ඔබේ ස්මාට්ෆෝනය පරිගණකයක් බවට පරිවර්තනය කරන්නට
( පැතුම් පුංචිහේවා ) 2017-04-06 11:53:55
Comments - 0       Views - 1142

එක්තරා ආකාරයකට මෙම සිරස්තලය එක්තරා ආකාරයකට නොමඟ යවන සුළු බව කිව යුතුවේ. මන්දයත්, න්‍යායිකව බැලූ විට ස්මාට්ෆෝනයක් යනු මූලිකව සන්නිවේදන උපාංගයක් වුවත් ප්‍රායෝගික තලයේදී එයද සන්නිවේදන හැකියාවන් සහිත පරිගණකයක්ම වන බැවිනි. සැබවින්ම ඇපොලෝ යානය සඳ මතට මිනිසුන්ද සමගින් යැවීම සඳහා නාසා ආයතනය විසින් භාවිතා කළ පරිගණක බලයට වඩා වැඩි පරිගණක බලයක් වර්තමානයේ දක්නට ලැබෙනා මධ්‍යම ශක්‍යතා ස්මාට්ෆෝනයක පවා ඇති බව අප මින් පෙර කිහිප විටක්ම සඳහන් කර ඇත්තෙමු.

තත්වය මෙසේ වුවත් තවමත් පරිගණකයක් යැයි කියූ විට මිනිසුන්ගේ සිතට ක්ෂණයකින් පැමිණෙන්නේ මේසයක් මත තබා භාවිතා කළ හැකි ඩෙක්ස්ටොප් පරිගණකයකි. නැතිනම් ලැප්ටොප් පරිගණකයකි. ඔබේ අත ඇති ස්මාට්ෆෝනයේ ඇති පරිගණක බලය සැබවින්ම ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙසින් භාවිතා කළ නොහැකිද? මෙයට පිළිතුර වන්නේ හැකිය යන්නයි. සැබවින්ම ඒ සඳහා නිෂ්පාදනය කළ ඩොකින්ග් ස්ටේෂන් උපාංගයන්ද තිබෙනා අතර, ඒ අතරට පැමිණි නවතම උපාංගය වන්නේ Samsung Dex වේ.

සැම්සන්ග් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ Samsung Dex උපාංගය වෙළෙඳපොළට පැමිණෙන්නේ ඔවුන්ගේ නවතම ප්‍රමුඛ ස්මාට්ෆෝන් උපාංගය වන Galaxy S8 හි ජනප්‍රියත්වයත් සමගිනි. ඔවුන් පවසන ආකාරයට Samsung Dex උපාංගය නිපදවා ඇත්තේ ඔබේ Galaxy S8 ස්මාට්ෆෝනය ඩෙක්ස්ටොප් පරිගණක යන්ත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහායි.

සැම්සන්ග් සමාගම මගින්ම පවසන ආකාරයට, ඔබට තවදුරටත් පරිගණකය ‍රැගෙන යා යුතු නොවේ. ඒ වෙනුවට ඔබට අවශ්‍ය වන්නේ මොනිටරයක්, කීබෝඩයක්, මවුසයක් සමගින් ඔබේ Galaxy S8 හෝ Galaxy S8+ ස්මාට්ෆෝනය සහ ඩොකින්ග් ස්ටේෂන් එක පමණි. Samsung Dex ඩොකින්ග් ස්ටේෂන් එක මගින් එම උපාංග සියල්ලම ඔබේ ස්මාට්ෆෝනය හා සම්බන්ධ කොට, ඔබට සම්පූර්ණ ක්‍රියාකාරී ඩෙක්ස්ටොප් පරිගණකයක් ලබාදෙනු ඇත.

මෙහිදී ඩෙක්ස්ටොප් පරිගණකයේ පරිශීලක අතුරු මුහුණත සඳහා භාවිතා වන්නේ Android 7 Nougat මෙහෙයුම් පද්ධතියේ වඩාත් වෙනස් කළ සංස්කරණයක් වන අතර, එය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ හැඩරුවට සමාන වන ආකාරයකින් නිමවා තිබීමද විශේෂත්වයකි. පරිශීලකයාට මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හා සමානකමක් දැනෙනු ඇත්තේ මෙහි ටාස්ක් බාර් එකක්, පහළ වම් කෙළවරේ ඇප්ලිකේෂන් බට්න් එකක් මෙන්ම ප්‍රමාණය වෙනස් කරමින් වින්ඩෝස් කිහිපයක් එක් වර භාවිතා කිරීමේ හැකියාව මෙයට ලබාදී තිබීම නිසා වනු ඇත.

ඔබේ සාමාන්‍ය යෙදුම් වලට අමතරව මේ හරහා මයික්‍රොසොෆ්ට් වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් වැනි මෘදුකාංගද භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා එම යෙදුම් මිලදී ගෙන හෝ ඔබේ ස්මාට්ෆෝනයේ තිබිය යුතුවේ. මීට අමතරව ඔබට Citrix, VMWare  නැතිනම් AWS වැනි තුන්වෙනි පාර්ශවයේ වර්චුවල් ඩෙක්ස්ටොප් මෘදුකාංගයක් හරහා ආරක්ෂිතව ඔබේ නිවසේ ඇති පරිගණකයට දුරස්ථ මාර්ගිකව ප්‍රවේශ වී, එහි වැඩකටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් හා පරිගණක බලයද මෙයින් ලබාදෙනු ඇත.

මෙම සියල්ල යතාර්ථයක් බවට පත්කරවනා Samsung Dex ඩොකින්ග් ස්ටේෂන් උපාංගය හුරුබුහුටි නිමාවකින් සහ ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි මොනිටරයක් සම්බන්ධ කිරීම සඳහා HDMI පෝට් එකක්ද, කීබෝඩයක් හා මවුසයක් වැනි වෙනත් අංගෝපාංග සවි කිරීම සඳහා USB පෝට් ද්විත්වයක්ද තිබේ. මීට අමතරව Ethernet ජැක් එකක් මෙන්ම බලය ලබාගැනීම සඳහා USB-C සොකට්‍ටුවක්ද Samsung Dex උපාංගයේ ස්ථාපනය කොට ඇත.

ඔබට මෙහි ඇති USB පෝට් දෙක වෙනත් කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නම්, බ්ලූටූත් ‍රැහැන් රහිත සම්බන්ධතාවය හරහා කීබෝඩය හා මවුසය සම්බන්ධ කිරීමේ හැකියාවද තිබේ. මෙසේ සියලුම උපාංගයන් ඈඳා ඩොකින්ග් ස්ටේෂන් උපාංගය වෙත ඔබේ Galaxy S8 ස්මාට්ෆෝනය සම්බන්ධ කළ විට, ඩොකින්ග් ස්ටේෂන් එක රත්වීම වැළැක්වීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන කූලින් ෆෑන් එකක් ඇතුළු සිසිලන පද්ධතියක්ද මෙහි තිබේ.

එම නිසා ඔබට කිසිදු බියක් නැතිව ඔබේ ස්මාට්ෆෝනයේ සම්පූර්ණ පරිගණක බලය යොදාගනිමින් වැඩි බරක් ඇති කාර්යයන් කිහිපයක්ම වුවත් එක් වර සිදුකිරීමේ හැකියාව තිබේ. එසේම Samsung Dex ඩොකින්ග් ස්ටේෂන් උපාංගයේ Adaptive Fast Charging (AFC) තාක්ෂණයද පවතින අතර, ඒ නිසා ඔබ ස්මාට්ෆෝනය එහි තැන්පත් කොට පරිගණක වැඩකටයුතු සිදුකරනා අතරේදී එය ආරෝපණය වීමද සිදුවනු ඇත.

මින් පෙරද ඔබේ ස්මාට්ෆෝනයේ පරිගණක බලය සැබවින්ම ඩෙක්ස්ටොප් පරිගණකයක් බවට පත් කිරීමට හැකි ඩොකින්ග් ස්ටේෂන් උපාංගයන් වෙළෙඳපොළට පැමිණියද, ඒවා එතරම් ජනප්‍රිය වූවේ යැයි කීමට අසීරු වේ. කෙසේ නමුත් Galaxy S8 ස්මාට්ෆෝනය සමගින් Samsung Dex ඩොකින්ග් ස්ටේෂන් උපාංගය වෙළෙඳපොළට පැමිණි විට මෙම තත්වය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරනු හැර, එය ජනප්‍රිය වේද නොවේද යන වග පැවසීමට තවමත් වේලාසන වැඩි බව පමණක් කිව හැක.

33334537750_4dfd8a5542_o-1-1024x683 33334539010_92f1326988_o Samsung-Dex-840x476 samsung-dex-galaxy-s8-17 Samsung-Galaxy-S8-Desktop-Experience-dex VRG_VBO_462_Samsung_dex_announcement-THUMB

ඔබේ ස්මාට්ෆෝනය පරිගණකයක් බවට පරිවර්තනය කරන්නට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :