දහයේ පන්තියට පමණක් පාසල් ගොස් දැන් ලොවටම නායකත්ව පුහුණුව ලබාදෙන ව්‍යාපාරිකාවක්
( නදීශානි පතිරණ ) 2017-03-08 15:35:25
Comments - 2       Views - 3414

අද දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබන්නේ 'be bold for change' නැතිනම් 'වෙනසක් සඳහා නිර්භයව නැගී සිටිමු' යන තේමාවෙනි. ජාත‍්‍යන්තරය කාන්තා දිනය එලෙස සමරද්දී අපේ රටේ කාන්තා දිනය සමරනු ලබන්නේ 'තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී' යනුවෙනි. එලෙස තුන්කල් දැක සවියෙන් ජීවිතය දිනූ තරුණියක පිළිබඳ පසුගිය වසර අවසානයේ මුළු ලෝකයේම කතාබහට ලක්වූවා. ඇය නිලූෂිකා ජයවීර නම් 36 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

ඇයව ලොවම හඳුනා ගත්තේ සිංගප්පූරුවේ පැවති ටී.ඊ.ඩී. (TED) නම් අභිප්‍රේරක වැඩසටහනකදී ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අමතා දේශනයක් කිරීමට සමත්වීම හේතුවෙනි. බිල්ගේට්ස්, හිටපු ඇමරිකානු උප ජනාධිපතිවරයෙකු වූ අල් ගෝ, පර්යේෂකයෙකු වන ජේන් ගුඩාල් වැනි අය සහභාගි වී සිටි මෙම සමුළුවේ ඇය වඩාත් කතාබහට ලක්වීමට හේතු වී  තිබුණේ ගෘහ සේවිකාවක ලෙස අවුරුදු 15ක් සිංගප්පූරුවේ ගත කළ ඇය මේ වන විට ස්වෝත්සාහයෙන් ව්‍යාපාරිකාවක ලෙස නැගී සිටීම නිසාය. වර්තමානයේ ලෝකයේ රටවල් කිහිපයකටම තේ අපනයනය කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිලූෂිකා, කාන්තාවන් බලගැන්වීම වෙනුවෙන් ලෝකයේ විවිධ රටවල්වල සංවිධානය කරන වැඩසටහන්වලට සහභාගී වෙමින් සිය දැනුම හා අත්දැකීම් බෙදා ගනිමින් සිටියි.

ඇය එතැනින් නතර නොවී තමා උපන් බිමේ ඇය මෙන් ජීවිත අරගලයක යෙදෙන කාන්තාවන් හා දරුවන් වෙනුවෙන්ද විවිධ සමාජ සද්කාර වැඩසටහන් සංවිධානය කරමින් සිටියි. ඒ වෙනුවෙන් ඇය Emerging Hope Lanka නමින් සමාජ සද්කාර සේවාවක් පවත්වාගෙන යයි. ඒ වෙනුවෙන් අරමුදල් එකතු කර ගැනීම සඳහා ඇය ගෘහසේවිකාවක ලෙස ලද ඉවුම්පිහුම් අත්දැකීම් ඇසුරෙන් රචිත ඉවුම්පිහුම් අත්පොතක් සිංගප්පූරුවේ අලෙවි කරන අතර, ඉන් ලැබෙන අරමුදල්වලින් මේ වන විටත් මෙරට කාන්තාවන් හා ළමයින් කිහිපදෙනෙකුගේම ජීවිතය නගාසිටුවා ඇත.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු මාසයේ මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන දේශන කිහිපයකට සහභාගී වීමට මෙරටට පැමිණ සිටින ඇයව අපි මෙලෙස අද ගැහැනිය සමග සම්බන්ධ කර ගත්තේ ඇගේ ජීවිත කතාවෙන් ලොවට මෙන්ම අපේ රටේ සමස්ත කාන්තා පරපුරටම ගතහැකි ආදර්ශයන් බොහොමයක් පවතින බැවිනි.

මම පාසල් ගියේ බොහෝ අඩුපාඩුකම් මැදයි

මම ඉපදුනේ මීගමුවේ වැලිහේන කියන ගමේ. මගේ තාත්තා කම්කරුවෙක්. ඔහු කළේ වත්තක් බලාගෙන ඒ වත්තේ කම්කරුවෙක් විදිහට වැඩකරපු එක. අපිට කියලා ගෙයක් දොරක්වත් තිබුණෙ නැහැ. මගේ කුඩා කාලය ගැන රසවත්ව දේවල් කියන්න නම් නැහැ.

මගේ තාත්තා හරිම සැරපරුෂ කෙනෙක්. පවුලේ වැඩමහල්  ළමයා විදිහට මම තාත්තාගේ පහරදීම්වලට නිතරම ලක්වුණා. මම ඉස්කෝලෙ ගියේ ගොඩාක් අඩුපාඩුකම් එක්ක. මට මතකයි පොත් ගන්නවත් අපිට සල්ලි තිබුණෙ නැහැ. එක දවසක් මම පාසලේ තූර්ය වාදක කණ්ඩායමට තෝරා ගත්තා. මම තාත්තට ඇවිත් කිව්වා මාව  බෑන්ඩ් එකට තෝරගත්තා, මට යන්න ආසයි කියලා. ඒත් තාත්තා කිව්වා ඇඳුම්වලට දෙන්න සල්ලි නෑ කියලා යන්න දෙන්න බැහැ කියලා. මම එදා ගොඩක් දුක් වුණා.

ඒත් මගේ අම්මා කොහොම හරි තාත්තව කැමති කරගෙන අමාරුවෙන් සල්ලි එකතුකරන් මාව බෑන්ඩ් එකට යැව්වා. මට අවුරුදු 14ක් වෙද්දි අම්මා පිළිකාවකින් මිය ගියා. ඒ වෙද්දි මගේ බාලම සහෝදරයා නොමේරූ දරුවෙක් ලෙස මේ ලෝකෙට ඉපදිලා හිටියේ. අම්මා මැරුණ වෙලාවේ මට හිතුණේ මගේ මුළු ලෝකෙම මට නැතිවුණා කියලා.

මොකද තාත්තා සැරපරුෂ කෙනෙක් නිසා මගේ හැමදේටම හිටියේ අම්මා. මට බාල සහෝදර සහෝදරියන් හතර දෙනෙක් හිටියා. ඉතින් අර චූටි මල්ලියි අනෙක් තුන්දෙනයි එක්ක මම මොනවද දැන් කරන්නේ කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ මල්ලිගේ වගකීම් මට පැවරෙනකොට මට ඉස්කෝලෙ ගමන නවත්වන්න සිදුවුණා. මම ඒකට ගොඩක් කණගාටු වුණා. මොකද මම ඉගෙනගන්න ගොඩක් ආස කළා වගේම මගේ ජීවිතේ මම කැමතිම ස්ථානය වෙලා තිබුණේ ඉස්කෝලේ.

ඒත් මට ගෙදර නතර වෙන්න වුණා. මල්ලි පොඩි කාලෙ ඉඳන් මටයි අම්මා කියල කතා කළේ. එයාට අම්මගේ මතකයක් නැති නිසා. අම්මා මැරිලා අවුරුදු දෙකකට පස්සෙ දවසක තාත්තා ලොකු මල්ලිලා දෙන්නා එක්ක මාලු අල්ලන්න ගියා. ඒ වෙලාවේ බෝට්ටුව පෙරළිලා තාත්තයි එක මල්ලි කෙනෙකුයි මිය ගියා. එදා පල්ලියේ මංගල්ලෙ දවස. ගමේ ගහල තිබුණ තොරන් පවා ගැලෙව්වා.  අනිත් මල්ලිත් ඒ සිදුවීම නිසා ලොකු කම්පනයකයි හිටියේ. තාත්තගේ මරණයෙන් පසුව අපිට යන්න තැනක් තිබුණෙ නැහැ. මම මේ ලෝකෙ තනිවුණා කියාල එදා හිතුණා. අපිට නෑදෑයෙකුට හිටියේ නැන්දා විතරයි.

අපිට ගෙයක් තිබුණෙ නෑ. අම්මයි, තාත්තයි ඉතුරු කළ දෙයක් තිබුණෙත් නැහැ. නැන්දට අපිව බාරගන්න තරම් වත්කමක් තිබුණෙත් නැහැ. අන්තිමේදි අපිව ළමා නිවාසවලට භාරදුන්නා. මම වත්තල නායකකන්ද කන්‍යාරාමයටත්, නංගිවයි, චූටිම මල්ලීවයි හංවැල්ලේ ළමා ග්‍රාමයටත්, ලොකු මල්ලිව මිනුවන්ගොඩ ළමා නිවාසයකටත් යොමු කළා.

එදා අපේ පවුල විසිරිලා ගියා.  මම කන්‍යාරාමයේ ඉද්දි ඒකෙත් මම වගේ ළමයි ගොඩක් හිටියා. ඒ ළමයින්ගේ දෙමාපියන් නිතර එයාලව බලන්න ආවා. මාව බලන්න එන්න නැන්දටවත් හැකියාවක් තිබුණෙ නැහැ. ආවොත් ආවේ අවුරුද්දකට එක් වතාවක් වගේ. ඒ නිසා අනිත් ළමයින්ට වඩා මම දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා.

අනිත් ළමයින්ට උවමනා හැමදේම දෙමාපියන් ගෙනත් දුන්නා. ඒත් මට ඇඳුමක්වත්  අරන් දෙන්න කවුරුත් හිටියෙ නැහැ. ඒ කාලෙ මට ඉගෙන ගන්න ආස වුණත් අවුරුදු 2ක් පාසල් ගමන නතර වෙලා තිබුණ නිසා කිසිම පාසලකින් මාව බාරගන්න කැමති වුණේ නැහැ. අවුරුදු 18ක් වෙද්දි නැන්දා කිව්වා රස්සාවක් කරලා සහෝදරයන්ට ඉගෙන ගන්න උදව් කරන්න කියලා. ඉතින් මමත් රස්සාවක් හෙව්වා. මම කටුනායක ගාමන්ට්වලට ඇප්ලිකේෂන් අරන් අඳුරන අක්කා කෙනෙක් එක්ක ගියා. ඒත් ඒ අය මගෙන් ඇහුවේ අධ්‍යාපන සුදුසුකම්.

මට කිසිම සුදුසුකමක් තිබුණෙ නැහැ. මම දහයේ පන්තියට යනකන් ඉගෙනගත්ත කෙනෙක්. එච්චරයි. ඒ වගේ සුදුසුකමකට මට දෙන්න රස්සාවක් තිබුණෙ නැහැ. එයිනුත් මම ගොඩක් හදවතින් කඩා වැටුණා. මොකද මම ඉගෙන ගන්න ආස වුණත් අවුරුදු දෙකක් ඉස්කෝලෙ ගිහින් නෑ කියලා මට ඉගෙනගන්න අවස්ථාව අහිමි වුණා.

ඒ නිසානේ මට රස්සාවක් දෙන්නෙ නැත්තේ. ඒත් මගේ කතාව අහලා එක ආයතනයකින් රෙදි කපන රැකියාවක් ලැබුණා. මම අවුරුදු තුනක් එතන වැඩ කළා. මම හැමවෙලාවෙම හිතට කිව්ව දෙයක් තමයි මට ඉගෙනගන්න බැරිවුණාට හැකියාව තියෙනවා, ඒ හැකියාවෙන් ඉදිරියට යනවා කියන එක.

මම ඒ දේ මට වගේම මට හම්බවෙන හැමෝටමත් කිව්වා. ගාමන්ට් රස්සාවෙන් අපිට හම්බුණේ ඉතා සුළු වැටුපක්. ඒ නිසා නැන්දා කිව්වා රට යන්න කියලා. ඩුබායිවල අඳුරන නැන්දා කෙනෙක් හිටිය නිසා ඩුබායි යන්නයි හිටියෙ. අපේ අසල්වැසි  නැන්දා කෙනෙක් සිංගප්පූරුවේ ගෘහසේවයේ නියැළිලා හිටියා.

ඉතින් මම පාස්පෝට් කොපි දීලා තිබුණා. මම හිතුවෙ නෑ මට සිංගප්පූරුවේ රැකියාවක් ලැබෙයි කියලා. මොකද ඒ රටට යන්න ඉංග්‍රීසි දැනුම අවශ්‍යයයි. මම ගාමන්ට් යන කාලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කළා. නමුත්  හැමෝම මට හිනා වුණා. නිලූෂි කාත් එක්ක කතා කරන්නද දන්නෑ ඉංග්‍රීසි ඉගනෙ ගන්නේ කියලා. ඒ වෙලාවෙත් මම හදවතින් වැටුණා.

කොහොමහරි සිංගප්පූරුවේ රැකියාව සඳහා යන්න මම මගේ අතේ තිබුණ හැම සතේම වියදම් කළා. යද්දි මගේ අතේ සතපහක්වත් තිබුණෙ නෑ. මම එදා ලංකාවෙන් පිටවුණේ ආයෙ ලංකාවට එන්නෙ නෑ කියලා හිතාගෙන. එක්කෝ, ඒ රටේදී මගේ ජීවිතේ නැතිවෙයි, නැත්නම් මගේ ජීවිතයේ හොඳක් වෙයි කියලයි මම ගියේ.

අතේ සතපහක් නැතිව මම සිංගප්පූරුවට ආවා

මම සිංගප්පූරුවට එක්කගෙන ගිය කෙනා මට සත විස්සක් දුන්නා ඒජන්සියට කෝල් කරන්න කියලා. ගුවන්තොටුපළේ මාව තියලා යන්න ගියා. ඒ වගේ රටක කවුරුත් දන්නෙ නැතිව, තනියම කොහොමද හිටියේ කියන එක මටත් හිතාගන්න බැහැ.

ඒ වෙලාවේ එතන කවුන්ටරේක හිටියෙත් පිරිමි කෙනෙක්. ඉතිං ගිහින් කතා කරන්න දන්නෙ නෑ. ඒ වගේම බයයි. මොකද අපි පත්තරවල දැක්කෙ රට ගිහින් ගෑනුන්ට සිද්ධවෙන භයානක දේවල්. මං හිතුවා මට ඒ වගේ දෙයක් වුණොත් කොහේ දුවන්නද කියලා. එහෙම හිතලා හිත දැඩි කරගත්තා ඕනම දේකට මුහුණදෙනවා කියලා.

ඒ වෙලාවේ චීන එක්කෙනෙක් වාහනේක ඇවිත් මාව අරගෙන ගියා. මම ගොඩක් බය වුණා. මොකද මම විතරයි ඒ වෙලාවේ හිටියෙ. ඒ වාහනේ ගුවන්තොටුපළේ අනෙක් පිටවීමේ පර්යන්තවලින් තවත් ගෑනු අයව වාහනේ දාගත්තා. වෙන රටවල්වලින් ආපු ගෑනු අයයි ඒ අතර හිටියේ. අපිව මෙඩිකල් සෙන්ටර් එකකට අරන් ගිහින් පරීක්ෂා කළා. ඊට පස්සෙ තමයි ඒජන්සියට අරන් ගියේ.

ඒකෙ ලංකාවේ කීපදෙනෙක් හිටියා. මම සතුටු වුණා මගේ භාෂාවෙන් කතා කරන්න හිටිය එකට. ඒජන්සියේ මැඩම් පහුවෙනිදා මගේ කොණ්ඩෙ කපලා දැම්මා. චීන අය කොණ්ඩෙ දිග අයට කැමති නෑ කියලා. ඊළඟ දවසේ මම වැඩකරන ගෙදරට එක්කගෙන ගියා. දෙවියන්ගේ කරුණාවෙන් ඒ ගෙදර තවත් ලංකාවෙන් ගිය සේවිකාවක් වැඩට හිටියා. මම ඒ ගෙදර වැඩකරන ගමන් ලොකු අකුරු තියෙන Straits Times කියන පත්තරේ කියවලා ඉංග්‍රීසි දැනුම ලබාගත්තා.

ඒ වගේම එහිදී පල්ලියට ගියා. පල්ලියේ ඉංග්‍රීසි භාෂාවෙන් පූජාව තිබුණේ. ටික දවසක් යද්දි මම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වුණා. අවුරුදු තුනහමාරක් විතර මම එහේ වැඩකළා. මට හම්බුණේ රුපියල් 20000ක් වගේ පොඩි පඩියක් නිසා වෙනත් නැනකට මාරු වුණා. ඒ ගෙදර අවුරුදු 4ක් හිටියා. එහෙත් පඩි මදි නිසා මම හිතුවා යුරෝපා පවුලක් ඉන්න ගෙදරකට ගියොත් ලොකු පඩියක් හම්බුණොත් හොඳයි කියලා. ඒ අනුව මම රුපියල් 40,000ක පඩියට ඕලන්ද පවුලකටත්, පසුව බ්‍රිතාන්‍ය පවුලකටත් වැඩ කළා. කලින් ගෙවල්වල මට  මාසෙට එක

දවසක්වත් නිවාඩු ලැබුණේ නැහැ. නමුත් යුරෝපා ගෙවල්වල ඉරිදා නිවාඩු හම්බවුණා. මම බ්‍රිතාන්‍ය පවුල සිංගප්පූරුවෙන් නැවත ගියාට පසු ප්‍රංශ පවුලක් හිටිය, ළමයි තුන්දෙනෙක් ඉන්න තට්ටු තුනක ගෙදරක ගෘහසේවිකාවක් ලෙස වැඩට ගියා.

ඒ ගෙදර පැවරුණු වැඩ වැඩිනිසා මම කිව්වා මාව හරියන්නේ නැත්නම් මාව ලංකාවට හරවලා යවන විදිහට රස්සාව කරන්න දීලා තියෙන අවසර පත්‍රය කැන්සල් නොකර, මටවෙන ගෙයක් හොයාගන්න අවස්ථාව දෙන්න කියලා. ඇත්තටම මම නොහිතපු විදිහට මගේ ජීවිතය වෙනස් වෙන්න ගත්තේ මේ ගෙදරදීයි. එහේ වැඩකරන අතරතුර මම 2010 ලංකාවට ආවා.

ඇවිත් මගේ සහෝදරයො, නැන්දා බලන්න ආවා. ඒත් මට දුක හිතුණා, මම අවුරුදු නමයක් පුරා හම්බකරල සල්ලි එව්වට මගේ ජීවිතේ කිසිම දියුණුවක් වෙලා නැහැ නේද කියලා දැනුණම. මගේ ලොකු මල්ලීයි, නංගියි විවාහ වෙලා හිටියා. ඒ අය ගැන සතුටු හිතුණට,මගේ ජීවිතය ගැන මට දුක හිතුණා.

මම අන්තිමට ආපහු සිංගප්පූරුවේ වැඩකරපු ගෙදරට ආවේ ප්‍රශ්න ගොඩක් මැද්දේ. මම හැමවෙලාවෙම අඬන නිසා මැඩම් කිව්වා මොනවහරි දෙයක් ඉගෙනගන්න කියලා. මම එයාලටත් කියලා තිබුණා මම ඉගෙනගන්න ආසයි කියලා. මට ඕන වුණේ නර්සිං ඉගෙනගන්න. සිංගප්පූරුවේ පාට්ටයිම් ඉගෙනගන්න නර්සිං නැති නිසා මට මයික්‍රෝ බිස්නස්, නැත්නම් සුළුපරිමාණ ව්‍යාපාරකරණය පිළිබඳ උගන්වන AIDHA කියන පාසල ගැන තොරතුරු ගෙනත් දීලා මට එහි පාඨමාලාවක් සමග තව කැමති දෙයක් ඉගෙනගන්න කිව්වා. ඉරිදා පන්ති තිබුණ නිසා AIDHAඑකේ පාඨමාලාවයි බැලේ පාඨමාලාවකුයි තෝරගත්තා.

ඒත් මම AIDHA එකට ගියේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් පාඨමාලාවේ මුලින් ඉගැන්නුවේ පරිගණක දැනුම. ඉතින් මම  ඒ දැනුම ගන්න තියෙන ආසාව නිසා දිගටම ගියා. මම ඇත්තටම හිතාගෙන හිටියේ ඉගෙනගන්න පුළුවන් පාසල් යන වයසේදී විතරයි කියලා. වයසින්  වැඩිවුණාම ඉගෙනගන්න යන එක බොරු වැඩක් කියලයි මම හිතුවේ. ලංකාවේ අය හිතන්නෙත් වයසට යද්දි ඉගෙනගන්න එක ඒ අයට අදාළ දෙයක් නොවෙයි කියලා.

ඒ අදහස වැරදියි කියලා මම තේරුම්ගත්තා. අපට කැමැත්ත තියෙනවා නම් කැපවෙලා අපි බලාපොරොත්තුවෙන දේ කරා යන්න පුළුවන්. එය මට ශක්තියක් වුණා. මම ඒ අනුව AIDHA පාසලේ දෙවැනි වසරත් අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් වුණා. එහිදී මට ව්‍යාපාරකරණය ගැන ගොඩක් අදහස් තිබුණා.

වසර අවසානයේ අපට ව්‍යාපාර සැලසුමක් සකස්කරන්න තිබුණා. එහිදී මම තෝරාගත්තේ තේ කුඩු අපනයනය කිරීම. මම ඒ වෙද්දි විවාහ වෙලා හිටියේ නැහැ. නමුත් මගේ ස්වාමිපුරුෂයා මට හම්බ වුණේ සිංගප්පූරුවේදී. ඔහු ලංකාවේ සිට සිංගප්පූරුවට නිතර ඇවිත් යනකොට තේ ගෙනත් දුන්නා. මේ අනුව මම තීරණය කළා ඔන්ලයින් ක්‍රමවේදයක් අනුව තේ ගැනුම්කරුවන් වෙත යවන ව්‍යාපාරයක් ආරම්භකරන්න. මෙයට කාර්යාලයක් පවත්වාගෙන දවසම වාඩිවෙලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මම ඒ ගෙදර වැඩ කරගෙන යන ගමන් ඔන්ලයින් ව්‍යාපාරයක් පටන්ගත්තා.

2013 වසරේ සිට මම ගෘහසේවිකාවක් ලෙස වැඩ කරන ගමන් ව්‍යාපාරය සුළුවෙන් පවත්වාගෙන ගියා. මම හැමෝටම කියන්නේ ව්‍යාපාරයක් පටන්ගනිද්දි සුළුවෙන් ආරම්භ කරන්න කියලයි. මොකද ලොකුවට පටන්අරගෙන මොකක් හරි වැරැද්දක් වුණොත් අපට ඒ වැටීම දරාගන්න අමාරුයි. මම ඉගෙනගත්තේ සුළුවෙන් පටන්ගෙන ඉදිරියට යන්න. මම බැලුවා මගේ ව්‍යාපාරයෙන් කී දෙනෙකුට රැකියා අවස්ථා හිමිවෙනවද? රටවල් කීයකට මෙය ව්‍යාප්ත කරන්න පුළුවන්ද කියන එක.

දැනට මට ප්‍රංශය, හොංකොං, සිංගප්පූරුව, අයර්ලන්තය වගේ රටවල ගැනුම්කරුවන් ඉන්නවා. අවුරුදු දෙකකට පසුව මට පුළුවන් වුණා පෞරුෂ සංවර්ධන නායකත්ව පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන්න. ඒ වෙලාවේ තමයි මම මගේ ජීවිතේ ආපහු හැරී බැලීමක් කළේ. ඒ බලද්දි මම කොයිතරම් ඉහළට ඉගෙනගෙන තිබුණත් යම්කිසි දෙයක් මාව තවත් ඉදිරියට යන්න නොදී අල්ලගෙන ඉන්නවා කියන දේ තේරුණේ. ඒ නිසා මම විඳදරාගත්තදුක, පොඩිකාලේ වින්ද හිරිහැර මගේ හිතින් අතඇරලා දාලා තවත් ඉදිරියට යන්න ධෛර්යය ගත්තා. අපේ ජීවිත හැමදාම එකම රාමුවකට කොටුවෙලා දුක මතක්කරකර තැවි තැවී එකම තැන ඉන්න බව මම තේරුම්ගත්තා.

ඒ අනුව මම AIDHA පාසලට නැවත සම්බන්ධ වුණා පුහුණු උපදේශකවරියක ලෙස. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ Breaking Barriers නැත්නම් බාධක බිඳගෙන නැගීසිටින කාන්තාවන් වෙනුවෙන් වූ වැඩසටහන් සඳහා මාව නිර්දේශ වෙලා තිබුණා. TEDX SINGAPORE WOMEN ආයතනය මේ වැඩසටහනේදී කතා කරන්න හොඳ කාන්තාවක් සොයමින් සිටියදී තමයි මං ගැන දැනගෙන ඇවිත් මගෙන් ඇහුවේමගේ අත්දැකීම් බෙදාගන්න කැමතිද කියලා. ඒ වෙලාවේ මම හිතුවා මම වගේ තවත් කෙනෙක් ජීවිතය ජයගනීවි කියලා මගේ අත්දැකීම බෙදාගත්තොත්. ඉතින් එදා මම ගිහින් කතාකළේ සිංගප්පූරුවේ ඉහළපෙළේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් සහභාගි වූ වැඩසටහනකයි.

ඒ අය වැඩසටහනෙන් පසු ඇවිත් මට,මගේ පණිවුඩය ඒ අයට ලොකු ශක්තියක් වුණා කියලා කිව්වා. ඒ වැඩසටහනෙන් පසු මට මහජනයාට විවෘත වූ දැවැන්ත වැඩසටහනක කතා කරන්න අවස්ථාව උදාවුණා. ඒ වෙද්දි මම ලංකාවට එන්නයි හිතාගෙන හිටියේ. නමුත් මම හිතුවා මම ලංකාවට ඇවිත් මොනවද කරන්නේ කියලා? ඒ අනුව මම හිතුවා කාන්තාවන් හා ළමයින්ට මම ඉගෙනගන්න උදව් කරනවා කියලා. තමන්ගේ ජීවිතයේ යම් දෙයක් මගහරින කාන්තාවන්ට කනගාටු නොවී එතැන සිට යමක් ඉදිරියට කරන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න මම තීරණය කළා.

ඒ අනුව මම සමාජ සත්කාර ආයතනයක් ලියාපදිංචි කළා. මෙය අනුන්ගේ ආධාරමත කරගෙන යන NGO එකක් නෙමෙයි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් වෙන්කරලා අපේ රටේ දුක්විඳින කාන්තාවන්, ළමයින් වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිතලා මම  කරන දෙයක්. ඉතින් මම ලංකාවට ඇවිත් කාන්තාවන් 30ක් තෝරගෙන ඒ අතරින් ව්‍යාපාරයක් කරලා ඇත්තටම දියුණුවෙන්න අරමුණක් තියෙන 10ක් තෝරාගත්තා.

එයින් තුන්දෙනෙක් මේ වෙද්දි තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරගෙන අද වෙද්දි ව්‍යාපාර දියුණු කරගෙන තියෙනවා. මම කියන්නෙ තමන්ගේ ජීවිතේ වැරදුණු තැන් ගැන හිත හිතා දුක්වෙවී ඉන්න එකවත්, දෙමාපියන් අපට යමක් ඉතිරිකළේ නෑ කියලා බැන බැන ඉන්න එකවත් නෙවෙයි කළ යුත්තේ. වැටුණු තැනින් නැගිටින එකයි.

අම්මා ගාමන්ට් ගියා කියලා දුවත් ඒකම කරන්න ඕන කියලා දෙයක් නැ. වෙනස් තීරණ අරන් ඉදිරියට යන්න ඕනෑම කෙනෙකුට අරමුණක් තිබිය යුතුයි.

මම 2016 සැප්තැම්බර් මාසේ වෙනතුරු ගෘහසේවිකාවක් ලෙස වැඩ කළා. ඉන්පසුව මම සිංගප්පූරුවේ ධනාත්මක චින්තනය හා පෞරුෂත්ව වර්ධනය වෙනුවෙන් වන වැඩසටහන් සඳහා සහභාගි වුණා. මම දැන් මගේ ව්‍යාපාරය සිංගප්පූරුවේ කරගෙන යනවා. එය ලංකාවට ගේන්න අදහසක් තියෙනවා.

දැන් මම ලංකාවට ඇවිත් ඉන්නේ ලංකාවේ ව්‍යාපාර කරන කාන්තාවන් වෙනුවෙන් වන වැඩසටහන් කිහිපයකට ආරාධනා කර තිබෙන නිසයි. මම ආසයි ගාමන්ට් වැඩකරන, අපේ රටේ දුක්විඳින කාන්තාවන්ට කතා කරන්න. මොකද මමත් එතන හිටපු කෙනෙක්. මමත් ආසයි ඒ අයට දෙයක් කරන්න පුළුවන් කියන දේ කියලා දෙන්න. ජීවිතය දිනන්න ඔවුන්ටත් පුළුවන්. කටුනායක කලාපයේ විනාශ වෙන කාන්තා ජීවිත මම ඇස් දෙකෙන් දැකලා තියෙන නිසයි මෙහෙම   කියන්නේ.

මගේ ජීවිතේ පරමාදර්ශී කාන්තා චරිතය වුණේ ඔප්රා වින්ෆ්‍රේ කියන චරිතය. එයා ජීවිතය දුක් කම්කටොළු මැද නැගිට්ට කාන්තාවක්. ඉතින් මගේ අරමුණ කවදාහරි එයාව හම්බවෙන එක.මං අපේ කාන්තාවන්ට කියන්නේ ජීවිතේ හැමදාම අලුතෙන් හිතන්න. ඒ වගේම මඟහැරුණු අධ්‍යාපනය නැවත පටන්ගන්න.

කවදාවත් ළමයි ඉන්න මවක් නම් ළමයි දාලා පිටරට රැකියාවලට යන්න එපා. මොකද දරුවා කියන්නේ හැමවෙලේම පවුල තුළ හැදෙන්න ඕන කෙනෙක්. අපි පැළ කරන ගහ හොඳින් පැළ කරන්න ඕන. මම කම්කටොලු මැද ජීවිතය ජයගත්තේ මම ගිහින් වැටුණු තැන හොඳ නිසයි. ඒ නිසා අද මම මෙතන ඉන්නවා.

මම ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න කැමති කාන්තාවන්ට කියන්නේ ණය ගන්න කලින් කරන ව්‍යාපාරය ගැන යම් දෙයක් ඉගෙනගන්න කියලා. ඉගෙනගෙන යමක් කළොත් ඒ දේ හරියට කරලා ව්‍යාපාරය වගේම ජීවිතයත් ජයගත හැකියි.

ඡායාරූප - සරසි නෙත්මිණී

දහයේ පන්තියට පමණක් පාසල් ගොස් දැන් ලොවටම නායකත්ව පුහුණුව ලබාදෙන ව්‍යාපාරිකාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Epa on (2017-03-08 09:03:55)

Excellent

Posted by Roshan on (2017-03-21 01:02:25)

Great!

Posted by Epa on (2017-03-08 09:03:55)

Excellent

Posted by Roshan on (2017-03-21 01:02:25)

Great!

Posted by Epa on (2017-03-08 09:03:55)

Excellent

Posted by Roshan on (2017-03-21 01:02:25)

Great!

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :