උමා ඔය සංවර්ධනයට යටවන උඩුපේරුවේ ජීවිත
( චාමර සම්පත් ) 2017-01-11 10:29:48
Comments - 0       Views - 1951

මෙරට ඇතැමුන් අලුත් බලාපොරොත්තු සමග 2017 නව වසර උදාව මහත් ඉහළින් සැමරුවද, සිය බලාපොරොත්තු තවදුරටත් සිහිනයක් පමණක්ව තබාගනිමින් නව වසරට පියනැගීමටද මෙරට තවත් පිරිසකට සිදුවිය. 

බණ්ඩාරවෙල ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් උඩුපේරුව ගම්මානයේ ගම්වාසීන් එවන් වූ පිරිස් අතරින් එක් කොට්ඨාසයකි. ඔවුන්ට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූයේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් බව ගම්වාසීහු චෝදනා කරති.ජනවාරි 01දා උදාවනවාත් සමගම මෙම ගම්වාසීන්ට දැකගත හැකි වූයේ වෙහෙස මහන්සියෙන් ඉදිකරගත් නිවාස ගිලාබසින ආකාරයයි. නිවාස ඉරිතලා යන ආකාරයයි. උමා ඔය ව්‍යාපෘතියේ කිලෝමීටර 15.2ක් දිග ප්‍රධාන උමග මෙම ගම්මානය අසලින් ගමන් කරන අතර, ගම්වාසීන් පවසන්නේ මේ හේතුවෙන් උඩුපේරුව ගම්මානයට මෙම විනාශය සිදුවී ඇති බවයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සමස්ත වශයෙන් මෙතෙක් නිවාස 3870ක් පුපුරා විනාශ වී ඇති බවට වාර්තා ඇති අතර, එක් ප්‍රදේශයකට ජලය ලබාදීමට සිදුකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ළිං රැසක් දැනටමත් සිඳී ගොස් තිබේ. තත්ත්වය මෙසේ වනවිට උමා ඔය ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සහ මේ හේතුවෙන් අසරණ වූ ගම්වාසීන් සොයා අප බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරය කළෙමු.

වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2011 වසරේ මැයි මාසයේදීය. ඊට අදාළ ගිවිසුම්ගතවීම 2008 වසරේ අප්‍රේල් මස 28 වැනිදා සිදුකළ අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉරාන රජයේ මූල්‍ය ආධාර යටතේය. මෙම ව්‍යාපෘතිය  'උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය' නමින් විවිධාංගීකරණයට ලක්‌කර ඇති අතර, මෙය ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් ලෙසද,‌ පොළෝ ගර්භය තුළ ඉදිවන විදුලි බලාගාරයකින් විදුලිය මෙගාවොට්‌ 120ක්‌ ජනනය කරන ව්‍යාපෘතියක් ලෙසද නම්කර ඇත. 

එසේම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ වැඩ ඉරාන සමාගම්වල සහයෝගයෙන් සිදුකිරීමටත් මෙම ගිවිසුමෙන් එකඟතාවකට පැමිණ තිබේ.  ඒ අනුව වැලිමඩ, ඌවපරණගම, හාලිඇල, ඇල්ල - වැල්ලවාය, තණමල්විල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ඉහළ සහ පහළ නිම්න වශයෙන් කොටස්‌ දෙකකින් ක්‍රියාත්මක වේ. ව්‍යාපෘති සැලැස්‌මට අනුව වැලිමඩට නුදුරු පුහුල්පොලදී, උමාඔය හරස්‌කර තැනෙන පුහුල්පොල ජලාශය සඳහා වන වේල්ලත්, ඩයරබා හිදී මහතැටිල්ල ඔය හරස්‌කර ඩයරබා ලෙස ඉදිවන ජලාශයේ වේල්ල සහ පුහුල්පොල ජලාශයේ අතිරික්‌ත ජලය ඩයරබා වෙත ගෙන එන කිලෝමීටර් 4.5 ක්‌ දිග උමගත් සාදනු ලැබේ.

එසේම ඩයරබා සිට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල - වැල්ලවාය පාරට උඩින් කුරුල්ලන්ගල කන්ද දක්‌වා කිලෝමීටර් 15 1/2ක උමගක්‌ තනා ජලය ගෙන එන්නේද, එතැන් සිට සිරස්‌ව මීටර් 760ක්‌ පොළෝගැබ සිදුරුකර ඇල්ල වැල්ලවාය පාරට යටින් කිලෝමීටර් දෙකක පමණ දුරක්‌ ගෙවා පොළෝගැබ තුළට ගියවිට හමුවන ස්‌ථානයකට එක්‌වන උමගය තුළ නිර්මාණය වන විදුලි බලාගාරය නිර්මාණය කරන්නේද අදාළ ඉරාන සමාගම් මගිනි.

තවද, විදුලි බලාගාරයෙන් මෙගාවොට්‌ 60 බැගින් වූ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර මුදාහැරෙන ජලය තවත් උමගකින් කිලෝමීටර් තුනක්‌ මග ගෙවා ඇල්ල වැල්ලවාය පාරට යටින් ගොස්‌ අලිකොටආරට මුදාහැරෙන ටේල්රේස්‌ උමගයද නිර්මාණය කරනු ලබන්නේ ඉරාන ඉදිකිරීම් ලෙසය. 

කෙසේවුවද 2008 වසරේදී ආරම්භ කෙරුණු උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති අතර, ජනතා විරෝධය හමුවේ ඉන් වසර තුනකට පසු 2011 වසරේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කරනු ලැබූ නමුත් එහි විශ්වසනීයත්වය පිළිගත නොහැකි බව ගම්වාසීන්ගේ අදහස වේ.

උඩුපේරුව ගම්මානයට ගිය අපට මුලින්ම හමුවුයේ පසුගිය 31 වැනිදා රාත්‍රියේ හදිසියේම නිවසේ බිත්ති පිපිරීමට පටන් ගැනීමෙන් පසුව අසරණව සිටින බී.කේ ශ්‍රියා කාන්තිය. ඇය  ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නකි. 

"31 වැනිදා රෑ හයියෙන් සද්දයක් ඇහුණා. උදේ දොර වහන්න හදද්දි වහන්න බෑ. දොර වහන්න බැරි ඇයි කියා බලනකොටයි දැක්කෙ බිත්තිය ඉරිතලලා. එන්න එන්නම පැල්ම ලොකු වුණා. ගෙයි බිත්ති කිහිපයක් දැන් පැලිලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇවිත් අපට කිව්වා හැකි ඉක්මනින් නිවසෙන් පිටවෙන්න කියලා. එයාලා යන්න කියල කිව්වට  යන්න තැනක් කිව්වෙ නෑ. අපි කොහේ යන්නද?  මේවා අපි කරගත්තු දේවල් නෙවෙයි. රජයේ තියෙන වැරදි. බණ්ඩාරවෙල ප්‍රදේශයට මේ දේවල් ඔරොත්තු දෙන්නෙ නැත්නම් නොකර ඉන්න තිබුණා. මේකට රජයෙන් එක එක හේතු කියනවා. එතකොට අපිටත් කේන්ති යන එක සාධාරණයි.

අපිට වතුර නැහැ. කුඹුරු කරන්න විදිහකුත් නැහැ. ජීවත් වෙන්න මගකුත් නැහැ. හදාගත්තු ගෙදර ඉන්න විදිහකුත් නැහැ. මේ ප්‍රදේශය අතහැරලා වෙනත් ප්‍රදේශයකට යන්න බැහැ. මේ හැමදේටම වගකියන්න ඕන උමා ඔය ව්‍යාපෘතිය. අපිට අපේ ගෙදර තිබුණ විදිහටම හදලා දෙනවනම් ඉවත් වෙන්න කැමතියි. අපිට වගේම මුළු ගමටම සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියලා තමයි මම කියන්නේ"

විශ්‍රාමික ගුරුවරයෙකු මෙන්ම උඩපේරුව ගොවි සමිතියේ සභාපතිවරයා ද වන ඒ.ටී.එම් කරුණාරත්න මහතා 
තමා මුහුණ පා ඇති තත්ත්වය විස්තර කළේ මෙලෙසිනි.

 

"දෙසැම්බර් 31 වෙනිදා අපේ පොඩි පුතා පෙන්නුවා මිදුලෙ ඉරක් ගිහින් තියෙනවා. මම ඒක ගණන් ගත්තෙ නැහැ. ඒත් පොඩි පුතා ඒක සැලකිල්ලෙන් බලද්දි දැක්කා ‘බිම දිගටම ඉරිතලලා තියෙනවා.  දිග කෝටුවක් ඇතුළට දැම්මාම ඒක ඉවර වෙනකම්ම යටට යනවා. කොයිතරම් යටට මේ පැල්ම තියෙනවද දන්නෙ නෑ. එදා මුලින් යන්තම් ඉරක් තිබුණේ. දැන් පැලුම් ලොකු වෙලා. වෙනත් තැන්වලත් ඉරිතලලා පැලුම් ඇතිවෙලා. මේක කොතැනින් කෙලවර වෙයිද කියලා අපි දන්නෙ නැහැ.

එදා ඉඳන් විවිධ අය එනවා. මොකුත්ම කියල නැහැ තාම. අපි මොකක්වත් දන්නෙත් නැහැ. මේ කිට්ටුවෙන් තමා උමා ඔයේ උමග යන්නේ. ඒ නිසා තමයි අපිට මේ දේ වෙන්න ඇත්තේ කියලා අපි හිතාගත්තා. කොහොම උනත් මේ සිද්ධියෙන් පස්සෙ අපේ ගමේ ගෙවල් කිහිපයක්ම ඉරිතලලා ගියා. ඒවා එන්න එන්නම වැඩි උනා. මෙහෙම ගිහිල්ලා කොයිවෙලාවේ මේ ප්‍රදේශයම විනාශ වෙයිද දන්නෙ නැහැ. අපි අන්ත අසරණ වෙලා ඉන්නෙ. මේවා අපේ මුතුන්මිත්තන් දීපු ඉඩම්. අපේ දරු මුණුබුරන්ටවත් ජීවත් වෙන්න තැනක් නැතිව යනවා"

 

උඩුපේරුව ගම්මානයේ දැඩි ලෙස හානි වූ එක් නිවසක වැසියන් මේ වන විට නිවස හැරදමා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇත. ඔවුන්ගේ සොහොයුරියක් වන
යූ.ඒ අනුලාවතී අප හා මෙලෙස විස්තර කළේය. 

"අපේ මල්ලිගෙ ගෙදර පළවෙනිදා උදාවෙද්දිම ගිලාබහින්න පටන් ගත්තා. දැන් ගෙදරට ළංවෙන්නවත් බැරි විදිහට ගෙදර පොළව ඉරිතලලා . බිත්ති හොඳටම පුපුරලා තියෙන්නේ. මල්ලි එයාගේ දරුවොත් අරගෙන මේ ගෙදරින් අයින් උනා. දැන් එයාලට ඉන්න තැනක් නැහැ. මේ හැමදේම වෙන්නෙ උමා ඔයේ උමග හින්දා. ගේ ළඟ තියෙන පස් කන්දත් දැන් පුපුරලා තියෙන්නේ. ඒකත් කඩාවැටෙන්න ළඟයි. මොනවා වෙන්න යනවද කියල මට තේරෙන්නෙ නැහැ"

යුද හමුදාවේ හිටපු සාමාජිකයකු වූ ඩබ්ලිව්.ජී පුංචි බණ්ඩාරගේ නිවස පමණක් නොව ළිඳද ඉරිතලා ගොස් තිබිණි.

"කිසිම නියඟයකට අපේ ළිඳේ වතුර අඩුවෙලා නැහැ. දැන් මාස හයක විතර ඉඳන් ළිඳ අඩියටම හිදිලා. හිතාගන්න බැහැ කොහොමද එහෙම උනේ කියලා. මීට මාසයකට විතර ඉස්සර අපේ ගෙදර බිත්තිවල පැන්සල් ඉරි වගේ පුංචි ඉරි තිබ්බා . අපි ඒවා ඒතරම් සැලකිල්ලක් කළේ නැහැ. ඒත් පහුගියදා මේ ඉරි විශාල උනා . ගෙදර වටෙන්ම පැල්මවල් ඇති වුණා. මේ වෙද්දි ප්‍රදේශයේ ඔක්කොම ළිංවල වතුර නැතිව ගිහින් තියෙන්නේ. ළිං පතුලේ ඉඳන් පැළිලා. සතියකට සැරයක් එක ගෙදරකට වතුර ලීටර දහසක් පමණක් දෙනවා. ඒක දින තුනකටවත් මදි. ඒ වතුර බොන්නත් බෑ. ඒවතුරවල මුදුරු කීටයෝ ඉන්නවා. 

වතුර පුරවා ගන්න උමා ඔය ව්‍යාපෘතියෙන් ටැංකියක් දුන්නා. අපිට බොන්න වතුර හොයාගන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෑ. අතිතරම් වතුර තිබුණ අපිට දැන් බොන්න වතුර ටිකක් එනකම් බලාගෙන ඉන්න වෙලා. මම හමුදාවේ සේවය කරලා තමයි මේ ගේ හදාගත්තේ. දැන් මට වයස 55යි. ආයෙ ගෙවල් හදාගන්න විදිහක් නැහැ. කොහොම උනත් මේ කිසිම දෙයකට විසඳුමක් නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම් ගෙදර ඉස්සරහට වෙලා ඉඳගෙන ඉඳලා රෑට නිදාගන්න කොහේ හරි යනවා. මේ වෙනකම් රජයෙන් කිසිම දෙයක් වෙලා නැහැ. සාකච්ඡා පවත්වනවා විතරයි" යැයි ඔහු පැවසුවේ තරමක් ආවේගයෙනි.‍

කෙසේවුවද තත්ත්වය මෙසේ වන විට මෙම සමස්‌ත ව්‍යාපෘතියේ  ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70 ක්‌ පමණ අවසන් වී ඇති බව ව්‍යාපෘතිය භාර‍ නිලධාරියකු අප සමග පැවසීය.

බණ්ඩාරවෙල, ගිණිගම, උඩුපේරුව, අරවත්ත, මහගලඉන්නකොටස, කොලතැන්න, පහලතැන්න යන සියලු ප්‍රදේශ මේ හේතුවෙන් අවදානම් කලාප බවට පත්ව ඇත. ගෙවල් 550ක් පමණ ඇති මෙම ප්‍රදේශයේ ජනගහණය 4000ක් පමණ මේ වනවිට බලාපොරොත්තු සුන් වූ මිනිසුන් බවට ඇද දැමීමට මෙම සිදුවීම සමත්ව ඇත. රටට එළවළු සපයන ප්‍රදේශයන් වන මෙහි ගම්මු පවසන ආකාරයට දිනකට එළවළු ලොරි 10ක් 15 පමණ එළවළු රැගෙන යයි. මේ වන විට මේ සියල්ල බණ්ඩාරවෙලට මෙන්ම රටට අහිමිවන ආකාරය බලා සිටීමට සිදුවීම කණගාටුවට කරුණකි. සැලසුම් සකස් කිරීමේදී පරිසර වාර්තා ඇතුළු ශක්‍යතා අධ්‍යයන වාර්තා සිදුනොකරමින් හිතුමනාපයට කටයුතු කිරීමට යාමෙන් එහි විපාකය විඳීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය.  

කෙසේවෙතත් බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස්  අධිකාරී සුදත් මාසිංහ, බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ ගුණරත්න ඇතුළු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් ගම්වාසීන්ට සහන සැලසීමට වෙහෙසෙන අයුරු මේ ගමනේදී අපට දැකගත හැකි විය. එමෙන්ම මෙම උමාඔය බහුකාර්යය ව්‍යාපෘතිය 2018 ජුනි මස වන විට අවසන් කිරීමට සැලසුම්කර ඇති බව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒසඳහා මේ වනවිට රුපියල් බිලියන 54ක් වැයකර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනතාව මුහුණ පා ඇති සියලු පීඩාවන් මඟහරවා සියලු පහසුකම් ලබාදීමට ක්‍රියාකරන බවත්, මේ සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අහිමි වූ ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ජලසම්පදාන මණ්ඩලය සමග ක්‍රියාත්මක කළද, ඒ හරහා සෑම ප්‍රදේශයකටම ප්‍රමාණවත් ජල පහසුකම් නොලැබෙන බව අපට තහවුරු විය. එමෙන්ම මේ වනවිට ගම්වාසීන්ට ප්‍රමාණවත් ජලය සැපයීමේ වගකීම උමා ඔය ව්‍යාපෘතිය භාරගත් බවත් ඉතා ඉක්මනින් ජලය ලබාදීමට කටයුතු කරන බවත් ව්‍යාපෘතිය භාර නිලධාරියකු ප්‍රකාශ කළේය.

ඒ මෙන්ම හානිවූ දේපළ සම්බන්ධ තක්සේරු මේ වනවිට සිදුකරන අතර, වන්දි ගෙවීම් කඩිනම් කිරීමට පසුගියදා ප්‍රදේශයේ දේශපාලඥයෝ එකඟතාවයට පැමිණ ඇත. බණ්ඩාරවෙල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1344ක් වෙනුවෙන් මේ වනවිට මිලියන 165ක්ද ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 727කින් පවුල් 645කට ගෙවීම් තක්සේරුකර අවසන් අතර, ඒ සඳහා මිලියන 30.15ක් වැයවූ බව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වනවිට පීඩාවට පත්වූ ජනතාවට ජනවාරි 25ක් පමණ වනවිට නිවාස ලබාදීමටද තීරණය වී ඇත. ඒ සඳහා බණ්ඩාරවෙල ක්‍රේග් වතුයායේ අක්කර 50ක ඉඩමක් ලබාගෙන එහි නිවාස ඉදිකිරීමටද මේ වනවිට යෝජනා වී ඇත. එමෙන්ම උමාඔය ව්‍යාපෘතියේ සිදුවන හානි පිළිබඳ දැනුවත් කිරීම සඳහා බදුල්ල නගරයේ තාක්ෂණික කාර්යාලයක් වහා පිහිටුවීමට තීරණය කළ අතර, මේ සියල්ල සිදුවන ආකාරය අවතැන් වූ ජනතාව බලා සිටියි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට නොව දිගටම කරගෙන යාමට රජය තීරණයකර තිබේ. එසේම මෙම අසරණ මිනිසුන්ගේ හෙට දවස පිළිබඳ වගකීමද රජයට පැවරී ඇති අතර, එම වගකීමෙන් මිදීයාමට නොව එය ඉටුකිරීමට රජය වෙහෙසිය යුතුය.

විශේෂ ස්තූතිය - මෙම ගමනේදී සහය දුන් කේ.ඒ. එච් ධර්මසිරි, ඩී.එම් ජෝතිපාල, එස්.ජී බුද්ධික බණ්ඩාර, ලහිරු දිසානායක, කෝකුලන් ගෞතම් මහත්වරුන්ට 

DSC_0657 DSC_0681

උමා ඔය සංවර්ධනයට යටවන උඩුපේරුවේ ජීවිත සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...