බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බව මුදල් ඇමති ඇගයමින් බෑන්කර් කියයි
( ෂමිල පෙරේරා ) 2017-01-11 18:02:25
Comments - 0       Views - 583

බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බවත්, රටේ ඉදිරි සෞභාග්‍යය වෙනුවෙන් එය කළ යුතු කර්තව්‍යයක් බවට මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට රජය සමත් වූ බවත් 'ද බෑන්කර්' සඟරාව පෙන්වාදී තිබේ.

බ්‍රිතාන්‍යයේ පළවන මූල්‍ය සඟරාවක් වන 'ද බෑන්කර්' සඟරාව විසින් ආසියා පැසිෆික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කරමින් මෙම අදහස් පළ කර තිබේ.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙනයාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනැමුණු බව මුදල් 'ද බෑන්කර්' සඟරාව උපුටා දක්වමින් නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙනඒමට හැකිවීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇ.ඩො. බිලියන 1.5ක පමණ ණය ලබාගැනීමට සමත් වීමත් මෙම අගය කිරීමට හේතු වී ඇති බව කියයි. එමෙන්ම, රටේ ගෙවුම් ශේෂය හේතුකොට ගෙන ඇතිවන මූල්‍ය අර්බුද වළක්වා ගැනීමට සමත්වීම මෙන්ම, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැගීමට මුදල් අමාත්‍යවරයාට හැකි වී ඇති බවත් මෙම අගය කිරීමට හේතු දක්වමින් පවසා තිබේ.

බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බවත්, රටේ ඉදිරි සෞභාග්‍යය වෙනුවෙන් එය කළ යුතු කර්තව්‍යයක් බවට මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට රජය සමත් වූ බව සඳහන් කරන 'ද බෑන්කර් ' සඟරාව, රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව එමගින් අවධාරණය කරනලද බව එම සඟරාව පෙන්වාදෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බවද එම සඟරාව සඳහන් කර සිටින බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බව මුදල් ඇමති ඇගයමින් බෑන්කර් කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :