උත්සව සමයේ අඩු මිල ගණන් යටතේ හිඟයකින් තොරව පාරිභෝගික අවශ්‍යතා ඉටුකිරීමට සතොස කටයුතු යොදා තිබෙනවා
( නදීශානි පතිරණ ) 2017-03-16 10:38:22
Comments - 0       Views - 504

සීනි හා කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පසුගිය 13 වැනිදා තීරණය කර තිබුණි. මෙම තීරණයත් සමග අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවලද මිලගණන් වෙනස් වීමට වැඩි ඉඩක් ඇති බවට මත පළවන්නට විය. මේ හේතුව නිසාම එළඹෙන උත්සව සමයේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට ලක් සතොස මගින් ගෙන ඇති පියවර පිළිබඳ අප ලක් සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළෙමු.

Q උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමක් සිදුවේවිද?

සාමාන්‍යයෙන් අවුරුදු කාලය වෙනකොට හැකිතරම් අඩු මිලට, පාරිභෝගිකයන්ට සහන සැලසෙන ලෙස පාරිභෝගික භාණ්ඩ සැපයීමට විශේෂයෙන් ලක් සතොස ආයතනය සැලසුම් කරනවා. හාල්, අල, ලූනු, පරිප්පු, හාල්මැස්සෝ ආදී වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පුළුවන්තරම් ඉතාම සුළු ලාභයක් තියාගෙන වැඩි වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමටයි අපි කටයුතු කරන්නේ.

ලක් සතොස වෙළෙඳසැල් හාරසියයකට අධික සංඛ්‍යාවක් අපේ ජාලයේ තිබෙනවා. ඒවා හරහා අපි පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම අලුත් අවුරුද්දට පෙර එකම දිනයකදී ලක් සතොස වෙළෙඳසැල් 50ක් අලුතින් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එය මාර්තු අග භාගයේදී සිදුවේවි. එයිනුත් අපි බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයන් රැසකට පහසුකම් සපයන්නයි.

ඒ වගේම සතොස ශාඛා කිහිපයක් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බෙදාහැරීමේ ජාලය තුළ පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකරන්න අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු සමයේ අපිත් එක්ක ඉන්න භාණ්ඩ සපයන සමාගම්වලින් අපි ඉල්ලීමක් කරනවා හැකිතරම් වට්ටම් ලබාදී පාරිභෝගිකයාට භාණ්ඩ සපයන ලෙසට.

Q කුකුළු මස් හා සීනිවල පාලන මිල ඉවත් කිරීමත් සමග මිල ගණන් ඉහළ යෑමක් උත්සව සමයේදී සිදුවේවිද?

මෙහෙමයි. සීනිවල ප්‍රශ්නය තියෙන්නේ ආනයනික සුදු සීනි මතයි. ආනයනයේදී ඩොලරයේ අගය වැඩි වුණොත් මිල වැඩි වෙනවා. නමුත් සීනි ආනයනය කරන වෙළෙන්දන්ගෙන් සෘජුවම සීනි ලබාගන්නේ ලක් සතොස ආයතනයයි. අපි ඒ නිසා ලංකාවට සීනි ආනයනය කරන මිල සලකලා සුළු ලාභයක් තියාගෙන පාරිභෝගිකයාට සීනි ලබාදීමක් සිදුකරනවා. ඒ නිසා එය ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.  පාලන මිල තිබුණත් පසුගිය කාලේ උපරිම සිල්ලර මිලටවත් සීනි අලෙවි කරන්න අපහසු වුණා.

මොකද සීනී ආනයනය සඳහා වැඩි මිලක් ගෙවන්න සිදුවූ නිසා. ඒ නිසයි පාලන මිල අහෝසි කරන්න රජයට සිදුවුණේ. ඇත්තටම අපේ රටේ සීනී පරිභෝජනය දිහා බැලුවාම සීනී පරිභෝජනය අඩු කළා නම් හොඳ බව පෙනී යනවා. සීනි කියන දේ ශරීරයට වස විස වගේ අහිතකර දෙයක්. ඒ නිසා. වස විස තොර හාල් පරිභෝජනය කරනවා වගේ සීනි පරිභෝජනය ගැනත් හිතන්න ඕන.

ඒ හැර අනෙක් භාණ්ඩ මිල ගණන්වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අපි කුකුළු මස් ගැන බැලුවම අවුරුදු හා උත්සව කාලවලදී කුකුළු මස්වල මිල ගණන් ඉහළ යනවා. හේතුව තමා කුකුළු මස් නිතර පරිභෝජනය නොකරන අයත් කුකුළු මස් පරිභෝජනයට යොමු වීම. බිත්තර සම්බන්ධයෙනුත් තිබෙන්නේ මෙවැනිම තත්ත්වයක්. ඉතින් මේ ඇතිවන තත්ත්ව වළක්වන්න බැහැ.

කුකුළු ගොවිපළ හිමියනුත් මේ කාලෙදි තමයි වැඩිපුර කුකුළු මස් වෙළෙඳ පොළට සැපයීම සිදුකරන්නේ. එවිට මිල ගණන් යම් අඩුවැඩි වීමක් සිදුවෙනවා. මේ නිසයි කුකුළු මස්වලට පාලන මිලක් තබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙන්නේ. අනික කුකුළු කෑම සඳහා අවශ්‍ය වන බඩඉරිඟු ගෙන්වන්නේත් පිටරටින්. එවිට කුකුළු කෑම මිල ගණන් ඉහළ යනවා. එවිටත් මස්වල මිල ගණන් ඉහළ යනවා.

 මේකත් කාටවත් වළක්වන්න බැරි තත්ත්වයක්. ඉතින් අපි නිර්දේශ කරනවා පාරිභෝගිකයන්ට හාල්මැස්සො පරිභෝජනයටත් නැඹුරුවක් දක්වන්න කියලා. ලක් සතොස මේ වෙනකොට තායිලන්තයෙන් ඉතාම උසස් තත්ත්වයේ හාල්මැස්සන් තොග ආනයනය කර තිබෙනවා. ඒවා ඉතා සහන මිල  ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලබාදීමට අපි කටයුතු යොදනවා.

උපරිම සිල්ලර මිල ගණනටත් වඩා අඩුවෙන් හාල්මැස්සො පාරිභෝගිකයන්ට ලබාදෙන්නයි අපි කටයුතු යොදා තිබෙන්නේ.

Q සතොස වෙළෙඳසැල් වලින් පාරිභෝගිකයෙකුට නිකුත් කරන ඇතැම් භාණ්ඩ ප්‍රමාණයන් සීමාකිරීම පසුගිය කාලයේ දැකගත හැකිවුණා. මෙය උත්සව සමයේත් ක්‍රියාත්මක වුවහොත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවෙනවා නේද?

දැන් හාල් අපිට ඕනතරම් දෙන්න පුළුවන්. හාල් හිඟයක් නැහැ. සීනිවලත් හිඟයක් නැහැ. පාලන මිලක් දැන් නැහැනේ. එහෙම සීමා කරලා භාණ්ඩ ලබාදෙන්න දැන් කිසිම අවශ්‍යතාවක් නැහැ. ඉස්සර සීනි ලක් සතොසේ අඩුමිලට දුන්නා. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් අපිට සහනාධාරයක් ලබාදුන්නා. දැන් ඒ ක්‍රමය නැති නිසා අපිට වෙළෙඳපොළ මිලගණන් යටතේ සීනිත් නිදහසේ නිකුත් කළ හැකියි.

Q මෙවර උත්සව සතියේ නිවාඩු දින වැඩි ගණනක් යෙදී තිබෙනවා. ඒ අනුව පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට සතොස ගෙන ඇති පියවරයන් මොන වගේද?

නිවාඩු දින තිබුණට ලක් සතොස විවෘතව තබනවා. අන්තිම මොහොතේ අලුත් අවුරුද්ද ලබනකල් අපි අලෙවිසැල් විවෘතව තබනවා. 14 වැනිදාත් අපිට වෙළෙඳසැල් විවෘතව තබන්න පුළුවන්කමක් ලැබෙනවා නම් එදිනත් සතොස විවෘතව තබන්න අපි උත්සාහ දරනවා.

උත්සව සමයේ අඩු මිල ගණන් යටතේ හිඟයකින් තොරව පාරිභෝගික අවශ්‍යතා ඉටුකිරීමට සතොස කටයුතු යොදා තිබෙනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :