ඔට්සම් ගැන ඔබ දැනුවත්ද?
( . . ) 2017-03-30 06:00:28
Comments - 0       Views - 670

ඔටිසම් යනු කුමක්ද?

මෙය දරුවෙකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයකි. මෙය ලෝකයේ වැඩිවන ප්‍රවණතාවක් සහිත වර්ධන තත්ත්වයන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන තිබේ. ඇමෙරිකාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය 1:68 ක් වන අතර, ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 1:93ක් ලෙස හඳුනාගෙන ඇත.

ලෝකයේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය 1%ක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය ඕනෑම තරාතිරමක දරුවෙකුට ඇති විය හැකි අතර, පිරිමි දරුවන්ට ඇති වීමේ අවදානම දරුවන් අතර 4:1ක් ලෙස හඳුනාගෙන තිබේ. මෙවැනි තත්ත්වයන්ට හේතූන් ලෙස ජාන සහ පාරිසරික තත්ත්වයන්ගේ අන්තර්ක්‍රියා බලපාන බව පර්යේෂණවලට අනුව අනාවරණය වේ.

ඔටිසම් තත්වයෙන් යුක්ත දරුවන් හඳුනාගන්නේ කෙසේද?

රතු සංඥා ලකුණු (Red Flag Sign) යනු මුල් අවධියේම සැලකිල්ලට ගත යුතු ලක්ෂණයයි. එනම්,

මාස 12 ක් වනවිට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම.

මාස 12 ක් වනවිට දරුවා ඇඟිල්ල දිගු කොට තම අවශ්‍යතා ප්‍රකාශ නොකිරීම

මාස 16ක් වනවිට දරුවා තනි වචන නොපැවසීම

මාස 24 ක් වනවිට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.

ඕනෑම අවධියකදී දරුවා ලබාගත් වර්ධන කුසලතා නැතිවී යා හැකි වීම.

ඔටිසම් තත්වයේ මූලික ලක්ෂණ

ඔටිසම් තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගැනීමට හැකි වී තිබේ.

01) සමාජ සම්බන්ධතාවන්ගේ හා සන්නිවේදන ගැටලු

02) සීමිත ප්‍රියතාවන් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරී බව

ඇසට ඇස බලා කතා නොකිරීම, යහළුවන් ඇති කර නොගැනීම, තනිව සෙල්ලම් කිරීමට ඇති කැමැත්ත, සෙල්ලම් කිරීමේදී වයසට නොගැළපෙන ස්වරූපය, තම සිත තුළ ඇති දේ ප්‍රකාශ කිරීමේ අපහසුව, අන් අයගේ හැඟීම්, ප්‍රකාශ, නියෝග හඳුනාගැනීමේ අපහසුව, එකම වචනය නැවත නැවත උච්ඡාරණය, අරමුණකින් හෝ හේතුවකින් තොරව හැඬීම සහ සිනාසීම වැනි තත්ත්වයන් සමාජ සම්බන්ධතාවන්ගේ හා සන්නිවේදන ගැටලුවල ලක්ෂණවලින් කිහිපයකි.

යම් දෙයක් කෙරෙහි ඇති කැමැත්ත හෝ දැඩි අකමැත්ත මෙන්ම වෙනස්කම්වලට දක්වන දැඩි අකමැත්ත, සෙල්ලම් කිරීමේදී සෙල්ලම් භාණ්ඩයේ කොටසකට පමණක් දැඩි ලැදිකමක් දැක්වීම ආදිය සීමිත ප්‍රියතාවන් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ ලක්ෂණවලින් කිහිපයකි.

මෙම තත්ත්වයට ඖෂධ ප්‍රතිකාර කිරීමක් සිදු නොකරයි. විශේෂයෙන්ම මොළයේ ඇති වන අසාමාන්‍ය තත්ත්වයන් හා බැඳුණු ගැටලු හඳුනාගැනීමට පවුලේ සියලුම සාමාජිකයන් සමග එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් මෙවැනි භාරදූර කාර්යයක් සිදු කිරීමට ළමා මනෝ වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

ඒ අනුව ඔටිසම් තත්ත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තීය චිකිත්සාව, කථන පුහුණුව ඇතුළු චර්යාමය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ අනුව දිනකට අවම වශයෙන් පැය 04ක කාලයක් සක්‍රිය ලෙස දරුවා සමග ක්‍රියාකාරකම්වල යෙදීම යෝග්‍ය වේ. මෙම දරුවන්ටද සාමාන්‍ය දරුවන්ට මෙන්ම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම තුළින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස දායාද කළ හැක.

ඒ සඳහා ඔටිසම් දරුවන් සාමාන්‍ය පාසලකට අන්තර්ග්‍රහණය කිරීම තුළින් ඔවුන්ගේ කුසලතා දියුණු කළ හැකි ය. ඒ අනුව මෙවැනි දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස සලකා ඔවුන්ගේ ආරක්ෂාව සහ වර්ධනයට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.

විශේෂඥ මනෝ වෛද්‍ය ස්වර්ණා විජේතුංග

සභාපති - ශ්‍රී ලංකා ළමා සහ යොවුන් විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය

ඔට්සම් ගැන ඔබ දැනුවත්ද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...