බලධාරීනගේ අවධානය යොමු නොවීමෙන් විනාශ වී යන කන්දකැටිය කිරිවෙහෙර රජමහා විහාරය
( . . ) 2017-02-27 16:03:42
Comments - 0       Views - 1035

වියලුව, කන්දකැටිය කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ   ඉපැරණි බුදුමැදුරේ බිතු සිතුවම් මෙන්ම විහාර බිමේ තැනින්තැන පිහිටි ගල් කැටයම් ඇතුළු පුරාවස්තු රැසක් විනාශ වෙමින් පවතින බව එම විහාරාධිපති කන්දකැටියේ විමලකිත්ති නාහිමියෝ පවසති.

දේවානම්පියතිස්ස රජ සමයට අයත් ඉපැරණි  සිද්ධස්ථානයක් වන මෙහි බුදුමැදුර තුළ පිහිටි ඇතැම් මූර්ති රූප සහ සිතුවම් කිසියම් පිරිසක් විසින් විනාශ කර ඇති අතර, ඒවායෙහි නිසි නඩත්තුවක්ද සිදුකර නොමැත.

අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේ මෙරටට වැඩම කළ මිහිඳු හිමියන් සමග පැමිණි සුමන සාමනේරයන් අත තිබූ පාත්‍රා ධාතුවෙහි වූ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරමින් ශ්‍රී ලංකාව පුරා ඉදිකරන ලද යෝජණික ස්තූපයන්ගෙන් එකක් සේ සැලකෙන මෙම විහාරස්ථානය ඉංග්‍රීසි පාලන සමය තුළ මහා විනාශයකට ලක්වූ සිද්ධස්ථානයකි. ඒබව පූජාවලියේ මෙන්ම ථූපවංශයේද සඳහන් වේ.

සුරනිමල හා වේළුසුමන යෝධයන් මෙන්ම කිවුලේගෙදර මොහොට්ටාල වැනි විරුවන් නිතර ගැවැසුණු මේ පින්බිම තුළ පඨවි චාලක ගුප්ත නමැති මහරහතන් වහන්සේ නමක් වැඩවිසූ බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.

සුවිසල් චෛත්‍යයක්, ඉපැරණි බිතුසිතුවම් සහිත විහාර මන්දිරයක් මෙන්ම විවිධ ශෛලමය ඉදිකිරීම් රැසකින්ද සමන්විත මෙම පින්බිම සියවසකටත් අධික කාලයක් තිස්සේ කැලෑවෙන් යටවී විනාශ වෙමින් පැවැති අතර, වර්ෂ 1870දී මෙහි වැඩම කළ පොල්වත්තේ සුනන්ද හිමියන් මෙම විහාරස්ථානය ජනතාවට වන්දනාමාන කිරීමට සුදුසු තත්ත්වයට පත්කර තිබේ.

එවැනි අතීත පසුබිමක් ඇති විහාරස්ථානය අද වනවිට නිසි නඩත්තුවකට හෝ වගකිවයුත්තන්ගේ නිසි අවධානයට ලක්නොවීම හේතුවෙන් ක්‍රමයෙන් විනාශ වෙමින් පවතී.

විහාරස්ථානය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කන්දකැටියේ විමලකිත්ති නාහිමියෝ,

‘‘කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය කියන්නෙ මේ වියලුව ආසනයේ පමණක් නොව බදුල්ල දිස්ත්‍රික්කයටම වටිනා සිද්ධස්ථානයක්. නමුත් පසුගිය කාලය තුළ විවිධ හේතු නිසා මේ සිද්ධස්ථානයට නිසි රැකවරණයක් ලැබුණෙ නැහැ. ඒ නිසාම මෙම ස්ථානයේ ඉපැරණි පුරාවස්තු රැසක් විනාශ වෙමින් පවතිනවා.

විශේෂයෙන්ම ඉපැරණි බිතු සිතුවම් හා මූර්ති රූප රැසකින් සමන්විත විහාර මන්දිරය බෙහෙවින්ම විනාශයට පත්වෙමින් තිබෙනවා. බොහෝ සිතුවම් විනාශයට පත්වෙලා. මූර්ති රූපවල කොටස් කැඩීබිඳී ගිහින්. විහාර බිමේ ස්ථාන රැසකම ශෛලමය නිමැවුම් රැසක් කැඩීබිඳී විනාශ වෙමින් පවතිනවා. මෙම විහාරස්ථානයේ දායක සභාව හැකි ආකාරයට ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළත් එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවරණයත් මේ අවස්ථාවේ අවශ්‍ය වී තිබෙනවා. ඒ වගේම අතීත උරුමය විනාශ නොවන පරිදි මෙම ස්ථානයේ පිහිටි නටඹුන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවකුත් මතුව තිබෙනවා* යැයි පැවසූහ.

මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක

_____ ___ (2) copy _____ ___ (3) copy _____ ___ (4) copy _____ ___ (6) copy _____ ___ copy _______ _______ _____ ______   (1) copy

බලධාරීනගේ අවධානය යොමු නොවීමෙන් විනාශ වී යන කන්දකැටිය කිරිවෙහෙර රජමහා විහාරය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...