වතුකරයට ඉන්දියානු ගුරුවරු ගෙන්වීමට තරම් අපි බංකොලොත්ද ?
( ලාල් ජයසුන්දර ) 2017-05-17 14:10:20
Comments - 0       Views - 187

වතුකරයේ පාසල්වල පවතින ගුරු හිඟය වෙනුවෙන් ඉන්දියානු රජයෙන් පුහුණුව ලබා ඇති ගුරුවරුන් 100 ක් ගෙන්වීමේ යෝජනාවක් සම්බන්ධයෙන්  ඇමති වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ අවධානය යොමුව ඇතැයි  ගත වූ සතියක ජනමාධ්‍ය වාර්තාවක් අනාවරණ‍ය කළේය.

ඔහු පවසා ඇත්තේ වතු පාසල් 844 ක් පවතින අතර එයින් තෝරාගත් පාසල් 25 ක් සඳහා විශේෂිතව විෂය අධ්‍යාපනය ලබාදීමට ඉන්දීය රජයේ වැටුපෙන්ද, ලංකාවේ කෑම සහ නවාතැන් යන පදනම තුළ ගුරුවරුන් 100 ක් තෙවසරක කාලයක්  වෙනුවෙන් ගෙන්වීමට යෝජනා කරන කතාවකි.‍

මේ වනවිට උඩරට වතුකරයේ ඇතැම් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම පාසල් ගුරුවරුද මේ සම්බන්ධයෙන් විවිධ මත දරති. එහි අවසානයේ ඇසෙන්නේ ශ්‍රී ලංකාවේ වතු පාසල් සඳහා ඉගැන්වීමට ඉන්දියාවෙන්ම ගෙන්විය යුතුද යනුවෙන් තර්කයකි.

ඉන්දියාවෙන් නොව බ්‍රිතාන්‍ය හෝ ඇමරිකාවෙන්ද ගෙන්වීමේ වරදක් නැත. ජනතාවට විධිමත් මඟපෙන්වීමක් යටතේ නිවැරදි අධ්‍යාපනයක් ලබාදීමේ රාජ්‍ය වගකීම ඒ ආකාරයෙන්ම ඉටු විය යුතු හෙයිනි.

එහෙත් අපේ නිදහස් අධ්‍යපනයට සහ නිදහස ලබා වසර හත්තෑවක් ගතවී ද අදටත් වතුකරයේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට තරම් දැනුම, අවබෝධය, හැකියාව අත්දැකීම් මෙන්ම පුහුණුව ඇති ගුරුවරුන් බිහි කිරීමට නොහැකි වූයේ ඇයි?

ජාතික වීරයන්, නීතිවේදීන්, සමාජ සංවර්ධකයන්, අධ්‍යාපනඥයන්ගේ නම් ගම් පෙළගැස්වීමේදී මහජාතියට සමානවම දමිළ ජාතියේ නම්ද ඒ අතර කියවෙයි.  එසේ නම් දෙමළ ජනතාව අතරින් වතුකරයේ දමිළ ජනතාවට පමණක් වෙනසක් ඇති වූයේ ඇයිදැයි ඇසිය යුත්තේ හැමදාමත් සිංහල ජාතිය සුළු ජාතීන් නොසලකා හැර වරප්‍රසාද භුක්තිවිඳින බවට කෙරෙන නොමනා චෝදනා හේතුවෙන් වතුකරයේ හතර මායිම ලියාගත් දමිළ නායකයන්ගෙනි. දකුණේ අවස්ථාවාදී දේශපාලකයන්ට ඔටුණු පැලඳවීමට මනාප ගොඩ බෙදාදුන් දූෂිත දමිළ නායකයන්ගෙනි.

ගෙවීගිය දශක හතර තුළ මෙරටට පැමිණි  එන්.ජී.ඕ වැඩි ප්‍රමාණයක් තම ප්‍රතිපාදන යෙදවූයේ වතුකරයේ ජනතාවගේ අධ්‍යාපනයට සහ යටිතල පහසුකම් වෙනුවෙන් බව ඒ පිළිබඳ හදාරන යමෙකුට පහසුවෙන් වැටහෙනු ඇත. දේශපාලන නායකත්වය වශයෙන් තොණ්ඩමන්ගේ දේශපාලන විප්ලවය තුළ දමිළ ජනතාවට කොන්ද කෙළින් කරගත හැකි පරිසරයක් නිර්මාණය වී යැයි පවසන්නේ නම් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ ආගමනයේ සිට හතළිහේ දශකය සිට වතුකරයේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් පෙනී සිටි බවට පුරසාරමකි.

එසේ තිබියදී අඩුම තරමින් දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නඟන උතුරේ විග්නේෂ්වරන්ලාට හෝ සිවාජිලිංගම්ලාටවත් මේ දුක නොදැනුණේ ඇයිද යනුවෙන් වතුකරයේ ජනතාව අසන ප්‍රශ්නයද බැහැර කළ නොහැකිය. 

රාධක්‍රිෂ්ණන්ලාත්, දිගම්බරම්ලාත්,  රංගලාත්, තොණ්ඩමාන්ලාත් වශයෙන් මෑතකාලීනව දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි දේශපාලන බලවතුන්ට ගත වූ කාලයේ නිලතල දරන අතර, කළ හැකිව තිබූ මැදිහත් වීම අති විශාල බව අදටත් වතු කම්කුරුවෝ පෙන්වා දෙති.

අනෙක මේ යෝජනාව ගෙනෙන රාධක්‍රිෂ්ණන් අමාත්‍යවරයා මෙයට ‍පහළොස් වසරකට හෙවත් 2002 දී මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වගකිවයුතු ඇමතිකමක් හෙබ වූ අයෙකු බව අමතක නොකළ යුතුය.

වතුකරයේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් වසර තිහකට පෙර එ.ජා.ප. රජයක් යටතේ හැටන්හි පතන ශ්‍රීපාද ජාතික විද්‍යා පීඨය ඉදිවන්නේ ද මෙම අවශ්‍යතාව එදා ආණ්ඩුව වටහාගත් හෙයිනි. වතු සේවකයන්ගේ දරුවන්ට එහි 70%ට වැඩි ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම හිමි වියයුතු යැයි සම්මතයක් පවතින්නේද එහෙයිනි.

එසේ නම් ඒවා ආයතන වශයෙන් විධිමත්ව යාවත්කාලීන කිරීමට හෝ ඒවායේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීමට ගත වූ තිස් අවුරුදු තුළ පළාත් සභා හෝ ජාතික රජය උනන්දු වී නම් ගුරුවරුන් සියයක් වෙනුවෙන් තිස් වසරකට පසු ඉන්දියාවට දත නියවීමට සිදු නොවනු ඇතැයි වතුකරයේ කම්කරු ජනතාව පවසන යථාර්ථය දැන්වත් වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන නායකයන්ට ඇසිය යුතුය.  

එම ප්‍රදේශයේ ගුරුවරුන් පවසන පරිදි වතුකරයේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව විධිමත්ව ඉගැන්විය යුතු යැයි වැඩි කලක් පළාත් සභාව තුළ හෝ සිය ආණ්ඩුව තුළ තමා දැරූ තුනතුර සමයේ යමෙකු සිතු වේ යැයි උපකල්පනය කරමු. එසේනම් වසර තුනක මනා පුහුණුවක් සංවිධානය කර වසරකට 50 ක් බැගින්  යොමු කළේ නම් අඩුම තරමින් ගත වූ  විසි වසර තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ වියත් දමිළ උගතුන් 1000 ක් රට තුළ සේවයේ නිරත විය හැකි බවට පවතින සංවාදයද බැහැර කළ නොහැකිය.

මධ්‍යම පළාත වෙනුවෙන් වෙනම ගුරු පුහුණු සේවා සංස්කරණ මධ්‍යස්ථානයක් මහනුවර ගුරුදෙණියේ ස්ථාපනය වන්නේද  එ.ජා.ප. ආණ්ඩුව සමයේ 1997 දී එවකට ප්‍රධාන අමාත්‍ය ඩබ්ලිව්.පී.බී. දිසානායක මහතාගේ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු මියගිය පසු සහ පක්ෂ බලය වෙනස් වූ පසු ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කළද විධිමත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක හැකි දේශපාලකයන්ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හිඟයක් ගත වූ කාලයේ පැවැති බවට මෙයද එක් සාක්ෂියක් ලෙස විද්වත්හු අවධාරණය කරති.

එහෙත් දමිළ ජනතාවගේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට වතුකරයේම ඇතැම් දේශපාලකයන්ට ඇත‍්තේ බියකි. ඒ දරුවන් අධ්‍යාපනය ලබා මහපුටුවලට පත් වුවහොත් තවදුරටත් වතුකරයේ දෙමළ නායකයන්ට අසරණ කම්කරුවන් රැවටීමට හෝ ශ්‍රමිකයන්ගේ පවතින පුරප්පාඩු භයානක පරිදි ඉහළ යා හැකි හෙයිනි. එවිට ඉදිරි කාලය තුළ වතු කම්කුරුවන්ගේ හිඟයට විසඳුමක් ලෙස නැවත ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වීමට සිදුවනු ඇතැයි වතු හිමියෝ පවසති.

එසේ නම් වතුකරයේ දමිළ ජනතාවට අධ්‍යාපනය පිළිබඳ ඇති උනන්දුව සහ අවශ්‍යතා හඳුනාගැනීම පිළිබඳ අර්බුදයක් නොපවතින බව පැහැදිලිය. එහෙත් අර්බුදය වන්නේ ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ඉහළ විද්වත් දැනුම නොමැතිකම යැයි දේශපාලකයන් පවසන්නේ නම්, නැවත ජනතාව අසන්නේ ජනතාව නමින් වරප්‍රසාද වැටුප් දීමනා ලබමින් ජනතා ඡන්දයෙන් ඔවුන් පත් වූ පසු තම නිලය සහ බලය තුළ ගත වූ හැත්තෑ වසර තුළ කළේ කුමක්ද යන පැනයකි.  

ඉංග්‍රීසි ඉගැන්වීමට උපාධිධාරීන් සොයාගත නොහැකිවීමත්, සෞන්දර්ය ගුරු පත්වීම් ලබාදීමේදී අවම ලකුණු සම්පූර්ණ කර නොමැති නිසා එම මට්ටමෙන් පහළට යමින් නැවත අවස්ථාව ලබාදීමට සිදුවීම සහ පොදුවේ ගණිතය විද්‍යාව තාක්ෂණ විෂයයන් සඳහා රට තුළ පවතින ගුරු හිඟය විමසීමේදී මෙය වතුකරයට නොව සමස්ත ශ්‍රී ලංකාවට බලපාන සිද්ධියක් බව පැහැදිලිය.

අනෙක වතු කම්කරුවන්ගේ දරුවන් හැටන් පතන ජාතික  විද්‍යා පීඨයෙන් ගත වූ වසර තිහක කාලය තුළ වසරකට දෙසීය බැගින් දසදහස් ගණනාවක් බිහි වී ඇතැයි පාසල් ගුරුවරු පෙන්වා දෙති. ඇතැම් අවස්ථාවලදී වතුකරයේ දමිළ ගුරුවරුන් රජයේ හෝ වෙනත් සංවිධානයන්හි ශිෂ්‍යත්ව ක්‍රම යටතේ ඉන්දියාවේ විවිධ උසස් අධ්‍යාපන ආයතනවලට යවා ඉංග්‍රීසි දැනුම ලබාදීමට පියවර ගෙන ඇති බවද එම ගුරුවරු පෙන්වා දෙති.

එහෙත් එම ගුරුවරුන්ගේ සේවය නිසි කළ නිසි තැනට ලබාදීමට තරම් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් එම පුහුණුලාභීන් තවත් එක් ගුරුවරයෙකු ලෙස ආගම, නැටුම්, සමාජ අධ්‍යයනය ඉගැන්වීමට පමණක් යොදාගෙන ඇති බවටද කතාවක් ඇසේ.

මේ සම්බන්ධයෙන් එක් දමිළ ගුරුවරයෙකු පැවසුවේ, තමා විදේශගතව පුහුණුව ලබා පැමිණි පසු තමන්ට සුදුසු පාසලක් ඉල්ලා සිටියද දේශපාලන බලය නොමැති නිසා  කාලසටහනක් නැති පාසලක මොනවා හෝ ඉගැන්වීමට යෙදූ පුවතකි. 

එක් දමිළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පැවසුවේ, දක්ෂ සහ සුදුසුකම් බහුල ගුරුවරුන් දේශපාලකයන්ට අවශ්‍ය සීමාවන් තුළ කොටුකර තබාගැනීම නිසා අවශ්‍ය තැන්වලට ගුරුවරුන් මාරු කිරීමේ නොහැකියාවක් පවතින බවට මැසිවිල්ලකි. වතුකරයේ වැඩක් කළ නොහැකි තරමට දේශපාලකයන්ගේ ඇඟිලි ගැසීම් වැඩි බවද එක් වගකිවයුතු නිලධාරියෙක් අවධාරණය කළේය.

“වතුකරයේ දෙමළ උගන්වන්න ඉන්දියාවෙන් අවශ්‍ය නැහැ. විශේෂ සාමර්ථ ඇති සහ කාලය අනුව පලපුරුද්ද ඇති දැනට වතුකරයේ සේවය කරන ඉංග්‍රීසි ගුරුවරුන් අතරින්  විධිමත් පරීක්ෂණයක් කළොත්  සියයක් වෙනුවට පන්සියයක් තෝරාගන්න පුළුවන්. ඒ අය කැමැත්තෙන් ඉන්නවා මේ අසරණ ඉලක්ක ජන කොටසට උදව් කරන්න. මොකද ඒ වැඩිදෙනාගේ දෙමවුපියන්ද දහදුක් විදපු මිනිසුන් නිසා. මේ දේශපාලකයන් වෙනත් අරමුණු වෙනුවෙන් කරන යටිසූත්තර දේශපාලන න්‍යාය පත්‍රයක්.

ඒ අය මේ යෝජනාව කරන්න ඉස්සර ගුරුවරුන්ගෙන් කැමැත්ත සහ දක්ෂකම් අහන්න තිබුණා. ඇයි එහෙම නොකළේ. මේවා තවත් අවුරුදු තුන හතරක් නෙවෙයි. අවුරුදු දහයක් දොළහකින් වතුකරයේ දෙමළ ළමයින්ට  ඉගෙන ගැනීමට ඇති අවස්ථාව  යටපත් කරලා හැමදාම කම්කරුවන්ගේ දරුවන් හැටියට දළු කඩන්නට දේශපාලකයන් ගන්නා උත්සාහයක්. ළමයි හොඳට ඉගෙන ගත්තොත් මේ අයට හුරේ දාන්න කොඩි වනන්න ඊළග මැතිවරණවලදී පිරිසක් නැති වෙනකොට ඒ අයට වහ කන්න තමයි වෙන්නේ” එක් විශ්‍රාමික ගුරුවරයෙකුගේ ආවේගකාරී ප්‍රකාශය රජයට ඇසිය යුතුය.

බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම කළේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි. ඒත් නැතහොත් දේශපාලකයන්ගේ නොදැනුවත්කම නැමති අතීසාරයට ජනතාවට අමුඩය ගැස්වීමකි. මේ වතුකරයට පමණක් අදාළ වන පුවතක් නොවේ. සැබැවින්ම මෙය රටේ අධ්‍යාපනයේ පමණක් නොව සමාජ ආර්ථිකය කෙරෙහිද  බලපා ඇති තවත් අර්බුදයකි. එහිලා කළ යුත්තේ අදාළ විෂයයන් ඉගැන්වීමට ඇති බාධක මෙන්ම අභියෝග සහ සංවර්ධනය කළ යුතු අවශ්‍යතා සඳහා නිසි විසඳුම් සඳහා ජාතික මට්ටමේ විධිමත් වැඩපිළිවෙළක් සම්පාදනය කිරීමකි.

සියලුම විෂයයන් අසමත් වුවද ගණිතයට පමණක් වූ විශේෂ දක්ෂතා ඇත්තෝ අතරමඟ හැලෙන්නේ අනිවාර්යය වෙනත් විෂයයන් අසමත් හෙයිනි. හැම විෂයයක්ම අසමත් වුවත් සිය සෞන්දර්යාත්මක කුසලතා ඇති සිසුන්ට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සහතිකය නැති නිසා සිදුවන්නේ බලිතොවිල් මඩුවල දුම්මල ඇල්ලීමටය.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ චතුරත්වය ඇතත් ගණිතය අසමත් නිසා ගවයන්ට තණකොළ කැපීමට සිදු වන්නේද සුදුසුකමට නිසි තැන ලබානොදීමේ පව්කාරකම විඳවීමකි. සුදුසුකම යනු විෂයයන් දහයක් සඳහා විශිෂ්ට සම්මාන ගැනීම නොව තමන් තුළ සහජයෙන් පවතින දක්ෂතාවට නිසි තැන ලබා දී එය විකාශය කිරීමක් විය යුතුය.

එහෙත් හැමදාමත් සිදුවන්නේ විශිෂ්ට සම්මාන දහයක් ගත් විශිෂ්ටයන් හෝ පහේ හපනුන් නැතහොත් උසස් පෙළ සමතුන් රජ ගෙදරට ගෙන්වා කෝපි කෝප්පයකින් ඇගයීම නම් එයින් රටේ සමස්ත අර්බුදයේ ඛෙදවාචකය දිනිය හැකිද? දැඩි අවධානය යොමුවිය යුතු අසමත් වූවන් කිසිදිනෙක රජ ගෙදරට නොගෙන්වීමේ රහස වැලිකඩ හෝ පල්ලෙකැලේ නැතිනම් මහර මහඋළුගෙදර දොර ඔවුන් වෙනුවෙන් විසිහතර පැයේ විවරව ඇති හෙයින්දැයි ජනතාව අසන පැනය අසාධාරණ නැත.

ද්විතියික අධ්‍යාපනය ලබන විට විෂයයන් අටක් දහයක් හැදෑරුවද විශ්වවිද්‍යාලය දක්වා හෝ පාසල හැරයන අයෙකුට පිහිටට ඇත්තේ තමා දන්නා එක් විෂයයක රැකවරණය පමණක් බව පාලකයන්ට දැනිය යුතුය. ගැටලුව ඇත්තේ ඒ රැකවරණය සැපයිය යුතු විෂයය කුමක් දැයි තෝරාගැනීම නම් එයට දේශපාලකයන්ගේ ටිකිරි මොළය නොව අධ්‍යාපන මනෝ විද්වත්හු ඇතුළු  සමාජ විද්‍යාර්ථීන්ගේ  මහමොළයට අවස්ථාව සැපයිය යුතුය. දේශපාලකයෝ අකමැතිද ඒ ටික ඉටු කිරීමය.

හැත්තෑ වසරක් ගෙවී ගියද අදටත් වතුකරයේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඉන්දියාවෙන් හෝ දකුණේ ගණිතය ඉගැන්වීමට එංගලන්තයෙන් මිනිසුන් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැත. ජාත්‍යන්තරය දිනාගත් උගතුන් මෙන්ම ජාත්‍යන්තරයද නොමඟ යැවිය හැකි යටිසූත්තර මොළකාරයන්ද ලංකාවේ අපමණය. අවශ්‍යව ඇත්තේ දැනුම, බුද්ධිය සහ අත්දැකීමෙන් පිරිපුන් මිනිසුන්ට නිසි තැන ලැබෙන ක්‍රමවේදයක් සම්පාදනය විනා සංවර්ධනය නැමති පැලැස්තරයට තවත් අණ්ඩ එකතු කිරීමක් නොවන බව දේශපාලකයන් සිතට ගත යුතු කරුණකි.

හැමදේටම ඉන්දියන් හෝ චීන මොළ ගෙන්වීමට තරම් අපි බංකොළොත් ජාතියක්දැයි ජනතාව අසන ප්‍රශ්නයකි. එසේ නම් අපි ලබා ඇති සංවර්ධනය ජනතාව ලෝකයට ණයවීම සහ රජය ජනතාව පිට බදුබර පැටවීම පමණක්ද යන පැනයට පිළිතුරු දිය යුත්තේද අප පත් කරගත් පාලකයන්ම ය.

වතුකරයට ඉන්දියානු ගුරුවරු ගෙන්වීමට තරම් අපි බංකොලොත්ද ? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :