එස්.බී දොස්තර ගැන කියයිද ?
( . . ) 2017-05-18 10:30:22
Comments - 0       Views - 451

වෙසක් පොහොයට පෙර ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්ථිර පොරොන්දුවක් ලබා දී තිබූ නිසා වෙසක් සතිය වුවද බොහේ දෙනාගේ අවධානය යොමුව තිබුණේ දේශපාලන පිටිය වෙතය. සිය අමාත්‍යාංශ වෙනස් වනු ඇතැයි සිතූ ‍ඇතැම් අමාත්‍යවරු මේ සතිය තුළ අමාත්‍යාංශවල රාජකාරි නොකළ තරම්ය.

ජනාධිපතිවරයා එසේ කීවද රජයේ කිසිදු වෙනසක් සිදුනොවුණු අතර, අවසනායේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්ද කැබිනට් ප්‍රකාශකවරයෙකු පත් කිරීමට පමණක් තීරණය කර තිබිණි. කැබිනට් සංශෝධනයක් නොව අඩුම තරමේ ආයතන ප්‍රධානීන්  හෝ වෙනස් නොකෙරිණි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය

මේ වනවිට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් නොයෙකුත් කතා පැතිර යමින් තිබේ. නමුත් අමාත්‍ය මණ්ඩල වෙනසකට එක්සත් ජාතික පක්ෂය සිය අකමැත්ත ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබිණි.

''වෙනස් කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් වෙනස් කරගන්න. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිකම් වෙනස් කරනවාට කැමති නැහැ.''

එජාපයේ ඇතැම් ප්‍රබලයෝ ප්‍රසිද්ධියේ කියන්නට වූහ. කෙසේ හෝ මේ සතිය ආරම්භය වනවිට එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තරමක් වෙනස් වී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සඳහා යම් එකඟතාවකට පැමිණ තිබිණි.

නමුත් එජාපය පෙන්වා දී තිබු‍ණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරටට පැමි‍ණෙන විට හදිසියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම සුදුසු නොවන බවයි. අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරයෙන් පසුවම ඇමති මණ්ඩලය වෙනස් කරන්නේ නම් එය සුදුසු බවද එබැවින් යෝජනා වී තිබිණ. ඒ අනුව සියලුම කාරණා සලකා බලා වෙසක් පොහොය වනවිටත් ආමාත්‍ය මණ්ඩලය එලෙසම පැවතිණි.

සිරිකොත සාකච්ඡා

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙන් සැදුණු යහපාලන ආණ්ඩුව ආරම්භයේ නොතිබූ ප්‍රශ්න මේ වනවිට ආණ්ඩුවට තුළ නිර්මාණය වෙමින් පවතී. ඇමතිවරුන් අතර ගැටුම් හේතුවෙන් ඔවුන් ඉවත් කරන ලෙස ඇතැම් අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන තත්ත්වයට පැමිණ තිබේ.

මේ සියල්ල හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

''දැන් තියෙන තත්ත්වය එක්ක මැතිවරණයකට ගියොත් අපට පාඩුයි. ඒ නිසා අපි පක්ෂය ශක්තිමත් කරගන්න අවශ්‍යයි''  අගමැතිවරයාට මන්ත්‍රීවරු කියන්නට වූහ.

මේ සාකච්ඡාවේ අවසානයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට කමිටුවක් සහ ප්‍රතිසංවිධානය කිරීමට කමිටුවක් පත්කර අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට පක්ෂයේ වගකීම් බාරදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ විය.

එසේ වුවද පක්ෂයේ තනතුරු වෙනස පිළිබඳ  සාකච්ඡා නොකිරීමද මෙහිදී විශේෂ විය.

එජාපයේ යෝජනාවක් 

වත්මන් ආණ්ඩුව නිර්මාණය වී මේ වනවිට වසර දෙක හමාරක් පමණ වන අතර, මේ වනවිට අමාත්‍යාංශ ස්ථාවර වී වැඩ කටයුතු ආරම්භ වී ඇති බැවින් ඉතිරි වසර කිහිපය මේ ආකාරයට යන්නේ නම් වඩාත් සුදුසු බව අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් හමු වූ එකසත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කියා තිබිණි.

නැවත අමාත්‍ය මණ්ඩල වෙනසක් සිදුවන්නේ නම් යළි ස්ථාවර වීමට වසර දෙකක් පමණ යනු ඇති බවත්, එවිට ආණ්ඩුවේ කාලය අවසන් වන බැවින් යහපාලන ආණ්ඩුවට කිසිදු කාර්යයක් කිරීමට සිදුනොවන බවත් එම අමාත්‍යවරුන් අගමැතිවරයාට පවසා ඇත.

අවශ්‍යම අමාත්‍ය ධුරයක් ඇතිනම් එය පමණක් වෙනස් කර ආණ්ඩුව ශක්තිමත් කිරීම මේ මොහොතේ කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරුන් කියා තිබිණි.

මෙම සාකච්ඡා අවසානයේ කොළඹ පැවැති උත්සවයකදී සෞඛ්‍ය අමැති රාජිත පැවසුවේ කැබිනට් සංශෝධනයක් නොවන බවයි.

නිදහස් පක්ෂයේ සාකච්ඡා

මැයි දිනය දා සෞඛ්‍ය අමැති රාජිත පැවසූ කාරණයකින් හිත් අමනාප වී සිටි ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා මේ සතිය තුළද වෙහෙසුණේ රාජිත සේනාරත්නගේ අමාත්‍ය ධුරය ඉවත් කිරීමටය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් මහින්ද අමරවීරගේ නිවසේදී රාත්‍රියක රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඒ වෙනුවෙන් ලිපියක් සකසා පසුදා ජනාධිපතිවරයා හමුවට ගොස් තිබිණි.

ජනාධිපති මෛත්‍රී හමු වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ඔවුන්ගේ දුක කියන්යට වූ අතර,  ප්‍රශ්න ඇති නොකර ගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙනයාම වැදගත් බව ජනාධිපතිවරයා ඇමතිවරුන්ට කියන්නට විය.

එසේ වුවද ප්‍රශ්නය විසඳීමට පසුදින පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද කැබිනට් ප්‍රකාශකවරයෙකු පත්කරන ලෙස  කැබිනට් හමුවේදී යෝජනා කිරීමට තීරණය කරගන්නා ලදී. එසේ වුවද මෙම තීරණය කැබිනට් හමුව වනතුරු කිසිවෙකුට නොපැවසීමටද ඇමතිවරුන් පිරිස ජනාධිපතිවරයා හා රහස් එකඟතාවකට පැමිණ තිබිණි.

කැබිනට් ප්‍රකාශකවරු තුන් දෙනෙක්?

පෙර දිනයේ කතා කරගත් පරිදිම කැබිනට් හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් ප්‍රකාශකවරයෙකු පත්කළ යුතු බවට නිදහස් පක්ෂ ඇමතිවරු අදහස් දක්වමින් කියන්නට වූහ.

''නිදහස් පක්ෂයේ ඇමති කෙනෙකුත් කැබිනට් ප්‍රකාශක විදිහට ඉද්දි වැරදි ප්‍රකාශ වෙන්නේ නැහැ. එහෙම ප්‍රකාශ වුණොත් ඒක නිවැරදි කරන්නත් පුළුවන්'' ඇමතිවරු යෝජනා කරන්නට වූහ.

එසේ වුවද එම ප්‍රකාශකවරයා කවරෙකුද යන්න එදින තීරණය නොවීය.

''එහෙම නම් ඒකට හොඳ ඇමති කෙනෙක් තෝරලා මට කියන්න.  නිදහස් පක්ෂයේ ලේකම්තුමයි, සන්ධාන ලේකම්තුමයි ඒ වැඩේ බාරගන්නකො'' ජනාධිපතිවරයා එහිදී එසේ පිළිතුරු දෙමින් එම ප්‍රශ්නය සමතයකට ලක්කළ අතර, අමාත්‍ය මණ්ඩලයට උපදේශයක්ද ලබාදුන්නේය.

''අපි ආණ්ඩුවක් විදිහට වැඩ කරද්දි හැමෝම කල්පනාවෙන් වැඩ කරන්න අවශ්‍යයි. ඇමතිවරුන් ඇමතිවරුන් අතර ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒක ආණ්ඩුවට හොඳ නැහැ.''

මෝදිගේ ආරක්ෂාවට දැඩි කැපවීමක්

ජාත්‍යන්තර වෙසක් දින උලෙළට සහභාගි වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණි අතර, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් රජය දැඩි වෙහෙසක් දරා තිබේ. පොලීසියේ 6000ක් කොළඹ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අතර, අගමැති මෝදි ගමන්ගන්නා මාර්ග තුළ වෙනත් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටද රජය තීරණය කර තිබේ.

හැටන් නෝර්වුඩ් ක්‍රීඩා පිටියේදී මහජන රැලියක් ඇමතීමට පැමිණෙන මෝදි පිළිගැනීමට දිගම්බරන් සහ තොණ්ඩමාන් පොර කමින් සිටින අතර, හැටන් වෙත පැමිණෙන මෝදිට බඹරුන්ගෙන් හෝ හානි වීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශයේ ගස්වල ඇති බඹර වද ඉවත් කිරීමටද කටයුතු කෙරිණි.

මහනාහිමි ජනපතිට කියූ දේ

වෙසක් සතිය ආරම්භයේ කොළඹ සම්බෝධි විහාරයේ පැවැති වෙසක් පිංකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, රාමඤ්ඤ නිකායේ මහනායක පූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ එයට වැඩ සිටියේ පුවත්පතක්ද රැගෙනය.

ජනාධිපති මෛත්‍රී සම්බෝධි විහාරයට පැමිණ නායක හිමියන් බැහැදැකීමට පැමිණ වැඳ අවසර ගැනීමෙන් අනතුරුව නාහිමියෝ ජනාධිපතිවරයාට රහසින් යමක් පැවසූහ.

''ජනාධිපතිතුමා මොකද්ද මේ බුද්ධාගමට තියෙන තැන වෙනස් කරන්න යනවා කියන්නේ. මේ පත්තරවල පොල්ගෙඩි අකුරෙන් ලියලා තියෙන්නේ. ඒක ඇත්තද ජනාධිපතිතුමා?''

''අපේ මහනායක හාමුදුරුවනේ මේ කතාව අමූලික බොරුවක්. මම මේ ගැන කලින් කියලත් තියෙනවා. ආණ්ඩුව බුදුදහමට වෙනසක් කරන්නේ නැහැ නායක හාමුදුරුවනේ'' යැයි ජනාධිපති පිළිතුරු දෙන්නට විය.

''මට මේ ගැන හරියට දැනගන්නම ඕන නිසා තමයි මම ඔබතුමා හමුවෙනකම්ම හිටියේ'' මහ නාහිමියෝ පිළිතුරු දෙන්නට වූහ.

එස්.බී.ට වැන්ද දොස්තර කවුද?

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නායකත්වය ගෙන සිටින්නනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. සයිටම් පිළිගත නොහැකි බව පවසමින් එය වසා දමන ලෙස මුලින් ඔවුන් පැවසුවේ එය ප්‍රමිතියට අනුකූල නොවන නිසාය.

නමුත් සයිටම් විද්‍යාලය ප්‍රමිතිගත කිරීමට අවශ්‍ය සාධනීය පියවර කිහිපයක්ම රජය විසින් ගත් අතර, එහෙත් ඒවාද පිළිනොගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන් සයිටම් විරෝධී වර්ජනයක් ක්‍රියාත්මක කළේ පසුගිය සතියේ සිකුරාදාය. බලාපොරොත්තු වූ තරම් වර්ජනය සාර්ථක නොවූ අතර, එම වර්ජනය දිනයේ ඇතැම් වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් තුළ සේවය කර ඇති බවද තහවුරු විය.

මෙම වැඩවර්ජනය පිළිබඳ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් සිටින විට අතීත සිදුවීමක් මතක් කර දුන්නේ රාජිත සේනාරන්ත ඇමතිවරයාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයෙකු, ඉහළම නිලතලයක් හොබවන්නෙකු ව්‍යාජ ලකුණු මත උසස් වීම් ලබාගත් බවට පැහැදිලි සාක්ෂි එස්.බී. ඇමතිවරයා සතුව ඇති බවත්, වරෙක ඔහු ඒ පිළිබඳ ප්‍රසිද්ධ කිරීමට සැරසුණු බවත් රාජිත කියන්නට විය.

එලෙස ප්‍රසිද්ධ කිරීමට සැරසෙද්දී එම සංගමයේ ප්‍රධාන නිලතලයක් හොබවන වෛද්‍යවරයා එස්.බී. අමාත්‍යවරයාගේ නිවසට ගොස් දණ ගසා වැඳ එසේ නොකරන ලෙස ඉල්ලා ඇත. එස්.බී.ද එය එතැකින් අමතක කර ඇත. නමුත් අදාළ පුද්ගලයා දැන් රජය පෙරළීමට කුමන්ත්‍රණ කරන බැවින් එම කරුණු ප්‍රසිද්ධ කිරීමට එස්.බී. තීරණය කර ඇති බවද එහිදී කියැවිණි.

එපමණක්ද නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළින් වෛද්‍ය උපාධිය ලබාගත් පුද්ගලයන් සේම උසස් පෙළ අසමත්ව මේ වනවිට වෛද්‍යවරුන් බවට පත්ව ඇති එහෙත් සංගමයේ සිය ව්‍යාජ කතා පවත්වන වෛද්‍යවරුන් පිළිබඳ හෙළිදරව්වක් කිරීමටද මේ වනවිට රජයේම පිරිසක් සූදානමින් සිටින අතර, ඒ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ජී.එම්.ඕ. දෙකට වේවිද?

සයිටම් විරෝධී රැල්ල අනවශ්‍ය අන්දමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කරන විට ජනතාව අතරින් වෛද්‍යවරුන්ට විරෝධය දක්වන සිදුවීම් කිහිපයක්ද පසුගිය දිනවලදී දක්නට ලැබිණි.

මේ අතර මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සිදුකරන දේශපාලනික අවශ්‍යතාවන් පිළිබඳ හෙළිකිරීමට එම සංගමයේම වෛද්‍යවරු පිරිසක් සූදානමින් සිටිති. අනවශ්‍ය විරෝධතා ඇති කිරීම සුදුසු නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඔවුන්ගේ හෙළිදරව්ව සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකඩවීමේ තත්ත්වයක්ද මේ වනවිට ඇතිව ඇති බවද වාර්තා වේ.

අනුර දුන් පොරොන්දුව

සයිටම් විරෝධය උත්සන්නව පවතින අතරේ ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක ජනපති මෛත්‍රී හා අගමැති රනිල් හමුවී තිබේ.

සයිටම් විරෝධය හේතුවෙන් ආණ්ඩුව පෙරළෙන තත්ත්වයට පැමි‍ණ මහින්ද රාජපක්ෂට බලය ලැබෙන තත්ත්වයක් උද්ගත වුවහොත් නම්, ජනතා විමුක්ති පෙරමුණ එයින් ඉවත් වන බව අනුර එහිදී ජනපතිට හා අගමැතිට දන්වා තිබේ.

එසේ වුවද ආණ්ඩුව නිවැරදිව කටයුතු කළයුතු යැයිද අනුර පවසා ඇත.

පළාත් සභා ඡන්දයක් ළඟදීම

හබරණදී පැවැති ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී මීළඟට මැතිවරණ පැවැත්වෙන පළාත් සභා පිළිබඳ එකඟතාවට පැමිණ ඇති අතර, ඒ අනුව මේ වසරේදී නැගෙනහිර, සබරගමු, උතුරු මැද පළාත් තුළ මැතිවරණ පැවැත්වීමට තීරණය වී ඇත.

මෙම පළාත් සභා තුනේ මැතිවරණ කල්නොදමන බවත්, මේ වසරේදීම පවත්වා අවසන් කරන බවත් ජනාධිපතිවරයාද ඔවුන්ට පොරොන්දු දී තිබේ.

ලංවිම ගැටලුව

ලංකා විදුලිබල මණ්ඩල සේවකයෝ ජුනි මාසයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට පිටිය සකසමින් සිටිති. වැටුප් ප්‍රශ්නය සහ ඉංජිනේරුවන්ගේ පරිපාලනයට එරෙහිව ඔවුන් මෙසේ වර්ජනය කිරීමට සැරසේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය විදුලිබල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධාන රැස්වූ අතර, එහිදී යම් ගැටුමක් ඇතිවිය.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කතාකිරීම මෙලෙස ගැටුමට හේතුවී ඇත.

සයිටම් විරෝධයේදී රංජන් ජයලාල් ඉංජිනේරු සංගමය සමග එක්ව විරෝධතා දැක්වීමත්, වැටුප් ප්‍රශ්නයේදී ඉංජිනේරුවන්ට විරුද්ධව කටයුතු කිරීමත් දෙබිඩි පිළිවෙළක් බවත්, සන්ධානයේ සමාජිකයන් පෙන්වා දී ඇති අතර, එයට විරෝධය දක්වා ඇත.

මෙම විරෝධතා හමුවේ ඉදිරියට එසේ සිදුනොවන බව පවසමින් එය සමථයකට පත්කිරීමට රංජන් කටයුතු කරන්නට විය.

සයිටම් වැඩ වර්ජනනයට විදුලි නිදහස් සේවක සංගමය එක්නොවූ හේතුවද මෙහිදී ඔවුන්  කියා තිබේ. ඒ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලබාදුන් පොරොන්දුවක් හේතුවෙනි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වැටුප් ප්‍රශ්නය මුලිකර ගනිමන් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලදී යම් සේවකයෙකුට හෝ අසාධාරණයක් වුවහොත් ඒ වෙනුවෙන් පෙනීසිට එය නිවැරදි කරන බවට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු දී තිබේ. මෙම පොරොන්දුව හේතුවෙන් ඔවුන් එදින වර්ජනයට සහභාගි නොවූ අතර, අනෙකුත් සංගම් වෙත අමාත්‍යවරයා මේ බවක් නොදැන්වූයේ මන්දැයි සැමට ගැටලුවක්ව තිබිණි. 

විමල්ගෙන් ජනපතිට, අගමැතිට තුති

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිරගතව සිටියදී ලියූ ''රටට උවමනා වම'' කෘතිය ජනගත කිරීමේ උත්සවය තුම්මුල්ල 
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණි.

'ලංකාවේ පොට පටලවාගත් වම, බෞද්ධ සභ්‍යත්වය හා රාජ්‍ය පාලනය, සන්තානගත වෙනසින් සංස්ථාගත වෙනසකට' ඇතුළු පරිඡේද 14කින් සමන්විත මෙම කෘතිය මගින් වම සහ බෞද්ධ දර්ශනය එක්ව ගමන්කළ යුතු බව විමල් වීරවංශ පෙන්වාදී තිබේ. පිටු 227කින් සමන්විත එම කෘතිය සඳහා ආචාර්ය ගුණදාස අමරසේකර විසින් පෙරවදනක් සහ පසුවදනක් සපයා තිබේ.

එළිදැක්වීමේ උත්සවයට දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, භික්ෂූන් වහන්සේලා, විද්වතුන්, ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උත්සවයේ මුලසුන හෙබවූ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ ප්‍රධාන දේශනය පවත්වමින් ජ.වි.පෙ. දේශපාලනය සහ විමල් වීරවංශ සම්බන්ධ සිද්ධි රසවත්ව විස්තර කළහ.

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් මැදිහත්ව පිහිටුවූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් මීට කලකට පෙර  පැවැත්වූ උත්සවයකට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට අසුන් පැනවීමට සුදුරෙද්දක් නොතිබුණු බැවින් අසල සිටි අයෙක් සිය සරම ගලවා පුටුවට දැමූ සිද්ධියක් උන්වහන්සේ මතක් කළහ. එවිට සභාවම සිනහ සයුරක ගිල්ල වූ අතර, විමල් ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නායකයන්ටද සිනහ නොවී සිටිය නොහැකි විය.

''අත්ගුලිකරලා පොත් ගහන්න එපා කියලා මම විමල් වීරවංශ මහත්මාට කිව්වා. නිදහසේ අතක් තියන්න. පන්ති වෛරය කියන වචනයට පවා මිනිස්සු කැමැති නැහැ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නෑ කියලා මේ රටේ මිනිස්සුන්ට කාවද්දලා ගිහින් තියෙනවා. ඒ නිසා අපි වචන වෙනස් කරන්න ඕන. ජේ.වී.පී. කරන අය පන්සිල් ගන්නෑ. හොඳට බලන්න. නමුත් පන්සිල් රකිනවා.

ජනතා විමුක්ති පෙරමුණ පන්සිල් රැක්කද මිනිස්සු ඡන්දය නොදෙන්නේ බුද්ධාගම විනාශ කරන නිසයි. මම සෝමවංශ අමරසිංහ මහත්මයාටත් කිව්වා පන්සිල් රකින සමාජයක් ගොඩනගනවා කියන්න කියලා. මුන්ට බෞද්ධ හැඟීමක් නැති නිසා කටින් කෙළ හැලෙන්නෑ. එහෙම කියන්න හැඟීමක් නැහැ. යටත්විජිත මානසිකත්වයක් තිබෙන්නෙ. මාක්ස්වාදය පරම  සත්‍යයක් කියලා පරගැති මානසිකත්වක් මේ අයට තිබෙනවා.

බුදු දහමේ කියන සරල බව, අල්පේච්ඡ බව,අ නුන්ගෙන් යැපෙන පරපුටු බව, සමූහ සාකච්ඡාව, විවේචන ජනතා විමුක්ති පෙරමුණ බුදුදහමින් අරගත්තා. දැන් මේවා තියෙනවද දන්නෑ. මම ගම්පහ ජ.වි.පෙ. ඇකඩමියේ ඉගෙන ගත්තේ. ඒ ඇකඩමියේදී රෝහණ විජේවීර මහත්මයාට මම කිව්වා බුදුදහමේ පටිච්ච සමුප්පාදය අරගන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පන්සියයක්, හත්සියයක් විතර පෙළපාලියේ හාමුදුරුවරු ගොඩනැගුවා. අහිංක අපි පෙළපාළියේ යන ගමන් බිම වාඩිවෙනවා.

අර මහත්වරු උඩ වාඩිවෙලා ඉන්නවා. ලැජ්ජාවේ බෑ. හාමුදුරුවරු දුක්විඳින්න ඕන නිසා කුඩයක්වත් ඉහළන්න දෙන්නෑ. එම ලැජ්ජාව ඉවසාගෙන හිටියේ සාධාරණ යුක්තිගරුක සමාජයක් වෙනුවෙන්. බලන්න පරමාදර්ශය විනාශ කරපු හැටි. කුඩහපොළ බළකාය හදලා හාමුදුරුවරුන්ට තුවක්කු දුන්නා. කුඩහපොල බළකායේ හාමුදුරුවරු මොනතරම් සාහසිකද කියලා බලන්න. මොනතරම් විනාශයක්ද බලන්න කරලා තියෙන්නෙ.

බුදු දහම ගැන හැඟීමක් නැති පිරිසක් ඒ. ඔය පක්ෂයේ ඉඳගෙන මම දිගින් දිගටම යෝජනා කළා අපි ලොකු වේදිකාවක් හදමු හාමුදුරුවන්ට ඉන්න සුදුරෙදි දාලා. උගත් හාමුදුරුවරු හිටියට ඒ හාමුදුරුවරු එන්නෙ නැහැ. මේකට කැමැති අයත් එන්නෙ නැහැ. බලන්න මොනතරම් මන්දබුද්ධික පිරිසක්ද කියලා. අනිත් ආගම්වලට අසාධාරණයක් වෙනවා කියලා ඒ අය කැමති වුණේ නැහැ. එක පූජකයෙක් ඇවිත් සහභාගි වුණාද? එකම සිස්ටර් කෙනෙක් ආවා. බෝපගේ මහත්තයා එයත් අරන් ගියා* යැයි අරියදේව හිමියෝ සිය දේශනයේදී සඳහන් කළහ.

අනතුරුව  මූලාසනය වෙත වැඩම කළ උන්වහන්සේ අසුන් ගත්තේ අරක මතක් කළාට ප්‍රශ්නයක් නෑ නේද කියා සිනහවෙමින්ය. උන්වහන්සේ සමීපයේ විමල් සමග ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත සිටියහ. එවිට විමල් තවත් මොනවදෝ පැවසූ අතර පද්ම උදයශාන්ත ඔළුවේ අතගහගෙන තවතවත් සිනහ වනු දක්නට ලැබිණි. මෙම උත්සවය අමතමින් විමල් වීරවංශ තම කෘතිය රචනා කිරිම සඳහා උදව් කළ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිය ස්තූතිය පළකළේය.

''ජනාධිපතිවරාටත්, අගමැතිවරයාටත් ස්තූතිවන්ත වෙනවා පොත් දෙකක් ලිවීම සඳහා කාලය ලබාදීම ගැන. සිරගත නොවුණානම් මේ කෘතිය සහ මීට පසුව ජනගත කිරීමට නියමිත කෘතිය ලියන්න කාලය සහ අවකාශය මට හිමිවෙන්නෙ නැහැ. එතුමන්ලාගේ දේශපාලන දඩයමට අනුකූල ලෙස ඒ තීරණය ගත්තාට එකෙන් ලබාගත් ප්‍රයෝජනය තමයි අද මේ තමුන්නාන්සේලා හමුවේ පිළිගන්වා තිබෙන්නෙ. මම සිරගත වී සිටියදී තමයි සෝවියට් විප්ලවයට අවුරුදු සීය සම්පූර්ණ වුණේ.

ඒක නිමිති කරගෙන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලව සමරුවක් පැවැත්වුවා. ඒක හරියට සාර් අධිරාජ්‍යයා ඇවිත් විප්ලවය සැමරුවා වගේ වැඩක්. ජාතික විමුක්ති ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය දැක්ම හා මතවාදය මේ කෘතිය මගින් ලැබෙනවානම් එය ප්‍රමාණවත් අපට සතුටු වෙන්න. මං සිරගෙදරදී තව පොතක් ලිව්වා, 'යදමින් බැඳි අක්ෂර' කියලා.

ඒක ලබන මාසේ අපි එළියට දානවා. හිරගෙදර ජීවිතය අලලා ඒ පොත ලිව්වේ. ඒකේ පිටු ගාණ මේකට වඩා වැඩියි. ඉතිං මේ පොත් දෙකම ලියන්න මට උදව් කරපු අර ජෝඩුවට ස්තූතිවන්ත වෙනවා හැරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ'' යනුවෙන් පවසා සිටියේය. 

අහන්න ප්‍රශ්න ගොඩයි නේද?

ජාත්‍යන්තර වෙසක් උත්සවය අද සිට මෙරට පැවැත්වෙන බැවින් ආණ්ඩුව එය සාර්ථක කරගැනීමට දැඩි වෙහෙසක් ගෙන තිබිණි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන රූපවාහිනී වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනියේදී පැවැත්වූ අතර, එය සියලුම නාලිකා තුළ විකාශය කෙරිණි. ඒ සඳහා සියලුම මාධ්‍ය ආයතනවලින් මාධ්‍යවේදියෙකු බැගින් සහභාගි වූ අතර, ඔවුන්ට ජාතික රූපවාහිනියට පැමිණෙන ලෙස දැනුම්දී තිබිණි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකු සමග රූපවාහිනී වැඩසටහන් පවත්වා අත්දැකීම් තිබූ මාධ්‍යවේදීන් මෙයට සහභාගි වූ අතර, එසේ වුවද මෙවර එය සැබැවින්ම වෙනස් ආකාරයක් වූයේ අඩුම තරමේ මාධ්‍යවේදීන්ව ආරක්ෂකයන් විසින් පරීක්ෂාකිරීමක් පවා නොකළ බැවිනි. එපමණක් නොව ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ද එම ස්ථානයේ නොවීය. මේ හේතුවෙන් සැබැවින්ම ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට සහභාගි නොවනු ඇතැයි බොහෝදෙනා සිතූහ.

සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත්‍රී මෙම රූපවාහිනී වැඩසටහන සහභාගි වූ අතර, එය පවත්වා ගෙන යෑමට මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවක් නොවීය.

ජාත්‍යන්තර වෙසක් පිළිබඳ පමණක් කතාකිරීමට වැඩසටහන ක්‍රියාත්මක පැවතියද බාහිර ප්‍රශ්නද ඒ තුළ මාධ්‍යවේදීහු ජනාධිපතිවරයාට යොමුකළහ.

ජනාධිපති මෛත්‍රීද ඒ සඳහා නොපැකිළිව පිළිතුරු ලබාදුනි.

පැයකට අධික කාලයක් පැවැති වැඩසටහන නිමාවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග කෙටි වේලාවක් සුහද කතාබහක නිරත වී සිටි අතර, ''අහන්න නම් ප්‍රශ්න ගොඩයි නේද? ඒත් අද මට ඉක්මනට යන්න වෙනවා'' යැයි කියමින් ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට සමුදුන්නේය. ජනාධිපති පදවියට පත්වූ පසු ජනපති මෛත්‍රී ජාතික රූපවාහිනියට පැමිණි තුන්වැනි අවස්ථාව එය විය. 

රනිල් මහින්දගෙන් කළ ඉල්ලීම

ඇමති මාරුව පිළිබඳ විවිධ කතාබහ ඇතිවන අතරේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති මලික් සමරවික්‍රම, ඇමති මහින්ද අමරවීර අතර හමුවක් පසුගිදා සිදුවිය.

වරාය හා නාවින කටයුතු අමාත්‍යාංශය භාරගන්නා ලෙස අගමැති රනිල් මෙහිදී මහින්ද අමරවීරගෙන් ඉල්ලා සිටි අතර, අමරවීර එයට එතරම් කැමැත්තක් නොදැක්වීය.

ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට අකමැති බව මහින්ද අමරවීර එහිදී නොකියා කියන්නට විය. කෙසේවුවත් මෙහිදී වෙනස් විය යුතු අමාත්‍යාංශ පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර වරාය හා නාවික, විදේශ කටයුතු, වෘත්තීය පුහුණු, ජනමාධ්‍ය ආදිය ඒ අතර කතාකෙරිණි. මේ කතාබහට අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇමතිකම් හුවමාරු කරගැනීමේ අදහසක්ද ඇතිවූ අතර ඇතැම්විට එය ඉදිරියේදී සිදුවීමටද ඉඩතිබේ. 

දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com

 

එස්.බී දොස්තර ගැන කියයිද ? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :