ජන ගී වර්ග හතක්
( . . ) 2017-03-17 12:27:25
Comments - 0       Views - 2238

ශ්‍රී ලාංකික ගැමියන් අතීතයේදී තම වෘත්තීන්වල යෙදෙද්දී ඇතිවන පාලුව කාන්සිය මගහරවා ගැනීමට ගායනා කළ ජනගී තුළින් ඔවුන් එම වෘත්තීන් ආශ්‍රිතව විඳි දුක් කම්කටොලු මනාව පිළිබිඹු වේ.

පැල් කවි

කැලෑ එළිකර, හේන් වගා කරන ගොවියා වගාව ආරක්ෂා කර ගැනීමට දෙබලක් සහිත ගසක පැලක් තනා පැල් රකියි. එහිදී ඇතිවන පාළුව කාන්සිය නිදිමත පලවා හැරීමට ඔවුහු පැල් කවි ගායනා කළහ. එක් ගොවියෙකු අරඹන පැල් කවියට ආසන්නම අනෙක් හේනේ සිටින තැනැත්තාද පිළිතුරු වශයෙන් කවියක් කියයි. හේන් යාය පුරා මෙලෙස දිගින් දිගටම කවි කියැවෙන විට කාන්සිය මඟහැරී සිතට සහනයක් සවියක් දැනෙයි. සතුන්ගේ පැමිණීමද වැළකෙයි.

ගොයම් කවි

ගොයම් කවි කියමින් ගම්බද කෙත්වල ගොයම් කැපීම යල මහ දෙකේම කෙරෙන්නේ උත්සව විලාසයෙනි. මෙහිදී ඇතැම් පළාත්වල මෙය සිදුකිරීමේදී බුම්මැඩියද වාදනය කරනු ලබයි. මෙහිදී සමූහයක් එක්ව මේවා ගායනා කරමින් ගොයම් කැපීම සිදුකරන අතර එහිදී ඔවුන්ගේ වෙහෙස මහන්සිය මෙමගින් වියැකී යයි.

බමර කවි

මෙය පැණි ගැනීමට බඹරවද කැඩීමට යන විටදී ගැමියන් ගායනා කළ ජන ගී වර්ගයකි. විශාල ගල් කුලුවල ඇතුල් පැත්තේ බැඳ ඇති බඹර කඩන ඔවුන් ගල් කුලේ ඉහළ සිට දැමූ කඹයක් වැන්නක එල්ලී බඹරවද කඩයි. එහිදී බොහෝවිට ලණුව අල්ලාගෙන සිටීමට දෙන්නේ තමන්ගේ බිරියගේ සොහොයුරාට නැතහොත් මස්සිනාටය. බඹර කැපීමේදී ඇතිවන දුෂ්කරතා මෙම කවි මගින් කියාපායි. බමර කවියක් පහත දැක්වේ.

බැද්ද වටට සුදු මොර මල්         පිපීලා
සද්ද කර බමරු ඒ වග         කියාලා
ඉටිත් පැණිත් ලොව හැමටම         බෙදාලා
යන්නන් බමරු දුක් මැසිවිලි         කියාලා

පතල් කවි

මෙය මිනිරන් පතල් කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් එම කාර්යයේ යෙදීමේදී ගායනා කළ ජන ගී විශේෂයකි. මොවුන් තමන් කරන රැකියාවේ අවිනිෂ්චිත බව හොඳාකාරවම දනී.මෙහිදී පතල තුළදී ඇතිවන හැඟීම් ඔවුන් මෙම කවි මගින් ප්‍රකාශ කර ඇත. පතල් කවියක් පහත දැක්වේ.

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක්        යට
කන්නේ කරවලයි රට හාලේ        බතට
බොන්නේ බොර දියයි පූරුවේ කළ     පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්           නට

කරත්ත කවි

නූතනයේ මෙන් රථ වාහන නොතිබූ අතීතයේ එකම ප්‍රවාහන සේවය වූයේ කරත්තයයි. එහිදී අතීතයේ භාණ්ඩ ප්‍රවාහනය කළේ කරත්ත මගින් තවලම් යෑමෙනි. මෙහිදී ගමනේදී ඇතිවන වෙහෙස මහන්සිය කරත්තකරුවන් නිවා ගත්තේ කරත්ත කවි කීමෙනි. කරත්ත කවියක් පහත දැක්වේ.

කළුගල් තලාලයි පාරට      දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර   ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර      අදින්නේ
කිරිගල් පොත්තෙ කන්දයි මේ    නගින්නේ

පාරු කවි

පුරාණ කාලයේ මිනිසුන්ට අද මෙන් වැව්, ගංගා වලින් එගොඩ මෙගොඩ වීමට පාලම් නොතිබුණි.ඒනිසා ඔවුන් ගමන් කළේ ඔරු හා පාරුවලිනි. එසේම අතීතයේ ප්‍රවාහන ක්‍රමයක් ලෙසද පාරු භාවිතාවිණි. මේවායින් ගමන් කරනවිට එම ගමනාන්තය තවත් රසවත්වීමට ,වෙහෙස මහන්සිය,පාලුව නිවා ගැනීමට කියන ලද කවි පාරු කවි ලෙස හැඳින්වේ. 

කුරක්කන් ගී

අතීත ගැමියෝ කෘෂිකර්මය පදනම් කරගත් සමාජයක් තුල ජීවත්වූහ. මෙහිදී ඔවුන් ප්‍රධාන වශයෙන් සිදුකළේ වී ගොවිතැන හා හේන් ගොවිතැනය. මෙහිදී හේන් ගොවිතැන සඳහා කුරක්කන්, මුං, බඩඉරිඟු, කවුපි, වැනි දේවල් වගා කළහ. මෙහිදී ගොවීන් කුරක්කන් කපන අවස්ථාවේදී ඔවුන්ගේ වෙහෙස නිවා ගැනීම සඳහා කියූ කවි කුරක්කන් කවි ලෙස හැඳින්වේ.

කුරක්කන් තුනයි වැපුරුවෙ     අමාරුවේ
කපන්ටත් බැරුව අතපය        රුදාවේ
අරින්ටත් බැරුව ලොවගම        සිනාවේ
කපමු නෑනේ ඉපනැල්ලේ        සුබාවේ

ප්‍රියාන් ශෂික

 

 

 

 

 

 

ජන ගී වර්ග හතක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :