අනාගත පරිගණකය හැඩහුරුකම් මෙසේය - Duo Mirror Computer
( පැතුම් පුංචිහේවා ) 2017-04-18 13:44:33
Comments - 0       Views - 704

අනාගත ලෝකයන් ප්‍රතිනිර්මාණය කරනා චිත්‍රපට ඔබ දැක ඇතිද? ඒවායේ ඇති පරිගණක සම්බන්ධයෙන් සිහියට ගතහොත්, බොහෝ විට නානකාමරයේ ඇති බිත්ති කණ්ණාඩිය, ශීතකරණයේ ඉදිරි දොරේ ඇති වීදුරුව සැබවින්ම පරිගණක ලෙසින් ක්‍රියාත්මක වන බව ඔබට සිහිපත් වනු ඇත.

මෙය හුදු සිනමා නිර්මාණකරුවන්ගේ පරිකල්පනයේ මැවුනක් පමණක්මද? එසේත් නැතිනම් වර්තමානයේ පවා එවැනි පරිගණකයක් නිර්මාණය කිරීමට කිසිවෙකුත් උනන්දු නොවන්නේද? සැබවින්ම කණ්ණාඩියක නැතිනම් වීදුරුවක ඇති පරිගණයක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිටත් බොහෝ දෙනා උත්සාහ දරා තිබේ. ස්මාට් නාන කාමර කණ්ණාඩි ඊට උදාහරණයකි.

මෙහිදී සිදුවන්නේ මෙම කණ්ණාඩියේම සැඟවුණු LCD තිරයක් සහ කුඩා ප්‍රමාණයේ පරිගණකයක් එක්තැන් කිරීමයි. කෙසේ නමුත් මෙවැනි නිෂ්පාදනයන් තවමත් වාණිජ මට්ටමෙන් වෙළෙඳපොළට නො ඒමට හේතුව, මෙවැනි ආකර්ෂණීය සංකල්පයකට මිනිසුන් නොකැමැති වීම විය නොහැක.

ඊට වඩා මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්නා අතරතුරදීම වර්තමානයේදී පරිගණකයකින් බලාපොරොත්තු වන මෙහෙය ලබාදීමට නොහැකි වීම යම් විටක ඊට හේතුව විය හැක. ඊට හේතු කාරණාවන් කෙසේ වුවත්, අනාගතවාදී උපාංග නිර්මාණකරුවන් විසින් මෙවැනි උපාංග නිෂ්පාදනය කිරීමට දිගින් දිගටම උත්සාහ ගනු ඇත. හඳුන්වා දෙන Duo Mirror Computer උපාංගයද එවැනි අගනා උත්සාහයකි.

ඔබේ නිවසේ ඕනෑම ගෘහ අලංකරණ තේමාවක් සමගින් ගැලපෙන ලෙසින් සාමාන්‍ය වීදුරුවක/කණ්ණාඩියක පෙනුම ඇති මෙම Duo Mirror Computer උපාංගය එනිසාවෙන්ම බැලූ බැල්මට එතරම් වැඩි යමක් ලෙසින් නොපෙනෙනු ඇත. එසේ නමුත් HomeOS නමින් හැඳින්වෙන මෙහෙයුම් පද්ධතියක් මතින් ධාවනය වන මෙය ස්පර්ෂ සංවේදී, හඬ විධාන සංවේදී සංකීර්ණ පද්ධතියක් බව කිව යුතුවේ.

මෙම පරිගණකය හා ස්ථාපනය වූ කෘත්‍රිම බුද්ධියක් ඇති ඩිජිටල් සහායකයෙකුද සිටී. මෙය ඇල්බර්ට් යන නමින් හැඳින්වෙන අතර, ඔබගේ ස්වභාවික කටහඬින් දෙන විධානයන් තේරුම් ගැනීමටත්, එම විධානයන්ට අනුකූලව කටයුතු කිරීමටත් මෙයට හැකියාව තිබේ. එසේම මෙහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මූලික කරගත් ආකාරයේ පරිශීලක අතුරු මුහුණතක් ඇති අතර, ඒ මගින් ඔබට විවිධ යෙදුම් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත. එසේම මෙයට බහු-කාර්ය හැකියාවද හොඳින්ම තිබේ.

මෙම Duo Mirror Computer උපාංගයේ දෘඩාංගයන් සඟවා ඇත්තේ මෙම කණ්ණාඩිය පසුපසම සියුම්ව නිමවූ ආවරණයක් තුළ වේ. කෙසේ නමුත් අඟල් 27 ක දැවැන්ත තිරයක් ලෙසින් මෙම කණ්ණාඩිය ක්‍රියාත්මක වන නිසා, ඉහළ ප්‍රබලත්වයකින් යුක්ත දෘඩාංගයන් වුවත් පහසුවෙන් සඟවා තැබීම අපහසු කරුණක් නොවේ. මෙහි අඟල් 27 ක තිරය 1080p ගුණාත්මක භාවයකින් දසුන් ලබාදෙන්නට සමත්, five-point touchscreen එකක් වේ.

මෙයට අමතරව මෙම Duo Mirror Computer උපාංගයේ ස්ථාපනය වූ ස්පීකර් පද්ධතියක්, මයික්‍රෆෝන් පද්ධතියක් තිබේ. එසේම Wi-Fi හෝ Bluetooth ‍රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන්ද පිහි‍ටුවා තිබේ. මෙය ඕනෑම මතුපිටක සවි කළ හැකි පරිද්දෙන් පසුපසින් කට්ට හතරක්ද තිබේ.

මෙයට අමතරව ඉදිරියේදී වර්තමාන ඩෙක්ස්ටොප් පරිගණකයන්ගේ හැකියාවන් හා සම විය හැකි විශේෂාංගයන් හා පහසුකම්ද මෙම උපාංගයට එක් කිරීමට නිෂ්පාදකයින් කටයුතු කරනු ඇත. තවමත් මෙහි දෘඩාංග හැකියාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් පිරිවිතර සටහනක් දක්වා නැතත්, Duo Mirror Computer උපාංගය මගින් පහසුවෙන්ම 'ස්මාට්' නිවසක් පවත්වාගෙන යෑම කළ හැකි වනු ඇතැයි සිතිය හැකි හැකියාවන් තිබෙන බව පමණක් කිව හැක.

මෙම Duo Mirror Computer උපාංගය වඩාත් ජනප්‍රිය වනු ඇතැයි පෙරදැකිය හැක්කේ, මින් පෙර නිර්මාණය වූ මෙම වර්ගයේ උපාංගයන්ට වඩා මෙය වඩාත් යතාර්ථවාදී හැකියාවන්ගෙන් යුක්ත වීමත්, නිවසේ ඕනෑම තැනක පහසුවෙන් ස්ථාපිත කිරීමට හැකියාව තිබීමත් විය හැක. එම හේතුව නිසාම මෙය බොහෝ විට වාණිජ මට්ටමින් නිෂ්පාදනය වන කණ්ණාඩි පරිගණකයක් වීමටද ඉහළ හැකියාවක් ඇත.

Duo Mirror Computer

Duo-AI-Home-Computer-4 duo-mirror-computer-0  duo-smart-mirror-designboom-04-05-2017-818-010-818x448

අනාගත පරිගණකය හැඩහුරුකම් මෙසේය - Duo Mirror Computer සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :