රැකියාවක යෙදෙන කාන්තාවක හිමි ප්‍රසූත නිවාඩු
( . . ) 2017-03-17 17:18:32
Comments - 0       Views - 1607

මාතෘත්වය ලැබීමට සිටින රැකියාවක යෙදෙන කාන්තාවක තමාට හිමි ප්‍රසූත නිවාඩු දින ගණන් පිළිබඳ නිවැරදි වැටහීමක් ලබාගෙන සිටීම ඉතා වැදගත්. මන්දයත් මාතෘත්වය ලැබූ පසු ලැබෙන නිවාඩුව ඔබට ලැබෙන්නේ ප්‍රතිලාභයක් වශයෙනි. 

ඔබ පෞද්ගලික අංශයේ සේවය ලබයි නම් ඔබට පළමු හා දෙවැනි දරු ප්‍රසූතිය සඳහා වැටුප් සහිත නිවාඩු දින 84ක් හිමි වෙයි. 
නමුත් තුන්වැනි දරු උපතේ සිට ඔබට හිමිවන්නේ දින 42ක ප්‍රසූත නිවාඩුවකි. ඔබට මෙම නිවාඩු කාලයට අමතරව නිවාඩු අවශ්‍ය වේ නම් අදාළ හේතු සඳහන්කර නිවාඩු ලබාගත හැකිය. 

ඔබ රාජ්‍ය සේවයේ නිරත කාන්තාවක් නම් ඔබටත් ප්‍රසූත දින 84ක් හිමි වේ. එසේම අර්ධ වැටුප් සහිත නිවාඩු දින 84ක්ද, වැටුප් රහිත නිවාඩු දින 84ක්ද ලබාගැනීමට හැකියාවක් ඇත. ඔබ වතුකරයේ සේවයේ නිරත කාන්තාවක් නම් ඔබට ප්‍රසූත නිවාඩු ලෙස හිමිවන්නේ සති 12ක කාලයකි. මෙය ප්‍රසූතියට පෙර සති 02ක් හා ප්‍රසූතියට පසු සති 10ක් ලෙස ලබාගත හැකිය. 

මෙම නිවාඩුව පළමු දරු උපතට පමණක් හිමිවන අතර, දෙවැනි දරු ප්‍රසූතියේ සිට හිමිවන්නේ සති 10ක කාලයක් පමණි. 
මළදරු උපත් සම්බන්ධයෙන්ද මවගේ කායික හා මානසික සෞඛ්‍ය පිළිබඳ සලකා නිවාඩු හිමිකර දී ඇත. 

කිරි පැය 

සාප්පු හා කාර්යාල ආඥාපනත යටතේ ආවරණය වන සේවකයන්ට කිරි පැය ලබා දී නොමැත. වතු සේවක කාන්තාවන්ට කිරි පැය ලෙස දිනකට විවේක කාල දෙකක් ලෙස කිරි පැය ලබාගත හැකිය. මෙය දරුවාට අවුරුද්දක් වනතුරු පමණක් හිමිය.

1939 අංක 32 දරන ප්‍රසූතිකාගාර පනතේ 12 වගන්තියේ (ආ) කොටසට අනුව මව්වරුන්ට කිරිදීම සඳහා වැඩකරන පැය 09ක කාලය තුළ මවකට සේවය සඳහා පමා වී පැමිණීමට හෝ කල්තියා නිවසට යෑමට අවස්ථාව හිමිකර දී තිබේ. එසේම දිවා සුරැකුම් මධ්‍යස්ථාන රැකියා ස්ථානයේ ස්ථාපිත කර ඇති අවස්ථාවකදීද මව්කිරි ලබාදීම සඳහා කාලය වෙන්කර දීමක් ආයතනය ප්‍රධානියා විසින් ලබාදිය යුතුවේ. 

මෙම සියලු වරප්‍රසාදයන් විවාහක/අවිවාහක ඕනෑම කාන්තාවකට දරු ප්‍රසූතියෙන් පසු හිමිවන අතර, එම වරප්‍රසාද ලබාගැනීම සඳහා ආයතන ප්‍රධානියා ප්‍රසූතියට පෙර සිට දැනුවත් කර තිබීම සිදුකළ යුතුවේ. 

තොරතුරු - කම්කරු දෙපාර්තුමේනතුව

රැකියාවක යෙදෙන කාන්තාවක හිමි ප්‍රසූත නිවාඩු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...