උදෑසන ආහාර මගහරිනවා නම් බෝ නොවන රෝග අවදානමක්
( . . ) 2017-03-09 06:00:40
Comments - 0       Views - 600

උදෑසන ආහාර වේල කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ නිරන්තරයෙන් වෛද්‍යවරුන් දැනුවත් කිරීම් සිදුකරනු ලබනවා. එය කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ සොයා බැලීමටත් ලෝකයේ විවිධ ආකාරයේ පර්යේෂණ සිදුකෙරෙමින් පවතිනවා. එලෙස කොලොම්බියානු සරසවිය මගින් සිදුකළ නව අධ්‍යයනයක වාර්තාවක් පසුගියදා ඇමෙරිකානු හෘද සංගමයේ ජර්නලය වෙත මුදාහැර තිබුණා.

එම අධ්‍යයනයට අනුව විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ උදෑසන ආහාරය නොවරදවා ගැනීම හා ආහාර වේල ලබාගන්නා වේලාව හෘද රෝග ඇතිවීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවයි. ඒ අනුව ඔවුන් පවසන්නේ උදෑසන ආහාරවේල ප්‍රමාද කිරීම හා උදෑසන ආහාරවේල මගහරින්නන් කල්යත්ම හෘද රෝග, ආඝාතය, අධිරුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම, ස්ථුලතාවය ආදී රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

විශේෂයෙන් උදෑසන ආහාරය පමා කරන්නන් හා මගහරින්නන් බොහෝ විට කුසගින්න මගහරවා ගැනීමට ක්ෂණික ආහාර හා ස්නැක් වර්ග ගැනීමට වැඩි වශයෙන් යොමුවන බව ඔවුන් සොයාගෙන ඇත. එම ආහාර වර්ගවල පෝෂණය අඩු වීම මත විවිධ පෝෂණ ඌණතාවන්ට ඔවුන් ගොදුරු වන බවත්, පසුකාලීනව බෝ නොවන රෝග රැසකට ඔවුන් ගොදුරු වන බවත් මෙම අධ්‍යයනය මගින් සොයාගෙන ඇති බව Telegraph වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

ඇතැමුන් ශරීර ස්කන්ධය අඩුකරගෙන සිහින් සිරුරක් ඇතිකර ගැනීම උදෙසාත් උදෑසන ආහාර වේල මගහැරීම සිදුකළත්, ඉන් අත්පත් වන්නේ යහපතක් නම් නොවේ. ඔවුන් පවසන පරිදි උදෑසන ආහාර වේල මගහරින්නන්ට 27%ක පමණ අවදානමක් හෘද රෝග වැලඳීම කෙරෙහිත්, 18%ක අවදානමක් ආඝාතනය ඇතිවීම කෙරෙහිත් පවතිනවා. මේ නිසාම සුවෙන් සිටීමට නම් උදෑසන ආහාර වේල ලබාගැනීම ඉතා වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ.  

නිසංසලා 

උදෑසන ආහාර මගහරිනවා නම් බෝ නොවන රෝග අවදානමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :