බුදුන් දවස භාරතයේ පැතිර තිබූ ජෛන ආගමේ යටගියාව
( . . ) 2017-02-20 12:50:56
Comments - 0       Views - 1087

බුදුදහම භාරතීය සමාජය තුළ මුල් බැසගැනීමට පූර්වයෙහි ඉන්දියාව තුළ පැවැති ආගමික මතවාද සමුදායක් විය. විවිධ දර්ශන, මතවාද බොහෝමයක් භාරතීය ජනතාව අතර වූ හෙයින්ම ඇදහිලි හා විශ්වාසද සුලබ ලෙස එම සමාජයේ පැතිරගොස් තිබිණි. බුදුරජාණන් වහන්සේ පහළ වන්නට හා බුදුදහම ආගමක් ලෙස ව්‍යාප්ත වන්නට ප්‍රථම පැවැති ආගමික වටපිටාව මෙන්ම ඒ වටා ගොඩනැගුණු දේශපාලන පසුබිමද බුද්ධකාලීන භාරතය පිළිබඳ විවරණයකට පෙර මං සකසයි. මේ බුද්ධකාලයට සමකාලීනව පැතිර තිබූ ජෛන ධර්මය හා බැදුණු සවිස්තරාත්මක සටහනකි.

ජෛන ආගම

ක්‍රි.පූ. 06 වැනි සියවසේදී ඉන්දියාවේ ඉතිහාසය කෙරෙහි තදින් බලපෑ සැලකිය යුතු ආගමික විප්ලවයක් ඊසාන දිග ඉන්දියාවේ ඇතිවිය. වෛදික ආගමේ සාරාංශය වූ දුෂ්කර චාරිත්‍ර විධිවලටත්,ලෙයින් පුද දුන් බිලි පිදේනිවලටත් විරෝධී ප්‍රතික්‍රියාවක් ලෙස එය මතුවී යැයිද හැඳින්විය හැක. එහෙත් දාර්ශනික මූලිකධර්ම අතින් බැලූ කල ඒ උපනිෂද් පිළිබඳ ආධ්‍යාත්මික විචාරය නොකඩවා ගෙන යාමෙකි. එසේ වුවද ජෛනාගමත් බුද්ධාගමත් නැගී ඒම ජීවිතය පිළිබඳ වෛදික මතයෙන් වෙන්ව කැඩී යාමක් සේ සැලකීම පිළිගත නොහැක. එහෙත් කල්යාමේ දී මෙම ආගම් ද්විත්වයමවෛදික දර්ශනයත්, ඇදහීමත් හා නොගැළපෙන පරමාර්ථයනුත් චාරිත්‍ර විධිත් ඇති කළේය.

මහාවීරයන්ගේ චර්යාව

වර්ධමාන මහාවීරයන් ජෛනාගමයේ කර්තෘ හැටියට සාමාන්‍ය‘යෙන් සැලකෙයි. එහෙත් එතුමා ජෛනයන්ගේ ප්‍රකාශය පරිදි ඔවුන්ගේ ලබ්ධිය පටන් ගැන්මේත් සංවර්ධනයේත් කර්තෘවරුන් වූ දික් ගුරු පරපුරෙක (තීර්ථංකර) අන්තිමයා විය. ජෛන සාහිත්‍ය‘යේ එන තීර්ථංකරයන් විසි තුන්දෙනා අතුරින් එක් කෙනෙකු පමණක් එනම්, පාර්ශ්ව නාථ දේශපාලන ඉතිහාසයේ අප්‍රකට වූ කල්පිත මූර්තියක් විය. පාර්ශවනාථ බරණැස් නුවර රජ කෙනෙකුන්ගේ පුතෙකු වූ අතර, ඔහු අබිනික්මන් කොට තපස් රැක්කේය. ඔහුගේ ප්‍රධාන ඉගැන්වීම්, අහිංසාව, සත්‍යවාදී බව, සොරකම් නොකිරීම, වස්තු අයිතියෙන් තුරන්ව සිටීම යනාදියෙහි අධ්‍යාත්මික අගය උතුම් කොට දැක්වීය.

මහාවීරයන් උපන් දිනය හෝ මරණයට පත් දිනයක් සහතික වශයෙන් නොදත් නමුත් හෙතෙම ක්‍රි.පූ. හයවැනි සියවස තුළ වාසය කළ බවට සාක්ෂි දැක්විය හැක. ඇතැම් පණ්ඩිතයන්ගේ මතය පරිදි ඔහු ක්‍රි.පූ. 528 දී අපවත් විය. තවත් ගත්කරුවෝ ඔවුන් ක්‍රි.පු. 468 දී අපවත්වීයැයි පවසති. ඒ සටහන් අනුව ඔහු උතුරු බිහාරයේ වෛසාලි නුවර අසල උපන්නේය. ප්‍රකට වූ ක්‍ෂත්‍රීය ගෝත්‍රයකට අයත් වූයෙන් ඔහු විශාලා මහනුවර රජ කළ ලිච්ඡවී පවුලට නෑ වීය.

වයසින් තිස් වැනි අවුරුද්ද තෙක් ඔහු සාමාන්‍ය ගෘහපතියකුගේ ජීවිතය ගත කළේය. ඉක්බිතිව තපසට ගොස් දොළොස් අවුරුද්දක් නොයෙක් තැන තැන සැරිසරමින් දුෂ්කර ක්‍රියා කළේය. වයස හතළිස් දෙකේදී ඔහු පරම ඥාන ලාභයට පැමිණියෙන් ජීන (ක්ලෙශයන්ගෙන් ජයගත්තේ) යනුවෙන් හෙවත් නිර්ග්‍රන්ථ (ආශ්‍රවයන්ගෙන් මිදුණු) යනුවෙන් ප්‍රකට වීය.

මහා වීරයන්ගේ ජීවිතයේ ඉතිරි තිස් අවුරුදු කාලය මගධ, අංග, මිථිල, කෝසල යන තන්හි ස්වකීය ධර්ම දේශනා කිරීමෙහි ගත කෙරිණි. ඔහු මගධයේ ප්‍රබල රජවරුන් වූ බිම්බිසාර, අජාසත්ත යන දෙදෙනා හා පෞද්ගලික ආශ්‍රය ඇතිව සිටියේය. ඔහු පාර්ශ්වනාථයන්ගේ උගැන්වීම් තමන්ගේ ධර්මයේ පදනම වශයෙන් පිළිගත්තේය. තවද තමන්ගේ පූර්වගාමීන් නියම කළ සතර ශීලයට ඔහු පස්වැන්නක්, එනම් බ්‍රහ්මචර්යාව එක්කළේය. මහාවීරයන්ගේ අභාවය පාවා නුවර දී (පැට්නා පෙදෙසේ) සිදුවිය.

ජෛන ධර්මය

ජෛනයෝ වේද ආධිපත්‍යයත් පිදේනි වශයෙන්, සතුන් බිල්ලට දීමේ පුරුද්දත් ප්‍රතික්‍ෂේප කළහ. අහිංසා ධර්ම කෙරෙහි ඔවුන්ගේ භක්තිය බෞද්ධයන්ගේ භක්තියට වඩා බෙහෙවින් දැඩිවිය. සෑම දෙයකටම සංඥාවෙන් යුත් ආත්මයක් (ජීව) ඇතැයි ඔවුහු විශ්වාස කළහ. ලෝකය ශ්‍රේෂ්ඨ බලවතකුගේ නිර්මාණයකැයි යන මතය ඔවුහු ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන්ගේ ඇදහීම පරිදි 'දෙවියෝ නම් මනුෂ්‍ය ආත්මයේ සැඟවී පවත්නා බලය සතු හුදු උසස්තම වූත්, උදාරතම වූත්, සම්පූර්ණතම වූත් ප්‍රකාශනය වීමයි.'

ඔවුහු හින්දූන්ගේ කර්මවාදය පිළිගත්හ. විමුක්තිය යන්නෙන් අතීත ආත්මවලින් උරුම වශයෙන් ගෙන ආ සකල කර්මයන්ගෙන් සම්පූර්ණ මිදීම සේ අදහස් කෙරිණි. ඊනියා ත්‍රිරත්නයකින්, එනම් සම්‍යක් භක්තිය, සම්‍යක් ඥානය, සම්‍යක් ආවරණය මගින්  එම විමුක්තිය අත්කර ගත යුතුයැයි ඔවුහු විශ්වාස කළහ. දුෂ්කර ක්‍රියා කිරීමෙනුත්, ආත්ම වධයෙනුත් ආත්මය ශක්තිමත් වෙතිය යන විශ්වාසයෙන් ඔවුහු  තපස් රැකීම ඉතා උසස් කොට සැලකූහ.

ජෛනයන්ගේ ආදි ඉතිහාසය

ක්‍රි.පූ. හයවැනි සියවසේදී ජෛනාගම හා බුද්ධාගම අතර තරගයක් විය. මහාවීරයනුත් ගෞතමබුදුනුත් යන දෙදෙනාම ස්වකීය ධර්ම නැගෙනහිර ඉන්දියාවේ දෙසූහ. තවද දෙදෙනා වහන්සේම තමන්ගේ ශ්‍රාවකයන් එකම පන්තියෙන් තෝරාගෙන ශාසනගත කළහ. පටන්ගැන්මේදී ජෛනයන් වඩා සාර්ථකවී යැයි සිතිය හැක්කේ මෞර්ය චන්ද්‍රගුප්තයන් ඇතුළු රාජ්‍ය ප්‍රබලයන් මේ ආගම වැලඳගත් හෙයිනි. එහෙත් පසුකාලීනව මුල්කාලීන බොහෝ ජෛනයෝ බුදුදහම වෙත යොමුවනු දක්නට ලැබීමද විශේෂත්වයකි. ක්‍රි.පූ.04වැනි සියවස අවසන් වන්නටත් පෙර ජෛනාගම දකුණු ඉන්දියාවේ මුල් බැසගෙන තිබූ බව නම් එකල ඉතිහාසය විමසීමේදී තහවුරු වේ.

ක්‍රි.පූ. තෙවැනි සියවසේදී ජෛනයෝ ශ්වේතාම්බර, දිගම්බර යන නිකායන් දෙකට බෙදුණහ. පළමු කී නිකාය සුදුවන් සිවුරු පොරවාගත් නමුදු, දෙවැනි නිකායට අයත්වූවෝ මහාවීරයන්ගේ ආදර්ශය අනුවනිර්වස්ත්‍රයෙන්ම සිටියහ. ජෛනාගම කිසි කලෙක ඉන්දියාවේ දේශ සීමාවෙන් පිටත නොපැතුරුණු නමුත් සියවසකට ආසන්න කාලයක්මුළුල්ලේ එය ඉන්දියාවේ දකුණු දිගත්, පෑල දිගත් ඉතාමත් දියුණු වූ ආගමක්ව පැවතියේය.

ජෛනයන්ගේ ආගමික සාහිත්‍යය

ක්‍රි.පූ. තෙවැනි සියවස් ආරම්භයේදී පාටලී පුත්‍ර‘යෙහිදී පැවැත්වුණු ජෛන සජ්ඣායනය මගින් මහාවීරයන්ගේ ඉගැන්වීම් දොළොස් අංගයකට බෙදා සකස් කෙරිණි. කල් යාමේදී දොළොස් වැනි අංගය නැති වී ඉතිරි වූ එකොළොස් අංගය පස්වැනි සියවසේදී වලභියෙහිදී පැවැත්වුණු ජෛන සජ්ඣායනයකින් යළිත් සකස් කෙරිණි.

මේ අංගයන්ගේ ප්‍රබල බව දිගම්බරයන් විසින් නොපිළිගැනිණි. මේ හේතුවෙන් ඒ ශ්වේතාම්බරයන්ගේම ශුද්ධ සාහිත්‍යය විය. බෞද්ධයන් මෙන් ජෛනයන්ද තමන්ගේ ආගමික පොත් පොදු ජනයාට පහසුවෙන් කියවාගත හැකිවන පරිද්දෙන් සකස් කිරීමට අදහස් කළ බැවින් මේ සාහිත්‍යය 'ආර්ශ හෙවත් අර්ධ මාගධී' නම් ප්‍රාකෘත විශේෂයකින් ලියැවිණි. අර්ථ කතාත්, දාර්ශනික කෘතීනුත් සංස්කෘතයෙන් රචනය වන්නට වූයේ සත් වැනි, අට වැනි සියවස්වල සිට ය.

ජෛනයන් සතු ආගමික සාහිත්‍යය විශාලය. එහෙත් එහි ආගමික වූත්, දාර්ශනික වූත් අගය එහි සාහිත්‍ය අගයට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨතර වේ. වින්ටර්නිට්ස් පඬීන් පවසන්නාක් මෙන් "ජෛනයන්ගේ ආගමික ග්‍රන්ථ, දුර්ලභ විශේෂයන් හැරුණා මැ, දූලි-තරම්-වියළි, සත්‍ය-ඝර්භ-කොට ඇති උපදේශාත්මක රචනා විලාසයෙකින් ලියැවිණි....." බොහෝ බෞද්ධ ග්‍රන්ථයන්හි එන සාමාන්‍ය මනුෂ්‍ය අවධානය මේ පොත්වල දුර්ලභ වශයෙන් එන්නෙකි. ඒ හෙයින් විශේෂඥයන්ට වැදගත් වන නමුත්,සාමාන්‍ය කියවන්නා තුළ මේ පොත් ඒ මහත් සැලකිල්ලට ළංවන තරමේවත් අවධානයක් නොදක්වයි.

ජෛනයන් සතු ආගමානුකූල නොවන සාහිත්‍ය

ජෛනයන් සතු ආගමානුකූල නොවන විශාල සාහිත්‍ය‘යෙන් සමහරක් ප්‍රකෘතයෙන්ද, සමහරක් සංස්කෘතයෙන්ද ලියැවී ඇත්තේය. ජෛන ගත්කරුවන් අතර භද්‍රාභාහු, සිඬසෙන දිවාකර, හරිභද්‍ර, සිඬ, හේමචන්ද්‍ර විශේෂ වෙති. 'කථා සාහිත්‍යය' ජෛනයන්ගේ ඉතාම වැදගත් කෘතියක් වන අතර, සැලකිය යුතු වීර කාව්‍ය, ප්‍රබන්ධ කතා, දෘශ්‍ය කාව්‍ය හා ගීතද රචනය වී තිබේ. ඊටත් වඩා වැදගත් වූයේ ඔවුන්ගේ දාර්ශනික කෘතීන්ය.

බෞද්ධ ශුන්‍යවාදයට විරුද්ධව ඔවුහු ස්‍යාද්වාදය විස්තර ලෙස ලියූහ. ජෛන දාර්ශිකයෝ තර්ක ශාස්ත්‍රයෙහි විශිෂ්ට නිපුණත්වයක් දැක්වූහ. ව්‍යාකරණය, ශබ්දකෝෂ සම්පාදනය, කාව්‍ය ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය, නක්‍ෂ්ත්‍ර ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව යන ශාස්ත්‍ර ජෛන නිබන්ධයන්ගෙන් බෙහෙවින් පෝෂණය වී ඇත්තේය. දෙමළ, තෙළිඟු, කානර, ගුජරාටි, හින්දි, රාජස්ථානි යන ජන්ම දේශීය භාෂාවන්ගේ වර්ධනයට අගනා සේවාවක් ජෛනයෝ කළහ. සංක්ෂිප්තව දක්වතොත් ඉන්දීය චින්තනයත්, සාහිත්‍යයත් පිළිබඳ ඉතිහාසයෙහි ජෛනයෝ ඉතා ප්‍රමුඛ ස්ථානයක් ගනිති.

සාකල්‍යා සඳමාලි

බුදුන් දවස භාරතයේ පැතිර තිබූ ජෛන ආගමේ යටගියාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :