විකල්ප ආයෝජන ගැන දැනගන්න කැමතිද?
( ෂමිල පෙරේරා ) 2017-03-20 22:15:39
Comments - 0       Views - 419

කොටස් ආයෝජනය මෙන් ආයෝජකයන්ට දිගුකාලීන විශේෂ ආයෝජනයක් වශයෙන් ඒකක භාර හෙවත් 'යුනිට් ට්‍රස්ට්^ අපි පසුගිය සතියේ 'දැනුමෙන් ආයෝජනයට' ලිපියෙන් හඳුන්වා දුන්නෙමු. එනම්, 'ඒකක භාර ආයෝජනය යනු කුමක්ද?', %ඒකක භාරවල මූලික ලක්ෂණ මොනවාද?', 'ඒකක භාර ආයෝජනය අපට වැදගත් වන්නේ ඇයි?' සහ 'ඒකක භාර ආයෝජනයේ ඉතිහාසයෙන් බිඳක්' ආදී වශයෙන් මාතෘකා කිහිපයක් ඔස්සේ ඔබට වැදගත් වන කරුණු රැසක් එහිදී අපි සාකච්ඡා කළෙමු. ඒ අනුව, මේ  පිළිබඳව තවදුරටත් ඔබව දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර, ඒ හා සම්බන්ධ කරුණු ඉතා සරලව ඔබ වෙත ගෙන ඒමට මෙවර ලිපියෙන්ද අපි බලාපොරොත්තු වෙමු.

ඒකක භාරයක ප්‍රධාන පාර්ශ්වකරුවන්

ආයෝජකයෙක් වශයෙන් ඒකක භාරයක ප්‍රධාන පර්ශ්වයන් කවුරුන්ද යන්න දැනුවත්ව සිටීම වැදගත් වේ. ඒ අනුව, ඒකක භාරයක ප්‍රධාන පාර්ශ්වකරුවන් 3ක් දැකගත හැකි අතර, ඔවුන් වනුයේ අරමුදල් කළමනාකරණ සමාගම, භාරකරු සහ ඒකක හිමියන් (ආයෝජකයන්) ය. මෙම ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඒකක භාර ආයෝජනයෙහි නිරත වීම සියලුම ආයෝජකයන්ට ප්‍රයෝජනවත් වේ.

අරමුදල් කළමනාකරණ සමාගම්

ඒකක භාර අරමුදල් කළමනාකරණ සමාගම් යනු පෞද්ගලික සමාගම්ය. මෙම බොහෝ ආයතන පිළිගත් මූල්‍ය සමාගම්වලට අනුබද්ධ සමාගම් බව ආයෝජකයින් මතක තබා ගැනීම වැදගත් වේ. එමෙන්ම මෙම සමාගම් අනිවාර්යයෙන් රු.මිලියන 25ක අවම ප්‍රාග්ධනයක් සහිතව ගනුදෙනුවල නිරත විය යුතු බව ඒකක භාර ගනුදෙනුවලට අදාළ නීතිරීති මගින් පෙන්වා දී ඇත. තවද මෙම සියලුම කළමනාකරණ සමාගම් භාරකාර බැංකුවලින් වෙන්වූ ආයතනද වේ. සෑම ඒකක භාර කළමනාකරණ සමාගමකම අවම වශයෙන් වෘත්තීයමය සුදුසුකම් සපිරූ සහ කර්මාන්තය පිළිබඳ පළපුරුද්ද සහිත පුද්ගලයන් දෙදෙනෙකුවත් සිටිය යුතු බව පෙන්වා දී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පෙන්වා දී ඇති පරිදි ඒකක භාර නියාමනය සම්බන්ධයෙන්ද හොඳ දැනුම්වත්භාවයක් සහිතවීමද පෙන්වා දී ඇත.

ඒකක භාර කළමනාකරණ සමාගමක කාර්යභාරය

•          ඒකක භාරයක් අලුතින් ඇති කිරීමේදී මූලික පියවර ගැනීම සිදුකරනු ලබන්නේ කළමනාකරණ සමාගමයි. එනම්, නව ඒකක භාරයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස්කර ඊට අවසර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන්නේ කළමනාකරණ සමාගමයි.

•          ආයෝජකයන් වෙත ඒකක අලෙවි කිරීම සිදුකිරීම කළමනාකරණ සමාගමක තවත් කාර්යයකි. යම් ආයෝජකයෙකුට ඒකක (යුනිට්ස්) මිලට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැලසීම ඉන් අදහස් වේ.

•          ඒකකවල වෙළෙඳ පොළ මිල ගණන් දෛනිකව වෙනස් වන අතර, එය ගණනය කරනු ලබන්නේද කළමනාකරණ සමාගම විසිනි. ඒකක භාර ආයෝජනය කර ඇති විවිධ වත්කම්වල වෙළෙඳ පොළ අගය වෙනස් වන නිසා මෙසේ දෛනිකව ඒකක භාරවල අයත් එක් ඒකකයක් විකුණුම් මිල හෙවත් ආයෝජකයාගේ ගැනුම් මිල තීරණ කිරීම සිදුකළ යුතු වේ.

•          ආයෝජන තීරණ ගැනීම කළමනාකරණ සමාගම්වල තවත් සේවාවකි. ඉන් අදහස් වනුයේ ඒකක භාරවල අරමුදල් විවිධ වත්කම්වල ආයෝජනය කරන නිසා එම එක් එක් වත්කමක කොපමණ මුදල් ප්‍රමාණයක් යොදවනවාද යන්න තීරණය කිරීමයි.

•          ඒකක හිමියන් පිළිබඳ ලැයිස්තුව පිළියෙල කිරීමද කළමනාකරණ සමාගමක කාර්යාභාරයකි. ඒකක හිමියන් තම ඒකක අලෙවි කිරීමේදී සහ නව ඒකක හිමියන් ඒකක භාරයක ඒකක මිලට ගැනීමේදී ඊට අදළ ලේඛනයක් පවත්වාගෙන යා යුතු අතර එය කළමනාකරණ සමාගමේ කාර්යයකි.

•          ලාභාංශ බෙදාහැරීමද ඒකක භාර කළමනාකරණ සමාගමක කාර්යභාරයකි. ඒකක භාර ආයෝජකයන්ට ඒකක ළඟ තබාගැනීමේදී ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ වනුයේ ලාභාංශයයි. ඒකක භාරයක් තම අරමුදල් විවිධ වත්කම්වල ආයෝජනය කිරීම හරහා ඒකක භාරය වෙත ලැබෙන විවිධ ප්‍රතිලාභවලින් යම් කොටසක් මෙසේ ලාභාංශ වශයෙන් ආයෝජකයන්ට ලැබෙන අතර, එක් එක් ආයෝජකයාට කොපමණ ලාභාංශයක් ගෙවනවාද යන්න තීරණය කරනුයේ කළමනාකරණ සමාගමයි. සමාගම තීරණය කළ පසු ඒකක හිමියන්ට අදාළ ලාභාංශ ලැබීමට සලස්වන්නේ ඒකක භාරයේ භාරකරු විසිනි.

•          ඒකක භාරයක ආයෝජකයන්ට තම ඒකක භාරයේ තත්ත්වය පිළිබඳව (කාර්ය සාධනය) විටින් විට දැනගැනීමට අවශ්‍ය වේ. විශේෂයෙන්ම ආ‌යෝජන තීරණ ගැනීමට එය ඉවහල් වේ. ඊට උපකාරී වන ඒකක භාරය හා සම්බන්ධ මූල්‍ය වාර්තා සැකසීම සහ ආයෝජකයන් වෙත ඒවා ලබාදීම සිදු කරන්නේද ඒකක භාර කළමනාකරණ සමාගම් විසිනි. විශේෂයෙන්ම ඒකක භාර හා සම්බන්ධ මූල්‍ය වාර්තා දෙයාකාරයකට ආයෝජකයන් වෙත ලබාදීමක් සිදු කරයි. එනම්, ඒකක භාර කළමනාකරණ සමාගමේ කාර්යසාධනය පිළිබඳ සහ ඒ යටතේ ඇති එක් එක් අරමුදල්වල තත්ත්වයන් පිළිබඳ මූල්‍ය වාර්තා යන ඒවායි. ආයෝජකයෙකුට මේවා පරිශීලනය කිරීම හරහා තමන් ආයෝජනය කර ඇති අරමුදල් හා ඒකක භාර කළමනාකරණ සමාගම් ගැන නිසි තක්සේරුවක් ලබාගැනීමට මූල්‍ය වාර්තා වැදගත් වේ.

•          ඒකක ළඟ තබාගෙන සිටින ආයෝජකටයකුට තම ඒකක නැවත මුදල් බවට පත්කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන්නේද කළමනාකරණ සමාගමයි. ආයෝජකයන් සතු ඒකක මුදල් කරනවා යනු ඒකක භාර සමාගම් පැත්තෙන් ගත් විට ඒකක මිලට ගැනීමයි. ඒ සඳහා ඒකක හිමියෙකු තම ඉල්ලීම කළමනාකරණ සමාගම වෙත යොමුකළ යුතු අතර ඒකක සහතික පත්‍රය නැවත අත්සන් යොදා මුදල් කරදෙන ලෙස ඉල්ලා සමාගම වෙත යැවීම හෝ භාරදීම සිදුකළ යුතුය. එය ලැබුණු පසු සමාගම පවතින මිලට ඒකක මුදල් කර ආයෝජකයා වෙත චෙක්පතක් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරනු ලබයි.

මෙහි තවත් කොටසක් මීළඟ ලිපියෙන්...

විකල්ප ආයෝජන ගැන දැනගන්න කැමතිද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...