කඨින පිංකම එදා සහ අද
( . . ) 2016-11-07 11:55:53
Comments - 0       Views - 531

කඨින යන්නෙහි තේරුම දැඩි නොහොත් ශක්තිමත් යන අර්ථය විදහා දක්වන වදනකි. පිංකම් අතුරින් උසස්ම කුසල් අත්කර‍දෙන (පංච අානන්තර්ය පාපකර්මයන් හැර) සෙසු අකුසල කර්මයන්ට කිසිසේත් යටත් කළනොහැකි නිසාම එහි උත්තරීතරභාවය හා භවයෙන් භවය පුරා නොසිඳී නොබිඳී සසර පුරා පසුපස එන මුළු දිවිගමන පුරාම දිවෙන මහා කුසලයන්ගෙන් උතුම්ම කුසලයද කඨින චීවර පූජාව බව තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කර වදාළ සේක.

ථේරවාදී බෞද්ධ දර්ශනය අඛණ්ඩව ආරක්ෂා කිරීම සඳහා 'අරහත් ධජය' වශයෙන් හඳුන්වාදී ඇති කඨින චීවර කටයුතු පූජාව තුළින් වසර 2600 ක් පුරා කිසිදු අයුරකින් වෙනස් නොවන සියලු ජනී ජනයාගෙන් පැහැදිලිව වෙන්කර තබන එකම වස්ත්‍රයද චීවරය වන අතර, එවැනි චීවරයක් මුළු මහත් බුද්ධෝත්පාද කාලය පුරාම අවිච්ඡින්නව පැවතිය යුතු නිසාම මෙම කඨින චීවර පූජාව බුදුපියාණන් වහන්සේ විසින් අනුදැන වදාළහ.

විනය නීති සංග්‍රහයට අනුව කඨින චීවරයක් කෙසේ නිර්මාණය වියයුතු දැයි පැහැදිලිව විස්තර කෙරෙන අතර එය පාංශුකූලයකට පූජා කරනු ලබන මතක වස්ත්‍ර යොදා ගනිමින් චීවරය සකසා ගතයුතු වේ. එදා සිය විහාරස්ථානයේම වැඩ සිටි සුපේෂල ශික්ෂාකාමී විනයධර ධම්මධර භික්ෂූන් වහන්සේලා විසින් සිය දායකාරකාදීන් ලවා නූල් ඉදිකටු තුළින් නිසි අයුරු සකසා හතරපේරුවේ දායක කාරකාදීන් හා විහාරාධිපති හිමියන් විසින් නම් කරනු ලබන උපාසක උපාසිකාවකට නම් කර සියලුම දායකකාරාදීන්ගේ සහ සම්බන්ධත්වයෙන් කඨින චීවර පිංකමට දායකවීමට අවස්ථාව උදාකර දී තිබේ.

එසේ සකසනු ලබන චීවර දුෂ්කය අදාළ නම් කළ තැනැත්තාට හෝ තැනැත්තිය හිසට තබාගෙන ගම්වටා පෙරහරින් වඩමවා සියලු දෙනාගේම පුද පූජා සත්කාර මැද විහාරස්ථානයට ගෙනැවිත් විහාරාධිපතින් වහන්සේට හිමිදිරියේම පූජා කර පිං ලබාගෙන අදාළ කඨින දුෂ්කය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන පඩුපොවා අව්වේ දමා වෙලා දහවල් කඨින දානය අවස්ථාවේදී උපසපන් පස්නමකගේ සහභාගීත්වයෙන් නිසි අයුරින් වත්දෙසා සංඝයා විසින් තෝරාගත් විහාරස්ථානයේ වස් විසූ උපසපන් භික්ෂූන් අතුරින් වයෝවෘද්ධ භික්ෂූ නමකට හෝ නම් කරන ලද උපසපන් භික්ෂුවකට නම් සඳහන් කර පූජා කිරීමෙන් එය පොරවාගෙන එම හිමිනම විසින් රාත්‍රි‘යේ කඨින බණ දේශනා කිරීමක් සිදුවිය යුතුය.

නමුත් ඇතැම් විහාරස්ථානවල කඨීන චීවර පූජාව නිසි ලෙස සිදුවන්නේද යන්න සැක සහිතය.මේ සම්බන්ධව නිකායේම නාහිමිවරුන් ඇතැම් මහා සංඝරත්නය යළි යළිත් ආපසු හැරී බලා කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.අපේ ඉදිරි දරු පරපුරට කඨින චීවර පූජාව මේ යැයි ඇස් පනාපිට දර්ශනය කරවීමත් බුදුපියාණන් වහන්සේ අනුව යනවා යැයි කියන දායකයන්ට පෙරාතුව භික්ෂුන් වහන්සේලා 'ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට' යන්න ඒ අයුරින්ම ඉටු කිරීමට කටයුතු කිරීම අද අයාලේ යන ජන සමාජයට මෙන්ම සාමණේර භික්ෂූන් වහන්සේලාටද මහත් ආදර්ශයකි. 

කඨින චිවර පූජා අට මහා කුසල් ගණයෙන් පළමු මහත්ඵල මහානිසංස ගෙනදෙන කුසලයකි. අට මහා කුසල් යනු, කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුදුපාමොක් මහසඟනට දන්දීම, දහම්පොත් ලිවීම, කෙත් වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කැසිකිළි කරවීම යනුවෙන් පිළි‍වෙළින් සඳහන් වේ. 

කඨින චීවර පූජාවේ විශේෂත්වය වනුයේ එක් විහාරස්ථානයක එක් වරක් පමණක් සිදුකිරීමට අවස්ථාව උදාවීමයි. යමෙක් අහස උසට සිවුරු පූජා කළද ඉන් ලැබෙන කුසලයට වඩා එක් කඨින පූජාවකට සහ සම්බන්ධවීමෙන් ලැබෙන කුසලය මහත්ඵල මහානිශංස ගෙනදෙන පිංකමකි. ශාසන ඉතිහාසයේ ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට කඨින චීවර පූජාව මහා පෘථිවිය මෙන් ස්ථිරවූ කුසල් කර්මයකි. මහාමේරු පර්වතය නොසෙල්වන පූණ්‍ය කර්මයකි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මහත්ඵල මහානිශංස අත්කරදෙන මෙම මහා පුණ්‍ය කර්මයත් මෙන්ම කඨින චීවරය පූජා කරන දායකයාට මහා කල්ප තිහක කාලයක් දුගතියක නොඉපදී නිවන් සැප ලබාගැනීමට පවා හේතුවන බවද 'නාග්නාපදානය' පෙන්වාදී ඇත. 

නිසිලෙස වස් විසූ උපසපන් හිමිනමකට, නොවිචාරා ගම්වැදීම, තුන් සිවුරු තනාගෙන යෑම, සමූහ භෝජනය, කැමති පමණ සිවුරු පිළිගැනීම, තමා වස්විසූ විහාරයෙහි යම්තාක් සිවුරු ලැබීමක් වේද එයද වස්විසූ කඨින චීවරය හිමිවූ භික්ෂුවට අයත් වෙයි. මේ කරුණු පස වස්විසූ භික්ෂුවට අත්වෙද්දී (ගිහි ජනී ජනයාට) දායක කාරකාදීන්ට කඨින චීවර පූජාවට සහසම්බන්ධ වී කඨින පෙරහරට සම්බන්ධවූ කඨින දිනයේ ඉදිකට්ටක් හෝ නූල් බෝලයක් පූජා කළ අයෙකුට කාරණා සොලසකින් (16) සමන්විත ආනිශංස ලැබෙනු ඇත. 

ඒ අනුව කඨින පෙරහර සම්බන්ධවූවන් දුගතිගාමී නොවීම, දෙව්ලොව දිව්‍යමය සම්පත් ලැබීම, සක්දෙවි රජපදවි ලැබීම, සක්විති රජ සම්පත් ලැබීම, ඒ ඒ ප්‍ර‘දේශවල නායකකම මෙන් සැප සම්පත් ලැබීම, උපනුපන් ජාතිවල සැප සම්පත් හිමිවීම, ගමේ පළාතේ ප්‍රධානියෙක් වීම, උත්තම පුරුෂයෙකු බවට පත්වීම, අගතියන්හි නොඉපදීම හා දිව්‍ය ලෝකයන්හි හා මනුෂ්‍ය ලෝකයෙහි පමණක් උපත ලැබීම, වෙනත් කිසිදු සතර මහා අපාදියෙහි නොඉපදීම, උසස් කුලවල ඉපදීම, පහත් යැයි සම්මත කුලවල නොඉපදීම, සක්වල පව්ව ඇතුළත හා මුළු පොළවම සුදුරෙදිවලින් වැසීමට උපත් ශක්තිය ධෛර්ය ලැබීම, මනුෂ්‍ය ආත්මයක් ලැබූ විටෙක මිනිසුන්ගේ අතර ජනප්‍රිය මිනිසෙකු වීම, පෙර ඒකරාශිකළ භවයෙන් භවය ගෙන ආ කුසල් තුළින් සංසාර චක්‍රය තරණය කිරීමට අරුණළු රැසින් පුබුදුවන නෙළුම් පොහොට්ටුවක් සේ ධර්මය හැදැරීමට කුසල් උත්පාදනය වීම, අජරාමර සංඛ්‍යාත නිර්වාණාවබෝධය ලැබීම යන ආනිශංස ලැබේ.

අද සමාජයේ අරුම පුදුම කඨින පූජා රුපියල් කොළ හඹායන සුළුතර හිමිවරුන්ගේ ක්‍රියා තුළින් සිදුවන්නේ මුළු මහත් භික්ෂු සංහතියටම නිගාවක් මෙන්ම දායක කාරකාදීන්ගේ සියලු බලාපොරොත්තු සුන්කරලීමකි.ඇතැම් විහාරස්ථාන වල විශාල මුදලක් යොදවා සිවුරක් කඩෙන්ගෙන එය සතරපේරුවේ දායකයින් මගහැර ප්‍රද්ශයේ ධනවත් දායකයකු ලවා උත්සවශ්‍රීෙයන් කඨින පෙරහර ආරම්භ කර අලිඇතුන් සහිත දර්ශනීය පෙරහරේ ඇතැම් හිමිවරුන්ද යමින් අමුතුම මාදිලියේ කඨින පූජාවක් පවත්වනු දක්නට ලැබේ. විශාල ගණනක් භික්ෂුන් කැඳවා එකම භික්ෂුවකටම අටපිරිකරයක් හිමිවන අයුරින් සකස් කර කඨින දානය අවසානයේදී අදනකඩය පමණක් කඨින දානයට සම්බන්ධවූ භික්ෂුවට ලැබෙන කඨින පූජාද පවත්වති. 

මෙවැනි කඨින චීවර පූජා තුළින් අැතැම් භික්‍ෂූන් වහන්සේලා තමන් වහන්සේලා පැමිණි ලෝකෝත්තර ධර්මතාව අමතක කර ලෞකික සැප විඳීමට පුරුදුව සිටිති.මේ පිළිබඳව සියලු නා හිමිවරුන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ මෙන්ම වගකිව යුතු ආයතන සියල්ල ඒකාබද්ධ වී මේ සඳහා අවශ්‍ය කටයුතු ගත යුතු කාලය එළඹී ඇතැයි පසක් කරමු.

අනුරාධපුරේ බුද්ධවංශ හිමි

 

කඨින පිංකම එදා සහ අද සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :