සැබැවින්ම පාතාලය අවජාතකද?
( . . ) 2017-03-15 11:50:35
Comments - 0       Views - 245

පාතාලයේ අවි හිටි හැටියේ සක්‍රීය වීමත් සමග යළිත් 'පාතාලය' නිරතුරුවම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. පාතාලයේ කෙරුම් ගැනත්, කෙරුම්කාරයන් ගැනත් කතා කරන අප, පාතාලයට උපත දී පෝෂණය කළේ කවුදැයි යන්න පිළිබඳ කතා කිරීමට තරම් නිහතමානී වී නැත. සැබැවින්ම පාතාලය අවජාතක නැත.

පැහැදිලි සත්‍ය නම් එය සුජාත කිරීමට සමාජයේ ඔබ අප සියලුදෙනාම වගකිව යුතුය යන්නයි. එබැවින් පාතාලය නැතිකර දැමීම අප සියලුදෙනා වෙතම පැටවුණු වගකීමක් සේ සලකා ක්‍රියා කළයුතු කාලය දැන් එළැඹ තිබේ. එම සමාජ වගකීමේදී අපගේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කරන්නේ ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් මහතාය. 

“අපගේ සමාජය තුළ ඉස්සර බොහෝ චණ්ඩින් හිටියා. ඔවුන් හොඳ හැඩිදැඩි සිරුරක් තිබෙන, කිහිපදෙනෙක් සමග වුණත් තනිවම සටන් වදින්න පුළුවන් පිරිසක්. ගමේ බොහෝදෙනා තුළ ඔවුන්ට තිබුණේ එක්තරා ආකාරයක ගෞරවයක්. මොකද ඔවුන් තමයි ගමේ ඕනෑම පොදු කටයුත්තකදී මූලිකත්වය ගෙන වැඩ කළේ. විවිධ අසාධාරණකම්, අකටයුතුකම්වලට එරෙහිව පෙනී සිටියේ. නමුත් එය නරක අතට හැරිලා එහි දිගුව තමයි අද අපි මේ කතා කරන පාතාලය බවට පත්වෙලා තිබෙන්නේ. 

මේ නරක අතට හැරුණු පාතාලය ඉතාමත් වේගයෙන් වර්ධනය වෙන්නට පටන් ගත්තා. ඒ 1977න් පසු ඇතිවුණ විවෘත ආර්ථිකයත් සමග හටගත් සමාජ ක්‍රමය තුළයි. මේ විවෘත ආර්ථිකයත් සමග රටේ දේශපාලනික, ආර්ථික සහ සමාජයීය කරුණු කාරණා බොහෝසෙයින් වෙනස් වුණා. විවෘත ආර්ථිකය පැමිණීමට පෙර තිබූ දේශපාලනය ගැන කතා කරද්දී ඒ දේශපාලන වේදිකාවල තරග වැදුණේ සමාජයේ පිළිගැනීමක් තිබෙන උගත් ප්‍රභූ පුද්ගලයන්. ඔවුන්ට විශාල සමාජයීය දැනුමක් තිබුණා. ජනතාවගෙන් පවා ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ හරහා ජනතාවගේ අවශ්‍යතාව මතයි ඔවුන් දේශපාලනයට පිවිසුණේ. එම පිරිස් දේශපාලනයට පිවිසෙන්නට පෙර මිලමුදල් තිබුණ පිරිස්. එම නිසා පැහැදිලිවම දේශපාලනයට ඇවිත් මුදල් හරිහම්බ කරගන්න අවශ්‍යතාවයක් ඔවුන්ට තිබුණේ නැහැ.

නමුත් පසුකාලීනව මේ විවෘත ආර්ථිකයත් සමග අපේ දේශපාලන සංස්ථාව උඩුයටිකුරු වෙන්නට පටන් ගත්තා. මේ දේශපාලනයට මුදල් භාවිතය, වරප්‍රසාද ඇතුළත් වුණා. ඒ අනුව මුදලට සහ වරප්‍රසාද ලබාගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයන් දේශපාලනයට අවතීර්ණ වුණා. ඒ අයගෙන් බහුතරයක් කිසිදු සමාජ පදනමක් නැති, අසාධාරණ ලෙස පාදඩ ක්‍රියාවල නිතර වෙලා මුදල් හම්බ කරගත් පිරිසක් වුණා. ඒ එක්කම මනාප ඡන්ද ක්‍රමය ඔස්සේ පාර්ලිමේන්තුවට පත්වෙන්න විශාල තරගයක් ඇති වුණා.

ඒ වාතාවරණය තුළ තම ප්‍රතිවාදියාගේ ජීවිතයට වටිනාකමක් දෙනවාද? නැත්නම් තමන්ගේ ඡන්දය වැඩි කර ගන්නවාද හිතන තරමට මිනිස් ජීවිත හෑල්ලුවට ලක්වෙන්නට පටන් ගත්තා. ඒ අනුව එම දේශපාලන කණ්ඩායම් තම විරුද්ධවාදීන් මර්දනය කරන්න, ඝාතනය කරන්න, මේ මැරයන් මුදලට අරන් ඔවුන්ව පෝෂණය කරන්න, බලය ලබාගෙන ඔවුන්ව ආරක්ෂා කරන්න, කටයුතු කළා. මේ හරහා තමයි පාතාලය නිර්මාණය වෙන්නේ. 

පාතාලය සමග දේශපාලන සබඳතා තිබෙනවා කියලා සමාජයේ තිබෙන මතය පැහැදිලි සත්‍යයක් බව එමගින් පෙනෙනවා. මෑතකදී සිදුවුණු 'සමයං' කියන පාතාල සාමාජික තරුණයාගේ ඝාතනය උදාහරණයකට ගත්තොත් එහිදී නිරන්තරයෙන් කතාබහට ලක්වුණු දෙයක් තමයි මේ පිටුපස දේශපාලනයකුත් තිබෙනවාය කියන කාරණය. සමයංට එක දේශපාලනයකුත්, ඔහුව ඝාතනය කළ අයට තවත් දේශපාලනයකුත් වශයෙන් ඔවුන්ට දේශපාලනික බලවත් වීම් දකින්න තිබුණා. 

මේ විෂමාචාර යාන්ත්‍රණය තුළ පොලීසිය බොහෝ අසරණ වෙනවා. එක්තරා කාලයක් තිබුණා පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේදී අදාළ ප්‍රදේශයේ ප්‍රධාන ආසන සංවිධායකවරයාගේ නිර්දේශය අවශ්‍ය වන. එතැනදී සැබෑ ලෙසම ආසන සංවිධායකවරයා තම නිර්දේශය ලබාදෙන්නේ තමන්ට හිතවත් පොලිස් පරීක්ෂකවරුන්ට පමණයි. ඒ නිර්දේශය ලබාගෙන පත්වන පොලිස් ස්ථානාධිපතිවරයාට අනිවාර්යෙන්ම සිදුවෙනවා තමන්ට නිර්දේශ ලබාදුන්න ආසන සංවිධායකවරයාට කීකරු වෙන්න. එතැනදී දේශපාලනඥයාගේ එක් පැත්තකින් පාතාලයක් සිටිනවා. පාතාලකරුවන් ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකම මැද සිටින දේශපාලනඥයා විසින් පොලීසිය නිහඬ කරවනු ලබනවා. 

මේ ක්‍රියාදාමය තමයි එදා වගේම අදත් සිදුවන්නේ. සමහර මිනිස්සු අපි දැක තිබෙනවා තම විරුද්ධවාදීන් මර්දනය කරන්න පාතාල ක්‍රියාකාරීන් මුදලට යොදා ගන්නවා. තවත් පිරිසක් තමන්ට සිදුවන අසාධාරණකම් ගැන පැහදිලි කරන්නේ පොලීසියට නෙවෙයි, ඒ ප්‍රදේශයේ සිටින මැරවරයන්ට. මොකද ඒ මැරයාට තිබෙන භය නිසා පොලීසියට වඩා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය දේ ඉටුකරගන්නට හැකිවෙනවා. ඒ අනුව හොඳින් පෙනී යනවා මේ පාතාලය පෝෂණය කරන්න ඍජුවම දේශපාලනයත්, වක්‍රාකාරව පොලීසියේ සමහර පිරිස් සහ ජනතාවත් දායක වී තිබෙන බව. 

මීළඟට අපි පාතාලයේ හටගැනීමට සමාජයේ බලපෑම ගැන කතා කරනවා නම් හොඳින් බලන්න මේ පාතාල සාමාජිකයන්ගේ සාමාජීය පසුබිම දෙස. ඔවුන්ට ලොකු ජීවිත වටිනාමක් නැහැ. සමහරු දෙමව්පියෝ ගැන දන්නෙ නැහැ. සමහරු කුඩා කාලයේ සිටම පවුලෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් විවිධාකාරයේ පීඩාවන්ට, අතවරයන්ට ලක්වුණ පිරිස්. ඇත්තටම අද මේ බිහි වී තිබෙන මුදල, බලය මූලික කරගෙන ගොඩනැගී ඇති සමාජ ක්‍රමය ඇතුළේ මිනිස් ජීවිත වලට, මනුෂ්‍යත්වයට ලැබී තිබෙන තැන බොහෝ හෑල්ලු වෙලා තිබෙනවා.

ආත්මාර්ථකාමීත්වයෙන් පිරී ගිය සමාජයක් අද බිහිවෙලා තිබෙනවා. අපි දකිනවා රටේ යටිතල පහසුකම් සංවර්ධනයට වඩා ජනතාව තුළ සංවරය කියන දේ ඇති කළ යුතුයි කියලා. අප සියලුදෙනා අපගේ හෘදසාක්ෂියට එකඟව නිවැරදි ආකල්පයන් සහිතව ජීවත් වීමට කල්පනා කළයුතු කාලයක් මෙය. සියලුදෙනා තම තමන්ගේ සමාජ වගකීම් අවබෝධ කරගත යුතුයි. 

සමයං මිය යන්නට පෙර හෙළිකොට තිබුණා ඔහු එම තත්ත්වයට පත්වෙන්නට හේතුව. ඔහුටත් ඔහුගේ මවටත් සිය ඥාතීන්ගෙන් සිදුවූ අසාධාරණකම් ඔහු හෙළි කළා. එදා ඔහුටත් ඔහුගේ මවටත් සාධාරණය ඉටුවූවා නම්, ඔවුන් වෙනුවෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වුණා නම් සමයං කෙනෙක් බිහි නොවන්නට ඉඩ තිබුණා. සමයංගේ පමණක් නොවෙයි බොහෝ පාතාල ක්‍රියාකාරීන්ගේ ජීවිත කතාව තමයි ඕක. නීති දාහක් ගෙනාවත් වැඩැක් වෙන්නේ නැහැ ජනතාවගේ ආකල්ප වෙනස් නොවෙනවා නම්.

ඒ සඳහා රටේ දැඩි සහ ශක්තිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය වැනි ආයතන මීටත් වඩා විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව සහ සංවිධානාත්මකව ක්‍රියාත්මක විය යුතුයි. අද සමහර මිනිස්සු මේ පාතාල සමාජිකයන් ගැන පොලීසියට පැමිණිලි කරන්න බිය වෙනවා. මොකද පැමිණිල්ල සිදුකරලා ඔහු ගෙදරටත් එන්න කලින් පොලීසියෙන් පණිවුඩය යනවා පාතාල සාමාජිකයාට ඔයාට විරුද්ධව මෙහෙම කෙනෙක් පැමිණිලි කළා කියලා. 

ඇත්තටම නීතිය ගැන ජනතාවගේ විශ්වාසය හීන වී ගොස් තිබෙනවා. ජනතාවට තමන්ගේ ආරක්ෂාව ගැන ආනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙනවා. එම තත්ත්වය වෙනස් කරගන්න මේ අදාළ ආයතන නිසි අයුරින් කටයුතු කළ යුතුයි. පාතාලය අද එක්තරා ආකාරයකින් දියුණු වී තිබෙනවා. ඊට මුහුණ දිය හැකි ආකාරයෙන් පොලීසිය සතු සම්පත් හා උපකරණ නවීකරණයට ලක් කළ යුතුයි.

පාතාලය මර්දනයට STF යෙදවීම ගැන ජනතාව තුළ විශ්වාසයක්, ප්‍රසාදයක් තිබෙනවා. ඒ විශ්වාසය හා ප්‍රසාදය සාමාන්‍ය පොලීසිය කෙරෙහි ඇතිවන ආකාරයට මේවා ප්‍රතිසංවිධානය කිරීම වැදගත් වෙනවා. අවසාන වශයෙන් අප සියලුදෙනා සිතා බැලිය යුතුයි තවත් සමයංලා, වම්බොට්ටලා, නාවල නිහාල්ලා බිහිකරනවාද, එහෙමත් නැත්නම් ඔබ අප ජීවත් වන මේ සමාජයේ සියලුදෙනාම සුරක්ෂිත සහ මානව හිතවාදී කරන්නට සිය සමාජ වගකීම ඉටුකරනවාද කියා''

සටහන - නදුන් ශ්‍යාමාල් 

Untitled2 violent-crime

 

සැබැවින්ම පාතාලය අවජාතකද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :