තප්පර දෙකකට වරක් ළමා විවාහයක්
( අද කර්තෘ මණ්ඩලය ) 2016-10-19 11:19:12
Comments - 0       Views - 2453

පහළොස් හැවිරිදි තුර්කි දැරිවියක් දරු උපතක් සිදුකිරීමේදී මියයෑමේ පුවතක් ඊයේ (18දා) විදේශ මාධ්‍ය සියල්ලකම පාහේ වාර්තා කර තිබුණා. ඒ ලොව පුරා සිදුවන ළමා විවාහවල ආදීනව පිළිබඳවද සටහන් කරමින්. තුර්කියේ බැට්මන් නුවර පෞද්ගලික රෝහලකදී මියගිය මෙම දැරිවියගේ නම ඩෙර්යා ලෙස සඳහන් වන අතර ඇය 14 වියේ සිටියදී බලහත්කාරයෙන් විවාහ කරදී ඇති බවද එම වාර්තාවල සඳහන් කර තිබුණි.

තුර්කියේ සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් එරට මාධ්‍යවල අදහස් දක්වමින් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයෙකු වන එඩ්න් බීරි සඳහන් කර තිබුණේ ළමා විවාහ වල භයානකම පැතිකඩ වන්නේ ඔවුන් ගැබ් ගත් පසු මුහුණදෙන ජීවිත තර්ජනයන් වන බවයි.  විශේෂයෙන් නව යොවුන් ගැබ් ගැනීම් බොහෝවිට කෙළවර වන්නේ මාතෘ මරණයකින් බවද හෙතෙම සඳහන් කරයි.

නව යොවුන් වියේ දැරිවියකගේ සිරුර හරි හැටි දරු උපතක් වෙනුවෙන් ඔරොත්තු දෙන මට්ටමට සැකසී නොමැති නිසා මෙලෙස ජීවිත හානි සිදුවන බවත් විශේෂයෙන් අධි රුධිර පීඩනයට ගොදුරුවීම වැඩි වශයෙන් මුහුණදෙන අවදානම් තත්ත්වයක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තොරතුරුවලට අනුව වයස අවුරුදු 18 ට අඩු දැරිවියන් තිදෙනෙකු අතරින් එක් අයෙකු අඩුවයස් විවාහයකට එළඹෙයි. එසේම අවුරුදු 15 ට අඩු දැරිවියන් නව දෙනෙකුගෙන් එක් අයෙකු අඩු වයස් විහාහයකට මුහුණදෙයි. මිහිපිට ගැහැනු දරුවෙකු ලෙස උපත ලබන සෑම අයෙකුම මෙම තර්ජනයට මුහුණ දෙමින් ජීවිකාව ගතකරන නමුත් සත්‍ය වශයෙන්ම ළමා විවාහ නැත්නම් අඩුවයස් විවාහ යනු ගැහුනු දරුවෙකුගේ මානව හිමිකම් දැඩි වශයෙන් උල්ලංඝනය කිරීමකි.

දරිද්‍රතාව,ආගමික ඇදහිලි, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගිලිහීම් ආදී හේතුන් මත දියුණුවෙමින් පවතින රටවල් වල වෙසෙන දැරියෝ බොහේවිට මෙම තර්ජනයන්ට මුහුණදෙති. ආප්‍රිකානු රටවල්,ආසියාතික රටවල් හා ලතින් ඇමෙරිකානු රටවල් වල වෙසෙන දැරිවියන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණදෙන බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන විසින් මෙම තත්ත්වයෙන් දැරිවියන් මුදාගැනීම උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. විශේෂයෙන් ඔවුන්ගේ දත්තවලට අනුව සෑම වසරකම අවුරුදු 18 ට අඩු ගැහුනු දරුවෝ මිලියන 17.4 ක් විවාහ දිවියට එළඹෙති. එනම් එය දෛනිකව නම් විවාහ 47,000 කි.

මෙලෙස විවාහ වන දැරිවියෝ බහුල වශයෙන් ලිංගික වශයෙන් අතරවරයන්ට ලක්වෙන අතර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලටද ගොදුරු වෙති. තවද මොවුන් ළමා වයසේ විවාහ කරදීම නිසා ඔවුන්ට අධ්‍යාපනය අහිමි වන අතර පෝෂණය, ශරීර වර්ධනය ආදියද අහිමි වෙයි. අඩුවයස් විවාහ හේතුවෙන් ගැබ්බර වන මෙම දැරිවියන් මාතෘ මරණවලට මුහුණදීමේ දැඩි අවදානමක පවතියි.

කෙසේ හෝ ඒවා සෑම තත්ත්පර දෙකකට වරක් ලොව කොතැනක හෝ ළමා විවාහයක් සිදුවන තරමට ළමා විවාහ වර්ධනය වී තිබෙයි.කෙසේ හෝ මේවා පසුගිය සතියේ යෙදුණු ලෝක ගැහැනු දරුවාගේ දිනයේදී අප රටේ මෙම තත්ත්වය පිළිබඳව යම් ආකාරයෙන් සතුටුවිය හැකි තත්ත්වයක් මාධ්‍ය වාර්තා කර තිබුණි. යාහු පුවත් සේවය පින්නුවා වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඇසුරෙන් දක්වා තිබුණේ ශ්‍රී ලංකාව ළමා විවාහ හා අඩුවයස්  ගැබ් ගැනීම් පහත දැමීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

යුනිසෙෆ් වාර්තාවලට අනුව  ශ්‍රී ලංකාවේ අඩු වයස් ගැබ් ගැනීම් 5.3% ක අගයක් ගන්නා බවත් පසුගිය වසරේ අවුරුදු 12 ක් 17 ක් අතර ළමා විවාහ 20,780 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ වත්මනේ පවතින සාමාජීය ප්‍රවණතා, නීතිය, ආර්ථික තත්ත්වය හා සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් ළමා විවාහ හා අඩුවයස් ගැබ් ගැනීම් ගණනින් අඩු වී ඇති බව ඔවුහු දක්වා සිටිති.

 

තප්පර දෙකකට වරක් ළමා විවාහයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :