ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සතර අපායෙන් මිදෙන අලුත් අවුරුද්දක් කර ගනිමු
( . . ) 2017-04-10 17:58:39
Comments - 0       Views - 963

'නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස'

'සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝදපනං

ඒතං බුද්ධානුසාසනං'

සත්පුරුෂ සුපින්වතුනි,

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේගේ උතුම් පාදස්පර්ෂයෙන් දෙවැනිවරටත් මේ සිංහලද්වීපය සිසිල් වූ බක් පෝ දිනය අදයි. චූලෝදර මහෝදර දෙපළගේ මහා සංග්‍රාමය සංසිඳනු වස් උත්තරීතර බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී නාගදීපයට වැඩම කර එය සමතයකට පත්කළසේක.

එසේම සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ සතර පෙරනිමිති අතරින් පළමුකොට 'මහලු' රූපය දැක ඇත්තේද බක් පොහෝ දිනකයි. එසේම සුදොවුන් පියරජතුමා ඇතුළු ඥාතිපිරිසට නිවන් සුවය අත්කර දෙනු පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේද අද වැනි පොහෝ දිනකයි. පින්වත්නි,

මේ ලොවට පහළ වූ අනාගතයේ පහළවන්නා වූ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනය නම්,

''සියලු පව් දුරලන්න, කුසල්හි හැසිරෙන්න, තම සිත දමනය කරගන්න'' යනුවෙනි.

පෘථග්ජන සත්ත්වයන් ලෙස අප ජීවිත සටන ඇත්තේ අපගේ සතුරන් සමග නොව, ඥාතීන් සමග නොව, මිතුරන් සමග නොව. එසේනම් කා සමගද? මාරයා සමගයි. මාරයා අපේ ජීවිත නිර්මාණය කර ඇත්තේ සෑම තත්ත්පරයක්ම පංචකාම සම්පත්තීන් හී ඇලී ගැලී වාසය කිරීමටයි. ඒ අනුව අපිද අපේ උත්තරීතර ජීවිත මාරයාට පාවා දෙන්නෙමු.

මාරයාට කැප කරන්නෙමු. මෙන්න මේ නිසයි අපි සසරේ ඇවිදින්නේ. මේ බව අපේ ප්‍රඥාවට නොවැටහෙන නිසයි අපි මේ භයානක සංසාරයේ අප්‍රමාණ දුක් විඳින්නේ. අපේ ජීවිත තුළ කෙතරම් නම් ලෝභය, ද්වේෂය මෝහය වර්ධනය වෙනවාද? ඔබ සිතන්න. මේ මාසය තුළදී පමණක් මේ අකුසල ධර්ම තුන කෙතරම් වැඩුණාද කියා. මාසය ආරම්භවීමටත් පෙරාතුව ඔබ සිතුවේ 'උදාවන්නාවූ අලුත් අවුරුද්ද පිළිබඳවයි.

නව ඇඳුම් පැලඳුම්, තෑගි භෝග, ආහාරපාන මේවා ගැන ඔබ කෙතරම් සිතන්නට ඇත්ද? එසේ සිතන වාරයක් පාසා ඔබගේ හිතේ ඇතිවුණේ කුසල මූලයන්ද? කිසිසේත්ම නැත. ඔබගේ සිත වෙළාගත්තේ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්. මෙයයි සසරේ භයනකත්වය. දෙමව්පියන්, ස්වාමිදියණිය, ස්වාමිපුරුෂයා, දූ දරුවන්, ව්‍යාපාර, සමාජ තත්ත්වය කොටින්ම අපේ ඉන්ද්‍රියන්ට ඇලෙන දේවල් තුළින් ඉස්මතු වන්නේ උපාදානයයි. තෘෂ්ණාවයි. විටෙක එය ද්වේශයටද, මෝහයටද වැටෙන්න පුළුවන්.

ඒ නිසා ඔබ ප්‍රථමයෙන්ම කළයුතු වන්නේ ඔබ ඔබේ බරින් නිදහස්වීමයි. ඔබ ඔබේ බරින් නිදහස් වූ විට ඔබ මෙතෙක්දරා සිටියේ ලෝකයේම බර බව ඔබට වැටහේවි. තමාට අයිතියක් නැති ලෝකයේ බර අවිද්‍යාව නිසා දරා සිටින පෘථග්ජන සත්ත්වයා මේ නිසාම අප්‍රමාණ දුක් විඳියි. පව්කම් කරයි. එබැවින් ලෝභය හැඳිනගන්න, ද්වේෂය පාලය කරගන්න, මෝහයෙන් තොර වූ ප්‍රඥාව ඇතිකරගන්න අප දක්ෂ විය යුතුයි.

අපට මෙතරම් නිර්මලවූත්, පවිත්‍රවූත්, පැහැදිලි වූත් ධර්ම මාර්ගයක් තිබියදීත් බොහෝදෙනා ගමන්කරනුයේ අධර්ම මාර්ගයේමයි. අපට ලැබී ඇත්තේ කෙතරම් ආශ්චර්යවත් ධර්මයක්ද? අප අතරින් බොහෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් අප කළ යුත්තේ ඒ පිළිබඳව සිතමින් තවත් තමන්ගේ සිත දුකටම භාරනොදී ඒ තුළින් මිදීමේ මාර්ගය සොයා ගැනීමයි.

වැරදි මාර්ගයේ ගමන් කරමින් අපට කවදාවත් නිවැරදි වෙන්න බෑ. ලෝකය නිවැරදි කරන්න අපිට බැහැ. ඒ නිසා මේ ලෝකය පිළිබඳව මෙනෙහිකරමින් ඔබ නිවැරදි වන්න. එවිටයි ඔබට පුළුවන් වන්නේ වඩාත් නිවැරදි තැන ඔබේ සිත පිහිටුවා ගන්න. වඩාත් නිවැරදි තැන තමයි උතුම් ශ්‍රී සද්ධර්මය.

මේ සඳහා ඔබ තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාවක් හිතේ ඇතිකරගන්න. කුමක් සඳහාද? මේ භයංකාර ලෝක ස්වභාවයන් පරාජය කරන්න ඒ ශ්‍රද්ධාව ඔබට මාර්ගය උදාකර දේවි.

භවයක් භවයක් පාසා යන මේ දීර්ඝ ගමන නවතාලිය හැක්කේ ඔබටමයි. ඒනිසා ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක් ගමන් කරන්න. තථාගතයාණන් වහන්සේ දුකින් මිදෙන මාර්ගය උගන්වා වදාළා. එය වචනයෙන් කිව නොහැකියි. ලිවිය නොහැකියි. උන්වහන්සේ පිරිනිවී යන මෙහොත දක්වාම උගන්වා වදාළේ දුකින් මිදීමේ මාර්ගයයි.

එබැවින් අකුසල ධර්ම පිළිබඳව ඉතා හොඳින් දකින්න. දකින්නේ කෙසේද? මනා සතියෙන් හෙවත් සිහියෙන්. ඒ නිසයි මුලින් සඳහන් කළේ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න කියලා. එවිටයි ඔබට භාග්‍යවතුන් වහන්සේත්, උන්වහන්සේගේ අසීමිත ගුණ කදම්බයත් දකින්න පුළුවන්. ඒ වගේම උතුම් ශ්‍රී සද්ධර්මයත්, මහා සංඝරත්නයත් පවට බිය ඇතිකරගෙන, සංසාරයට බිය ඇතිකරගෙන,මාරයා හඳුනාගෙන තෙරුවනට තම සිත පුදන්න.

ඒ අනුව ධර්මය තුළ ජීවත්වෙමින් සියලු දෙයකම විනාශය දකිමින් ජීවත්වෙන්න උත්සාහ කරන්න. තෘෂ්ණාවඔබට ලස්සනට පාර කියා දෙනවා මේ භවය තුළ වේගවත් ගමනක් යන්න. ද්වේශය, ඔබට ඇති තරම් ආත්ම ශක්තිය ලබාදෙනවා හිරිඔතප් නැති කරලා ඕනතරම් පව් කරන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ පාංචකාමසම්පත්තීන්මයි සැපය' කියලා ඒත්තු ගන්වන්න.

ඔබේ ජීවිතයේ දාන,ශීල, භාවනාදී අප්‍රමාණ පිංකම් කළත් බොහෝදෙනෙක් නිවැරදි ධර්මය වටහාගන්නේ නැහැ. තමන්ගේ සැපයේ ආරක්‍ෂාව පිණිස ධර්මය තබා ගන්නවා. එය තමන් තමන්වම රැවටීමක්. ලෝභ, ද්වේශ,මෝහයන්ගේ දියුණුව පිණිස නොව ඒවායෙන් මිදීම පිණිස ධර්මයේ සරණ යන්න.

විශේෂයෙන්ම කිවයුතුයි මේ අලුත් අවුරුදු සමයේදීබාල,තරුණ,මහලු හැමෝම විනෝදවෙනවා. ඒ අතරින් රතිඤ්ඤා, මල්වෙඩි,විවිධ දෑ පත්තු කරමින් විනෝද වෙනවා. ඒ තුළින් කී දෙනෙක් බිය වෙනවාද? මිනිසුන් පමණක් නොව, සතා සිව්පාවා පවා බියට පත්වනවා.

විවිධ සමාධීන් ලත් භික්‍ෂූන් වහන්සේලා ප්‍රකාශකර තිබෙනවා ඒ තුළින් ඇසට නොපෙනන සියුම් සත්වයන්ද විවිධ තුවාල ලබා දුක්විඳිනා බව. බෞද්ධයන් ලෙස අපි මලක් පූජා කළත්, පහනක් පූජා කළත් ප්‍රාර්ථනා කරන්නේ,

'සබ්බේ සත්තා භවන්තු සුගිතත්වා' සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. ඒ නිසා ඒ ගැනත් ගැඹුරින් හිතන්න. කිසි කෙනෙකුට හානියක් අපහසුවක් නොකර අලුත් අවුරුද්ද ඔබට සමරන්න පුළුවන්. මොකද අපි ගමන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය තුළ නිසා.

ඒ නිසා පින්වත්නි,

මේ ලබන්නාවූ නව වසර සතර අපායෙන් අත් මිදෙන නව වසරක් කරගනිමින් අප හැමදෙනාම ප්‍රර්ථනා කරන පරිදි නිවන් දකිනතුරු සිල්වත්, ගුණවත්, නැණවත්, බුද්ධාදී උතුමන් වහන්සේලාගේ, කල්‍යාණ මිත්‍රයන්ගේ, සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ඝෝර,කටුක,භයානක සසරින් එතෙර වී අග්‍රඅමෘත නිර්වාණබෝධිය සාක්‍ෂාත් කර ගැනීම පිණිස උත්සහ වඩමු! තිසරණ සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අමුණුදෝවේ සිරි හේමසිරි හිමි

පරම ධම්ම විහාරය,මොරකැටිය,පන්නිපිටිය

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සතර අපායෙන් මිදෙන අලුත් අවුරුද්දක් කර ගනිමු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017