උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් බෝ රදුන්
( . . ) 2017-05-15 12:40:07
Comments - 0       Views - 443

'උපන් දා සිට කරපු පව් නැත-වරක් වැන්දොත් කැලණියේ' යන පින්වත් කතාව බෞද්ධ ජන සමාජය තුළ සමාජගත වී ඇත. එපරිද්දෙන්ම 'උපන් දා සිට කරපු පව් නැත-වරක් වැන්දොත් බෝ රදුන්' යනුවෙන් බොහෝ අය පවසති. අනුරපුර මහ මෙවුනාවේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුබුදුවරයෙකු බඳුය.

පෙරදා අනුරපුර සිරිමා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් විය. ගමන් පහසුකම් නොතිබූ පුරාණයේ සැතපුම් සිය ගණන් පා ගමනින් දුර ගෙවා දින ගණන් ගත කරමින් සිරිමා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට දිවයිනේ හතර දිග්බාගයේ බෞද්ධ ජනතාව ඇප කැපවූහ. ලෙඩදුක් කරදරවලට, ජීවිත ගැටලු විසඳාගැනීමට, දූ පුතුන් ලබාගැනීමට, බෞද්ධ ජනතාව භාරහාර වූයේ සිරිමා බෝ සමිඳුන්ටය. බොහෝවිට එම බාරහාර ඉෂ්ට සිද්ධවී තිබේ. එදා පැවැති ඒ අතීත ජන සංස්කෘතිය ජන කවියා දුටුවේ මෙසේය. 

''ගමේ ඉදං බත් බැඳගෙන තිසා වැවට එඤ්ඤයි
තිසා වැවේ නෙළුම් කොළේ බත් දාගෙන කඤ්ඤයි 
එතන ඉඳන් පෙහෙවස් වී උඩමළුවට යඤ්ඤයි 
උඩමළුවේ බෝධි සාදු පිරිමි පුතෙකු දෙඤ්ඤයි''

දුවා දරුවන් නැති අඹු සැමියෝ මෙසේ බෝ සමිඳුන් වෙත පැමිණ බාරහාර වී සිය ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගනිති. ඒ තරමටම බෝධි සාදු අනුහස් සම්පන්නය. පොසොන් පෝ දිනවල අනුරපුර පින්බිම ඉඩක් ගන්නට බැරි තරමටම සැදැහැවත් බෞද්ධ ජනතාවගෙන් පිරී පවතී. එම දිනවල සිරි මා බෝ සමිඳුන් නිදහසේ වැඳ පුදාගැනීමටද ඉඩකඩ ලබාගැනීම අසීරුය.

පොසොන් පෝ දිනවල කිටිකිටියේ ආගමිකවත් පිළිවෙත් කරනවාට වඩා ටිකක් හෝ පහසුවෙන් වෙසක් පෝදාට සිරිමා බෝ සමිඳුන් වැඳපුදා ගත හැකිය. පොසොන් පෝදා මිහිඳු මා හිමියන්ගේ දවසයි. වෙසක්පෝ දා බුදු හිමියන්ගේ දවසයි. මේ නිසා සම්බුද්ධ ජීවිතයට සම්බන්ධ සිරිමා බෝ සමිඳු, එමෙන්ම සර්වඥ ධාතුවලින් පිරී පවතින ස්වර්ණමාලී චෛත්‍යය වෙසක් පෝදා වැඳපුදා ගැනීම වඩාත් උතුම් වේ. 

සිරිමා බෝ සමිඳුන් ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගන්නට අනුරපුරයට එන සැදැහැවත් බෞද්ධ ජනතාව වඩාත් සංවරශීලීව මෙන්ම සුදුවතින් සැරසී සංයමයෙන් හැසිරීම සම්බුදු හිමියන්ට කෙරෙහි දක්වන ප්‍රතිපත්ති පූජාවකි. 

වෙසක් දවස හරියටම බුදුන් වැඩි දිනයක් මෙනි. මෙදින අප හැම දෙනාම හිතට ගත යුත්තේ බුදු සිරිතට අනුව අපේ දිවි පෙවෙත සකස් කරගැනීමටය. උදේ සිට රෑ වනතුරු අපට හතර වටින් ඇහෙන්නේ පන්සිල්, ධර්ම දේශනා යන ගුණසිරිත්, සාරධර්ම ආදියයි. මේවා කෙතරම් පැවතියත් ඇතැම් ජීවිත පෙළගැසී සිටින්නේ අපචාරවලටය.

තමන් හැදූවැඩූ මවුපියන් අමතක කර නොසලකා හරින ඇතැම් දරුවෝද සිටිති. වියපත් මවුපියන් කරදරයක් කර සලකා සමහරු සිය මවුපියන් මහමග අම්බලම්වල බස් නැවතුම්පළවල දමායති. බලු කූඩුවල රඳවා තබති. සමහර අය මවුපියන් මරා දමති. සමහර පියවරු තම ලෙයින් උපන් දූවරු දූෂණය කරමින් අඹුකමට තබාගනිති.

බෞද්ධ ශිෂ්ටාචාරය අනුව සාරධර්මවලින් පිරී තිබූ මවුපිය දූදරු සෙනෙහස අද දියාරු වී ගොසින්ය. තිරිසන් ලෝකයේ පවත්නා මෙවැනි දුෂ්චරිතයන් සියල්ල පිටුදැක ගුණයහපත්කම්වලින් පිරුණු මානව සමාජයක් ගොඩනගන්නට සම්බුදු දිනය හෙවත් වෙසක් දිනය අපට යොදාගැනීමට හැකිය. වෙසක් දිනය මල් පහන් පිදීමට පමණක් නොව ගුණදහම් පිරීමටද යොදාගැනීමට අප උනන්දු විය යුතුය. 

සම්බුදු දහමේ නිජබිම අනුරාධපුරයයි. එදා අනුරපුර අගනුවර වශයෙන් පැවති සමයේ රජකමේ මූලික ගති ලක්ෂණය වූයේ ආගම දහමට මුල්තැන දීමයි. බලයට පත්ව සිටි හැම රජෙකුම සිය මූලික වගකීම ලෙස ඉටුකර ඇත්තේ, ආගම දහම දියුණු කිරීමයි. අනුරපුර රාජධානිය තුළ ගමක් ගමක් පාසා වෙහෙර, විහාර, පන්සල් දකින්නට ලැබෙන්නේ ඒ නිසාවෙනි. ජන ජීවිතයේ ආර්ථිකයට වැව, සත්පුරුෂ ජන ජීවිතයට ආගම දහම යන ජීවන රටාව තුළ රජතුමාගේ පටන් සියලු දෙනා කලදවස ගෙවීම නිසා සුචරිතවාදී සෞභාග්‍යවත්, ඉසුරුමත් සිංහලේ රටක් එදා දකින්නට ලැබිණ.

එදා තුන් සිංහලේම අගනුවර වූයේ අනුරාධපුරයයි. සම්බුද්ධ ධර්මය අනුරපුරට පහළවී වසර දහසකට වැඩි කලක් ඉසුරුමත් රාජ්‍යයක අගනුවර ලෙස පැවැති අනුරාධපුරය, පසුකලෙක ඇති වූ සතුරු ආක්‍රමණ නිසා පිරිහී යමින් පොළොන්නරුව, කුරුණෑගල, දඹදෙණිය, සීතාවක, කෝට්ටේ ආදී ප්‍රදේශලට අගනුවර මාරුවී ගියේය. නමුත් එදා අනුරපුර අගනුවර ඉදිවූ වෙහෙර, විහාර, දාගැබ්, පන්සල් ආදිය අදටත් පවතී. මේ නිසා කතෝලික ආගමට වතිකානුව, මුස්ලිම් ආගමට මක්කම, මෙන් බුද්ධාගමේ අගනුවර අනුරාධපුරය බවට පත්කිරිම බෞද්ධ පාලකයාගේ වගකීමයි. 

විදේශිකයන්ගේ පාලන සමය තුළ රටේ අගනුවර කොළඹට මාරුවී ගියද තවමත් බෞද්ධ අගනුවර පවතින්නේ අනුරාධපුරයේය. මේ නිසා සිංහලේ බෞද්ධ අගනුවර වශයෙන් අනුරාධපුරය ප්‍රකාශයට පත්කර එහි සකලාංග සම්පූර්ණ කිරීම බෞද්ධ රාජ්‍ය‘යේ යුතුකම හා වගකීම වේ. 

උතුර-උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරපුර ජයන්ති විහාරාධිපති ආචාර්ය - නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි 

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් බෝ රදුන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :