දියවැඩියා රෝගීන් දිනෙන් දින වැඩිවෙන්නේ ඇයි?
( නාලිකා රාජපක්ෂ ) 2017-05-09 12:56:58
Comments - 0       Views - 523

දියුණු පහසුකම් වැඩිවෙන්නට වැඩිවෙන්නට බෝ නොවන රෝග සඳහා ගොදුරු වීමේ ප්‍රවණතාවද එන්න එන්නම වැඩි වී තිබේ. නිරෝගීවීමට කොතෙක් පහසුකම් පැවතියද අප දිගින් දිගටම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවල ගොදුරු බවට පත්වෙමින් සිටිමේ අඩුවක් නැත්තේ ඇයි? ශීතකරණ තුළ  'ඉන්සියුලින්' නම් එන්නත් අඩංගු කුප්පි ගබඩා කර තබා ගනිමින් හැම දිනකම උදෑසන තේ කෝප්පය බොන තරම් හුරු පුරුදු විලස එය එන්නත් කරගන්නා නාගරිකයන් අද බොහෝ බෝවී වී තිබේ.

ඉන්සියුලින් හෝර්මෝන සහ දියවැඩියාව ගැන ඔබ දන්නේ මොනවාද? අප දියවැඩියාව ගැන දන්නා නමුත් දියවැඩියාව හා ඉන්සියුලින් අතර සම්බන්ධය ගැන සොයා බලන්නට දැනුම්වත් වෙන්නට එතරම් උත්සහයක් නොගන්නේ ඇයි? 'අද' සෞඛ්‍ය පිටුව තුළින් අප සාකච්ඡාවට බදුන්කරනුයේ එම කාරණයයි.

ඉන්සියුලින් යැයි කියන්නේ අප වෙළඳ පොෙළන් ලබාගන්නා  ඖෂධයක් යැයි බොහෝ දෙනා සිතා සිටිති. නමුත් ඉන්සියුලින් යනු හැමදෙනාටම කඩෙන් ගන්නට සිදුවන පාරිභෝගික භාණ්ඩයක් නොවේ. එය ශරීරය තුළ නිපදවෙන හෝර්මෝන විශේෂයකි. අප එය මිලට ගන්නට පොළඹවනු ලබන හේතුව වනුයේ ශරීරය තුළ එය නිපදවීමේ ක්‍රියාවලිය හරි හැටි සිදු නොවීමයි.  එම හොර්මෝනය නිපදවනු ලබන්නේ කුමන ශරීරාවයවයකින්ද යන්න දැන් ඔබට පැනයක් මතුවෙන්නේ නම් අප එයද නිරාකරණය කරගෙන සිටිමු. 

අග්න්‍යාශය  නැතිනම් ඇල දිව යන ශරීරාවයවය තුළ මේ හෝර්මෝනය නිපදවෙයි. එසේ නිපදවෙන මේ හොර්මෝනය අපේ ශරීරයට වැදගත් වන්නේ එමගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය ශක්තිය ලබාදීමට ප්‍රමාණවත් සීනි  ප්‍රමාණය නිපදවීම පාලනය කරගැනීමේ හැකියාව පවතින නිසාවෙනි.  

යම් අයුරකින් ඉන්සියුලින් හෝර්මෝනය හිඟ වුවහොත්, එය හේතුකොටගෙන රුධිරයේ සීනි අධික වුවහොත් දියවැඩියාවට මග පෑදෙන්නේ කෙසේදැයි යම් තරමක කුකුසක් ඔබට ඇතිවන්නේ නම් එය සාධාරණය. සීනි, සෛල වෙත ගමන් කරවීම කළ නොහැකි නම් රුධිරයේ සීනි සාන්ද්‍රණය අධික විය හැකිය. මෙය අධි සීනි එසේත් නැතිනම් 'හයිපර්ග්ලයිසීමියාව' ලෙස හැඳින්වෙයි.

යම් අයුරකින් රුධිරයේ සීනි අධික වුවහොත් කුමක් විය හැකිදැයි? යැයි විමසුවහොත් මෙම කාර්යය දිගුකාලීනව සිදුවීමෙන් විශාල රුධිරවාහිනී බලපෑමට ලක්වීමෙන් අන්ධභාවය, හෘදරෝග, වකුගඩු ආබාධ, ස්නායු ආබාධ වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතිවාක් මෙන්ම ලිංගික බෙලහීනතාව ඇතිවීම, මෙන්ම අත් පා අහිමිවීම වැනි තත්ත්වයන්ට තුඩු දිය හැකිය. ඉන්සියුලින් හා දියවැඩියාව අතර පවතින සම්බන්ධතාව කුමක්ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත.  නමුත් දියවැඩියාව යන රෝගයේ ඉන්සියුලින් අවශ්‍යවන හා අවශ්‍ය නොවන ප්‍රභේද පවතින බව ඔබ දන්නවාද?

දියවැඩියාවේ ප්‍රභේද  4ක් සම්බන්ධයෙන් අප දැනුම්වත්විය යුතුය. එයින් දියවැඩියාවේ පළමු ප්‍රභේදය නැතිනම් ඉන්සියුලින් අවශ්‍යවන දියවැඩියාව අපි  I DDM  වශයෙන් හඳුන්වමු. තම ශරීරයේ ඇතිවන ප්‍රතිදේහවල ක්‍රියාකාරිත්වයක් නිසා අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ වී ඉන්සියුලින් හෝර්මෝනය නැතිවී යාම නිසා පළමු ප්‍රභේදයේ දියවැඩියාව සෑදේ.

සාමාන්‍යයෙන් මෙය මුල් කාලයේ ඇතිවන්නට ඉඩ ඇති තත්ත්වයක් වන අතර රෝගීන් හට බාහිරින් ඉන්සියුලින් එන්නත් කිරීමට සිදුවිය හැකිය. නමුත් දියවැඩියාවේ දෙවැනි ප්‍රභේදයේදී  සිදුවන්නේ අග්න්‍යාශය නිසියාකාරව ක්‍රියා නොකිරීම නිසා සිදුවන තත්ත්වයකි.  මෙහිදී සිදුවන්නේ අග්න්‍යාශය මගින් නිපදවන ඉන්සියුලින් ක්‍රමයෙන්  අඩුවීමට පටන් ගැනීමයි. මේ වර්ගයේ දියවැඩියාවට තනි හේතුවක් දැක්විය නොහැකිය. නමුත් සමහරුන්ට මෙය වැලඳීමට අවදානම් සාධක කිහිපයක්ම පවතියි.

වයස අවුරුදු 40 ට වැඩි වීම, අධි බර, අඩු උපත් බර. පවුලේ ලේ නෑයන්ට දියවැඩියාව පැවතීම, ගර්භිණී  සමයේ දියවැඩියාව වැලදී තිබීම හා මෙටබොලික් සින්ඩ්‍රොම් නම් තත්ත්වය එම සාධකවලට අයත්ය. නමුත් මෙටබොලික් සින්ඩ්‍රොම් යනුවෙන් හඳුන්වන්නේ උදරීය ස්ථූලතාව ඇතුළුව තවත් සාධක දෙකක් පැවතීමය.

(පිරිමි අයෙක් නම් ඉණ වට ප්‍රමාණය සෙ. මී. 90 ක් නැතිනම් අඟල් 36 ට වැඩිවීම මෙන්ම ස්ත්‍රියක නම් සෙ. මී. 80 නැතිනම් අඟල් 32 ඒ වැඩිවීම) මේ හැරෙන්නට රුධිරයේ අධික මේද තත්ත්වයක් ( ට්‍රයිග්ලිසරයිඩ්) මට්ටමද  ( ඩෙසිලීටරයට මි. ග්‍රෑ. 150 ට වැඩි හෝ ලීටරයට මි. මෝල් 1.7 ට වැඩි ) රුධිරයේ හිතකර කොලෙස්ටරෝල්  මට්ටම ( ඩෙසිලීටරයට මි . ග්‍රෑම් 40 ට හෝ ලීටරයට මි. මෝල් 1.9 ට වැඩි ) අධි රුධිර පීඩනය  systolic. 130 or diastolic. 85 mmHg) රුධිරයේ අධික සීනි මට්ටම ( ඩෙසිලීටරයට 100 ට වැඩි මි. ග්‍රෑම් හෝ ලීටරයට මිලිමෝල්  5.6 ට වැඩි)  සැලකිය හැකිය.

දියවැඩියා ප්‍රභේද අංක 2 සඳහා බෙහෙත් බීමට දීම හෝ ඉන්සියුලින් නික්ෂේපන ලබාදීමට  නිර්දේශ විය හැකි අතර දෙවැනි ප්‍රභේදයේ දියවැඩියාව සඳහා ඉන්සියුලින් දුන් පමණින්ම එම රෝගියා පළමු ප්‍රභේදයේ දියවැඩියාව වැලඳුන කෙනෙකු ලෙස සලකන්නට නොහැකි බව මතක තබාගන්න. මෙවැනි තත්ත්වයේ පසුවන දියවැඩියා රෝගියෙකු  හඳුන්වන්නේ ඉන්සියුලින් අවශ්‍ය කරන දෙවැනි වර්ගයේ දියවැඩියාව වැලඳුන රෝගියෙකු වශයෙනි.

බොහෝවිට ගර්භිණී සමයේදී ඇතිවෙන දියවැඩියා තත්ත්වය  එම සමයට පමණක් සීමාවෙන්නකි. දරු ප්‍රසූතියෙන් පසු එම තත්ත්වය යථා තත්ත්වයට පත්වුවත්  පසුකාලීනව දියවැඩියාවට ගොදුරුවෙන්නට ඉහළ අවදානමක් දක්වයි. දැන් අප පූර්ව දියවැඩියා තත්ත්වය පිළිබඳ විමසමු. මෙය දියවැඩියා රෝගය වැලඳී ඇති  බවට නොසලකනු ලබන තත්ත්වයකි.

නමුත් එහිදී රුධිරගත සීනි ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමින් පවතියි. පූර්ව දියවැඩියාව ක්‍රමානුකූලව දියවැඩියා තත්ත්වයට පත්වීමට ඉහළ අවදානමක් පවතින හෙයින් සාමාන්‍යයෙන් ආහාර පාලනය සහ බර පාලනය ව්‍යායාම තුළින් පූර්ව දියවැඩියාව පාලනය කරගත හැකිය.

දෙවැනි ප්‍රභේදයේ දියවැඩියාව සාමාන්‍යයෙන් පිටතට රෝග ලක්ෂණ නොපෙන්වා පැවතිය හැකිය. නමුත් සමහර පුද්ගලයන් කෙරෙන් මේ රෝග ලක්ෂණ දැක්වෙන්නට හැකියාව පවතී . මෙවන් ලක්ෂණ ඔබටත් පවතී නම් රුධිරයේ සීනි පරීක්ෂා කර ඔබ දැනටමත් දියවැඩියා රෝගයට ගොදුරුව ඇත්ද යන්න තහවුරු කරගන්න. ඒ සඳහා ඔබේ පවුලේ වෛද්‍යවරයා ඔබට උපකාර කරනු ඇත. 

- අලසකම

- මහන්සි දැනීම

- බර අඩුවීම

- රාත්‍රියට මුත්‍රා පහකිරීමේ වාර ගණන වැඩිවීම

- අධික පිපාසය සහ වැඩිපුර ජලය පානය කරන්නට අවශ්‍ය වීම

- විසප්පු බිබිලි, සැරව ගෙඩි වැනි වැනි චර්ම ආසාදනයන්

- දිලීරමය ආසාදනයන් හේතුවෙන් දිවෙහි සුදු පැහැ පැතිරීමක් ඇතිවීම

- සුව නොවන තුවාල

- අත් පා හිරිවැටීම, පෙනීම දුර්වලවීම

මේ රෝග ලක්ෂණ සියල්ලම පැවතීම අවශ්‍ය නොවේ. එයින් එකක් හෝ පවතී නම් රුධිර සීනි මට්ටම පරීක්ෂා කරගැනීම නුවණට හුරුය.

dest-prediabetes diabetes

දියවැඩියා රෝගීන් දිනෙන් දින වැඩිවෙන්නේ ඇයි? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :