ලාභ ලබන ආයතන හැටියට උසස් අධ්‍යාපන ආයතන ඇති කරන්න ඉඩදෙන්න එපා
( චාමර සම්පත් ) 2017-03-20 09:59:38
Comments - 0       Views - 763

රටතුළ පවතින අනිකුත් සියලුම ප්‍රශ්න යටපත්ව මේවනවිට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය ඉස්මතුවී තිබේ. මේවනවිට රටතුළ සයිටම් පක්ෂ පිළ සහ සයිටම් විරුද්ධ පිළ ලෙස කොටස් දෙකකට බෙදී මේසම්බන්ධ විවිධ විසඳුම් යෝජනා කරන අතර, ඇතැම්හු දරුණු ලෙස විරෝධතාවේ යෙදී සිටිති.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විකල්ප විසඳුමක් පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා යෝජනා කරන අතර, මේ සම්බන්ධයෙන් අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.

Q සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔබ යෝජනාකරන විකල්පය කුමක්ද?

මේ වනවිට සයිටම් පක්ෂ පිළ සහ සයිටම් විරුද්ධ පිළ ලෙස දෙපිරිසක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් පක්ෂ පිළ සහ විරුද්ධ පිළ ඉදිරිපත් කරන අන්තවාදී විසඳුම් වෙනුවට මධ්‍යස්ථ විසඳුමක් අවශ්‍යයි. මේසඳහා අවශ්‍ය කරන විකල්පයක් අපි යෝජනා කරනවා. ඒ අනුව සයිටම් වෛද්‍ය විද්‍යාලය මුදල් ගෙවා අධ්‍යාපනය ලබන වෛද්‍ය විද්‍යාලයක් ලෙසට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට අපි යෝජනා කරනවා.

විවෘත විශ්වවිද්‍යාලය දැනටමත් ක්‍රියාත්මක වෙන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් ලෙසට. සයිටම් විශ්විද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කරන ලෙස දීර්ඝකාලීන විසඳුමක් හැටියට යෝජනා කරන්නේ. සයිටම් රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් හැටියට ශික්ෂණ රෝහලක් බවට පත් කරන්න. එතකොට වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ ආණ්ඩුවේ නියාමනයන්ට ඇතුළු වෙනවා. වෛද්‍ය සභාවේ ප්‍රමිතියටත් මෙය ඇතුළත් වෙනවා.

මෙයට ශිෂ්‍යයන් තෝරාගනිද්දි විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හරහා කළ යුතු වෙනවා. එමගින් සයිටම් විශ්වවිද්‍යාල අහෝසි වෙනවා. විවෘත විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය හරහා මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අයිතිය සිසුන්ට හිමිවෙනවා.  ඒවගේම රජයේ විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් නොලබන නමුත්, පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යාමට අවස්ථාවක් නොමැති සිසුන්ට ශිෂ්‍ය ණය මුදලක් ලබාදෙන්නට පුළුවන්.

වෛද්‍යවරයකු වීමෙන් අනතුරුව ඒ අදාළ මුදල් නැවත රජයට ගෙවන පෙරොන්දුව යටතේ එලෙස ණය ලබාදෙන්න පුළුවන්. කොහොමත් දොස්තරලා වෙන්න ලොකු ආසාවක් තිබෙන්නේ සල්ලි හොයන්න නිසා, සල්ලි හොයාගෙන ඒ මුදල් ගෙවිය යුතුයි. මේඅනුව වෛද්‍ය අධ්‍යාපනය නියාමනයට අයත්වෙනවා. අධ්‍යාපනය ලැබීමේ අයිතියත් ආරක්ෂා වෙනවා. මේසමගම තවත් වෛද්‍ය පීඨ කිහිපයක් නිර්මාණය කරන ලෙස අපි ආණ්ඩුවට යෝජනා කරනවා.

Q මෙවැනි විසඳුමකට පැමිණීමේ අවශ්‍යතාව කුමක්ද?

ලෝකයේ දියුණු රටවල් තුළ අධ්‍යාපනය කිසිම අවස්ථාවක වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරලා නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මේ හැමදෙයක්ම නොමිලයේ ලබාදෙනවා කියලා. ලෝකේ හැම රටකම උසස් අධ්‍යාපනයට මුදල් ලබාගන්නවා. පාසල් අධ්‍යාපනය පමණයි නොමිලයේ ලබාදෙන්නේ. මමත් මගේ පශ්චාත් උපාධිය එංගලන්තයේ විශ්වවිද්‍යාලයකයි හැදෑරුවේ. එයට විශාල මුදලක් ගෙව්වා. නමුත් මේ විශ්වවිද්‍යාල ලාභ ලබන ආයතන නොවෙයි.

එහි අධ්‍යාපනය විකුණලා කොටස්වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න යන්නේ නැහැ. එහෙම ලාභ ලබන්න ගියොත් එහි ගුණාත්මකභාවය වැටෙනවා. එවිට ඒවා වගකියන්නේ මුදල්වලට විතරයි. දැන් ඉන්දියාවේ මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. සාන්ත තෝමස් විදුහල ලාභ ලබන පාසලක් නොවෙයි. අධ්‍යාපනය කියන්නේ විශේෂ ක්‍රියාවලියක්. ඒක නියාමනයක් ඇතිව කළ යුතු වෙනවා. ලංකාව තුළ ඒ නියාමනය නැති වෙලා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට වේගයෙන් පත්වීගෙන යනවා. සයිටම් එකත් ඒ වගේ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා. වෛද්‍ය අධ්‍යාපනය එමගින් ලොකු අනතුරකට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒනිසා මෙවැනි විසඳුමක් අවශ්‍යයි.

Q මේ වනවිට සයිටම් තුළ උපාධිය හාදාරාසිටින පුද්ගලයන් සඳහා එවිට යෝජනා කරන විසඳුම කුමක්ද?

මෙයට අන්තර්කාලීන විසඳුමක් අවශ්‍යයි. මෙහි සිටින සුදුසුකම් ලත් වෛද්‍ය සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාදිය යුතු වෙනවා. ඒක අධිකරණ තීන්දුවක්. මේ අය අවසාන වශයෙන් නියම වූ ප්‍රමිතිකරණ විභාගවල පෙනී සිටිය යුතුයි. ඒක වෛද්‍ය සභාව විසින් තීරණය කළ යුතු වෙනවා. තවදුරටත් ඔවුන්ගේ ප්‍රමිතිය හා එයාලා ලබපු පුහුණුව ගැන ගැටලුවක් නම් ඔවුන්ගේ සීමා වාසික කාලය දීර්ඝ කළ යුතුයි. මේ විකල්පය හරහා ගියොත් නිදහස් අධ්‍යාපනයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

Q එවිට නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය ලැබීමේ නිදහස සම්බන්ධයෙන් සයිටම් විරෝධීන් ඉදිරිපත් කරන තර්ක සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

එහෙම කතාකරන අය කන්නංගර ප්‍රතිපත්තියේ වලිගයෙන් අල්ලාගෙනයි කතාකරන්නේ. නිදහස් අධ්‍යාපනය කියන්නේ කන්නංගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් එක්ක ආපු එකක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලයේ අධ්‍යාපනයනම් කන්නංගර මහතාගේ අධ්‍යාපන පනත මේ රටට එන්න කලින්ම අපේ රටේ නොමිලේ අධ්‍යාපන රටාව තිබුණා. ඒක ලන්දේසීන් විසින් ආරම්භ කරපු එකක්. ඒ වගේම සිංහල දෙමළ භාෂාවලින් නොමිලේ අධ්‍යාපනය හදාරන්න විශාල පාසල් සංඛ්‍යාවක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඇති කළා.

නමුත් එහි ජාතිකත්වයක් නැති නිසාත්, එම අධ්‍යාපනය තුළ තේරුමක් නැති නිසාත් බහුතර ජනතාවට නොමිලයේ අධ්‍යාපනය දීමේ අර්ථයෙන් විශාල පාසල් පද්ධතියක් කන්නංගර මහතා නිර්මාණය කළා. ගොඩක් අය හිතනවා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඇති කළ නිදහස් අධ්‍යාපනය කන්නංගර මහතාගේ කියලා. නමුත් කන්නංගර මහතා පවා මුදල්ගෙවා අධ්‍යාපනය ලබන අයට පාසල් ප්‍රමාණයක් ඉතිරිකළා. ඒවා ජනසතු කළේ නැහැ.

ඒ මගින් ඔහු අධ්‍යාපනයේ සමාන අවස්ථා තහවුරු කළා කියලා කියන්න පුළුවන්.  ඒක තමයි නියම අධ්‍යාපන නිදහස. එහෙත් සයිටම් ප්‍රශ්නයත් එක්ක අද වනවිට මතයක් ගොඩනැගිලි තියෙනවා නොමිලයේ පමණක් අධ්‍යාපනය හැදෑරිය යුතුයි කියලා.එමනිසා මුදලට අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපන නිදහසට බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අද විශාල වශයෙන් ටියුෂන් කර්මාන්තය මෙන්ම වෛද්‍ය නොවන උපාධි මුදලට ලබාගන්න අය ඉන්නවා. කොහොම වුණත් ශිෂ්‍යයෝ ඉදිරිපත් කරන නිදහස් අධ්‍යාපන සටන්පාඨවල ලොකු හරයක් නෑ.

Q රාගම පෞද්ගලික වෛද්‍යද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධයේදී මෙන්ම වත්මන් ආණ්ඩුවත් සයිටම් විරෝධය මැඬලීමට කටයුතු කරනවානේද?

රාගම වෛද්‍ය  විද්‍යාලය ආරම්භ කරපු කාලෙත් අද තියෙන ප්‍රශ්නය ආවා. නමුත් අධිකරණය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පක්ෂව තීන්දු දුන්නා. ඒක නිසා වෛද්‍ය ශිෂ්‍යයන්, වෛද්‍යවරුන් පාරට බැහැලා අරගල කළා. ඒ අරගලය විශාල තරුණ භීෂණයක් දක්වා ගියා. අද මම දකිනවා සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ කරපු ආකාරය අන්තිම වැරදියි කියලා. මහින්ද රාජපක්ෂ සමයේ හිතුවක්කාර අන්දමින් විශාල ණය ප්‍රමාණයක් ලබාදීලා රටේ තියෙන නියාමනය ගැනවත් නොසලකා තමයි සයිටම් ගොඩනැගුවේ.

නමුත් එදා කවුරුවත් මේ ගැන කතා කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ රාජපක්ෂ සමයේ තිබුණු ඒකාධිපති පාලනය නිසා. මේ ගැටලුවට සාධාරණ විසඳුමක් සොයාගත යුතුයි. සයිටම් පාර්ශ්වය යෝජනා කරන මතයට එකඟවෙන්න හොඳ නැහැ. ඒ හරහා මේ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා වෛද්‍ය වෘත්තියට විශාල වශයෙන් බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් තුළ තියෙන මේ අන්තවාදී වාමාංශික සටන් පාඨවලින් මේක විසඳන්නත් බැහැ.

මේනිසාම තමයි අපි කියන විකල්පයට යා යුත්තේ. ඒවගේම ජනසතුවාදය බොරු සමාජවාදී සටන්පාඨයක් විතරයි. ඒකෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැහැ. එය ක්‍රියාත්මක කරන්නනම් විශාල වශයෙන් මීනි මරන්න වෙනවා. රැසියාවේ, චීනයේ  වගේ රටවල මිලියන ගණන් මිනිස්සු මරලා තමයි එවැනි යෝජනා  ක්‍රියාත්මක කළේ. ඒ සම්බන්ධ කිසිම වගකීමක් නැතිව තමයි මේ කතාකරන්නේ. ඒ අන්තය විසඳුමක් නොවෙයි.

Q මෙහිදී විරුද්ධ පාර්ශ්ව දෙස ඔබ දකින්නේ කෙසේද?

ආණ්ඩුව මේ සයිටම් අර්බුදයට සාධාරණ විසඳුමක් දෙන්න සාකච්ඡා කරමිනුයි ඉන්නේ. ආණ්ඩුව නිතරම බලන්නේ මෙයට විකල්ප විසඳුමක් ගේන්න. හැබැයි අපි ශිෂ්‍යයන්ගේ අතපය කඩන්න, පැහැරගෙන යන්න, ඝාතනය කරන්න යන්නේ නැහැ. ඔය විරෝධතා මෙහෙයවන්නන්ට මේ මොහොත් අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ මළකඳක් කර ගහගෙන දේශපාලන ගමනක් යන්නයි.  

ඒවගේම මේඅතර කුහක මිනිස්සුත් ඉන්නවා. දොස්තරලා සමහරක් ඒ අතර ඉන්නවා.ඔවුන් පෞද්ගලික රෝහල් වෙත, පෞද්ගලික වෛද්‍ය සේවය වෙත  පක්ෂයි. නමුත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධයි. සයිටම් එකට යන අයත් වෛද්‍යවරු වුණාට පසුව හැමෝම එකම විදිහටයි කටයුතු කරන්නේ. අන්තවාදීන්ගෙන් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න අමාරුයි. කොහොම වුණත් එදා කවුරුත් මේකිසිවකට විරුද්ධ වුණේ නැහැ. අද  ඉන්නේ කාඩ්ඩෝඩ් වීරයෝ ටිකක්.

Q ජාතික හෙළ උරුමයත් මේ සම්බන්ධ විසඳුම් ඉදිරිපත් කළා. ඔබ එම යෝජනා සමග එකඟ නැද්ද?

එම යෝජනා තවදුරටත් සංවර්ධනය කිරීමක් තමයි මම සිදුකළේ. මේක මගේ පෞද්ගලික මතය. මේ අවස්ථාවේ ආණ්ඩුවට සිදුකිරීමට ඉතුරුව තිබෙන්නේ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පමණයි. එහෙම නොවුණොත් එය උසාවියට කරන අපහාසයක්. උද්ඝෝෂණ කරන අය කරන්නේ උසාවියට අපහාස කිරීමයි. ඔවුන් එතරම්වත් ශිෂ්ටසම්පන්න නැහැ.

Q වෛද්‍ය විද්‍යාල ඇති කරන්න විදෙස් විශ්වවිද්‍යාල රටට පැමිණීමට බලා සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වරෙක පවසා තිබුණා. එයට ඔබ විරුද්ධද?

උසස් අධ්‍යාපන ආයතන ඇතිකළ යුතුයි. ඒවා සල්ලි දීලා අධ්‍යාපනය ලබාගන්න ආයතන වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ලාභ ලබන ආයතන හැටියට උසස් අධ්‍යාපන ආයතන ඇතිකරන්න ඉඩදෙන්න එපා. එවිට අධ්‍යාපනයේ මට්ටම වැටෙනවා. ලෝකයේ ආදර්ශ ලබාගෙන අපි කළ යුත්තේ එයයි. ඒවගේම මේ හැමදෙයක්ම ආණ්ඩුවේ නියාමනයට යටත් කරගතයුතුයි. එවිට මේ ප්‍රශ්නය විසඳෙනවා.

Q විශ්වවිද්‍යාල තුළ බාහිර උපාධි කප්පාදුවක් සිදුකරන බවට ආණ්ඩුවෙන් චෝදනා එල්ලවෙනවා. මේසම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

බාහිර උපාධි අනිවාර්යයෙන් නියාමනය වියයුතුයි. ඒතුළත් ප්‍රමිතියක් තිබිය යුතුයි. වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ගැන කතාකිරීමට පාරට බහින කලා උපාධි අපේක්ෂකයන් කලා උපාධියේ ප්‍රමිතිය ගැන වචනයක්වත් කතාකරන්නේ නැහැ. බාහිර උපාධිය විශ්වවිද්‍යාලයේ තිබෙන අභ්‍යන්තර උපාධි මට්ටමට ගෙන ආයුතුයි. පහුගිය කාලයේ ඇතිවුණේ බාහිර උපාධි කඩ. ඒවාතුළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ලබන කිසිම පුහුණුවක් ලැබෙන්නේ නැහැ. හොඳම බාහිර උපාධි ලබන ක්‍රමය තමයි විවෘත විශ්වවිද්‍යාල ක්‍රමය. සමහර විශ්වවිද්‍යාලවල වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත් හොඳම ආදායම් ක්‍රමයක් තමයි බාහිර උපාධිය. සමහර ආචාර්යවරුන් අධ්‍යාපනය විකුණනවාට විරුද්ධයි. නමුත් බාහිර උපාධි දේශන පවත්වන්න යනවා. බාහිර උපාධි ලබාදිය යුතුයි, ඒතුළත් ප්‍රමිතිය උසස් විය යුතුයි.

රටට අවශ්‍ය උපාධිධාරීන් විතරක් නොවෙයි. වැඩිවශයෙන් අවශ්‍ය වෙන්නේ වෘත්තිකයන්. ඒනිසා හැකි තරම් තෘතියික අධ්‍යාපනය වැඩිකළ යුතුයි. උපාධි ප්‍රශ්නය බොහොම සුළුතරයකගේ ප්‍රශ්නයක්. උසස් පෙළින් සාමාන්‍ය පෙළින් ඉවත් වන ප්‍රමාණය තමයි වැඩි. ඇත්තටම ජීවන ප්‍රශ්නයට මුහුණදීලා තියෙන්නේ ඔවුන්. ආණ්ඩුව වැඩි වශයෙන් ඒසඳහා කටයුතු කළ යුතුයි.

ලාභ ලබන ආයතන හැටියට උසස් අධ්‍යාපන ආයතන ඇති කරන්න ඉඩදෙන්න එපා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :