අඩුම මිල තනි පුවරු පරිගණකයේ නව සංස්කරණයක් එළිදකී
( පැතුම් පුංචිහේවා ) 2017-03-16 09:58:24
Comments - 0       Views - 769

මින් වසර කිහිපයකට පෙර වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබූ තනි පුවරු (Single board) පරිගණකයක් වූ Raspberry Pi හි වඩාත් අඩු මිල සංස්කරණයක් Raspberry Pi Zero නමින් පැමිණි අතර, එය වඩාත් ජනප්‍රිය වූයේ ඉහළ මට්ටමේ ශක්‍යතාවයන් තිබෙනා නමුත් එය මිල වූයේ ඩොලර් 5 ක් වැනි මුදලකට නිසාවෙනි. කෙසේ නමුත් මෙහි තිබූ එකම ගැටළුව වූයේ ‍රැහැන් රහිත තාක්ෂණයන් කිසිවක් නොතිබීමයි. එනිසා එයට බාහිරින් සවිකරනා ඩොංගලයක් මගින් ‍රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන් ලබාගැනීමට සිදුවුණි.

කෙසේ නමුත් වර්තමානයේදී බොහෝ කරුණු කාරණා සිදුවන්නේ ‍රැහැන් රහිත තාක්ෂණයන් පදනම් කරගනිමින් වීම නිසා, මෙම පරිගණකයේ නවතම සංස්කරණයක් එළිදක්වා තිබේ. එය Raspberry Pi Zero W යනුවෙන් හැඳින්වෙන අතර, එහි ඇති ප්‍රධානතම යාවත්කාලීන වීම වන්නේ Wi-Fi සහ Bluetooth යන ‍රැහැන් රහිත සම්බන්ධතා තාක්ෂණයන් භාවිත කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් ස්ථාපනය කර තිබීමයි.

මෙම Raspberry Pi Zero W තනි පුවරු පරිගණකයේ විශාලත්වය මාන වශයෙන් ගතහොත් අඟල්. 2.6 x 1.2 x 0.2 ලෙසින් පෙන්වා දිය හැක අප භාවිතා කරනා රුපියල් සියයේ මුදල් නෝට්‍ටුවකටත් වඩා ප්‍රමාණයෙන් කුඩා, තනි පරිපථ පුවරුවක් මත ගොඩනංවා ඇති මෙම පරිගණකය මගින් සැබවින්ම පෙන්වා දෙන්නේ, වර්තමානය වන විට පරිගණක දෘඩාංග තාක්ෂණය පරිණාමයෙන් කෙතරම් ඉදිරියට පැමිණ ඇතිද යන්නත්, පරිගණක දෘඩාංග කෙතරම් ලාභදායී වී ඇතිද යන්නත් වේ. මෙය කෙතරම් කුඩා ප්‍රමාණයක නිමාවකින් යුක්ත වූවත්, මෙහි හැකියාවන් සම්බන්ධයෙන් සලකා බලන විට එය සෑහෙන ඉදිරියකින් සිටී.

මෙම Raspberry Pi Zero W තනි පුවරු පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකය ලෙසින් ඇත්තේ 1GHz single-core ARM11 ප්‍රොසෙසරයකි. එසේම 512MB ප්‍රමාණයේ ‍රැම් මතකයක් තිබෙනා අතර, මතක ධාරිතාවය අවශ්‍ය පරිදි ඉහළ දමාගත හැකි පරිදි MicroSD කාඩ්පතක් ඇතුළත් කිරීමේ හැකියාවද ලබාදී තිබේ. මීට අමතරව මෙහි mini HDMI පෝට් එකක් සහ Micro USB පෝට් දෙකක්ද තිබේ. එම Micro USB පෝට් දෙකින් එකක් භාවිතා වන්නේ මෙම තනි පුවරු පරිගණකය බලගැන්වීම සඳහායි. එසේම අමතර සම්බන්ධතාවයන් සඳහා HAT-compatible 40-pin header පෝට් එකක්ද මෙහි තිබේ. ‍රැහැන් රහිත සම්බන්ධතාවයන් සලකා බලන විට මෙහි 802.11 b/g/n wireless LAN, Bluetooth 4.1 සහ Bluetooth Low Energy (BLE) හැකියාවන් ස්ථාපනය කොට ඇත.

මෙම Raspberry Pi Zero W පරිගණකය සාමාන්‍ය පරිශීලකයෙකුට වඩා වැදගත් වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ නිපැයුම්කරුවන්ට වේ. එසේම ඔබ ප්‍රමාණවත් කුතුහලයකින් යුක්ත අයෙකු නම්, ඔබේ පරිකල්පනය මෙහෙයවා විවිධ නිපැයුම් නිවසේදීම නිර්මාණය කරන්නට සිතන්නේ නම්, ඒ සඳහා පරිගණක බලය සැපයීමටද මෙම තනි පුවරු පරිගණකය අතිශයින්ම සුදුසු වනු ඇත.

මෙහි පූර්වජයා වූ Raspberry Pi Zero තනි පුවරු පරිගණකය මෙන් Raspberry Pi Zero W පරිගණකය ඩොලර් 5 කට මිල කිරීමේ හැකියාවක් නැතත්, තවමත් එහි මිල වන්නේ ඩොලර් 10 ක් පමණි. මෙය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී තවත් මුදලක් එකතු විය හැකි වූවත්, වර්තමානයේ වෙළෙඳපොළේ ඇති මූලික ජංගම දුරකථනයකටත් වඩා තවමත් මෙහි මිල අඩු මට්ටමක තිබේ.

KW-1795-3-1000x667 Raspberry-Pi-Zero-Version-1.3-new-777x437 Untitled-1 copy

අඩුම මිල තනි පුවරු පරිගණකයේ නව සංස්කරණයක් එළිදකී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :