රාවණා රජු අහසින් ගිය රාමායණය
( මාලන් විදානපතිරණ ) 2017-03-20 11:44:41
Comments - 0       Views - 462

ලාංකේය නූර්ති කලාවේ පූර්ව යාමය සලකුණු කළ දහනව වැනි සියවසේ අගභාගයේ වේදිකාගත වූ නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ 'රාමායණය' මීට සති කිහිපයකට පෙර නව නිෂ්පාදනයක් ලෙසින් වේදිකාගත විය. ඒ වත්මන් පරපුරේ නාට්‍ය රසාස්වාදය පිණිස අධ්‍යක්ෂ සහ සංගීතඥ ලයනල් ගුණතිලක සිදුකළ නව නිෂ්පාදනයක් ලෙසිනි.

එහෙත් මීට වසර 132කට පෙර ගීතවත් කළ 'රාමායණය', නූතන පරපුරේ රසභාවයන් උද්දීපනය කරනු වස් මේ වනවිට පාසල් විෂය නිර්දේශයටද ඇතුළත් කර තිබෙන අතර, සෑම මසකම වේදිකාගත කිරීමට ටවර්හෝල් රඟහල පදනම තුළින්ම යෝජනාවක් පැමිණ තිබේ. එබැවින් ඒ පිළිබඳ යම් සටහනක් තැබීමට අපි සිතුවෙමු.

වසර 36 ක ජෝන් ද සිල්වා නාට්‍ය යුගය ආරම්භ කරමින් වේදිකාගත වූ පළමු නූර්තිය වූ 'රාමායණය', වාල්මිකී සෘෂිවරයාණන්ගේ සංස්කෘත කෘතියක් වූ 'රාමායණය' ඇසුරින් සීනිගම ස්ථවිරයන් වහන්සේ සිංහලයට පරිවර්තනය කළ කෘතියක් වන අතර, සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර සූරීන් විසින් මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත්කරන ලද්දකි. එම කෘතිය දෙමළ බසින්ද රචනා කර තිබෙන අතර, ඒ කම්බී කිවිවරයාගේ පරිවර්තනයක් ලෙසිනි.

සදාතනික ප්‍රේම පුරාවෘත්තයක් වූ රාම-සීතා කතා ප්‍රවෘත්තිය පාදක වන  'රාමායණය', 19 වැනි ශතවර්ෂයේ ලංකාවේ ඇති වූ ජාතික ආගමික පුනර්ජීවනයේ කලා සංස්කෘතික වැඩබිම තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ සුවිශේෂී නිර්මාණයක් වන අතර, දෑ හිතකාමී සුහද හැඟීම්වලින් පුබුදුවාලීමටද දායක විය.

ඒ අනුව පළමුව ක්‍රි.ව. 17, 18 වැනි ශතවර්ෂවලදී භාරත දේශයේ දක්ෂිණ කලාපයේ ප්‍රාන්තීය ගැමි නාටක ප්‍රවර්ග ලෙස සැලකිය හැකි 'යක්ෂගාත', 'භාගවත මේල' සහ 'තෙරුක්කුත්තු' වල ආභාසය ලැබ මෙහි පැළපදියම්ව, කිට්සන් ලාම්පු එළියෙන් සහ පන්දම් එළියෙන් එළිමහන් විවෘත රංග භූමියක හෙවත් කරළියක රඟදැක්වූ නාඩගම් සම්ප්‍රදායද, උතුරු ඉන්දියානු පාර්සි නාට්‍ය කලාවේ ආභාසය ලැබ, ගෑස් ලාම්පු එළියෙන් ඇස් පනාපිට රඟදැක්වුණු නූර්ති නාට්‍ය කලාවේ සිට දියුණු තියුණු වූ සිංහල නාට්‍ය කලාවටද රුකුල් සම්පාදනය කළ මෙම නිර්මාණය, රාගධාරී සංගීතයට සිංහල රසිකයාගේ දෙසවන් හුරු කිරීමටත්, එම සංගීතය ගැයිය හැකි, වැයිය හැකි, රසවිඳිය හැකි කලා රසික පරපුරක් බිහි කරලමින් සිංහල සංගීතයටද පිටුබලයක් විය. 

විශේෂයෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහයන් පවසන අන්දමට වර්තමාන කේවල සරල ගීතයේ මූලික හැඩතල සකස් වන්නේ නූර්තියෙන් බැවින් නාඩගම් තුළින් මතුවන මූලික ගීත ස්වරූපය ආකෘතිකමය ආභාසය ලබනුයේද, එසේත් නැත්නම් ස්ථායි අන්තරා ආමුඛ සංගීත ඛණ්ඩ, අතුරු සංගීත ඛණ්ඩ ආදියෙන් පෝෂිතව පරිපූර්ණත්වයට පත්වනුයේද නූර්ති ගීතයෙනි.

එබැවින් උත්තර භාරතීය සරල ශාස්ත්‍රීය ගායන ශෛලීන් ලෙස දැක්විය හැකි ගසල්, ඨම්රි, භජන් වැනි විවිධ වූ ගායනාවන්ගේ ආභාසයෙන් සහ ආනුභාවයෙන් නූර්ති තනු සුපෝෂිතව, නාඩගමෙහි පවත්නා නාට්‍යෝචිත හා රංග පරම ලක්ෂ අභිභවා ගීත අලංකාරය උපදවන සුලු 'ගන් ගමක් මීන්ඩ් මූර්කි' වැනි සූක්ෂමතාවයන්ගෙන් උපලක්ෂිතව පෙරට ආ නූර්ති ගීතය රාගාත්මක හා තාලාත්මක බවින් අනූනය. එසේම වික්‍රමසිංහයන් පවසන අන්දමට නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් ස්ත්‍රී රූප කාය වර්ණනා කිරීමේදී 'රාමායණය' තුළ පෙන්නුම්කර ඇති භාෂාමය සංවේදීතාවද ඉතා වැදගත්ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් පවසන අන්දමට ඉන්දියානු සමාජ හා සංස්කෘතික පාලනය කෙරේ. 'රාමායණය' විශාල බලපෑමක් කර ඇති අතර, රාම, සීතා, හනුමන් දේවත්වයට පත්කර තිබෙන 'රාමායණය', 1886 මැයි මස 31 වැනිදා පිටකොටුවේ පුෂ්ප ශාලාවේදී ලාංකේය සංගීතඥයන් වූ උදුමල මරික්කාර් සහ අබ්දුල් ලතීෆ්ගේ සංගීතයෙන් මුල්වරට වේදිකාගත වුවද, ශාලාව ගිනි තැබීමෙන් නාට්‍යය මුළුමනින්ම පෙන්වීමට නොහැකි වූ අතර, නීතිඥ ජෝන් ද සිල්වාද කලකිරීමට පත්විය.

කෙසේ වෙතත් එදිනම මල්වත්තේ සර්කස් සංදර්ශනයක්ද පැවැති අතර මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන් පවසන අන්දමට එදා මේ පිළිබඳ නාගරික සභාවෙන් පරීක්ෂණයක් පවත්වා ඇති නමුත්, එහි නෛතික ප්‍රතිඵලය කුමක් වුවද තමන්ට අලාභ හානි කළවුන් පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගෙන තිබේ. 1886 ජුනි මස 05 වැනිදා ගිනි හටන හෙවත් පුෂ්ප ශාලාවට හනුමාගේ පැමිණීම නම් මධුර වූ හින්දුස්ථානි වෘත්තයන්ගෙන් සමන්විත අංක තුනකින් යුත් හාස්‍ය නාට්‍යය රචනා කරන්නේ එබැවිනි. ඒ  පිළිබඳ ඔහු මෙබඳු සටහනක් තබා ඇත.

''චරිත ගෙන හින්දු - කරනෙමි මෙසේ සින්දු
කුකවි මත බින්දු -අසනු මැන සොඳමෙහි සින්දු''

''සීමාසහිත පූර්ව දිග ලංකා නාටක සමාගම විසින් රාමායණය නමැති ලෝක ප්‍රසිද්ධ කතාව කොළඹ පිටකොටුවේ පුෂ්ප ශාලාවේ නටන කල ඊට ඊර්ෂ්‍යාවෙන් කිපුණා වූ සඳට බුරන සුනඛයන් බඳු බෙලහීන නොහික්මුණු ජඩ ජනයා විසින් එම සමාගම නැති කර දමනු අටියෙන් තිබ්බ ගින්න අරභයා මෙම ගිනි හටන කරන ලදී.''

එහෙත් පසුව අනපේක්ෂිත ලෙස කංජි ජඨා ශංකර් සහ විශ්වනාත් ලෞජි යන ඉන්දීය සංගීතඥයන් මුණගැසීම නිසා 1904 වසරේදී නැවතත් වේදිකාගත වෙද්දී ඉන්දීය සංගීතඥයකු වූ විශ්වනාත් ලෞජිගේ ගී තනු සහ සංගීතය යොදාගැනීමෙන් වඩ වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නූර්තියක් වූ “රාමායණය“හි ඇතුළත් 'අඹ දඹ නාරං', 'ශ්‍රියා මන්මත් වී', 'සීතා මා සිරියා' යන ගීත අදටත් රසික හදවත්වල වැජඹේ.   

ජෝර්ජ් හෙන්රිකස් චිත්‍ර ඇඳි මුල් නූර්තියේ පැරණි හින්දු ඇඳුම් පැලඳුම් ඇඳි ස්ත්‍රී භූමිකා දේශීය කාන්තාවන් නිරූපණය කළ අතර, හනුමාගේ චරිතය හාස්‍යකරණයට ලක්කරමින් නිර්මාණය කිරීමත්, රාවණාගේ රිය අහසින් යන අයුරින් සකස් කර තිබීමත් සුවිශේෂත්වයකි.

තිර දර්ශන, වෙස් මෝස්තර රචනය, රංගාලෝකය, කළමනාකාරීත්වය ආදී සියලු අංග ලක්ෂණවලින් ක්‍රමවත් බවක්  මත රංගය උත්කර්ෂයට නංවාලීම මගින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ මෙහි නිතරම වෙනස් වන රාවණාගේ හිස් දහය ප්‍රේක්ෂකයා මවිත කරවනසුලු වූ මුල් කෘතිය තුළ ජනක රජුගේ දුන්න නැමෙන කල ගීතයක් නිකුත් කළ අතර, ගින්න ඇවිලෙන්නට වූයේ එවිටයි.

එබැවින් එදා 'ගිනිගත් රාමායණය' ලෙස හැඳින්වූ මේ තුළ ගීත 54 ක් ඇතුළත් වුවද, නව නිෂ්පාදනය ගීත 34කට සීමා කරමින් මුල් කෘතියට හානි නොකරමින් නිෂ්පාදනය කරන ලද මෙම කෘතියේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස නිමල් ජයසිංහ කටයුතු කළේය. ඔහු මෙම නිෂ්පාදනයට සම්බන්ධ වන දෙවැනි අවස්ථාව ලෙසද මෙය සැලකේ. ඒ ඔහු 1980 දී කලාගුරු වසන්ත කුමාර අධ්‍යක්ෂණය කළ 'රාමායණය' නාට්‍යයේද රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගේ චරිතය රඟපෑ බැවිනි.

රූපණ ශිල්පීන්ට දැඩි අභියෝගයක් වූ මෙහි රූපණය තුළ උත්තර රාගධාරී සංගීතයට අයත් ගීත ගායනා කරමින්, භාව ප්‍රකාශනය කරමින්, ඈතට විහිදෙන දෙබස් උච්චාරණය කරමින් රංගනයේ යෙදෙන්නට සිදුවීම, මෙම නූර්තියටම අනන්‍ය වූවක් වන නමුත්, නව නිෂ්පාදනයේ ඇති සුවිශේෂත්වය වන්නේ බොහෝ නූර්ති නාට්‍යවල මෙන් හිටිහැටියේම අහසින් පාත්වන චරිත නිසා ප්‍රේක්ෂකයන් තරමක වික්ෂිප්තභාවයට පත්වීමයි. ඇතැම් චරිතවල නම් පිටපතේ සඳහන් වුවද කිසිතැනක එම නම් පිළිබඳ දෙබස් මගින් නොකීම, සමහර සිදුවීම්වල කිසිදු සම්බන්ධතාවක් නොමැති වීම, නාට්‍යෝචිත අවස්ථා අඩුවීම යන කරුණු කෙරේ අධ්‍යක්ෂ ලයනල් ගුණතිලකයන් සැලකිලිමත් වී ඒවා සංස්කරණය කරමින් කරළියට ගෙන ඒමයි.    

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් 'ජෝන් ද සිල්වා නාට්‍ය පිටපත්' නමින් කෘතියක්ද, 'හනුමාන්' නමින් ශාස්ත්‍රීය පර්යේෂණයක්ද සම්පාදනය කර ඇති අතර පාර්සි නාටක පිළිබඳ සුනේත්‍රා කංකානම්ගේ රචනා කළ ශාස්ත්‍රීය කෘතියේද 'රාමායණය' පිළිබඳ කියවෙන අතර එබැවින් ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් පවසන අන්දමට සංස්කෘතික වේගය ඉතා සීමිත පටු කාලයක් ඇතුළට කොටු වී, නොසන්සුන් යුගයක ජීවත්වන නූතන සමාජයට 'රාමායණය' යනු සහෘද චමත්කාරයක් වීම අනාගත  රසවින්දනයට කදිම ආයෝජනයක් වනු ඇත.

රාවණා රජු අහසින් ගිය රාමායණය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :