කොළඹ නගර සභාවට ඒ කසළ කළමණාකරණය කරගන්න බැහැ
( චාමර සම්පත් ) 2017-04-19 11:37:02
Comments - 0       Views - 330

මිනිසුන් විසින් නිර්මාණය කරන ලද කොළඹ කුණු කන්ද හෙවත් මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමග සිදු වූ ඛේදවාචකය නිසාම මේදිනවල කසළ සම්බන්ධ කතා සතර දෙසින්ම ඇසේ. ඇතැමුන් කසළ සඳහා විසඳුම් කතා කරන අතර, කසළ දේශපාලන කතාබහද ඒ අතර නැතුවාම නොවේ. කෙසේවෙතත් කසළින් තොර රටකට යාමට ආණ්ඩුවේ වැඩපිළිවෙළ සකස් කිරීමට පවතින සූදානම පිළිබඳ මහා නගර සහ බස්නාහිරපළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග අපි කතා කළෙමු.

Q කොළඹ කුණු ඉවත් කිරීමේ යාන්ත්‍රණය සකස් කිරීම තවමත් ප්‍රමාදවන්නේ ඇයි?

කසළ ප්‍රශ්නය අද ඊයේ ඇතිවුණ ගැටලුවක් නොවෙයි. කොළඹ ලස්සන කලා කියලා කිව්වට කොළඹ පිටුපස තිබුණ කැත යථාර්ථය තමයි මේ විදිහට පුපුරලා ගියේ.අපි වැසිකිළියයි, කුස්සියයි හදන්නේ නැතිව සාලය ලස්සන කරගෙන කොළඹ ලස්සන වුණා කියලා කිය කිය හිටියා.

නමුත් මහ කුණු කඳු, අපජල පද්ධති විනාශවෙලා, පැල්පත්වාසීන්, මාර්ග තදබදය ආදී කොළඹ පරිසර පද්ධතිය ගැන වෙනමම කතාවක් තියෙනවා. මේක තමයි කොළඹ තිත්ත ඇත්ත. පිටතින් මල් වතු, උයන් තෙරවල් හදලා, ඇවිදින මංතීරු දාලා ලස්සන කළාට අභ්‍යන්තරය එහෙම වෙලා නැහැ.

පහුගිය අවුරුදු විස්සක කාලය තුළ විවිධ පිරිස් මේ කසළ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළා. මේ ප්‍රශ්නය විසඳගන්න බැරි වුණේ ප්‍රධාන කරුණු තුනක් නිසා.

සමාජ විරෝධතා සහ සමාජ ගැටලු ඒ අතරින් ප්‍රධානතම  ප්‍රශ්නය. කසළ පිළිබඳ නීත්‍යනුකූල බලය තිබෙන්නේ කාටද කියන එක දෙවැනි ප්‍රශ්නය. කසළ අපහරණයට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නේ කවුද කියන එක ඊළඟ ප්‍රශ්නය. මේ ප්‍රශ්න නිසා තමයි විවිධ ආණ්ඩු තුළ විවිධ පුද්ගලයන් ගත්තු උත්සාහයන් නිශ්ඵල වුණේ.

කරු ජයසූරිය මහත්තයා කොළඹ නගරාධිපතිව හිටපු කාලයේ මීපේ විද්‍යාත්මක කසළරඳවනයක් හදන්න ගියා. ඒක කුණු කන්දක් නෙවෙයි. නමුත් එයට විශාල විරෝධයක් ඇතිවුණා. ඒ විරෝධය කොපමණ දුරදිග ගියාද කිව්වොත් ඊට පසුව පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්දෙ දෙන්න කසළ කන්දට විරුද්ධ අයට ප්‍රතිඥා දෙන්න වුණා. එතනදි කරු ජයසුරිය මහත්තයා ඇරෙන්න අනිත් හැමෝම ඒ ප්‍රතිඥාව දුන්නා. ඒනිසා එතුමාට මහ ඇමතිකමත් අහිමිවුණා. ඒතමයි කසළ දේශපාලනයේ බලවත්කම.

එදා ඒවිදිහට විරුද්ධව වැඩකරපු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇතුළු හැමෝම මේ ප්‍රශ්නයට වගකියන්න අවශ්‍යයි.  දිනේෂ් ගුණවර්ධන මහත්තයට ඒකෙන් ගැලවෙන්න බැහැ. ඔහු තමයි මේ ප්‍රශ්නෙ මුල ඉඳන්ම අවුල්කළේ.

ඒවගේම එහි ප්‍රතිඵලයක් හැටියට බ්ලූමැන්ඩල් කුණු කන්ද ඇතිවුණා. එතනත් මහ විනාශයක් වෙද්දි ඒක විසඳන්න 2008 දී උසාවි නියෝගයක් පවා ගන්න සිදුවුණා.

ඊට පසුව වග ප්‍රදේශයේ කොරියානු ආධාර ඇතිව කසළ රඳවනයක් ඉදිකරන්න සූදානම් වුණත් දිනේෂ් ගුණවර්ධන මහතා එම ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් විදිහට ගැසට් කරලා ව්‍යාපෘතිය කරන්න දුන්නෙ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි මීතොටමුල්ල ඇතිවුණේ.

මේවිදිහට දිගින් දිගටම කොළඹ ජීවත්වෙන ගමන් කොළඹ කුණු අපට එපා කියමින් ඇතැමුන් විරෝධතාවේයෙදුණා. අවසානයේ දොම්පේ ප්‍රදේශයේ තරමක් කුඩා කසළ රඳවනයක් හදන්න තීරණය කළා. එයට විරුද්ධවත් දැවැන්ත උද්ඝෝෂණ කළා. නමුත් ඒ විරෝධතා මැද දොම්පේ ව්‍යාපෘතිය සිදුකළා.

එදා ඒ විදිහට විරෝධතාවේ යෙදුණ පුද්ගලයන්ම දැන් කියනවා දොම්පේ ව්‍යාපෘතිය හොඳයි, ඒකට දොම්පේ කුණු විතරක් දාන්න කියලා. පිටකුණු ගේන්න එපා කියනවා. නමුත් එදා කිව්වෙ දොම්පේ කුණුවලට විතරක්වත් කසළ රඳවනයක් හදන්න එපා කියලයි.

විද්‍යාත්මක කසළ රඳවනයක් හදන්න ගියවිට විරෝධය දක්වන්නෙත් අද මීතොටමුල්ලේ විරෝධතා දක්වන අයම තමයි. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි කුණු කඳු ගොඩගැහෙන්නේ. ඒනිසා දේශපාලඥයන්ට බැණවැදිලා වැඩක් නැහැ.

Q නමුත් කොළඹ කුණු වෙනත් ස්ථානයකට ගෙනයනවාට ජනතාව විරුද්ධයි?

කොළඹ මිනිස්සු ඉන්නෙ හයලක්ෂ පනස් දාහයි. දවසකට කොළඹට පිටතින් පුද්ගලයො දසලක්ෂයක් එනවා. ඒනිසා ඔය කෑගහන බොහෝ දෙනෙකුගේ කුණු තියෙන්නේ කොළඹ.

ඒවගේම රටේ ප්‍රධාන අගනගරය කොළඹ. ඒ නිසා කොළඹ කුණු ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්. මේනිසා විරෝධතා නවත්වලා කොළඹ කුණු ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඒකට විරුද්ධවෙන්නේ ඒ අපරාධයේ කොටස්කරුවෝ.

පුත්තලම අරුවක්කාලුවේකසළ වැඩපිළිවෙළක් පටන්ගත්තා. ඒක 2012 ආරම්භවුණේ. අවසානයේ එයට පරිසර ඇගයීමක් අවශ්‍ය බව කියමින් 2016 ජනවාරි මාසයේදී පරිසර අධිකාරිය කිව්වා පුත්තලමට කසළ ගෙනියන්න එපා කියාල.

එතන පරිසර පද්ධතිය විනාශවෙනවා කියලා තමයි ඔවුන් කිව්වෙ. නමුත් පුත්තලමේ හිරිගල් කඩලා විනාශවුණ පරිසර පද්ධතියක් තමයි අරුවක්කාලුවේ තියෙන්නේ. මේඅතරතුර පුත්තලමට කුණු ගේන්න එපා කියලා පුත්තලමේ විරෝධතා ආරම්භකළා.

ඒවගේම කසළ බැහැර කරලා අපට ඒවගකීමෙන් මිදෙන්න බැහැ. සෑම පුද්ගලයෙකුගේම වගකීමක් තිබෙනවා කසළ වෙන් කරන්න. එහෙම කසළ වෙන් කරලා දිරායන කසළ බාරදීලා, අනිත් කසළප්‍රතිචක්‍රිකරණයට යොමුකරනවානම් කසළවලින් 30෴ ක් විතර පාලනය කරගන්න පුළුවන්.

මම පරිසර අමාත්‍යාංශයේ ඉන්න කාලයේ මීගමුවේ නගරාධිපති නිමල් ලන්සා සමග එක්ව කසළ වෙන් කිරීම මීගමුවේ දියත් කළා. කසළ වෙන්කර බාරදෙන්නේ නැති පුද්ගලයන්ගේ කසළ ඔහු බාරගත්තේ නැහැ. ඒතීරණය සමග කසළ ප්‍රමාණය අඩු වුණා. ඒවගේ හොඳ නගරාධිපතිවරුන් හිටපු ප්‍රදේශවල කසළ ප්‍රශ්නය පාලනය වුණා.

කළුතර දිස්ත්‍රික්කයේ කසළ කඳු තුනක් මේවිදිහට සුද්දකරන්න පුළුවන් වුණා. කසළ දේශපාලනයේ නිරත වන පිරිස එකතුවෙලා මහජනයා බිය වද්දමින් කොළඹ කුණු අපට එපා කියමින් පරිසරය රකින මුවාවෙන් මහා ව්‍යසනයක් කොළඹ හා ඒ අවට ඇතිකරනවා.

Q කසළ සම්බන්ධයෙන් වගකීම බාරවෙන්නේ කාටද?

කසළ සම්බන්ධ ප්‍රශ්නය බාරවෙන්නේ නගර සභා, ප්‍රදේශිය සභා වගේ ආයතනවලට. නමුත් කොළඹ නගර සභාවට ඒ කසළ කළමනාකරණය කරගන්න බැහැ.ඒනිසා වෙනත් අයගේ උපකාර අවශ්‍යයි.

සමහර මහ ඇමතිලා කියනවා කසළ කියන්නේ ඔවුන්ගේ රස්සාව කියලා. නමුත් කසළ කියන්නේ ඔවුන්ගේ රස්සාව නොවෙයි. ඒක බාරවෙන්නේ පළාත් පාලන ආයතනවලට. ඒ ආයතනවලට මේක කරන්න බැරි නිසා කසළ කළමනාකරණ අධිකාරිය ආදී ආයතන පිහිටුවලා පළාත් සභාවලින් උදවු කර තිබෙනවා. නමුත් මේ එකම පළාත් සභාවක් හෝ මේසඳහා ඉඩම් හඳුනාගෙන, ඉඩම් වෙන්කරලා ඒ ක්‍රියාවලියට දායකවෙලා නැහැ. කනගාටුවට කරුණ ඒකයි.

ඒවගේම කසළ ප්‍රතිචක්‍රිකරණයට මුදල් ගෙවන්නේ කවුද කියන කාරණයත් ප්‍රශ්නයක්. කසළ කිලෝවක් ප්‍රතිචක්‍රිකරණය කරන්න රුපියල් 7 – 10 අතර මුදලක් වැය වෙනවා. ඒවගේම සෑම පුද්ගලයෙක්ම දවසකට කසළ කිලෝවක් පමණ නිර්මාණය කරනවා. මේනිසා අනිවාර්යයෙන්ම මේකාරණයට කවුරුන්හෝ ගෙවිය යුතු වෙනවා. කසළ නිෂ්පාදනය කරන අය කසළවලට ගෙවිය යුතුයි කියන දේ තමයි මගේ අදහස. කසළ ප්‍රතිචක්‍රිකරණය සම්බන්ධයෙන් පෞද්ගලික අංශ දරපු උත්සාහ සියල්ල අතහැරිලා ගියෙත් මේ මුදල් ප්‍රශ්න නිසා.

Q මේ සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

කොහොම වුණත් දැන් අනිවාර්ය විසඳුමක් කරා අපි යායුතුයි. තවදුරටත් අපි බලාගෙන ඉඳලා බැහැ. කසළ සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න විසඳීම පළාත් පාලන ආයතනවලට බාරදෙනවා වෙනුව‍ට මධ්‍යම කසළ අධිකාරියක් පිහිටුවිය යුතු බවයි මගේ අදහස. කොළඹ, මහනුවර, දෙහිවල ගල්කිස්ස, මොරටුව, ගාල්ල, මාතර මේවගේ තැන්වල ඇතිවෙලා තිබෙනකසළ ප්‍රශ්න සෘජුවම විසඳන්න පුළුවන් බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ස්ථාපිත කළ යුතුයි.

එයට අණපනත් බාධාවෙනවානම් ඒවා පවා වෙනස් කළ යුතුයි. ඒසඳහා අවස්ථාව දැන් පැමිණ තිබෙනවා. එහෙම නැතිව ප්‍රදේශිය දේශපාලනඥයන්ගේ, මහ ඇමතිවරුන්ගේ, නගරාධිපතිවරුන්ගේ උවමනා එපාකම් අනුව තීරණගැනීම දැන්වත් වෙනස් කළ යුතු වෙනවා.

කසළ නිපදවන පිරිස් ගෙවීම් කළ යුතුවෙනවා. එයට ක්‍රමවේද ඇති කළ යුතුයි. ඒවගේම දේශපාලන විරෝධතා නොසලකමින් බොරු විරෝධතාවලට යටවෙන්නේ නැතිව, කෙළින්ම විද්‍යාත්මක කසළ රඳවන නිපදවීම ඉක්මන් කළ යුතුයි.

Q කොළඹ දිස්ත්‍රික්කයේ කසළ සඳහා විද්‍යාත්මක කසළ රඳවන කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද?

කොළඹ දිස්ත්‍රික්කයට එවැනි කසළ රඳවන තුනක් අවශ්‍යයි, ගම්පහට කසළ රඳවන දෙකක් සහ කළුතරට එකක් ලෙස අවශ්‍යයි. ඒවගේම ගාල්ල, මාතර, මහනුවර ප්‍රදේශවලටත් එවැනි කසළ රඳවන එක බැගින් අවශ්‍යයි. එය ඉදිකිරීමේ කාලය පැමිණ තිබෙනවා. විරෝධතාවලින් වෙන්නේ මහා කසළ කඳු ගොඩගැසී දැවැන්ත පරිසර විනාශයකට රට ගෙනයාම පමණයි.

බ්ලූමැන්ඩල් කුණු කන්ද හදපු විරෝධතාකරුවන්ම තමයි මීතොටමුල්ල කුණු කන්ද හැදුවෙත්. මේවිරෝධතාකරුවන් කරන්නේ තව කුණු කන්දක් ඇතිකරන එක. මේසඳහා විද්‍යාත්මක විසඳුමකට ඉඩදියයුතුයි. රජය ඒසම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක විය යුතුයි.

කසළ ප්‍රශ්නය විසඳන්න බැරි නීතිමයගැටලුවක් තිබෙන නිසා තමයි එවැනි කසළ අධිකාරියක් මම යෝජනා කරන්නේ. මොකද මේ ප්‍රශ්නය විසඳන්න පළාත් පාලන අමාත්‍යාංශය උත්සාහ කළා. පරිසර අමාත්‍යාංශය උත්සාහ කළා. ඒවගේම ඇතැම් පළාත් සභා, පළාත් පාලන ආයතන උත්සාහ කර තිබෙනවා. නමුත් කරන්න බැරි වෙලාතිබෙනවා.

ඒමොකද එකකට එකක් සම්බන්ධිත ආයතනවලින් නැගෙන ප්‍රතිවිරෝධය නිසා. ඒවගේම මධ්‍යම පරිසර අධිකාරියත් මේකටයුත්ත නොකෙරෙන තැනට යම්යම් තීන්දු ගන්නවා මිස කෙරෙන තැනට වැඩ කෙරෙන්නේ නැහැ. පුත්තලම ප්‍රශ්නයේදී කටයුතු කරපු ආකාරයේදී පවා රටක් විදිහට බලලා ඔවුන් කටයුතු කළේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්.

Q මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් වන ඉදිරි පියවර කුමක්ද?

මීතොටමුල්ල කුණු කන්දේ වගකීම අපේ අමාත්‍යාංශයෙන් බාරගත්තා. අපි යුද හමුදාව සමග එකතුවෙලා එම ප්‍රදේශය නාගරික උද්‍යානයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතුකරනවා. එම ප්‍රදේශයේ තිබෙන්නේ වගුරුබිමක්. ඒ තුළ විශාල වතුර ප්‍රමාණයක් රැඳී තිබෙනවා. එම වතුර ප්‍රමාණය ඉවත් කරලා, කුණුකන්ද තුළ තිබෙන වතුරත් ඉවත් කිරීම පළමු පියවර ලෙස සිදුකරනවා. ඒවගේම කුණු කන්දේ තිබෙන මීතේන් වායුවත් ඉවත් කරනවා. ඉන්පසුව එම ස්ථානයේ ස්ථාවර බිමක් නිර්මාණය කරනවා.

ඒ වගේම කුණු කන්දට යටවුණ නිවෙස් සඳහා අලුතින් නිවාස ලබාදෙනවා. ඊට අමතරව අනතුරුදායක කලාපයක් හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳවත් දැනුවත් කරනවා. ඉන්පසුව එය විධිමත්ව සැකසූ නාගරික උද්‍යානයක් බවට පත්කරනවා.

Q නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් වෙත කුණු දැමීමට ඉඩනොදෙන බව ඔබ මීට පෙර පැවසුවා?

මැයි මාසයේ පළමුවෙනිදා පටන් නාගරික සංවර්ධන අධිකාරියට අයත් අලුත් ඉඩම්වල කුණු දාන්න ඉඩදෙන්නේ නැහැ.

මොකද නාගරික සංවර්ධන අධිකාරිය තමන්ට අයිති නැති රස්සාවක් කරන්න ගිහිල්ලා තුට්ටුදෙකේ මහඇමතිලාගෙන් බැනුම් අහන්න අවශ්‍ය නැහැ. නාගරික සංවර්ධන අධිකාරියේ තිබෙන්නේ නාගරික සංවර්ධනයට අවශ්‍ය ඉඩම් මිස කුණු දාන ඉඩම් නොවේ.

දැනට කුණු දාන ඇතැම් ඉඩම්වල කුණු දැමීම නවත්වන්න කටයුතු කරනවා. අනිත් කුණු දාන පාර්ශ්ව වෙතින් සෑම කුණු ටොන් එක්ක සඳහාම රුපියල් 3000 ක් අයකරන බව ඔවුන්  වෙත අපි දැනුම්දී තිබෙනවා.

ඒවගේම තමයි ආර්ථික කළමනාකරණ කමිටුවෙන් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිට කැලණිය, පෑලියගොඩ කුණු කඳු දෙක පුනරුත්ථාපනය කරන්න බාරදුන්නා. නමුත් එක කුණු කිලෝවක් ප්‍රතිචක්‍රිකරණය කරන්න ඔවුන්ට බැරිවුණා. ඒවා මීතොටමුල්ල තරම් ලොකු කුණු කඳු නොවෙයි.

කොළඹ නගර සභාවට ඒ කසළ කළමණාකරණය කරගන්න බැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :