පොලීසියේ බුද්ධි අංශ ප්‍රබලනම් ඔවුන් දැනගත යුතුයි උද්ඝෝෂණ පාරට එන්න කලින් වාරණ නියෝග අරගන්න
( නදීශානි පතිරණ ) 2017-03-15 11:14:57
Comments - 0       Views - 374

විරෝධතා පාගමන් සංවිධානය කිරීම හා උද්ඝෝෂණ කිරීම මානව හිමිකමක් ලෙස විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන් තහවුරු කර තිබේ.

නමුත් අපේ රටේ මෙම අයිතිවාසිකම භුක්ති විඳින බොහෝ අවස්ථාවන්වල විරෝධතාකරුවෝ අනෙක් මගී ජනයාගේ ගමන්බිමන් යෑමේ අයිතිවාසිකමට බාධා එල්ලකරන අයුරින් හැසිරෙති. එසේම විරෝධතාකරුවන් විසුරුවීම සඳහා පොලීසිය විසින් අනුගමනය කරන ක්‍රියාවන් සේම විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට සිදුකරන ගල්මුල්වලින් පහරදීමේ අවස්ථාවන්ද ක්‍රමයෙන් සාමාන්‍ය සිදුවීම් බවට පත්වෙමින් තිබේ.

මෙවන් සිදුවීම් පිළිබඳ මෑතකාලයේ උදාහරණ රාශියක්ම පවතින අතර, පෙරේදා (13දා) සයිටම් ආයතනයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සිදුකළ විරෝධතා පාගමන අාසන්නම උදාරණය ලෙස සඳහන් කළ හැකිය. එකිනෙකාගේ මානව හිමිකම් අතර දෝලනය වන මෙම කාරණාව පිළිබඳ නීතිමය විපරමක් අප මෙලෙස සිදුකරනු ලැබුවේ ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙනි. 

Q විරෝධතා පාගමන් සහ උද්ඝෝෂණ සංවිධානය අයිතිවාසිකමක් ලෙස තහවුරු වන්නේ කෙසේද?

ලංකාව 1948 විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට 1955 වසරේදී අත්සන් තබා තිබෙනවා. එය ලෝකයේ රටවල් 193ක්ම අත්සන් කර පිළිගෙන තිබෙන ප්‍රඥප්තියක්. එම ප්‍රඥප්තියේ අඩංගු කරුණු 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණා. ඒ වගේම 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියටත් අපි අත්සන් තබා තිබෙනවා.

එහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා ජනතාවට උද්ඝෝෂණය කිරීමට හා අදහස් දැක්වීමට, තොරතුරු ලබාගැනීමට අයිතියක් ඇති බව. ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් ‍වෙනවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව. එවිට ජාත්‍යන්තර නීති අනුව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට උද්ඝෝෂණ නිදහස ඇතුළත් කර තිබෙනවා. මීළඟට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විශාල ප්‍රමාණයක් තිබෙනවා.

හදිසි නීතිය තිබෙන කාලෙක වුණත් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන ලැබුවා. එහි හොඳම නඩු තීන්දුව තමා විවියන් ගුණවර්ධන එදිරිව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති හෙක්ටර් පෙරේරා නඩු තීන්දුව. එහි සිදුවීම තමයි කාන්තා දිනයකදී විවියන් ගුණවර්ධන ඇතුළු පිරිසක් සාමකාමී උද්ඝෝෂණයක පේමන්ට් එක දිගේ පැමිණියා. එම උද්ඝෝෂණය අරලියගහ මන්දිරය ඉදිරියෙන් යන නිසා අරලියගහ මන්දිරය ඉදිරිපස මාර්ගය අවහිර වන බව සඳහන් කරමින් බාධක යොදන්නට පොලීසිය කටයුතු කළා. එම බාධක බිඳගෙන ඉදිරියට ගිය විවියන් ඇතුළු පිරිසට හෙක්ටර් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පහර දුන්නා.

මෙම සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ අතුකෝරළ විනිසුරුවරයා ඇතුළු විනිසුරු මණ්ඩලයක් තීරණය කළා විවියන් ගුණවර්ධනට උද්ඝෝෂණය කිරීමේ අයිතියක් ඇති බවත්, එම අයිතිය උල්ලංඝනය කළ නොහැකි බවත්. එලෙසම 1994 වර්ෂයේ ජනඝෝෂා නඩු තීන්දුවත් වැදගත් නඩු තීන්දුවක් ලෙස දැක්විය හැකියි. එහිදී බඩු මිලට එරෙහිව ජනතාව දේවාලය ඉදිරිපිට පාරේ හට්ටි මුට්ටිවලට ගසමින් පදික මංතීරුවේ විරෝධතාවක යෙදුණා. මෙය දේශපාලඥයන්ට රිදුණු නිසා පොලීසියට දැන්වුවා ගිහින් විරෝධතාකරුවන්ට පහර දෙන ලෙස.

පොලීසිය පහර දුන්නත් විරෝධතාකරුවන් නැවත නැවත විරෝධතාවේ නිරත වුණා. මෙම සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවූ පසු උද්ඝෝෂකයෝ ජයග්‍රහණය කළා. එයට හේතුවුණේ සාමකාමී උද්ඝෝෂණයට ඇති අයිතියයි. නමුත් අපි පිළිගත යුතු දෙයක් තමා ඕනෑම අන්තර්ජාතික සම්මුතියකින් පිළිගෙන තියෙන භාෂණයේ, ප්‍රකාශනයේ, උද්ඝෝෂණයේ නිදහස සීමාවලට යටත් වෙනවා. ඒ සීමාවලින් එකක් තමයි අන් අයට පීඩා, කරදර සිදුනොකළ යුතුය යන්න.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාත්, ජාතික ආරක්ෂාව රැකීම සඳහාත්, රාජ්‍ය ආරක්ෂාව සඳහාත් මේ අයිතීන් සීමා කළ හැකියි. නමුත් ව්‍යවස්ථාවේ කොතැනකවත් රාජ්‍ය ආරක්ෂාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නවත්, ජාතික ආරක්ෂාව යන්නවත් මහජන සෞඛ්‍ය, ජාතික ආර්ථිකය යන්න පිළිබඳවත් විග්‍රහ කර නැහැ. නිකන් වචන ටිකක් තියෙනවා විතරයි. මේවා මොනවද කියලා අපිට සලකා බලන්න වෙන්නෙ විදෙස් නඩු තීන්දු අරගෙනයි.

Q එලෙස සලකා බැලූ නඩු තීන්දු තිබෙනවාද?

නැහැ, පිටරට නඩු තීන්දු ලංකාවේ බලපැවැත්වෙන්නේ නැහැ. ඒවා අපිට ආදර්ශයක් ලෙස නඩුවේදී ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඒවාට බැඳිලා නැහැ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ අවස්ථාවලදී උද්ඝෝෂණ සිදුවීම්වල උද්ඝෝෂකයන්ගේ අයිතිය පිළිගෙන තිබෙනවා පොලිස් පහරදීම්වලට වඩා.

Q උද්ඝෝෂණය අයිතිවාසිකමක් වුවත් උද්ඝෝෂණයන්ට එරෙහිව වාරණ නිකුත් කරන ආකාරයක් මෑතකාලීනව බහුලව දැකගත හැකියි?

උසාවි නියෝග රැල්ල අපේ රටට ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ තමයි මහේස්ත්‍රාත් උසාවිවලින් නියෝග අරන් උද්ඝෝෂණ නැවැත්වුවේ. ලංකාවේ මේ රැල්ල තිබුණු දෙයක් නොවෙයි. එදා උසාවියට ගියාම මහේස්ත්‍රාත්වරුන්ට පේනවා මූලික අයිතිවාසිකම් කියන එක වඩාත් ඉහළින් තිබෙන බව. ඒ නිසා ඔවුන් කියන්නේ සාමාන්‍ය පොලිස් බලය යොදලා ආරක්ෂාවට තර්ජනයනක් එනවානම් පමණක් ක්‍රියා කරන්න කියලයි. ඔවුන් අතුරු නියෝග නිකුත් කරන්න යොමුවුණේ නැහැ.

නමුත් දැන් පොලීසිය ගිහින් මහේස්ත්‍රාත් උසාවියට කරුණු වාර්තා කළාම වාරණ නියෝගයක් ලබාදෙනවා. එවිට වාරණ නියෝගය උද්ඝෝෂකයන් ඉදිරියේ කියවනු ලබනවා. නැත්නම් ඔවුන්ට ලබාදෙනවා. නමුත් උද්ඝෝෂකයන් කරන දේ තමයි මෙම නියෝග තැකීමට නොගෙන අපිට නියෝගය ලැබුණෙ නැහැ කියන එක. පොලීසියේ බුද්ධි අංශ ප්‍රබලනම් ඔවුන් දැනගත යුතුයි උද්ඝෝෂණ පාරට එන්න කලින් වාරණ නියෝග අරගන්න. දැන් පොලීසිය වාරණ නියෝග අරන් යන්නෙ අවසන් මොහොතේදී.

එවිට ප්‍රශ්න ඇතිවෙනවා. අනික ලංකාවේ තිබෙන ප්‍රධාන දුර්වලතාව තමයි උද්ඝෝෂණය කරන්න නිශ්චිත ස්ථාන ලබානොදීම එය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සිදුකළ යුත්තක්. උදාහරණ ලෙස ලංකාවේ ගෝල්ෆේස් පිට්ටනිය , කොටුව දුම්රියපළ ඉදිරිපිට ආදී අවහිර නොවන ස්ථාන නම්කළ හැකියි. දැන් උද්ඝෝෂකයන් එන්නෙ ටවුන් හෝල් එකට, නැත්නම් ප්‍රධාන වටරවුම්වලට. එවිට ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ගමන්බිමන් යෑමේ අයිතිය උල්ලංඝනය වෙනවා.

උද්ඝෝෂකයන් මුළු පාරම අවහිර කරනවා. මේ අයිතීන් දෙක කොහොමද මේවගේ තැන්වලදී ආරක්ෂා කරන්නෙ. උද්ඝෝෂකයනුත් සදාචාරාත්මක ලෙස බලන්න ඕන අනෙක් අයගේ මූලික අයිතීන් උල්ලංඝනය නොවන ලෙස කටයුතු කරන්න. මෙවැනි අවස්ථාවක පොලීසිය ගිහින් අධිකරණයේ කරුණු වාර්තා කරන්නෙ උද්ඝෝෂණය නිසා අනෙක් අයගේ අයිතිවාසිකම් නැති කිරීම පිළිබඳවයි.

Q රජය උද්ඝෝෂණ පැවැත්වීම සඳහා ස්ථාන වෙන්කිරීමට ගෙනා යෝජනාවට විරුද්ධව මත ඉදිරිපත් වෙනවා නේද?

ඔව්, නමුත් අපි අනෙක් රටවල් ගැන සලකා බැලුවම කැනඩාව, ඔස්ට්‍රේලියාව, ලන්ඩන්, ජිනීවා නුවර යන සෑම තැනක්ම ගත්තම උද්ඝෝෂණය සඳහා නිෂ්චිත ස්ථාන නම් කර ඇති බව පෙනීයනවා. 2014 වර්ෂයේ මම ජිනීවා නුවර ඉද්දී උද්ඝෝෂණය කරන්න වෙන්කළ තැනක ඩයස්පෝරා සාමාජිකයන් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් එම ස්ථානය මදියි කියල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කඩාවදින්නට උත්සාහ කළා. මානව හිමිකම් කවුන්සිලයට කඩාවදින්න ඔවුන් තැත්කළ විට කඳුළු ගෑස් වෙනුවට විරෝධකරුවන් වෙත එල්ලකළේ ගම්මිරිස් මිශ්‍ර ජලයයි. එහෙම බැලුවම අපේ පොලීසිය හොඳයි.

ජාත්‍යන්තරයේ මානව හිමිකම් රකින කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණය විසුරුවා හැරියේ එදා එලෙසයි. අපේ අය තාම ඒවගේ සමුළුවලට කඩා පනින්න උත්සාහ කරලා නැහැ. ඒ නිසා කරන්න ඕන හොඳම දේ තමයි උද්ඝෝෂණය කරන අයගෙන් කිහිපදෙනෙකුට තමන්ගේ ඉල්ලීම් ප්‍රකාශයක් ලෙස සකස් කරලා අදාළ වගකිවයුතු පාර්ශ්වය වෙත භාරදීම හැකිවන ආකාරයේ අවස්ථාව ලබාදීම. මෙය මීට පෙර අපේ රටේ සාධාරණ ලෙස සිදුකර තිබෙනවා.

නමුත් ශිෂ්‍යයන්ගේ ගැටලුවලදී වගකිවයුත්තන් ශිෂ්‍යයන්ව ගණන් අරගෙන කටයුතු කරලා නැහැ. ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඇහුම්කන් දෙන්නෙ නැහැ. ඔවුන්ව අපිට එපා කියලයි කටයුතු කරන්නෙ. මේ තත්ත්වේ තිබෙනකන් කවදාවත් මේ ප්‍රශ්න විසඳන්න බැරිවෙයි. වෛද්‍යවරු උද්ඝෝෂණය කළොත් පාරවල් වහගෙන රජය ඔය විදිහටම කටයුතු කරයිද? නමුත් හැමෝම ඉවසගෙන ඉන්නවා ඔවුන් වෘත්තිකයන් නිසා.

මෙතැනදී තරුණ හඬ තරුණ ජවය අද හරිම ශක්තිමත්. ඒ නිසා ඔවුන් පාලනය කරන්න විදියක් හදාගත යුතුයි. තරුණයන් උද්ඝෝෂණයේ එද්දී පහරදීලා එලවලා දාන තැනට කටයුතු සලස්වා ගන්නෙත්, ඔවුන් දන්නවා ඒ විදිහට වුණේ නැත්නම් ප්‍රචාරණයක් ලැබෙන්නෙ නැහැ කියලා. දැන් බලන්නකෝ HND එකට විරුද්ධව ශිෂ්‍යයන් බණ්ඩාරවෙලදී උද්ඝෝෂණය කළා.

එහිදී එකපාරටම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එතැනට පැමිණ තේ, බිස්කට් ආදියෙන් සිසුන්ට සංග්‍රහ කරලා උද්ඝෝෂණයට සහයෝගය ලබාදුන්නා. නමුත් අවසානයේ ළමයි කිව්වේ උද්ඝෝෂණය අසාර්ථක බව. ලංකාවේ දැන් ප්‍රවණතාවය වෙලා තියෙන්නෙ පොලීසියෙන් පහර කාලා ප්‍රවෘත්ති සිරස්තලවලට සිදුවීම අරගෙන යෑමේ දුර්වල උත්සාහයක්. 

1993 මැයි දිනය තහනම් කළ අවස්ථාවේ අභයාරාමයේ පැවැති උද්ඝෝෂණයකදී පොලීසියට ගල්මුල්වලින් පහර දුන්නා. ඒ අවස්ථාවේ පොලීසිය ඇතුළට ඇවිත් වෙඩි තැබූ නිසා එක් අයෙක් මියගියා. එවැනි අයුරේ පොලිස් බලතල ඉක්මවා කටයුතු කළ අවස්ථාවන් අපිට දැකගත හැකියි.

Q උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය බලය යෙදිය යුත්තේ කෙසේද?

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට අවම බලයයි පාවිච්චි කළ යුත්තේ. කඳුළු ගෑස් ළමයින්ට එල්ල කරලා ගහන්න බැහැ. රබර් බුලට්වලින් වෙඩි තියන්න බැහැ, ජීව උණ්ඩ පාවිච්චි කරන්න බැහැ කියලා අධිකරණ තීන්දු තිබෙනවා. කදුළු ගෑස් ගහනවා නම් ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. පෙරේදා එස්.ටී.එෆ්. එකත් හිටියා, කැරළි මර්දන ඒකකයත් හිටියා. මේ වගේ ගැටලු අපේ රටේ තිබෙනවා.

Q පොලීසිය විරෝධතාකරුවන්ට එල්ල කරන කදුළු ගෑස්, ජල ප්‍රහාර ජනතාව වෙතත් යොමුවනවා. මෙහිදී මගී ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා නේද?

අනිවාර්යයෙන්ම. පදික වේදිකාවල ගමන්කරන අයටත්, වාහනවල ගමන් කරන අයටත් මෙම ප්‍රහාරවලට මුහුණදෙන්න සිදුවෙනවා. එවිට අනිවාර්යයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා. එනම් ගමන්බිමන් යෑමේ අයිතිය අහිමි කිරීම. එයට පොලීසියත් යම් ආකාරයට මැදිහත්වී තිබෙනවා. පොලිස් ප්‍රහාර නිසා මගී ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්නම් මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පූර්ණ අයිතියක් තිබෙනවා.

උද්ඝෝෂකයන් මෙවැනි අවස්ථාවල ඔවුන්ගේ ආරක්ෂාව පිණිස මගී ජනතාව සමග මිශ්‍ර වෙනවා. එදා ත්‍රස්තවාදීන් සිදුකළෙත් මෙයම තමා. මේ මිශ්‍රවීමේදී උද්ඝෝෂකයන් මගීන් පළිහක් කරගන්නවාද කියන එක සිතා බැලිය යුතුයි. කොහොම වුණත් පොලිස් නිලධාරීන් මීට වඩා බුද්ධියෙන් ක්‍රියාකළ යුතුයි. මොකද ඒ ආකාරයෙන් පහර දෙන්න, හිරිහැර කරන්න, කඳුළු ගෑස් ගහන්න කිසිම අයිතියක් නැහැ.

දැන් පොලීසිය කියනවානේ උදේට පැය භාගයක් භාවනා කරලා එන්නෙ කියලා. ළමයින්ව දැක්කම ඒ භාවනාව කොහේ යනවද දන්නෙ නැහැ. ඇත්තටම මේ එන්නෙ අපේ ළමයිනේ, ඉතිං ඔවුන්ව මෙල්ල කරගන්න පුළුවන්නෙ. ඉතිං අපි කොයිතරම් උත්සාහ කළත් හැදියාව තියෙන්නෙ එදා ඉඳන් සිදුකර ගෙන ආව විදිහටම යන්නනේ, මේක වෙනස් කරගන්න බැරිවුණොත් හැමදාම සිදුවෙන්නෙ මෙවැනි දේවල්ම තමයි.

IMG_1085 IMG_1097

 

පොලීසියේ බුද්ධි අංශ ප්‍රබලනම් ඔවුන් දැනගත යුතුයි උද්ඝෝෂණ පාරට එන්න කලින් වාරණ නියෝග අරගන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :