ඓතිහාසික ශ්‍රී මාතොට රාජමහා විහාරය
( . . ) 2017-03-13 14:24:39
Comments - 0       Views - 619

පුරාතන ලක්දිව බටහිර වෙරළෙහි පිහිටි ඉපැරණි වරායක් වශයෙන් 'මහාතිට්ඨ' එකල ලක්දිව ජනප්‍රිය ස්ථානයක් වූ බවට සාක්ෂි බොහොමයක් හමුවී තිබේ. මාවතුතොට, මහපටන, මාතොට, මහාතෝට්ටම් ආදී විවිධ නම්වලින් අතීතයේ හැඳින්වූ මෙම ප්‍රදේශය වර්තමානයේ මන්නාරම නමින් හැඳින්වේ.

භාරතීය ආර්ය කණ්ඩායම්, විදේශීය ආක්‍රමණිකයන්, විදේශීය වෙළෙන්දන් මෙන්ම සිංහල හමුදාවන්ද නිරතුරුව තම ගමන්බිමන් සඳහා භාවිත කළ තොටුපළක් ලෙසද මාතොට හඳුනාගත හැකිය. මෙකී ඓතිහාසික උරුමයට යළි පණපොවණ පිංබිමක් පසුගිය දිනෙක එහි ගිය අපට දිස්විය. ඒ දහසක් කරදර හිරිහැර බාධක මැද හමුදා, පොලිස් රැකවල් මත ඉදිවෙමින් පවතින ඓතිහාසික ශ්‍රී මාතොට විහාරයයි.

ඓතිහාසික මාතොට වරායට ආසන්නව පිහිටි මෙම විහාර භූමියෙන් 2011 වර්ෂයේදී කසළ ගොඩක තිබී හමුවූ ටැම් ලිපිය මගින් විහාරාධිපති හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ දැන්වීමෙන් පසු එහි සඳහන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව ක්‍රි.ව. 10 වැනි සියවසේදී පිළිම වහන්සේලා 500නමක් තැම්පත් කරන ලද පූජා විස්තරයක් සහ කිසියම් ජයග්‍රහණයක් පිළිබඳ තොරතුරු එමගින් අනාවරණය වී තිබේ.

අනතුරුව මෙම විහාර භූමියේ පුරාවිද්‍යා සීමා සලකුණු කර එම ටැම් ලිපියද විහාරස්ථානයට ලබාදී තිබේ. 2012 වර්ෂයේ ජනවාරි 18 වැනිදා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආගමික කටයුතු කොමසාරිස්තුමා විසින් රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙසත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාවිද්‍යා ස්ථානයක් ලෙසත් මෙම විහාරස්ථානය ප්‍රකාශයට පත්කර ඇත.

මෙකී පුණ්‍යභූමිය පිළිබඳ ඓතිහාසික ජනප්‍රවාද කිහිපයක් පවතී. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන ඇතුළු වූ පළමු ස්ථානය මෙය බවද විශ්වාස කෙරේ. ඒ බව වර්තමානයේ විහාර භූමියට ආසන්නව තිරුක්කෝවිල් හින්දු පූජනීය ස්ථාන භූමියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් බෞද්ධ විහාරස්ථානයක නටඹුන් සොයාගෙන තිබීමෙන් තහවුරු වේ.

එසේම සංඝමිත්තා මහරහත් තෙරණිය ජය ශ්‍රී මහබෝධීන් වහන්සේ වැඩම කරවූ පෙරහර එක් රැයක් පහන් කරනුයේ මෙම ස්ථානයේ බවද තවත් මතයකි. එමෙන්ම දන්ත ධාතූන් වහන්සේ වැඩම වීමේදීද දන්ත කුමරු හා හේමමාලා කුමරිය රැයක් පහන් කළ ස්ථානය ලෙසද මෙකී පිංබිම සැලකේ. මෙකී සියලු කාරණා සනාථ කිරීම සඳහා අද වනවිට මෙහි ශෛලමය බුදුපිළිම, බඳ කොටස්, බෝධිසත්ත්ව පිළිම කොටස්, පාදම්කණු සහිත පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් දැකගත හැකිය.

එමෙන්ම බෝධීන් වහන්සේලා හයනමක් සහිත විශාල බෝමළුවකින්ද මෙකී පිංබිම සමන්විත වේ. මෙහි ප්‍රධාන ඉපැරණි බෝධීන් වහන්සේ සමීපයට යන කාහට වුවද ගතට මෙන්ම සිතට අමුතුම සිසිලසක්, දැහැන්ගත බවක් ස්වාභාවිකවම ලැබෙන බව අපි අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කළෙමු.

උතුරු ප්‍රදේශයේ මන්නාරමේ කිසිදු බෞද්ධයෙකු නොමැති මෙවන් අවධියක පසුගිය මානුෂීය මෙහෙයුමෙන් පසු අප බෞද්ධ උරුමය යළි මෙවැනි බෞද්ධ පුදබිම් නිසාවෙන් ආරක්ෂා වෙමින් පවතී. දැනට ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහභාගිත්වයෙන් වෙසක්, පොසොන් හා පුරපසළොස්වක පොහෝ දිනයන්හි ආගමික කටයුතු හා වතාවත් සිදුවෙමින් පවතී.

වත්මන් විහාරාධිපති අඹගහවැවේ සංඝරක්ඛිත හිමියෝ අප සමග ප්‍රකාශ කළේ, උතුරට එන සිංහල බෞද්ධ ජනතාවට නවාතැන් පහසුකම් සැපයීම, මන්නාරම ප්‍ර‘දේශයේ ජනප්‍රිය ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා මගපෙන්වීම හා දැනට අහිමි වී ඇති මාතොට චෛත්‍යය වෙනුවට නව ස්ථූපයක් ගොඩනැගීම තම ප්‍රධාන අරමුණු බවයි. අනුරාධපුර ප්‍රසිද්ධ ඓතිහාසික විහාරස්ථානයක සියලු පහසුකම් සහිතව වැඩසිටීමට ඉඩකඩ තිබියදී රට, ජාතිය, ආගම වෙනුවෙන් තම අධ්‍යාපනය හා තරුණ ජීවිතය කැපකරමින් උන්වහන්සේ සිදුකරන මෙහෙය අප අතිශයින්ම පැසසිය යුතුයි.

විහාරස්ථානයක් ස්ථාපිත කරමින් දියුණු කිරීම සඳහා පළමුව දායක සභාවක් අවශ්‍යය. එකදු බෞද්ධ නිවසක් නොමැති එම ප්‍ර‘දේශයේ දායක සභාව ස්ථාපිත කිරීම කෙසේනම් කළ හැකිද? විහාරාධිපති හිමියෝ ඒ සඳහා ලක්දිව සිවුදෙස සිටින බෞද්ධ ඔබගේ සහයෝගය ඉල්ලා සිටිති. වසරකට වරක් දාන වේලක් හෝ සිවුපසය සඳහා මූල්‍යමය දායකත්වයක් ඔබට ලබාදිය හැකිය. තම පෞද්ගලික මුදලින් දාන කළමනා ගෙනැවිත් දානය සකස්කර ගන්නා උන්වහන්සේට එය මහත් අස්වැසිල්ලකි.

මෙවන් ඓතිහාසික විහාරස්ථානයක් රැකගැනීම අපගේ යුතුකමකි. එය යුගයේ අවශ්‍යතාවකි.

මේ පිළිබඳ වැඩි විස්තර 023 2 050 830 / 077 0 695 910 යන දුරකථන අංකවලින් විහාරාධිපති හිමියන් ඇමතීමෙන් ලබාගත හැකිය.

ශ්‍රී මාතොට විහාරය, තිරුක්කේතිස්වරන්, මන්නාරම

ශාස්ත්‍රපති පූජ්‍ය බුදුගල සෝමරතන හිමි

DSC05195  DSC05197 DSC05201

ඓතිහාසික ශ්‍රී මාතොට රාජමහා විහාරය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :