ශ්‍රී ලංකාවත් ඩුබායි හා හොංකොං තත්ත්වයට
( ෂමිල පෙරේරා ) 2017-03-20 22:05:46
Comments - 0       Views - 383

ශ්‍රී ලංකාව, එහි සියලු ජනකොටස් සහභාගී කරගෙන ආර්ථික සෞභාග්‍ය කරා ළඟාවීමේ කඩිනම් ප්‍රයත්නයක නියැලී සිටින මේ මොහොතේදී, රට තුළ උත්පාදනය වන විවිධ ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ලොව සියලු ආයෝජක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ හොංකොං හි, දෙවැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පසුගිය 16දා පවත්වමිනි.

එහිදී, අමාත්‍යවරයා පවසා සිටියේ දීර්ඝ නිශේධන කාලපරිච්ඡේදයකට පසු රට ප්‍රාණවත් ආර්ථික පුනර්ජීවයක් කරා ගමන් කරමින් තිබෙන බැවින්, එය නොබෝ කලකින් මධ්‍ය ආදායම් ලබන රටක තත්ත්වයට පත්වෙමින් ඇති බවය. එබඳු රටක උද්දීපනය වූ ආර්ථිකයක් තුළ පැන නැඟෙන ආයෝජන අවස්ථා අත්පත් කරගැනීම කාලෝචිත ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉදිරිපත් වන ව්‍යාපාරිකයන් සඳහා විවිධ දිරිගැන්වීම් දැනටමත් ලබාදී ඇති බවයි.

'රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර' රාමුව තුළ දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත්කර ඇති බවද හෙතෙම පවසා සිටියේය.

සමුළුව අමතමින් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති පාරම්පරික කෘෂිකර්මාන්තය, වෙළෙඳ කෘෂිකර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු යොදාතිබීම හා ඒ තුළ ආයෝජකයන්ට විවිධ ආයෝජන අවස්ථා උදාවී ඇති බවයි.

එමෙන්ම, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නුදුරේදීම විවෘත කිරීමට කටයුතු යොදන බැවින් රටේ භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගෙන එහි ව්‍යාපාර ආරම්භ කර සාර්ක් කලාපයේ ජීවත්වන විශාල ජනගහනයට සැපයුම් ලබාදීම සඳහා වූ ආයෝජන සිදුකිරීමට අවස්ථාව උදාවී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

ශ්‍රී ලංකාව දැනට පවත්වාගෙන යන මෙම සංවර්ධන ව්‍යාපෘතිවල සාර්ථකත්වය තුළින් දැනට කලාපයේ පවතින වාණිජ නගර වන ඩුබායි හා හොංකොං තත්ත්වයට පත්වීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝකයේ බොහෝ සංචාරකයන් තම නිවාඩු ගතකිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නා අතර, ඒ තුළින් විශාල ව්‍යාපාරික අවස්ථා උදාකරගැනීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙලෙස පැමිණෙන ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් වන අධිවේගී මාර්ග, මහනගර, ප්‍රාදේශීය නගර, දුම්රිය හා අනෙකුත් ප්‍රවාහන පහසුකම් හා කොළඹ නගරය සමුද්‍ර ගමනාගමන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර ඇති බවද පවසා සිටියේය.

රවි කරුණානායක මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව දැනට ආසියාවේ පවත්නා ව්‍යාපාරික කටයුතු උදෙසා ඉතාම සාමකාමී රට බවට පත්ව ඇති බවයි. එමෙන්ම, මෙම ශතවර්ෂය ආසියාවේ ශත වර්ෂය බවට ලොව පිළිගෙන ඇති මතය තහවුරු කිරීමට මෙරට පවත්නා ආයෝජන වටාපිටාව පිටුවහලක් වනු ඇති බවද හෙතෙම පවසා සිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන් පරිදි, හොංකොං හි %ෆිච් දර්ශක^ ආයතනය පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව එහි පැවති ඍනාත්මක මට්ටමෙන් (බී+) ධනාත්මක තත්ත්වය දක්වා උසස් මට්ටමට පැමිණ ඇති බවයි. මෙසේ රටේ ආර්ථික දර්ශක ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ පැසසුමට ලක්වූයේ වත්මන් රජයේ මූල්‍ය කළමනාකරණය හා ආදායම් වැඩිකර ගැනීමේ හැකියාව ඉහළ තත්ත්වයකට පත්වීම නිසා බවද රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවට ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන නියෝජිතයන් සහ ආයෝජකයන් 200ක පමණ පිරිසක් සහභාගී සිටියහ.

ශ්‍රී ලංකාවත් ඩුබායි හා හොංකොං තත්ත්වයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :