පපුවේ කැක්කුම් සහ ඇන්ජයිනා
( නාලිකා රාජපක්ෂ ) 2017-04-11 16:19:45
Comments - 0       Views - 381

අවුරැද්දට ගේ දොර වතුපිටි අස්පස් කරන අතර තුර පුංචි පපුවේ කැක්කුමක් හැදුණොත් ඔබ මොකද කරන්නේ..? පපුවේ කැක්කුමක් ඇතිවුන හැම අවස්ථාවකම බොහෝ දෙනෙක් එකවරම ඒ ගැන සිතන්නේ මෙය නම් හෘද රෝගයක් නිසා ඇතිවූ තත්ත්වයක් බවයි. මේ නිසා රෝගියා පමණක් නොව අවට සිටින අය පවා බියට පත්වීම  නිරන්තරයෙන්ම සිදුවෙන්නක්.

කෙසේ නමුත් හෘදයාබාධයක් නිසා ඇතිවන රෝග ලක්ෂණ යම් විශේෂයක් පවතින අතරම පපුවේ කැක්කුම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන තැනැත්තා වහාම වෛද්‍යවරයෙකු යටතට පත්කිරීමට නොපමා විය යුතුය. ඒ හෘදයාබාධයක් නිසාම නොවේ. හෘදයාබාධයක් නොවෙන්නට ඉඩ ඇතත් නැතත් රෝගියාගේ අපහසුතාවයට විධිමත් ප්‍රතිකාරයක් අවශ්‍ය වන බැවිනි.

අද අප සෞඛ්‍ය පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ හෘදයාබාධයක් නොවෙතත් හෘදයාබාධයක සැකය ඔබට ඇතිකරවන පපුවේ කැක්කුම් සහ ඇන්ජයිනා පිළිබඳවයි.

පපුවේ ඇතිවන සෑම වේදනාවක්ම හෘදයාබාධයක් නොවන බව ඔබ දන්නවාද? බොහෝ විට පපුවේ කැක්කුම්  පපුව මතුපිට සමෙන්, මස් පිඬුවෙන්, ඉළ ඇටවලින්, ප්ලූරාවෙන් හා පෙණහැල්ලෙන් ඇතිවන වේදනාවන්ද පපුවේ වේදනා ලෙස ඔබට දැනෙන්නට ඉඩ ඇත.

පළමුව අප හෘදයාබාධයක් නොවන පපුවේ කැක්කුම් ගැන අවබෝධයක් ලබා සිටිමු.  හුස්ම ඉහළ පහළ යවන විට ඇතිවන පපුවේ වේදනාව හෘදයේ  වේදනාවක් නොවේ. අල්පෙනෙති තුඩකින් අනින්නාක් බඳු වේදනාවක්ද කඩියෙකු කන්නා බඳු වේදනාවක්ද හෘදයේ වේදනාවක් නොවේ. පපුවේ පැත්තේ ඇතිවෙන වේදනාව හෘදයේ ආබාධයක් නිසා ඇතිවෙන්නේ කලාතුරකිනි.

ක්ෂණයකින් ඇතිවී නැති වී යන පපුවේ වේදනාවක්ද කිසිවිටක හෘදයාබාධයක ලක්ෂණයක් නොවේ. සමහර විට ඇතැම්  පපුවේ කැක්කුම් විනාඩි දෙක තුනක පමණ කාලයක සිට විනාඩි 15 ක් පමණ තිබී ඉබේම පාහේ තුනීවී යා හැකි බව සැබෑවක් වුවත් මේ කැක්කුම පපුව මිරිකන විටක හෝ දැවෙන විට ඇතිවන අන්දමේ වේදනාවක් හෝ ඉතා බරුති යමක් පපුව මතින් තැබූ විට ඇතිවන අන්දමේ වේදනාවක් හා සම විය හැකිය. ඇතැම් අයගේ මේ වේදනාව අත් ,හණු හෝ උදරය කරාද පැතිරී යන්නට ඉඩ තිබේ.

කාන්තාවන්ට මෙම පපුවේ වේදනාව උදරයේ වේදනාවක් යැයි දැනීමට වුවත් ඉඩ තිබේ. මෙය හෘදයාබාධයක ලකුණු නොවේ නම් මෙවන් වේදනාවක් ඇතිවෙන්නේ කෙබඳු තත්ත්වයක් යටතේද යන්න අප මුළින්ම දැන සිටිය යුතු කරැණයි. යම් කිසි විටෙක ඔබ ඇන්ජයිනා නම් තත්ත්වයක් පිළිබඳ අසා තිබේද? Angina pectoris ලෙස හඳුන්වන මේ තත්ත්වය හෘදයාබාධයක් නොවුණත් එය ඔබේ අවධානයෙන් ගිලිහී යා යුතු තත්ත්වයක් නම් නොවේ.

කිසියම් අස්ථාවක ඔබ ශරීරය වෙහෙසවන වැඩක නිරතවීම නැතිනම් හයියෙන් ඇවිදින දුවන අවස්ථාවක පඩිපෙළක් නගින විට වැනි ක්‍රියාවකදී ඔබට පපුවේ වේදනාවක් මතුවන්නේ නම් එය අප ස්ටේබල් ඇන්ජයිනා ( Stable Angina ) ලෙස හඳුන්වමු. නමුත් මෙවන් ක්‍රියාවකට සම්බන්ධයක් නොදක්වා එකවර වුවත් මෙවන් වේදනාවක් මතුවන්නේ නම් අප එය අන්ස්ටේබල් ඇන්ජයිනා ( Unstable angina ) යන නමින් හඳුන්වමු .

කෙසේ නමුත් ස්ටේබල් ඇන්ජයිනා අවදානම් සහගත නොවන නමුත් යම් හෙයකින් අන්ස්ටේබල් ඇන්ජයිනා  වැනි තත්ත්වයක් ඇතිවුණොත් එය වහාම රෝගියා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව තව දුරටත් ප්‍රමාද කළ යුතු තත්ත්වයක් නොවේ.අප එසේ වඩාත් වැඩිපුර අවධානයක් මේ රෝගින් වෙත පළ කළ යුතු යැයි අවධාරණය කරනුයේ රෝගින් හෘදයාබාධවලට ලක්විමේ වැඩි අවදානමක් දක්වන්නන් සේ සලකන බැවිනි.

දැන් අප මෙවන් ඇන්ජයිනා තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු කවරේද යන්න විමසා සිටිමු. හදවතේ කිරීටක ධමනියේ සංසරණ කටයුතු සඳහා ඔක්සිජන් වායුයෙන් සරැ රැධිරය හිඟතාවයක් ඇතිවීමේ තත්ත්වයට හේතුවක් වශයෙන් මෙය ඇතිවේ යැයි දැක්විය හැකිය. කාඩිඇක් ස්කීමියා ( Cadiac Ischemia) ලෙස හඳුන්වන මේ තත්ත්වයට ගැන හෙළි කරන්නේ නිසොල්මනේ ඇතිවන තවත් හේතුවක් නිසාවෙනි.

අප දන්නා පරිදි ශරිරයේ හැම අවයවයකටම අවශ්‍ය රැධිරය පොම්ප කරනුයේ හෘදය වස්තුවෙනි. හෘදයටද මේ කාරිය හරිහැටි ඉටුකිරීමට අවශ්‍ය කරන ක්‍රියාවකි ,කිරිටක ධමනියෙන් ඉටු කරන රැධිර සංසරණ ක්‍රියාවලිය. යම් අයුරකින් කිරිටක ධමනියට සම්බන්ධ රැධිර නාලයක් මත මේදය තැන්පත්ව නිසි රැධිර සංසරණයකට බාධා කරන නාල සිහින්වීමක් ඇතිවී ඇත්නම් එයින් එම රැධිරය නිසිපරිදි ගමන් කිරීමේ කාරියට බාධාවක් ඇතිවෙයි.

ඇතරොස්ක්ලෙරෝසිස් (Atherosclerosis) යනුවෙන් හඳුන්වන මේ තත්ත්වය  ඇන්ජයිනා යන තත්ත්වයට බලපාන එක් හේතුවකි. මේ හැරෙන්නට ඇතැම්විට මහා ධමනියේ දෝෂ මෙන්ම හෘත් පේෂීවල දෝෂ ආදි වෙනත් හේතුන්ද බල පෑ හැකි බව අමතක කළ යුතු නොවේ.

රැධිර වාහිනී මත කොලෙස්ටරෝල් තැන්පත් වී ඒ මතින් රැධිරය ගමන් කිරීමේදී ඒ ස්ථානවලදී ඇතැම්විට රැධිරය කැටි ගැසීමක්ද ඇති විය හැකි ඉඩ කඩක්ද තිබේ. මෙය රෝගියාට කරදර දෙකක් හදා දීමකි. අපි තීව්‍ර ඇන්ජයිනා තත්ත්වයක් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුත්තේ එය හෘදයාබාධයක් බවට පත්වීමෙන් වළක්වා ගැනීමටයි.මේ සඳහා ඖෂධ යොදාගන්නා ක්‍රමයට අමතරව ප්‍රයිමරි(Primmary Angioplasty ) ඇන්ජියෝ ප්ලාස්ටි  නම් ක්‍රම යොදා ගනියි.

පළමුව අප තීව්‍ර ඇන්ජයිනා තත්ත්වයකදී ඖෂධ වලින් කළ හැකි වික්‍රමය කුමක්දැයි විමසා සිටිමු. රැධිර නාලයක් මත ඇතිවන රැධිර කැටි දියකර හරින ත්‍රොම්බෝලිටික් ඩ්‍රග්ස් ( Thrombolitic Drugs )  ලබාදීමක් මෙවිට සිදු කෙරේ. මේ ඖෂධය ලබාදෙන්නේ අන්තර් ශිරා ඖෂධ වශයෙනි. මේ කාණ්ඩයට අයත් ඖෂධ වර්ග කීපයක්ම පවතින අතර  මිල අධික හා මිලෙන් පහසු ඖෂධ වර්ගද මේ සඳහා පවතී.

මේ ඖෂධ කුමක් ලබාදුන්නත් ඇතමුන්ට ඒවායින් එතරම් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නටද ඉඩක් පවතී. අනෙක් අතට රැධිර ගමනාගමනය අවහිර වුවහොත් එය වෙනත් අහිතකර ප්‍රතිඵලයක් ඇතිකරන්නටද සමත් විය හැකි නමුත් රැධිර කැටියක් ඉවත් කර නැවතත් රැධිර සංසරණය ක්‍රමානුකූල කිරීමට තවත් ක්‍රමයක් ශල්‍ය අංශයෙන් පවතී. ප්‍රයිමරි ඇන්ජියෝප්ලාස්ටි ( Primary Angioplasty ) වශයෙන් හඳුන්වන එම ශල්‍යමය ක්‍රියා පිළිවෙත සිදුකරනු ලබන්නේ කැත් ලැබ් ( cath Lab )යනුවෙන් හඳුන්වනු ලබන සුවිශේෂී හෘත් ශල්‍ය පහසුකම් සහිත ශල්‍යාගාරයක් තුළදීය.

කෙසේ නමුත් වරින්වර ඇතිවන පපුවේ කැක්කුම නිසිලෙස පාලනය නොවුන හොත් හා හෘදයාබාධයක් ඇති වූ විට හෝ තීව්‍ර පපුවේ කැක්කුමක් ඇති වූ විට බයිපාස් සැත්කම වෙනුවට ඊට වඩා පහසුවෙන් සිදුකළ හැකි හා අවධානම අඩු ප්‍රතිකාරයක්ද වෛද්‍ය විද්‍යාව තුළ පවතියි. ඇන්ජියෝප්ලාස්ටි වශයෙන් හඳුන්වන මේ ශල්‍යකර්මය PTCA  ලෙසින්ද හඳුන්වයි.

කෙසේ නමුත් හෘදයාබාධවලට මෙන්ම ඇන්ජයිනා යන තත්ත්වයටද එකසේ හේතුවනුයේ යමෙකුගේ රැධිර නාල තුළ එක් රුස් විය හැකි තරමට මේදය තැන්පත්වීම බව ඔබට පැහැදිලි වනු ඇත. එසේ නම් රෝගය ඇතිවූ පසු කළ හැකි දේ කතාකරනු වෙනුවට අප රෝගය ඇතිවන්නට පෙර කළ හැකි දෙය කතාකරමු. රෝගය ඇතිවන්නට  පෙර ඔබේ ආහාර රටාව සහ ඔබේ ක්‍රියාශීලී බවෙන් නොමිලයේම මේ රෝග පාලනයට සහයක් ලබාගත හැකිය.

ඔබ මේදය සහිත ආහාර සීමා කරන්නේ නම් ආරය අනුව එන තත්ත්වයන් වුවත් කළින් ඉස්මතුවීම පමා කළ හැකිය. කොහොම නමුත් කොලෙස්ටරෝලය ශරීරය තුළ නිපදවෙන්නක් බව සැබෑය. නමුත් ඊට උපකාර කරන ආහාර වර්ග පාලනය කිරීම තුළින් එයින් ඇතිවන අහිතකර ප්‍රතිඵල සීමා කළ හැකිය.

තැන්පත්ව ඇති මේදය පාලනයට නිසි ව්‍යායාමයක නිරතවීමෙන් සහය ලබා ගත හැකිය. මේ සඳහා ඔබේ වෛද්‍යවරයා හා සාකච්චා කිරීම බෙහෙවින්ම වැදගත්ය. ඔබ දුම්පානය කරන්නෙක් නම් අධික මත්පැන් පානයෙහි නිරත වෙන්නේ නම් වහාම ඒවායින් ඈත්වීම වැදගත්ය. විශේෂයෙන් දුම්පානය ඉතාම අහිතකර ලෙස ඔබේ රැධිර නාල සිහින් කරවන්නට අවශ්‍ය ආධාර ලබාදෙන්නක් බැවින් එයින් සම්පූර්ණයෙන්ම ඈත්වීම වැදගත්ය.

දැන් අපි හෘදයාබාධයකින් ඇතිවන වේදනාව කෙබඳු දැනීමක් ඇතිකරන්නේද යන්න පිළිබඳවද අවබෝධයක් ලබා සිටිමු.

පපුවේ මැද ඇරඹේ, එය පපුව තෙරපන්නාක් බඳුව දැනෙන මහා බරක් තැබුවා වැනි වේදනාවකි. ඉතා දැඩිය,වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය, පිට පැත්තේ උර පතු ඇට දෙක අතරට විහිදී යා හැකිය. බඩේ දැවිල්ලක් ලෙසද දැනිය හැකිය,  ඒ සමගම ඔක්කාරය වමනය. අධිකව දහඩිය දැමීම,පපුවේ ගැස්ම, හිස කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතාවද දැනිය හැකිය.

එවන් දැනීමක් පිළිබඳ යමෙකු පවසන්නේ නම්  ඇඳක් නොමැති නම් බිම හෝ රෝගියා තිරස්ව වැතිරීමට සලස්වන්න. පුටුවක වාඩිකරන්නේ නම් වහාම දෙපා ද රෝගියාගේ සිරැරට සමාන්තරව ඔසවා තබන්න. සිහිමද ගතියන් ඇතිනම් වහාම එක් ඇළයකට හරවා තබන්න. තදට ඇති ඇඳුම් බුරැල් කරන්න.මුත්‍රා කිරීමට  හෝ මළපහ කිරීමට අවශ්‍ය නම් දිගාවී සිටියදීම එය කිරීමට සලස්වන්න.

නැගිට්ටවා ඇවිදීම වැරදිය.  ඇස්ප්‍රීන් පෙත්තක් ඇල්වතුර කෝප්ප කාලක දියකොට රෝගියාට පොවන්න.දහඩිය දැමීම වැඩි නම් පවන් සලස්වන්න. ගෑස් අඩංගු බීම හෝ බ්‍රැන්ඩි ආදී බීම නොදෙන්න. රෝගියාට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට අවස්ථාව සලසන්න වහාම වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාව වෙත යොමුකරන්න.

උපදෙස් සැපයුම - හෘදරෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා

52339953 1462462364287 Common-Questions-about-Heart-Attack-Symptoms-700x395 Heart-attacks-618897

පපුවේ කැක්කුම් සහ ඇන්ජයිනා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :