැටලුව දෙමාපිය සංගමයකට භාරදීලා කෑ ගහන්න දෙන එක වැරදියි. ඔවුන් තමන්ගේ ළමුන්ට මොන සුදුසුකම් නැතිවුණත් උපාධි වරප්‍රසාදය ලබාදෙන්න කියලයි කියන්නේ.

තමන්ට එක්ලක්ෂ විසිදහසක් (120,000)  පමණ දෙන්න පුළුවන් වුණා කියල ළමුන් මෙවැනි ආයතනයකට යවනවා නම් දෙමාපියන්ට යුතුකමක් තිබුණා කලින් ඒ බව සිතා බලන්න. විනිවිදභාවය හා ප්‍රමිතිගතභාවය පිළිබඳ ප්‍රශ්නය එහිදී පැන නගිනවා. ළමුන් බඳවා ගැනීමේදී අනිවාර්ය සුදුසුකම් පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුයි. සයිටම් ආයතනයට එරහිව පැමිණි පළමු කාරණය මෙයයි. අදටත් විසඳුනේ නැති කාරණයත් එයයි.

තවමත් ළමුන්ගේ සුදුසුකම් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට ඔවුන්ට මේ නිසා නොහැකි වෙලා තියෙනවා. ඔය ප්‍රශ්නය සහ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය විසඳුණා නම් සයිටම් පිළිබඳ කිසිම ගැටලුවක් මතු නොවේවි. 

මුදල් යන සාධකයද මේ තුළ ප්‍රබලව සාකච්ඡා කළ හැකියි. අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය නිදහස් නොමිලේ දෙනවා වුවත් විශ්වවිද්‍යාල වල එම්.බි.ඒ. උපාධියක් කරන විට බාහිර හෝ අභ්‍යන්තර ඕනෑම විද්‍යාර්ථියෙකුට ලක්ෂ 4ක් හෝ 5ක් වැය වෙනවා. එතකොට ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය රාජ්‍ය විශ්වවිද්‍යාල වලද ඇතැම් අවස්ථාවල පැනනගිනවා.

මුදලයි, අධ්‍යාපනයයි අතර ලොකු සම්බන්ධකමක් පවතිනවා. මුදලට මාස්ටර් උපාධිය කරන ළමයා පරීක්ෂණය අසමත් කිරීමට රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරයා පවා අකමැත්තක් දක්වනවා. දක්ෂතාවය නැති වුවත් දෙපාරක් හෝ තුන් පාරක් කර හෝ විභාගය සමත් කරනුයේ මුදල් එක්ක ගනුදෙනුවක් කරන නිසා.

මෙය බොහොම බරපතළ කාරණාවක්. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී යම් යම් සීමාවන් පැනවිය යුතුයි. අධ්‍යාපනය හැදෑරීම සඳහා යම් සුදුසුකම් සීමාවක් යටතේ බඳවා ගනිමින් අවසන් පරීක්ෂණය යම් හෙයකින් අසමත් වුවහොත් වියදම් කළ මුදල් පිළිබඳ සම්පූර්ණ වගකීම ශිෂ්‍යයා බාරගත යුතුයි යනාදී රෙගුලාසි ඒ යටතේ පැනවිය යුතුයි.

සුදුසුකම් සහිත විශාල ශිෂ්‍යයන් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙනවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භය මගින් එම මුදල් අප රට තුළම තබා ගනිමින් විශාල ධනස්කන්ධයක් විදෙස් රටවලට යාමට නොදී තබා ගැනීමට හැකියාව ලැබෙනවා. එය අධ්‍යාපනයටම ආයෝජනය කළ හැකියි. විශේෂයෙන්ම සයිටම් ප්‍රශ්නයේදි දේශපාලනය සම්පූර්ණයන්ම ඉවත් කළ යුතුයි. උසස් අධ්‍යාපන ඇමති පවා ඉවත්කර ස්වාධීන ආයතනයක් මගින් මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි. මේ කාරණා ත‍්‍රිත්වයට විසඳුම් ලබාදීම තුළින් සයිටම් ප්‍රශ්නය විසඳිය හැකියි.

ප්‍රමිතිය ආරක්ෂා කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවුණාට කමක් නෑ

ආචාර්ය එස්. රගුරම් 

(මාධ්‍ය අධ්‍යනාංශය - යාපනය විශ්වවිද්‍යාලය)

අධ්‍යාපනය පෞද්ගලීකරණය යන කාරණය ගත් විට මම එයට විරුද්ධත්වයක් දක්වන්නෙ නැහැ. ඒකට හේතුව විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේදී උසස් පෙළ විභාගයේද යම් යම් සීමා තිබෙනවා. මන්ද විශ්වවිද්‍යාලයකට ඇතුළත් කර ගන්නෙ සීමිත පිරිසයි. ඒ වගේම උසස් පෙළ අධ්‍යාපනය හදාරද්දී විවිධ සමාජීය, ආර්ථික, පාරිසරික හේතු නිසා යම් පිරිසකට උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේ අයට හැකියාවක් තිබෙන කාලයකදී තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාවක් තිබීම අත්‍යවශ්‍යයි.

එවැනි පිරිසට පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් අවස්ථාවක් ලැබෙනවා. උදාහරණයක් විදියට මට යුද්ධය නිසා විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ නිසා මට සිදුවුණා විදෙස්ගත වෙලා අධ්‍යාපනය හදාරන්න. ඒ වගේම මා අධ්‍යාපනය ලබන සමයේ ලංකාවේ දෙමළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් මට අවශ්‍ය කරන පාඨමාලා තිබුණෙ නැහැ.

ඒ නිසා මට සිද්ධ වුණා අනාථයෙක් එසේ නොමැති නම් සරණාගතයෙක් වගේ පවුල අතඇරලා වෙනත් රටකට ගිහින් ඉගෙන ගන්න. මේ හින්දා මගේ අදහස වන්නේ ලංකාව තුළ පෞද්ගලික අධ්‍යාපනයට යම් අවස්ථාවක් තිබිය යුතුයි කියා. නමුත් එහිදී ප්‍රමිතිය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම තමා විශ්වවිද්‍යාල වරම් නොලැබුණු වගේම විදෙස්ගත වී අධ්‍යාපනය ලබන්න තරම් වත්කමක් නොමැති පිරිසට අධ්‍යාපනය ලබන්න පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් තිබිය යුතුයි කියන දේ මගේ අදහසක්.

මම අධ්‍යාපනය ලැබුවේ ඉන්දියාවේ. ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපනය තිබෙනවා. නමුත් රාජ්‍ය අධ්‍යාපනය ඉක්මවා ගිහින් නැහැ. ඒ නිසා මට පෞද්ගලික අධ්‍යාපනයට විශාල තරගයක් දෙන්න සිදුවුණා. නමුත් මම මෙතනදී පැහැදිලිව කියන්නෙ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්ත්වය ඉහළ නැංවීම කළ යුතුයි.

සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතා කිරීමේදී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීමිතයි. උදාහරණයක් විදියට යාපනය, කිලිනොච්චිය වගේ උතුරු පළාත් වල ගම්වල වෛද්‍යවරු නැති තරම්. රජයේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරු ග්‍රාමීය ප්‍රදේශවල සේවය කරන්න කැමති නැහැ. ඒ නිසා එයට විසඳුමක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ගෙන එන්න පුළුවන්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට වෛද්‍ය සභාව විසින් පවත්වන ඒ විභාගය හරි ආකාරයෙන් පැවැත්විය යුතුයි කියන දේ මාගේ අදහසයි.

ඉහළ මට්ටමේ ප්‍රමිතියක් ඇති කිරීම තුළින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් සම්පත් ආයෝජනයට ගත හැකියි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බස්නායක එම් විජේසිරි

( ව්‍යාපාර හා කළමනාකරණ අධ්‍යයන අංශය - වයඹ විශ්වවිද්‍යාලය)

මගේ පෞද්ගලික මතය නම් ලංකාවේ උසස් අධ්‍යාපනය තවදුරටත් ව්‍යාප්ත විය යුතුය යන්නයි. වැඩි ප්‍රමාණයකට ඒ සඳහා අවස්ථාව වෙන්කර දිය යුතුයි. ඒ වෙනුවෙන් රාජ්‍ය අංශයට කළයුතු ආයෝජය ඉතා සීමිතයි. එම සීමිතභාවය නිසා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නා වූ ආයෝජකයන් අප දැනුවත් කළ යුතුයි. ඔවුනට අවස්ථා බහුල කර දිය යුතු තත්ත්වයක් රට තුළ ගොඩනැගිය යුතුයි.

එහිදී රජය විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව ඒ සඳහා ඉතා ඉහළ මට්ටමක ප්‍රමිතියක් ඇති කළ යුතුයි. එය නිශ්චිත ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යා යුතුයි. එම ප්‍රමිතිය ආරක්ෂා කිරීම තුළින් අපට පුළුවන් රාජ්‍ය අංශයේ නිර්මාණය වන බලධරයෙක් වගේම පෞද්ගලික අංශය සම්බන්ධ කර ඔවුන්ගේ සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව උදා වෙනවා. උසස් ගුණාත්මක උපාධිධරයන්ද බිහි කරගත හැකියි. නමුත් මේ සෑම දෙයක්ම සිදුකිරීමට නම්  ප්‍රධාන කාරණය වන්නේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීමයි.

මන්ද නූතනය ගත්විට උසස් අධ්‍යාපන අවස්ථා හිමි නොවන වෛද්‍ය සිසුන්, කළමනාකරණ සිසුන් හෝ කලා විෂය හදාරණ සිසුන් රැසක් සිටිනවා. ඔවුන් මෙම ගැටලුව නිසා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිව වෙනත් රටවල විශ්වවිද්‍යාලයන් වලට ඇදී යාමක් සිදුවෙනවා. ලංකාවේ එය බහුලව දැකගන්න පුළුවන් දෙයක්.  ඒ සියලු සිසුන් පිටරට විශ්වවිද්‍යාලයන්ට දෙන සෑම මුදලක්ම අපේ රටේ මූල්‍ය සම්පත් වෙනත් රටකට ගලා යාමක්.

ඒ නිසා මෙම ක්‍රමය මගින් විධිමත්භාවයක් සහ නිශ්චිත ප්‍රමිතියක් යටතේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට විශ්වවිද්‍යාල ආරම්භ කළ හැකියි.  එමගින් විදේශ රටවලට ගලා ගිය  මුදල් අපේ රටේ තබා ගැනීමට හැකියාව උදා වෙනවා. එම මුදල් අප රට තුළම ආයෝජනය සඳහා සංසරණය කිරීමට මේ යටතේ හැකියාව ලැබෙනවා. ඒ අනුව ලංකාව තුළ ඒ මුදල් වලට සරිලන පරිදි ඔවුන්ට ගැළපෙන අධ්‍යාපනයක් හෝ උපාධියක් ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් එහි ප්‍රමිතිය පි‘ළිබඳ සැලකිලිමත් විය යුතු අතර, එය ඉහළ මට්ටමක තබා ගැනීම රජයේ ප්‍රධාන වගකීමක්.

සරසි නෙත්මිණි

 

 

 

 

 

 

සයිටම් ඕනෑද - එපාද සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017