හම්බන්තොට සිදුවීම් පවතින රජයට කළු පැල්ලමක් ද ?
( අම්ත් මධුරංග ) 2017-01-10 10:02:04
Comments - 0       Views - 218

හම්බන්තොට කර්මාන්ත කලාපය ආරම්භ කරන අවස්ථාවේ උද්ඝෝෂණය කළ පිරිසට පහරදීම සහ ඒ ආශ්‍රිත සිදුවීම් සම්බන්ධව පාර්ශ්ව කිහිපයක අදහස් විමසුවෙමු.පොලීසිය හා බාහිර කණ්ඩායමක් විසින් හම්බන්තොටදී පසුගිය හත්වැනිදා ප්‍රහාරයක් එල්ල කරන  අවස්ථාවේ උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටි ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් සිය අත්දැකීම් විස්තර කරමින්,

මහජ්ජාව පන්සලේ තමයි ගම්මු රැස්වෙලා මේ ගැන විරෝධයක් පළකරන්න සූදානම් වෙලා හිටියේ. විරෝධයට අවශ්‍ය මූලික සාකච්ඡාව එම පන්සලේ සිදුකළා. එම ප්‍රදේශයේ ප්‍රධාන හාමුදුරුවෝ ඉන්නෙත් ඒ පන්සලේ. අපි ගම්මු සමග සාකච්ඡා කරගෙන යද්දි තහංචියක් ආවා ප්‍රධාන පාරවල්වලින් යන්න බෑ කියලා. අපි සැලසුම් කළ පරිදි ජනතාවගේ ගම්බිම් අහිමි වෙන පහළ බැරගම ගම්මානයේ  භූමිය දිගෙයි ගියේ. එම උසාවි නියෝගයට යටත් නොවූ ප්‍රදේශයක තමයි මෙම විරෝධය සංවිධානය වුණේ. එහෙම ගිහින් අපි ප්‍රධාන පාරට ගියා. පාරේ පැත්තක සිටගෙන අනිත් මිනිස්සුන්ට, වාහනවලට යන්න ඉඩකඩ තියලා විරෝධය පළකළ යුතු බවට අපි තීරණයක් අරගෙන තිබුණා. ඒ වෙලාවේ  පොලීසිය සහ වටපිටාවේ මැරයන් ඇවිල්ලා අවිආයුධ, පොලු, මුගුරු බානවා කියන එක ගම පුරා පැතිර ගියා.

වෑන්වලින් පොලු මුගුරු බාන ආකාරය ජංගම දුරකථනවලින් වීඩීයෝ කරලා ගමේ තරුණයන් අපට ගෙනැවිත් පෙන්නුවා. ඒ විදියට වෑන් තුනක දර්ශන අපට ගෙනත් දුන්නා. කොළඹ -මට්ටක්කුලිය, කුරුණෑගල, අනුරාධපුර යන ප්‍රදේශවලින් බස්වලින් කණ්ඩායම් ඇවිත් ඉන්නවා කියලා ගමේ පිරිස් අපට කිව්වා. ඒවායේ කොළ කොඩි තිබිලා තියෙනවා. එම වෑන්වලින් ආපු ළමයින්ගේ අත්වල සහ වෑන්වල අලවලා තිබුණා. එම ප්‍රදේශ දැක්වෙන ලේබල්. පාසල් බස් රථයකුත් මෙතන තිබුණා.

එම ගම්මු මේ පිරිස ගැන හොඳ අවබෝධයකින් හිටියේ. නිරීක්ෂණ වැඩ ටික ගම්මුන් විසින් සිදු කළා. ඒ නිසා තමයි පෙරළා මැරයෝ දහදොළොස් දෙනෙක් තෝරා බේරගෙන ගස් බැන්දෙ. පමණක් අයට ගම්මු පහරදෙද්දි අපි ගිහින් බේරලා යැව්වා. ගස් බැන්දට පස්සෙ ඒ කොල්ලෝ පාපොච්චාරණය කරන්න ගත්තා. ඒ අයට පහසුකම් දුන්නේ කවුද කියලා කියන්න ගත්තා. අනුරාධපුරයෙන් ආපු අය කිව්වා චන්දිම ගමගේ විසින් එවපු කට්ටියක් කිව්වා. මට්ටක්කුලියේ කට්ටිය අල්ලගත්තාම අහවල් ඇමතිගේ කියලා පාපොච්චාරණය කළා. ඔවුන් ඇත්ත කතන්දරය කිව්වා. රැස්වීමට ගල් මුගුරු ප්‍රහාරයක් ආවොත් ගහන්න ආවේ කියලා ඔවුන් කිව්වා. ඔවුන් පැහැදිලි ලෙසම විරෝධතාකරුවන්ට පහරදුන්නා.

PKP_7507

සාමකාමී ලෙස මේ විරෝධය පළ කරන්න ගමේ කැළෑබද පාරවල්වලින් ප්‍රධාන පාරට ගියා. ඒවායේ ගහන්න දෙයක් තිබුණෙ නැහැ. රෝහණ රාජ්‍යය බේරගත්තු යෝධයන්ගේ පරපුරුවලින් එන ගම්මාන මේවා. නීල මහා යෝධයා එක් අයෙක්. එයාගේ පරපුරේ ගොඩක් මිනිස්සු පාරම්පරිකව ගම්බිම් රැකගෙන අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොවිතැන් බත් කරමින් මේ ගම්බිම්වල ජීවත් වුණා. අංජදේව, ඵුස්සදේව කියන යෝධයන්ගේ පරපුරේ මිනිස්සු ඉන්නවා. එම ප්‍රද්ශවල මිනිස්සු තමයි මේ විරෝධයට නායකත්වය දුන්නේ. පාරදිගේ ගිහින් උත්සව භූමියට යන්න අපේ සූදානමක් තිබුණෙ නැහැ. නමුත් උත්සව භූමිය අසලදී බස් දාලා පොලීසිය පාර හරස් කළා. ඉන්පසුව අපි එම ස්ථානයේ උද්ඝෝෂණය කරන්න සූදානම් වුණා. නමුත් එය කරන්න ඉඩ නොදී මැර  කණ්ඩායම්  පහළින් ඉඳගෙන අපේ කණ්ඩායම්වලට පහරදෙන්න ගත්තා. ඒ අවස්ථාවේ අපේ පිරිස උත්සව භූමියට තල්ලු වෙලා ගියා. පොලීසිය ඒ ගැන ක්‍රියාත්මක වුණේ නැහැ. එයාලට තෝරා බේරාගැනීමේ ගැටලුවක් තියෙන්න ඇති.

PKP_7551

ඉන්පසුව පොලීසිය ඉවක් බවක් නැතිව විරෝධතාව යද්දී ඉවක් බවක් නැතිව කඳුළු ගෑස්  සහ ජල ප්‍රහාර ගහන්න පටන් ගත්තා. සාමකාමීව සත්‍යග්‍රහය පිළිබඳ ලියවිල්ල කියවන්න ගිය හාමුදුරුවන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිස එවිට බිම වැටුණා. ඊටපසුව මෙම කණ්ඩායම විසින් දිගට හරහට පහරදෙන්න පටන්ගත්තා. දෙපැත්තට ගල්මුල් පහර දෙන්න ගත්තා තෝරා බේරාගැනීමක් නැතිව. හාමුදුරුවරුන්ටත් ඒවා වැදුණා. අපිත් කඳුළු ගෑස් වැදිලා සිහි නැතිවුණා. පස්සෙ මිනිස්සු වාහනයකට ඇදලා දැම්මට පස්සෙ තමයි බේරිලා ආවේ.

මෙවැනි අවස්ථාවක අයුතු ප්‍රයෝජන ගන්න කණ්ඩායම් ඉන්නවා. අඩු ගාණෙ ගම්මු රැස්වීම් ශාලවට ගිහින් සහභාගි වුණා නම් ඒ මිනිස්සු සැබෑ යථාර්ථය මොකක්ද කියලා අහනවා. අන්තිමට රැස්වීමට සහභාගි කරවාගන්න මිනිස්සු ගෙනාවේ කොළඹින්, කුරුණෑගලින්, අනුරාධපුරයෙන් වගේ ප්‍රදේශවලින්. මේක ආණ්ඩුව හිතාමතාම ගම්වාසීන් බැහර කරලා වෙනත් ප්‍රදේශවලින් ජනතාව ගෙන්වලා කළ කෘත්‍රිම උත්සවයක් ලෙස අපි දැක්කේ. ඒ නිසා ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට තරහ ගියා. ගමේ මිනිස්සුන්ට මේකට සහභාගි වෙන්න අවස්ථාව නොදුන් නිසා.

එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහත්තයලා බොහොම නිහඬ ප්‍රතිපත්තියක හිටියේ. මේ ගුටිකාපු බහුතරය යූ.එන්.පි.යට ඡන්දෙ දීපු මිනිස්සු. මේ ගම්මානවල ඉන්නේ සජිත් ප්‍රේමදාසට සහ ආනන්ද කුලරත්නට ඡන්දේ දුන්න මිනිස්සු. රාජපක්ෂලාට ඡන්දේ දීපු ගම්මාන නෙවෙයි මේවා. ආණ්ඩුව පත් කරන්න දරදිය ඇදපු පිරිසකට එරෙහිව කරපු දෙයක් මේක.මේ අය ඉවක් බවක් නැතිව ගැසීම තුළ හාමුරුවරුන්ගේ ඇඟ පිච්චුනා. සිවුර පිච්චුනා. ක්ලාන්ත වුණා. ඔළු පැළුණා. හාමුදුරුවෝ දෙන්නෙක් රෝහලේ ඉන්නවා. හාමුදුරුවන්ට බැටන් ප්‍රහාර, ගල්මුල් ප්‍රහාර එල්ල වුණා.

අපි හිතුවා පොලීසිය සාමකාමී විදියට අපේ විරෝධයට සහය දක්වාවි කියලා. මේක අපි උත්සව භූමියට යන්න ගිය ගමනක් නෙවෙයි. පාරේ අයිනක ඉඳලා විරෝධය පළ කරන්න අපි කතා කරගෙන හිටියේ. අපි සත්‍යග්‍රහයට වාඩි වෙන්න සුදානම් වුණේ. නමුත් පිටිපස්සෙන් ඇවිත් මැර කණ්ඩායම් පහරදීමත් එක්ක මේක උත්සව භූමියට තල්ලු කරගත්තා.

PKP_7531

අපට ප්‍රශ්ණෙ තිබුණෙ මිනිස්සුන්ගේ  පාරම්පරික නිජභූමි කිසිදු වගවිභාගයකින් තොරව වන්දි ගැන කතා කරන්නැතිව, පැමිණෙන කර්මාන්ත ශාලා ගැන කතා කරන්නැතිව, පරිසර දූෂණය වන ආකාරය ගැන කතා කරන්නැතිව මේක අත්සන් කිරීමයි. ආණ්ඩුවට කරන්න තිබුණෙ ගම්මානවල මිනිස්සු එකතු කරලා මූලික සාකච්ඡා තියලා, ඊටපසුව මේ වැඩේ කරන්න. ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වා මේ බිම් අඟලක්වත් දෙන්නෑ කියලා. පැහැදිලි ලෙසම ජනතාවට මේ ගැන අවබෝධයක් දීලා තිබුණෙ නැහැ. සජිත් මහත්තයලට ගරු කරන කණ්ඩායම් මේකේ හිටියා. ඒ මිනිස්සු තමයි වැඩිපුරම  මෙතනදි ගුටි කෑවේ. ඒ මිනිස්සු කැඳවලා කලින් කරුණු පැහැදිලි කරලා දෙන්න තිබුණා. ජනතාවට අවබෝධය දීලා පටන්ගත්තා නම් මෙවැනි ගැටලුවක් වෙන්නෙ නෑ. අනවබෝධයත් එක්ක තමයි මේ සැකය බිය ඇති වුණේ.

අපි භික්ෂූන් වහන්සේලා හැටියට මහජනයා එක්ක ඉන්නේ. අපට වෙනත් න්‍යාය පත්‍රයක් ඇත්තේ නැහැ. මිනිස්සුන්ගේ දුක වේදනාව ගැටලුවලදි ගොලුවො, බීරෝ වගේ පැත්තකට වෙලා බලාගෙන දානේ වලඳලා ඉන්නවට වඩා මේ ප්‍රශ්නයට අපි මැදිහත් වෙනවා. පැහැදිලි ලෙසම ඉදිරියටත් අපි මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. රුහුණ කියන්නේ සාමාන්‍ය ගම්බිමක් නෙවෙයි. දිගින් දිගටම මේ රට ආරක්ෂා කළේ රුහුණෙ මිනිස්සු. සාමාන්‍ය ජාන නෙවයි ඔය මිනිස්සුන්ගේ ඇඟවල්වල තියෙන්නේ. සරම බැනියම ඇන්දට පාරම්පරිකව මහා රාජ්‍යයක් ගොඩනගපු, රට ආක්‍රමණිකයන්ගෙන් වාර ගණනක් බේරගත්තු වීරෝදාර ශක්තිය ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා. සංස්කෘතියක්ම පාවාලා දීලා මේ ගිවිසුම් ගහන්න යන්නේ. අපේ පාරම්පරික වීරයන්ගේ නිජභූමියක් පාවලා දීලා කරන්න යන්නේ. සංවර්ධනය කරන්න  මේ රටේ භූමි ඕනෑ තරම් තියෙනවා. අපි සංවර්ධනයට විරුද්ධ නැහැ.

ගුවන්තොටුපොළ දාද්දි, වරාය දාද්දි මිනිස්සු කොතරම් සහායක් දුන්නද. ඒවටත් ඉඩම් යටවුණා. නමුත් ඒවා අවබෝධයෙන් වැඩ කරගත්තා. ඒ වගේ සංවර්ධනය කළ හැකි නිසරු භූමි ඕනෑ තරම් තිබෙනවා. ඒවා සංවර්ධනය කරනවා නම් අපේ සහාය දෙනවා. යහපාලනය කියලා සාකච්ඡාව, සම්මන්ත්‍රණය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂික ගතිලක්ෂණ එකක්වත් මෙම වැඩපිළිවෙළ තුළ නැහැ. ඒක තමයි මේ විරෝධයට මූලික වශයෙන් හේතු වුණේ.

අපි දේශපාලනිකව යම් යම් මතයන්වල ඉන්නවා. බටහිර රටවලට වඩා චීනයට අපි කැමතියි. චීන ජනතාව සහ රජය අපට හැමවෙලාවෙම පිහිට වුණා. දිගින් දිගටම රාජපක්ෂ යුගය ඇතුළුව ඉතිහාසය පුරාම චීනය සමග අපේ සහසම්බන්ධකම් තිබුණා. අපේ රාජ්‍යය රැකිලා තියෙනවා. බෞද්ධාගමික වශයෙන් අපට ලොකු අනුබලයක්, ශක්තියක් දෙනවා. ඒ නිසා චීනයට අපි විරුද්ධ නැහැ. චීනය මේ රටේ සංවර්ධන ආයෝජනයක් කරනවා නම් අපි බොහොම කැමැත්තෙන් බාරගන්නවා. නමුත් අසංවිධිත හා අනවබෝධය, සැකය, බිය සියල්ල එක්ක මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම නිසයි ජනතා විරෝධය පැනනැගුණේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා

හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙවැනි ආයෝජන කර්මාන්ත කලාපයක් ලබාදීම  ගැන ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේකෙන් අපේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ අවස්ථාවක්  උදාවෙනවා. නැව් එන්නැති වරායක් ඉදිකරලා සුදු අලියෙක් විදියට ණය තුරුස් ගෙවාගන්න විදියක් නැතිව අපි ගතවෙන මොහොතේ, ඒ වරාය සමාගම්වලට බදුදීලා අපි ණය ගෙවාගන්න හදන උත්සාහය ගැන තමයි අපි සතුටු වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙනවට එරෙහිව තමයි මේ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ වැඩ කටයුතු කරන්නේ.

රස්තියාදුකාරයෝ සිවුරු පොරවාගෙන රැස්වීම් භූමියට කඩාපනින්න ඇවිල්ලා, කඩාකප්පල් කරලා, කඳුළු ගෑස් ගහලා රජයේ දේපොළ විනාශ කරලා, බස් කුඩු කරලා, පාරවල් ගිනි තියලා මොකද්ද මේ රාජපක්ෂ කණ්ඩායම මේ රටේ කරන්නේ? ඒ ගොල්ලෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක ලොකු සටනක් කරන වෙලාවක් මේක. ඒ ගොල්ලො රටේ අනාගතය උගසට තියාගෙන මේ රට අරාජික තත්ත්වයකට ගේන්න කටයුතු කරනවා.

මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපන් මිනිහෙක්. එක ජන කොටසක්වත් ගෙවල්වලින් ඉවත් කරලා බලෙන් ඉඩම් ලබාගන්න අපි එකඟවෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ වරායට වෙන්කරපු අක්කර 1200 තමයි මේ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරන්න දුන්නේ. වෙනත් ඉඩම් ගත්තේ නැහැ.

මේක ජනතා විමුක්ති පෙරමුණටත් ඒකාබද්ධ විපක්ෂයටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයො කියනවා අපේ ආණ්ඩුව මේ රට උකස් තියනවලු. මේ අයට පිස්සුද මන්දන්නෙ නෑ මෙහෙම කියන්න. අපි දන්න විදියට එහෙම දෙයක් නැහැ. පෝස්ටර් ටික ගහන්න, පාප්ප ටික හදාගන්න ඉන්න කොල්ලෝ ටිකට රස්සා දුන්නම ඒ අය  අල්ලගන්න  බැරිවෙන එකයි අද ජනතා විමුක්ති පෙරමුණට උදාවෙලා තියෙන්නේ. මේ පක්ෂ දෙකම අභාවයට යන වෙලාවේ තුත්තිරි ගහෙත් එල්ලෙනවා වගේ මේ උද්ඝෝෂණ කරන්න යන්නේ. මේ අයට හීන පේනවා රෑට නින්ද යන්නෑ. තිබුණු සැප සම්පත් අහිමි වෙලා, දේශපාලන ජිවිතය නැති වෙනකොට අද රාජපක්ෂ පවුලට පිස්සු හැදිලා තියෙන්නේ.

වරාය හදන්න අක්කර 1200 ක් සංවර්ධන කලාපය විදියට වෙන් කරලා තියෙනවා. වරායත් එක්ක තියෙන ගම්මාන ඒ සඳහා කම්බි ගහලා වෙන්කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේදියි. වරාය හදනකොට වෙන් කළ ආයෝජන කලාපය තමයි දැන් දෙන්නේ. ඒකට තමයි මුල්ගල් තැබුවේ. වනජීවී එකට අක්කර 1200 ක් තියෙනවා. මත්තල ගුවන් තොටුපොළට අක්කර දාහකට වඩා වෙන් කරලා තියෙනවා. නාගරික සංවර්ධන  අධිකාරියට අක්කර හත්සීයකට වඩා වෙන්කරලා තියෙනවා. තව මුඩු ඉඩම් තියෙනවා. මිනිස්සු පදිංචි වුණු එක ඉඩමක්වත් ගන්නෙ නෑ.

විරුද්ධ පක්ෂයේ අයයි මේ තනිකර බොරු මවාපෑමක් පෙන්වන්නේ. අගමැතිතුමයි, සජිත් ඇමතිතුමයි ප්‍රකාශ කළා ජනතාව පදිංචි වී සිටින ඉඩම් ගන්නෙ නෑ කියලා. අපි ඉපදුණු ගමේ එවැනි දේවල්  කරන්න ඉඩක් නැහැ. ඒ ආකාරයට ඉඩම් පවරා ගැනීමකට අපි ඉඩදෙන්නෙ නෑ. කර්මාන්ත කලාපය පිළිබඳ සාකච්ඡාවලට මම සහභාගි වුණා. අක්කර 15,000 දෙන්නේ මොනරාගලින්. මාතරින්, ගාල්ලෙන්, හම්බන්තොට ආවරණය වෙන විදියට. මොනරාගලින් අක්කර 13000 ක් දෙනවා. ඒ අය 15000 ම දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් අපි දුන්නේ අක්කර 1200 යි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී සීතා රංජනී

මාධ්‍යවේදීන් යන්නේ ජනතාවට යම් සිදුවීමක් වාර්තා කරන්න. එවිට නිදහසේ එම සිදුවීම වාර්තා කිරීමට අයිතිය තිබිය යුතුයි. උදඝෝෂණයක් වාර්තා කිරීමේදී තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව ගැන මාධ්‍යවේදීන් සැලකිලිමත් වියයුතුයි. ගැටුමක් වන අවස්ථාවේ එයට මැදිහත් වුණොත් මාධ්‍යෙවේදීන්ට ප්‍රහාර එල්ල විය හැකියි. ඕනෑම පුවතකට වඩා ජීවිතය වැදගත් කියන්නේ ඒ නිසයි. ඒක තමයි අපේ තේමා පාඨය වෙන්නේ.

යම් ගැටුම්කාරී අවස්ථාවක් වාර්තා කිරීමේදී වෘත්තිය නිදහසේ කරගෙන යාමේ අයිතිය මාධ්‍යවේදීන්ට තිබෙනවා. එතනදි කැමරා උදුරා ගැනීම, එම ස්ථානයෙන් පන්නා දැමීම වැනි බාධා බලධාරීන් විසින් නොකළ යුතුයි. එය මාධ්‍ය  නිදහසට සහ මාධ්‍යවේදීන්ගේ අයිතියට එල්ල කරන ප්‍රහාරයක් වෙනවා. එවැනි ප්‍රහාර එල්ල වීම  සම්බන්ධව ඕනෑම කෙනෙක් විරුද්ධ වෙන්න ඕන.

හම්බන්තොට වරායෙදි පසුගිය කාලයේ ඇති වුණු නාවික හමුදාපතිවරයාගේ සිදුවීම ගතහොත් තමන්ගේ ආරක්ෂාව නොතකා එම සීමාව තුළ සිටීම මාධ්‍යවේදියාගේ වගකීමක් බව කිවයුතුයි.  මාධ්‍යවේදියා එම සීමාව කඩකළා වුණත් නාවික හමුදාපතිවරයාට ගහන්න අයිතියක් නැහැ.  ඉවතට යන්න කියලා ඔහු ඉවත් කරන්න පුළුවන්. යම් ගැටුම්කාරී අවස්ථාවක මාධ්‍යවේදියෙකු යම් සීමාවක් උල්ලංඝනය කරනවා නම් ඉවතට යන්න කියලා පැවසිය හැකියි.

තමන්ගේ ආරක්ෂාව සලසාගැනීම මාධ්‍ය ආයතනයේ සහ මාධ්‍යවේදියාගේ  වගකීමක්. යම් නීතිමය කරුණක් උඩ සීමාවක් නම් කළොත් මාධ්‍යවේදීන් දැනගන්න ඕන ඒ සීමාව කඩනොකර තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට. එහෙම කඩ කළා වුණත් මාධ්‍යවේදියාට  ගහන්න, දඬුවම් කරන්න හෝ හිරිහැර කිරීමේ අයිතියක් කිසිවෙකුට  නැහැ.
හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල තියන අවස්ථාවේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක් ඩ්‍රෝන කැමරාවක් යවලා තියෙනවා. නිලධාරීන් විසින් එම කැමරාව උදුරාගෙන තිබෙනවා. එය සම්පූර්ණ වැරදියි. චිප් එක ඉවත් කරලයි ඩ්‍රෝන කැමරාව නැවත හවස ලබා දී තිබුණෙ. යම් සිදුවීමක් නිදහසේ වාර්තා කිරීමේ  අයිතිය බලය ලත් පිරිසක් විසින් මෙතනදි උල්ලංඝනය කරලා  තිබෙනවා. ඒක මාධ්‍යවේදීන්ට සහ වාර්තාකරණයේ  අයිතියට එල්ල කරපු බාධාවක්.

පසුගිය ආණ්ඩුව කාලයේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඝාතනය කරලා, පැහැරගෙන ගිහිල්ලා, මාධ්‍ය ආයතන විනාශ කරලා මාධ්‍යයට  එරෙහිව ලොකු මර්දනයක් දියත් කළා. අපි පැහැරගෙන යන්නෙ නෑ, අපි සුදු වෑන් එවන්නෙ නෑ, අපි මරන්නේ නැහැ, වෙඩි තියන්නේ නැහැ කියලා මේ වනවිට බලධාරීන්  කියනවා. නමුත් යම් යම්   සිදුවීම් වෙනවා. 2015 වසරේ ඉඳලා මේ දක්වා එවැනි  සිදුවීම් ගනණාවක් වුණා. යම් සිද්ධියක් වනවිට එයට අවශ්‍ය පියවර නොගන්නා නිසා එකම ආකාරයේ සිදුවීම් යළි යළිත් සිදුවෙනවා. එවිට මාධ්‍යවේදීන්ට විශාල ප්‍රශ්නයක් වෙනවා.

වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීමම ගැටලුවක්. නාවික හමුදාපතිවරයා කරපු වැරැද්ද පැහැදිලිව පේන්න තිබියදී ඔහුට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් මේ දක්වා සිදුවුණේ නැහැ. ඇඹිලිපිටිය අධිකරණයේදී මාධ්‍යවේදීන්ගේ  වාර්තා පොත්  උදුරාගෙන තිබුණද ඒ  සම්බන්ධව කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඒවා සාමාන්‍යකරණය වෙලා. මැරුවේ නැතුවට, පැහැරගෙන නොගියට මාධ්‍යවේදීන් ලොකු පීඩනයකට මුහුණදීලයි අද ඉන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නලීන් බණ්ඩාර

“ආයෝජන කලාප ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට කුරුණෑගලින් මිනිස්සු ගේන්න අවශ්‍ය වුණේ නැහැ, හම්බන්තොටින් මිනිස්සු දහපහළොස් දාහක් ඇවිල්ලා හිටියා. අපට රැස්වීමට ආරාධනා කරලා තිබුණා මිසක් මිනිස්සු ගේන්න කියලා තිබුණෙ නැහැ. දරුවන්, පවුල සමගින් මමත් ගියේ.

බංකොළොත් වෙලා ඉන්න රාජපක්ෂලා ලක්ෂ ගාණක් බස්සලා වැඩේ කරන්න හිතන් හිටියත් අන්තිමට ආවේ හයසීයයි, හත්සීයයි. දැන් කියන්න දෙයක් නැතිව අපට විරුද්ධව චෝදනා කරනවා. ඒ අයගේ බොරු සිංහ ලක්ෂණ දැන් ඉවරයි. එයාලගේ හිවල් ලක්ෂණ මේකෙන් ඔප්පු වුණා. හම්බන්තොටට ආසන්න මොනරාගල වැනි අසල්වාසී දිස්ත්‍රික්කවලින් ජනතාව එන්න ඇති. මොකද මේකේ වරප්‍රසාද හම්බන්තොටට විතරක් නෙවයිනේ. ඒ නිසා මොනරාගල, ඇඹිලිපිටිය, මාතර වැනි ප්‍රදේශවලින් එදා ජනතාව එන්න ඇති.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු චන්දිම ගමගේ 

සාමාන්‍යයෙන් මම සිරිතක් විදියට රැස්වීම්වලට යද්දි 20 ක පමණ පිරිසක් අරන් තමයි යන්නේ. ඒක මගේ ක්‍රමවේදයක්. එදා අපි ගිහින් උත්සව භූමියේ ඉන්නකොට ඇවිල්ලා කෑ ගහලා ගල් ගහන්න පටන්ගත්තා. ඒ පාර කැරලි මර්දන එකෙන් ආවා.

ඒ වෙලාවේ අපි ආරක්ෂක වැට අස්සෙන් රිංගලා කැරලි මර්දනය එක හිටපු තැනට ගියා. ඒ වෙලාවේ අපි දැක්කේ උද්ඝෝෂණය කරපු අය දිගින් දිගටම ගල් ගැහුවා. අපට ආරක්ෂක අංශය යම් යම් තොරතුරු දුන්නා ඊටපස්සෙ කඳුළු ගෑස් ගහලා කට්ටිය විසුරුවා හැරියා.

ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවයි, අපි වැටෙන් එහාට යනකම් අගමැතිතුමා සහභාගි වෙන උත්සවයකට ඒ අය ආවේ කොහොමද කියන එකයි. මහින්ද මහත්තයගේ කාලයේ උත්සවයක් තියෙනවා නම් අපට හතර මායිම කිට්ටු කරන්න හම්බ වෙන්නෙ නෑ. ආරක්ෂක අංශය, පොලීසිය නොදැනුවත්ව හිටියද? උත්සව භූමියයි උද්ඝෝෂකයොයි අතර මීටර් විස්සක් තිහක් වගේ දුර තිබු‍‍ණෙ. අගමැතිවරයා සහභාගි වෙන රැස්වීමක ඒ තරම් ආසන්නයට ආවේ කොහොමද කියන එක අපට ප්‍රශ්නයක්.

අනිත් අය මොන බයිලා ගැහුවත් මට නම් සැකයි ආරක්ෂාව පැත්තෙන් මොකක් හරි වුණා කියලා. බැරියර් තල්ලු කරගෙන ආවේ කොහොමද? බස් එකක් හරස් කරලා තිබුණා. රැස්වීමට සහභාගි වුණු කට්ටිය දහදාහකට වඩා හිටිය හින්දා යම් කිසි ප්‍රතිවිරෝධයක් යොදවන්න තිබුණා යම්කිසි තත්ත්වයක් ඇති වුණා නම්. රාජ්‍ය උත්සවයකට මෙහෙම එන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. කලින් උසාවි නියෝගයක් තිබියදී අවදානමක් තිබෙන නිසා, කොහොමද මේ විදියට පෙළපාළි යන්නේ.

ඒ අවස්ථාවේ ආරක්ෂාව ගැන පක්ෂයේ ඉහළ නායකයන් පොලිස්පතිවරයාගෙන්  ප්‍රශ්න  කළා. මම හිතන්නේ බොහෝ වෙලාවට නීතිමය කටයුත්තක් සිදුකෙරේවි. යහපාලනය දෝර ගලලා ගිහින් තියෙන්නේ, ඒකයි ප්‍රශ්නේ. ඒ කාලෙ කොඩියක් දාන්න ගියත් ප්‍රාදේශිය සභාවේ සභාපති කැබ් එකෙන් ඇවිත් ගැහුවේ. අපට නවැතැන් දීලා තිබුණෙ චන්ද්‍රිකා හෝටලයේ. එතන ඉඳන් උත්සව භූමියට කිලෝමීටර් දෙක හමාරක් තියෙනවා. එච්චර දුර පයින් ඇවිදගෙන එනකොට ආරක්ෂක අංශ බුදියගෙන හිටියද?

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව සඳහන් කරනවා මහජනතාවට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තිබිය යුතුයි කියලා. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස කියන එක ශ්‍රෙෂ්ඨාධිකරණ තීරණ ගණනාවකින් කියා තිබෙනවා. හදිසි නීතිය තිබෙන කාලෙක පවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ජනතාවට තියෙන අයිතිය උල්ලංඝනය කරන්න  නොහැකි බව  ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබෙනවා.

හදිසි නීතිය පැවැති කාලයේ හලාවත ජෝෂප් පෙරේරා කියලා නඩුවක්  තිබුණා. මුල්ම කාලයේ පැවැති ජනමත විචාරණයකට එරෙහිව ඒ අය පත්‍රිකා බෙදුවා, පුවත්පත් බෙදුවා, උද්ඝෝෂණය කළා, පසුව ඒකට පොලීසිය පැනලා පහර දුන්නා. හදිසි නීතිය තිබෙන එවැනි අවස්ථාවක පවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය  තිබෙනවා. ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන මේ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතිවලින් පවා පිළිඅරන් තිබෙනවා.

ජනතාවට තමන්ගේ විරෝධයක් පළ කරන්න පුළුවන්. තමන්ගේ ඉඩම වෙන්න පුළුවන්, භූමිය වෙන්න පුළුවන්, රට බෙදීමක් වෙන්න පුළුවන් වැනි ඕනම කරුණක් සම්බන්ධව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. මත ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  10 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ නිසා මත ප්‍රකාශ කරන එක කිසිම ආකාරයකින් සීමා කරන්න බැහැ.

භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය යම් යම් සීමාවන්ට ලක්වෙනවා. ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, මහජන සෞඛ්‍ය, වර්ගවාදය, ආගම් අතර ගැටුම් ඇති වීම වැළැක්වීම වැනි කරුණුවලින් එය  සීමා කරන්න පුළුවන්. හම්බන්තොට වැනි ප්‍රදේශයක විරෝධතා පවත්වන්නේ කුමන කාරණයක් මතද කියා අපි බැලිය යුතුයි. මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් දීලා තිබෙනවා කිසිම ආකාරයකින් උද්ඝෝෂණ පවත්වන්න එපා කියලා. ඒක යම් ගැටලු සහගත තත්ත්වයකට එනවා. මහජනතාවට සාමකාමීව සාමයට ගැටුමක් නැති විදියට විරෝධතා දක්වන්න පුලුවන්. මහපාරේ ගමන් කරනවා නම් වාහනවලට, දේපොළවලට හානියක් නොවන ආකාරයට පුළුවන් එවැනි විරෝධතා පවත්වන්න පුළුවන්. එවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අයිතියක් උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයන් මතුවෙනවා.

මැයි දිනය තහනම් කරපු කාලයේ පවා සාධාරණ උද්ඝෝෂණ, පෙළපාළි ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජයග්‍රහණය කරපු අවස්ථා  තිබෙනවා. ජනතාවගේ භාෂණයේ  හා ප්‍රකාශනයේ  නිදහස යම් විදියකින් උල්ලංඝනය කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. 

PKP_7489 PKP_7496 PKP_7553 PKP_7585

 

 

 

හම්බන්තොට සිදුවීම් පවතින රජයට කළු පැල්ලමක් ද ? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :