බූස්ස කඳවුරේ කොටසක අධිකරණ සංකීර්ණයක් ඉදිකරයි?
( අම්ත් මධුරංග ) 2017-04-21 09:42:59
Comments - 0       Views - 663

බූස්ස යුද හමුදා පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ ඉදිකර ඇති ආබාධිත හමුදා සෙබළුන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයේ ඉඩමෙන් කොටසක් ලබාගෙන අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට යෑම සම්බන්ධව එම හමුදා කඳවුරේ සාමාජිකයන්ගේ සහ අවට ගම්වැසියන්ගේ විරෝධය පළව ඇතැයි වාර්තා වේ.

විවිධ ආබාධවලට ලක්වූ සෙබළුන් 1300කට පමණ සෙවණ ලබදෙන මෙම ස්ථානය අක්කර 10කින් යුක්ත වන අතර, ඉන් අක්කර 05ක කොටසක  අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා ඊයේ (20දා) දිනයේදී මැනුම්කටයුතු සිදුකර තිබිණි.

ආබාධිත හමුදා සෙබළුන් පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රීඩා,සංගීතය,පුස්තකාල පහසුකම්,වෘත්තීය පුහුණු කටයුතු ආදීඅවශ්‍ය පහසුකම් මෙම ස්ථානයේ සපයා තිබෙන අතර, එම භූමියේ අධිකරණ සංකීර්ණයක් ඉදිකළ හොත් එම කටයුතුවලට බාධා මතුවිය හැකි බව එහි ප්‍රධානීන්ගේ අදහස වී තිබේ.

ක්‍රීඩා,සංගීත වැනි කටයුතුවලදී ශබ්දය නිකුත් වන බැවින් අධිකරණ සංකීර්ණයක් ඉදිකළහොත් එම කටයුතු නැවැත්වීමට සිදුවනු ඇති බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

හමුදා කඳවුර ආසන්නයේ පිහිටා ඇති ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාද මේ සම්බන්ධව විරෝධය පළකරති.

එම විහාරස්ථානයේ පාලක විහාරාධිපති පූජ්‍ය සූරියවැව ගුණානන්ද හිමියන් සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන වත්මන් රජයේ ඇමතිවරයෙකුගේ උවමනාවට මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීමට යන  බවයි.

මේ සම්බන්ධව තමන් වහන්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21දා) දිනයේදැනුම්වත් කරන බවත්,ජනාධිපතිවරයට නොදන්වා මෙම ඉදිකිරිම සැලසුම් කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණනාන්ද හිමියෝ,

“අධිකරණ සංකීර්ණයක් නිසා ලාභ සත්කාර ලබාගැනීමට අපට අවශ්‍ය නැහැ.ගමක් මැදට අධිකරණ සංකීර්ණයක් පැමිණි විට ගම්වැසියන්ට කරදරයි.අපේ සුධර්මාරාම විහාරස්ථානයේ සමිති සංගම්,දහම්පාසල්  පවත්වනවා.උදේ පාන්දර පිරිත් දානවා.නොයෙකුත් උත්සව පවත්වනවා.අධිකරණය අවට ශබ්ද කරන්න බැහැ.අපි උත්සවයක් තිබ්බත්,පිරිත් ටිකක් දැම්මත් දඩුවම් විඳින්න වෙවි.

ඒ නිසා උසාවි සංකීර්ණයක් එනඑක ගම්මානය වශයෙන්,විහාරස්ථානය වශයෙන් අපට ලොකුම කරදරයක්.මෙම හමුදා කඳවුර අවට ගම්මාන හතරක් තිබෙනවා.සතර පේරුවක්.ගමේ ජනතාව කියන්නෙත් මේක කරදරයක් කියලා.හමුදා කඳවුරේ නිලධාරීනුත් මේ ගැන කැමති නැහැ.කෑම්ප් එකේ  ඔක්කොම කටයුතු මේ නිසා කඩාප්පල් වෙනවා.

ලබුදූවේ කෝටි තුනකට වඩා වියදම් කරලා මීට කලින් අධිකරණ සංකීර්ණයක් හැදුවා.එම ස්ථානයේ අවශ්‍ය ඉඩ පහසුකම් තිබෙනවා.දැන් කරන්න හදන්නේ කෑලි කෑලි කොටස්වලට මේ සංකීර්ණය කඩලා තැන තැන ඉදිකරන එක.එසේ කරන විට විශාල වියදමකුත් යනවා.දැනට හදලා තියෙන අධිකරණ සංකීර්ණයෙන් ප්‍රයෝජන ගන්නෙත් නෑ.

වජිර අබේවර්ධන ඇමතිතුමාගේ මූලිකත්වයෙන් මේක කෙරෙන්නේ.මේ ගැන ජනාධිපතිතුමා තවම දන්නෙ නෑ. මෙම කරුණු සඳහන් කරලා ජනාධිපතිතුමාට අද (21දා) මම ලියුමක් බාරදෙනවා" යනුවෙන් පවසා සිටියහ.

බූස්ස කඳවුරේ කොටසක අධිකරණ සංකීර්ණයක් ඉදිකරයි? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :